ඉන්දියාව පසුගිය 15 වැනිදා 65 වැනි නිදහස් දිනය සැමරුවේය. බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවැති ඉන්දියාවට නිදහස හිමිවූයේ 1947 වසරේදීය. ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ලවේ යැයි ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා තිබූ හෙයින් ඉකුත් 15 වැනිදා නවදිල්ලි අගනුවර ‘රතු බලකොටුවේ’ පැවැති නිදහස් දින සැමරුම් උළෙලට දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබුණි. නවදිල්ලියේ ප‍්‍රධාන මාර්ග වසා, තැන තැන මුර කපොලූ දමා තිබුණි. සී.සී.ටී.වී. ආරක්ෂක කැමරා සෑම තැනම සවිකර තිබුණි. නවදිල්ලි පොලිසිය කියා සිටියේ  ඕනෑම සතුරු උවදුරක් මට්ටු කළ හැකි අයුරින් නව තාක්ෂණය භාවිත කළ බවය. ‘රතු බලකොටුව’ වටා කමාන්ඩෝ සෙබළුන් සහ වහළ මත ස්නයිපර් තුවක්කුකරුවෝ සූදානමින් සිටියහ. බලකොටුවට ඉහළ අහස, ගුවන් යානා තහනම් කලාපයක් ලෙස නම් කෙරිණි. ඉන්දියාවේ වෙළෙඳ පුරවරය ලෙස සැලකෙන මුම්බායි නුවර ඉකුත් ජූලි 13 වැනිදා පුපුරා ගිය ති‍්‍රත්ව බෝම්බ ප‍්‍රහාරයෙන් පසු වෙනදාටත් වඩා ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන අයුරු දකින්න ලැබුණි. නිදහස් දින සැමැරුම් උළෙල ආරම්භයේදී වර්ෂාවෙන් ඊට බාධා වුවත් ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන කුඬේ යටින් පැමිණි ඉන්දීය අගමැති මන්මෝහන් සිං ආචාර සමාචාර මැද වෙඩි නොවදින වීදුරු පෙට්ටියට ගොස් සිය නිදහස් දින පණිවුඩය ඉදිරිපත් කළේය. ඉන්දියාවට වින කරන ත‍්‍රස්තවාදීන් ගැන පමණක් නොව දුෂණ වංචා නමැති පිළිකාව තුරන් කිරීම ගැන ද අගමැතිවරයා එහිදී කියා සිටියේය. දුෂණ වංචා චෝදනා එල්ල වීමෙන් පාලක කොංග‍්‍රස් පක්ෂ රජය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටියි. මේ හේතුව නිසාම නිර්මල දේශපාලන චරිතයක් ඇත්තකු ලෙස ප‍්‍රසිද්ධ අගමැති සිංගේ හොඳ නම ද කෙළසී ඇත. එම දුෂණ වංචා චෝදනා අතරින් ප‍්‍රධාන තැනක් ගන්නේ, ඒ. රාජා විදුලි සන්දේශ ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී සිදුවූ ජංගම දුරකතන බලපත‍්‍ර අඩු මිලට විකිණීමේ මහා වංචාවය. එයින් ඉන්දීය රජයට සිදුවූ පාඩුව ඇමෙරිකන් ඩොලර් බිලියන 40 කි. එම වංචාවට සම්බන්ධ ඒ. රාජා ඇමැතිවරයා පමණක් නොව තවත් ඉහළ පෙළේ නිලධාරීහු රැසක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති. ඒ. රාජා තමිල්නාඩුවේ ‘ද්‍රවිඩ මුනේත‍්‍ර කසාගම්’ හෙවත් කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්ෂ සාමාජිකයෙකි. මීට මාස කිහිපයකට ඉහතදී පැවැති තමිල්නාඩු ප‍්‍රාන්ත මැතිවරණයෙන්, මහ ඇමැතිව සිටි කරුණානිධි පරාජය වීමටත්, විපක්ෂ නායිකා ජයලලිතාට ජය හිමිවීමටත් ප‍්‍රධාන හේතුව වූයේ ඒ. රාජා සම්බන්ධ වූ ජංගම දුරකතන බලපත‍්‍ර විකිණීමේ වංචාවය.  