යේමනයේ රෝහලක සිදුවූ මනුෂ්‍ය සංහාරයක් සම්බන්ධයෙන් සමාව ඉල්ලා අල්කයිඩා සංවිධානය ප‍්‍රකාශයක් නිකුත් කර තිබේ.

මෙම රෝහල යේමනයේ සනා ප‍්‍රදේශයේ පිහිටි එරට ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ලක පිහිටි බවත් අල්කයිඩා තුවක්කුකරුවන් ආරක්ෂක අමාත්‍යංශ නිළධාරීන් මරා දමනවාට අමතරව රෝහලේ සිටි වෛද්‍යවරුන් හා හෙදියන්ද වෙඩි තබා මරා දමා ඇත.

වාර්තා වන අන්දමට වෙඩි තැබීමෙන් පුද්ගලයින් පනස් දෙදෙනකු පමණ මියගොස් තිබේ.

රෝහලට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් යේමනයෙන් මෙන්ම අන්තර්ජාතික මට්ටමෙනුත් අල්කයිඩා සංවිධානයට දැඩි විරෝධයක් නැගී තිබෙන අතර මෙසේ සමාව ඉල්ලා ප‍්‍රකාශයක් නිකුත් කර ඇත්තේ එම නිසාය.

අල්කයිඩා සංවිධානයේ යේමනයේ මෙහෙයුම් ප‍්‍රධානී කුවාසිම් අර් රයිමි පෙනී සිටින වීඩියෝ පටයකුත් යේමනයේ රූපවාහිනී නාළිකා වල විකාශය කෙරුණු අතර එහිදී ඔහු ප‍්‍රහාරය වැරදීමකින් සිදුවූවක් බවත් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් පැවසීය.

තුවක්කුකරුවන් හට අණදී තිබුණේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් නිළධාරීන් හා සටන් කිරීමට මිස නිරායුධ රෝහල් කාර්යමණ්ඩලය හා ගැටීමට නොවන බව සදහන් කළ හෙතෙම මේ සම්බන්ධයෙන් තුවක්කුකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් කීවේය.

ප‍්‍රහාරයේ දර්ශනයන් අන්තර්ගත වීඩියෝ පටයකුත් මේ වන විට අන්තර්ජාලය වෙත එක්කෙරී ඇති අතර නිරායුධ රෝහල් කාර්යමණ්ඩලයට තුවක්කුකරුවන් වෙඩි තබන ආකාරය එහි දැක්වේ.