ඉන්දීය ජම්මු කාශ්මිර බන්ධනාගාරයේ සිටිද්දී පහර කෑමට ලක් වූ පාකිස්තාන ජාතික රැඳෙවියකු වන 52 හැවිරිදි සානල්ලා රන්ජායි ඊයේ (9) මිය ගියේය.
රන්ජායි දරුණු ලෙස පහර කෑමට ලක් වූයේ ඉකුත් සතියේය. එම අවස්ථාවේදී බන්ධනාගාර බලධාරීහු ඔහු චන්දිගාර් නුවර රෝහලට ගෙන ගියහ.

රන්ජායි පහර කෑමට ලක් වූයේ ඉකුත් දෙවැනිදා, ඔත්තුකරුවකු යැයි පාකිස්තාන අත්අඩංගුවේ සිටි ඉන්දීය ජාතික ගොවියකු එරට ලාහෝර් නුවර බන්ධනාගාරයේදී මියයෑමේ සිද්ධියට එකට එක කිරීමක් වශයෙනි.

සරාබ්ජිත් සිං නමැති එම ගොවියා, පාකිස්තාන රජයේ අත්අඩංගුවට පත් වූයේ 1991 වසරේ දීය. ඒ ඔහු පාකිස්තානයට ගිය අවස්ථාවකදීය.  ඔත්තු බැලූ බවටත් බෝම්බ ප‍්‍රහාර හතරක් සම්බන්ධයෙනුත් ඔහුට චෝදනා එල්ල වූ අතර පාකිස්තාන අධිකරණයක් ඔහුට මරණ දඬුවම නියම කළේය.

පහර කෑමෙන් සිං තුවාල ලැබූ අවස්ථාවේ ඉන්දීය රජයත්, සිංගේ පවුලේ අයත් පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කළේ ප‍්‍රතිකාර සඳහා සිං යළි ඉන්දියාවට එවන ලෙසටය. නමුත් පාකිස්තාන රජය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.

 

පහර කෑමට ලක් වූ සානල්ලා රෝහල් ගත කරමින්...