කරුණානිධිගේ දියණිය කනිමෝලී ද එම වංචාවට හවුල් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඇය ඉන්දීය ලොක්සභා මන්තී‍්‍රවරියකි. ජංගම දුරකතන වංචාවට අමතරව මීට මාස කිහිපයකට පෙර පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උලෙළේ සංවිධායක කටයුතුවලදී ද මහා පරිමාණයෙන් දුෂණ වංචා රැසක් සිදුවී ඇතැයි චෝදනා රැසක් එල්ල වෙමින් තිබෙන අතර ඒවා ගැන ද ඉන්දීය මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය මේවනවිට පරීක්ෂණ පවත්වයි. ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ද සිදුවේ. නිදහස් දින පණිවුඩයේ දී අගමැති සිං ජනතාවට කියා සිටියේ ඉන්දීය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘ලොක්පාල්’ දුෂණ වංචා විරෝධී පනත් කෙටුම්පත නීතිගත කිරීමට ඉඩ දෙන ලෙසය. එම දේශනයේ දී අගමැති සිං ඉන්දීය දුෂණ විරෝධී කි‍්‍රයාකාරිකයකු මෙන්ම මහත්මා ගාන්ධිතුමන්ගේ අනුගාමිකයකු ද වන අන්නා හසාරේ අමතා ඔහුගෙන් ද ඉල්ලා සිටියේ ‘ලොක්පාල්’ පනතට විරුද්ධ නොවන ලෙසය. ‘ලොක්පාල්’ පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවට ගෙන ඒමට අගමැති සිංට සිදුවූයේ ද අන්නා හසාරේ නිසාය. ජංගම දුරකතන බලපත‍්‍ර වංචාව සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල වෙද්දී හසාරේ මෙන්ම ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය ද දිගින් දිගටම අගමැති සිංගේ රජයට බලපෑම් කරන්න වූයේ ඒ ගැන කඩිනමින් පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඬුවම් කරන ලෙසත්, මින් ඉදිරියට එවැනි අකටයුතුකම් සිදුවීම වැළැක්වීමට නීති සකස් කරන ලෙසත්ය. එහෙත් බලාපොරොත්තු වූ තරමින් රජයට බලපෑමක් කරන්න හසාරේට නොහැකි විය. ඒ අනුව ඉකුත් අපේ‍්‍රල් මාසයේ දී හසාරේ පැය 98 ක් තිස්සේ උපවාසයේ යෙදුණේය. ගාන්ධිතුමන්ගේ අනුගාමිකයකු වීමත්, කීර්තිමත් ගෞරවණීය සමාජ කි‍්‍රයාකාරියකු වීමත් හේතුකොට ගෙන හසාරේගේ ඉල්ලීමට කන් දීමට අගමැතිවරයාට සිදුවිය. පසුගිය 4 වැනිදා, ‘ලොක්පාල්’ පනත් කෙටුම්පත ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කරුණු කාරණා සිද්ධ වූයේ ඒ අනුවය. රජයේ සිදුවන දුෂණ නැවැත්වීමේ අරමුණින්, පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තු කොමසාරිස්වරයකුගේ ප‍්‍රධානත්වයෙන් මණ්ඩලයක් පත් කිරීම ලොක්පාල් කෙටුම්පතේ අරමුණ වේ. අධිකරණ ක්ෂේත‍්‍රයේ ඉහළම තනතුරක් දරන