කැනඩාවේ ටොරොන්ටෝ සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ධාවනය වන මගී දුම්රියක්, බෝම්බ අටවා පුපුරුවා පීලි පැනීමට සලස්වා, මහා ජීවිත හානියක් සිදු කිරීමට සැලැසුම් කළ අල් කයිඩා සාමාජිකයන් දෙදෙනකු අල්ලා ගැනීමට කැනඩා ආරක්ෂක අංශ ඊයේ (23) සමත් විය.
එම අල් කයිඩා සාමාජිකයන් දෙදෙනා බෝම්බ අටවා පුපුරුවා හැරීමට සැලැසුම් කළ ඇත්තේ ඇමෙරිකා/කැනඩා දේශසීමාව හරහා ගලා බසින නයගරා නදියට ඉහළින් දිවෙන දුම්රිය පාලමය.
වසර 115 ක් පැරැණි එම පාලම නයගරා දිය ඇල්ලට නුදුරින් නයගරා නදියට අඩි 225 ක් ඉහළින් ඉදිකර තිබේ.
කැනඩා රාජකීය පොලිස් අශ්වාරෝහක බලඇණියේ විශේෂ විමර්ෂණ ඒකකය ප‍්‍රකාශ කළේ ඔවුන් අත්අඩංගුවට ගත්තේ, 30 හැවිරිදි චිහේබ් එසේජිහේර් සහ 35 හැවිරිදි රියර්ඞ් ජැසර් නැමැත්තන් කියාය. මුස්ලිම් සම්භවයක් සහිත ඔවුන් දෙදෙනා ටොරොන්ටෝ නුවර පදිංචි කැනඩාවේ පුරවැසියන්ය.
මේ අතර කැනඩා ත‍්‍රස්ත මර්දන ඒකකය පවසා ඇත්තේ මොවුන් දෙදෙනා ඉරානයේදී අල් කයිඩා සංවිධානයෙන් විශේෂ පුහුණුවක් ලැබූ බවය. මොවුන් දෙදෙනා ගැන වසරක් තිස්සේ සෝදිසියෙන් සිටීමෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නැයි තමන් කැනඩා රාජකීය පොලිස් අශ්වාරෝහක බලඇණියට දැනුම් දුන් බව ද කැනඩා ත‍්‍රස්ත මර්දන ඒකකය වැඩි දුරටත් කියා සිටී.
මොවුන් අල්ලා ගැනීමට නොහැකිවූවා නම් මහා විනාශයක් වීමට ඉඩ තිබුණේ යැයි ද ත‍්‍රස්ත මර්දන ඒකකය වැඩිදුරටත් කියා සිටී. එම පරීක්ෂණයට ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂකයන්ගේ ද සහාය ලැබී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්ථාන දෙකකදීය. ආරක්ෂක අංශ පවසන්නේ අත්අඩංගුවට ගන්නා විට රියර්ඞ් ජැසර් ටොරොන්ටෝ නුවර සිටි බවත් චිහේබ් එසේජිහේර් මොන්ති‍්‍රයාල් නුවර සිටි බවත්ය.
සී.එන්.එන්. පුවත් සේවය පසුගිය දිනෙක අනාවරණය කළේ මරා දැමුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ සමීපතමයන් කිහිප දෙනකුට ඉරාන රජයේ රැකවරණ ලැබෙන බවය.