සිරියාවේ ඉලක්කවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊට එරෙහිව පියවර ගන්නේ යැයි ඉරානය ඊශ්‍රායලයට අනතුරු ඇඟවීය. 
 
ඊශ්‍රායලය පසුගිය සති කිහිපයේදීම සිරියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළේය. සිරියානු සිවිල් යුද්ධයේ පාර්ශවකරුවකු වී සිටින ඉරානය ජනාධිපති බෂාර් අල් අසාද්ට සහාය දක්වයි. 
 
 ඊට ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඉරානය සිරියාවේ කටයුතුවලට මැදිහත් වීම නැවැත්වීම ඉතා වැදගත් යැයි පැවැසීය. 
 
මැද පෙරදිග සහ සිරියාවේ ආරක්ෂාවට තිබෙන විශාලතම තර්ජනය ඉරානය යැයි ඊශ්‍රායලය චෝදනා කරයි. ඊශ්‍රායලය පසුගිය සති කිහිපයේදීම සිරියාවේ ඉරාන ඉලක්ක සහ ඉරානය සහාය දක්වන සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. 
 
 ලබන අප්‍රේල් මාසයේදී ඊශ්‍රායල මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබේ. එම නිසා ඊශ්‍රායලය තමන් සිරියාවේ ඉරාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව විවෘතම ප්‍රකාශ කරයි. 
 
 ඊශ්‍රායලය සිරියාවට එල්ල කරන ප්‍රහාර සිරියාවේ භෞමික අඛණ්ඩත්වය උල්ලංඝණය කරන බවත් කිසිසේත් එම ප්‍රහාර පිළිගත නොහැකි බවත් ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අල් ෂම්ඛානී පැවැසීය.
 
 සිරියානු විදේශ අමාත්‍ය වලීඞ් අල් මෞලම් හමුවෙමින් අල් ෂම්ඛානී ඒ බව පැවැසීය. 
 
හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර් ඇසුරිනි