අයකු කොමසාරිස්වරයා ලෙස තෝරා ගැනීමටත් ඔහුගේ සහායට අධිකරණ ක්ෂේත‍්‍රයේ තවත් නිලධාරීන් දස දෙනකු තෝරා ගැනීමටත් නියමිතය. පිහිටුවන එම මණ්ඩලයේ තීන්දු අභිබවා යෑමට අන් කිසිදු ආයතනයකට නොහැකි ආකාරයේ බලතල ද මණ්ඩලයට හිමිවනු ඇත. කිසියම් හෝ අකටයුත්තක්, දුෂණ වංචාවක් සිදුවේ නම් ඉන්දීය මධ්‍යම රජයේ ඇමැතිවරුන්ට, රජයේ ජේෂ්ඨ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කිරීමට ලොක්පාල් පනත් කෙටුම්පත යටතේ ඉන්දීය ජනතාවට අවසර ලැබෙන බව රජය පවසයි. ඉකුත් හතර වැනිදා ලොක්පාල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී ඊට මුලින්ම විරෝධයක් එල්ල වූයේ පාර්ලිමේන්තු විපක්ෂ කණ්ඩායමේ නායිකා සුෂ්මා ස්වරාජ්ගෙනි. ඉන්පසු හසාරේ ඊට විරුද්ධ වූයේය. පනත කෙටුම්පත් කිරීමේදී තමන්ගේ මෙන්ම සෙසු මානව කි‍්‍රයාකාරීන්ගේත් විපක්ෂයේත් අදහස් විමසා බැලූ නමුත් පසුව එම අදහස් සැලකිල්ලට නොගෙන පනත කෙටුම්පත් කර ඇතැයි හසාරේ රජයට චෝදනා කළේය. කොමසාරිස්වරයාගේ තනතුර සඳහා කෙනකු තෝරා ගැනීමේ දී සැලකිල්ලට භාජන කැරෙන්නන්ගේ ලැයිස්තුවට ප‍්‍රාන්ත මහ ඇමැතිවරුන් සහ රජයේ ජේ්‍යෂ්ට නිලධාරීන් ද ඇතුළත් කළ යුතු බව හසාරේ කියා සිටියේය. රටේ සිදුවන දුෂණ වංචා නැවැත්වීමට අගමැති මන්මෝහන් සිංගේ රජයට කිසිදු වුවමනාවක් නොමැති බව මෙවැනි දුර්වල පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම මගින් පෙනී යන බව ද හසාරේ වැඩි දුරටත් කියා සිටියේය. පනත් කෙටුම්පතේ පිටපතක් පූනේ නුවරදී ගිනිබත් කර ඊට විරෝධය දැක්වූ හසාරේ පැවැසුවේ යළිත් වතාවක් ඊට එරෙහිව උපවාසයක් ආරම්භ කරන බවය. ඒ අනුව ඉකුත් 16 වැනිදා නවදිල්ලි නුවරදී ඔහු මහා උපවාසය ආරම්භ කළේය. ඊට සහභාගී වීමට ඉන්දියාවේ නන්දෙසින් බොහෝ දෙනා පැමිණ සිටි බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. උපවාසය ආරම්භ කළ අවස්ථාවේදීම නවදිල්ලි පොලිසිය එහි පැමිණ රැුස්ව සිටි පිරිසට බැටන් පොලූ ප‍්‍රහාරයකින් ද සංග‍්‍රහ කොට හසරේ අත්අඩංගුවට ගත්තේය. පොලිස් නිලධාරීන් පැමිණ හසරේ රැුගෙන යද්දී රැස්ව සිටි පිරිස් ඊට හරස් වෙමින් විරෝධය දැක්වූහ. පොලිසිය කලහකාරීන් විසුරුවා හැරියේය. ඉන්පසු නවදිල්ලි නුවර විරෝධතා පෙළපාළි කිහිපයක් පැවැත්වුණු අතර ඉකුත් 16 වැනිදා රාති‍්‍රය වනවිට 1,300 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව සිටියහ. ඉන්දීය රජය ප‍්‍රකාශ කළේ එම පිරිස අත්අඩංගුවට ගත්තේ ඔවුන් නීති කඩ කළ නිසා මිස  රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල නියැලූණු නිසා නොවන බවය. ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති චිදම්බරන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ හසාරේගේ විරෝධතා ව්‍යාපාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි වැඩ පිළිවෙළක් බවය. හසාරේගේ අනුගාමිකයන් අත්අඩංගුවට ගැනීමට රජයට සිදුවූයේ ඔවුන් නීතිය කඩ කළ නිසා යැයි ද ඇමැති චිදම්බරන් අවධාරණය කරයි. අත්අඩංගුවට ගැනුණු හසාරේ, සතියක කාලයක් ඉන්දියාවේ තිහාර් බන්ධනාගාරයේ රඳවා තැබීමට ඉන්දීය රජය මුලදී තීරණය කළේය. එහෙත්  හසාරේ බන්ධනාගාරයේ සිට සිය උපවාසය ආරම්භ කිරීමත්, හසාරේට සහාය දක්වමින් ඉන්දියාවේ ප‍්‍රධාන නගරවල පැවැත්වෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වීමත් හේතුකොට ගෙන ඊයේ (1) හසාරේ මුදා හැරුණි. 1948 සහාසිකයකුගේ වෙඩි පහරින් මෙලොවින් සමුගත් අහිංසාවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ දර්ශනය අනුව කටයුතු කරන අන්නා හසාරේ හමුදා රියැදුරෙකි. තනිකඩ ජීවිතයක් ගත කරන ඔහු අඳින්නේ ද ගාන්ධිතුමන් කළාක් මෙන් තමන් විසින්ම වියා ගන්නා ලද කපු ඇඳුම්ය. මහත්මා ගාන්ධිතුමන් බි‍්‍රතාන්‍ය පාලකයන්ට මෙන්ම නිදහස ලැබීමෙන් පසු ඉන්දීය රජයට පවා බලපෑම් කළේත්, හින්දු මුස්ලිම් ගැටුම් නතර කළේත් දින ගණනාවක් උපවාස කිරීමෙනි. දැනට 78 හැවිරිදි වියෙහි පසුවන හසාරේ උපත ලැබුවේ 1937 වසරේ දී දිළිඳු පවුලකය. හසාරේ 1963 වසරේදී ඉන්දීය හමුදාවට සම්බන්ධ වූ අතර 1965 වසරේ දී  ඉන්දු/පාකිස්තාන යුද්ධයට ද සහභාගී වූයේය. වර්තමානයේ ඉන්දු කාශ්මීර අර්බුදයට හේතුවක් වූයේ ද එම යුද ගැටුමය.  වසර 15 ක හමුදා සේවයෙන් පසු ඉන් සමුගත් හසාරේ, මානව හිතවාදියකු මෙන්ම මානව කි‍්‍රයාකාරියකු ලෙසින් ඔහුගේ ගම වූ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ රලේගාන් සිදී ගම්මානයේ දිළිඳු ගොවි ජනතාව වෙනුවෙන් කැප වූයේය. 1991 වසරේ දී හසාරේ ‘වංචා දුෂණවලට එරෙහි ජනතා හඬ’ යනුවෙන් ලාබ නොලබන සංවිධානයක් පිහිටු වූ අතර මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත වැසියන් සමඟ ප‍්‍රාන්තයේ වංචා සහ දුෂණවලට එරෙහිව විරෝධතා ව්‍යාපාර සහ උපවාස ද මගින්  මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත රජය සමඟ සටන් කළේය. තොරතුරු දැන ගැනීමේ අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවෙහි දැනට කි‍්‍රයාත්මක පනත් කෙටුම්පත නීතිගත කිරීමට රජයට බලපෑම් කරමින් 2003 වසරේ දී හසාරේ දින 12 ක් උපවාස කළේය. අද ඉන්දීය ජනතාවට රජයේ නිලධාරීන් ගැනත් වාර්තා සහ ව්‍යාපෘති ගැනත් අවශ්‍ය  ඕනෑම තොරතුරක් ලබා ගැනීමට මෙම පනත මගින් ඉඩ සැලැසී ඇත.