අනෙකුත් ජාතීන් පාගා දමමින්, ඒ මතින් තමන්ගේ රට සංවර්ධනය නොකරන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (18) ප්‍රකාශ කළේය.
චීනයට නව ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දී වසර 40ක් සැපිරීම නිමිත්තෙන් පැවැති විශේෂ උත්සවයේදී ජනාධිපති ජින්පින්ග් එම කරුණු පැවැසීය.
කෙසේ නමුත් ගෝලීය සුපිරි බලවතකු කළ යුත්තේ කුමක්දැයි කිසිවකුත් කිව යුතු නැතැයි ද චීන ජනාධිපතිවරයා කීවේය.
චීනයේ හිටපු නායක ඩොන් ෂියාවෝපින් චීන ආර්ථිකයට නව ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙමින් චීන ආර්ථිකය ලෝකයට විවෘත කරන ලද්දේ මීට දශක හතරකට පෙරය.
එම ප්‍රතිසංස්කරණ හේතුවෙන් වර්තමානය වනවිට චීනය ලොව දෙවැනි විශාලතම ආර්ථික බලවතා බවට පත්ව ඇත. එම ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් චීනයේ දරිද්‍රතාවයෙන් පෙළුණු මිලියන ගණනක් එම තත්ත්වයෙන් මිදී ඉහළ ජීවන හා ආර්ථික තත්ත්ව හිමිකරගත්හ. එහෙත් මෑත භාගයේදී චීනය අතිවිශාල ණය සහ අඩු ආර්ථික වර්ධන වේගය යන අභියෝගවලට මුහුණ දී සිටී.
චීනය ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගත්ත ද කිසිදු අවස්ථාවකදී ගෝලීය ආධිපත්‍යයක් බලාපොරොත්තු නොවන බව ද චීන ජනාධිපතිවරයා කීවේය. එමෙන්ම මානව සංහතිය උදෙසා බෙදා හදාගත් අනාගතයක් වෙනුවෙන් සෑම රටක් සමඟම සහයෝගයෙන් කටයුතු කරන බවත් ඊට දායකත්වය සපයන බවත් චීන ජනාධිපතිවරයා කීවේය.
මෙම කතාවේදී චීන ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ අර්බුදය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකළේය. දිගින් දිගටම දේශපාලන විරුද්ධවාදීන් සිරගත කරන බවටත් කිසිදු නඩු විභාගයකින් තොරව ෂින්ජියැන්ග් පළාතේ සිටින මුස්ලිම් ජාතිකයන් දහස් ගණනින් සිරගත කරන බවටත් චීනයට චෝදනා එල්ල වී තිබේ.
චීනය මෙන්ම අසල්වැසි රටවල් ද හිමිකම් කියන දකුණු චීන මුහුන හමුදාකරණයට ලක් කරන බවට චීනයට චෝදනා එල්ල වී ඇත. දකුණු චීන මුහුද යන උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් වන අතර ඉතා වැදගත් නෞකා ගමන් මාර්ගවලට නිවහනකි. චීනය දකුණු චීන මුහුදට හිමිකම් කීමත් සමඟ ඔවුන් එම කලාපය තුළ තම ආධිපත්‍යය පවත්වාගෙන යෑමට උත්සාහ කරන බවට ද අසල්වැසි රටවල් අතර කනස්සලක් නිර්මාණය වී තිබේ.
චීනය ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල ඩොලර් බිලියන ගණනින් වියදම් කරමින් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති දියත් කර තිබේ. එය බටහිර රටවල විවේචනයට ලක්ව තිබෙන අතර ණය දෙමින් සංවර්ධන ව්‍යාපෘති කරමින් චීනය අනෙක් රටවල් උපායමාර්ගිකව බලපෑම් කිරීමට උත්සාහ කරන බවට ද චෝදනා එල්ල වී තිබේ.
චීන ජනතාව කළ යුත්තේ මොනවාද නොකළ යුත්තේ මොනවාද කිව හැකි හෝ චීන ජනතාව පාලනය කළ හැකි කිසිවකුත් නැති බව ද ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා කීවේය.
බී.බී.සී ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්නේ එකක් කරන්නේ තව එකක්.