ජාතික ආණ්ඩුවේ දේශපාලන දීගය, කැබිනට්ටුවේ ගෝරි, නව ව්‍යවස්ථාව, ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලනය, ඩෙංගු වසංගතය, සයිටම් අර්බුදය හා පළාත් පාලන ඡන්දය ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතායි.


ප්‍රශ්නය-මේ ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරභාවය ගැන හැමතැනින්ම කතාවෙද්දී ආණ්ඩුවේම ඇමැතිවරයකු වන ටී.බී ඒකනායක මහත්තයා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 18 ක් සැප්තැම්බර්වල අයින් වෙන බව කිව්වා. එතකොට මේ ආණ්ඩුව සැප්තැම්බර්වලින් අහවර ද?
පිළිතුර- ඔය කියන මොකක්වත් වෙන්නේ නෑ. ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුණා කියල අපි හිතමු. එහෙම වුණොත් ආණ්ඩුවක් හදන්න කාටහරි ආරාධනා කරන්න ජනාධිපතිතුමාට සිද්ධවෙනවා. එජාපය අයින් වුණත් එහෙමයි. මොකද මේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මන්ත්‍රීවරු එකතු වෙලා පාර්ලිමේන්තුවේ විශේෂ යෝජනාවක් සම්මත කළොත් හැර එතුමාට ආණ්ඩුව විසුරුවන්න බෑ. ඒ නිසා ආණ්ඩුවට මොකවත් වෙන්නේ නෑ. ආණ්ඩුව යනවා. ජනාධිපතිතුමා ඉන්නවා.


ප්‍රශ්නය- ඇයි මේ විදියට කැබිනට්ටුවෙ ගෝරි යන්නේ? ආණ්ඩුවට මොකද්ද වෙලා තියෙන්නේ?
පිළිතුර- කවුද කැබිනට් එකේ ගෝරි කියල කියන්නේ..


ප්‍රශ්නය-එතකොට මේ පළවෙන මාධ්‍ය වාර්තා?
පිළිතුර- ඒවා ඇත්ත නෙවෙයි. කැබිනට් එකේ කිසිම ගෝරියක් නෑ. රටේ ලෝකෙ තත්ත්වයන් පිළිබඳව ඒ තුළ සාකච්ඡා කරනවා. විවිධ මත හුවමාරු වෙනවා. නමුත් කැබිනට්ටුවෙ කිසිම ගෝරියක් නෑ.


ප්‍රශ්නය- ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලුවෙ හේතුවක් නැතිවද? එහෙම නම් හොරු රකින්නේ කවුද?
පිළිතුර- ජනාධිපතිතුමාට නීතිපති දෙපාර්තමේන්තුව ගන්න ඕනෑ නම් එතුමා ඒක කාගෙන්වත් ඉල්ලන්න ඕනෑ නෑ. ගන්න පුඵවන්. හැබැයි එතුමා එහෙම කරන එකක් නෑ. එහෙම ගන්නවා නම් අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා තමයි තීන්දුවක් ගන්නේ. දූෂණ මර්දන කමිටු කාර්යාලයේ ක්‍රියාත්මක ස්වභාවය ගැන නම් පොඩි විවේචනයක් එදා කැබිනට් එකේදි මතුවුණා. ජනාධිපතිතුමයි අගමැතිතුමයි සාකච්ඡා කරලා කැබිනට් එකට ඒ ගැන කියාවි. චෝදනා එල්ල වූ අය ගැන පරීක්ෂණ බොහෝමයක් අවසන් වෙලා ඒ ෆයිල් බොහොමයක් නීතිපතිතුමා ළඟට ගිහින් තියෙනවා. ඒ නඩු දැමීමේ ප්‍රමාදයක් තිබෙන්නේ. ඒ ගැනත් එදා කැබිනට්ටුවේ කතා වුණා. ඒ ගැන අවශ්‍ය දේවල් කරාවි.


ප්‍රශ්නය- මේ ආණ්ඩුව බලයට පත්වූ දා පටන්ම වැටෙන්නෙ තොප්පිමයි කියලා මිනිස්සු අතරේ පොඩි කතාබහක් තිබෙනවා. ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ?
පිළිතුර- නෑ ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය හරියට ක්‍රියාත්මක කරන්න ගියාම එහෙම තමයි. දැන් බලන්න ඔය තොප්පි මාධ්‍ය ආයතනවලින්ම කොච්චර හදනවද කියලා. අබ ඇටයක් විතර එකක් ඔයාලා වුණත් පොල් ගෙඩි පහක් සයිස් එකටනෙ දාන්නෙ. ඔයාලා සංසන්දනාත්මකව හොඳයි. එහෙම තමයි ප්‍රජාතන්ත්‍රවාදය දුන්නාම සමහර ආයතන මිනිස්සු හැසිරෙන විදිය. කොච්චර හොඳ දෙයක් කරන්න ගියත් විරුද්ධ පාර්ශ්වයක් ඉන්නවනෙ. ඒ අයට මාධ්‍යයෙන් විශාල ප්‍රසිද්ධියක් දෙනවා. ඒක නිසා මම නම් ඕවා මහ ලොකු තොප්පි කියලා හිතන්නේ නෑ.
ඕවා තොප්පි නෙවෙයි. පත්තර කෑලි.


ප්‍රශ්නය- ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි ප්‍රමුඛතාව නැතිකරන්නේ යැයි යන චෝදනාව සමඟ ත්‍රෛනිකායික භික්ෂූන්ගෙන් දේශපාලනික වශයෙන් ප්‍රකාශන රැසක්ම නිකුත් වුණා. නව ව්‍යවස්ථාව ගැන ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි ද?
පිළිතුර- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කිරීම ගැන අපේ කිසිම විරෝධයක් නෑ. ඒකට අපි සහභාගී වුණා. නමුත් පෞද්ගලිකව මගේ මතය මේ රජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ජන වරමක් නෑ. මොකද ජනමත විචාරණයකට තුඩු දෙන කිසිම වැඩකට යන්නේ නෑ කියල ජනාධිපතිතුමා තමන්ගෙ මැතිවරණ ප්‍රකාශනයේ පැහැදිලිව කියා තිබෙනවා. ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තිබෙනවාය, ආණ්ඩුව කිව්වාය කියලා එකේක අය කියනවා තමයි. හැබැයි ජනාධිපතිතුමා තම ප්‍රකාශයෙන් දුන් පරිදි නව ව්‍යවස්ථාවකට යන්න බෑ.

දෙවැනි කරුණ තමයි අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔයිට වඩා වැඩි දේවල් යෝජනා කළත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අවසර දුන්නේ නෑ. ඒ නිසා යන්න පුඵවන් උපරිමයට අපි ගිහින් ඉවරයි.


ප්‍රශ්නය- ඒ කියන්නේ ව්‍යවස්ථා කතා මෙතැනින් අහවර ද?
පිළිතුර- උතුරු නැගෙනහිර ජනතාවගේ සුඵ ජන කොටස්වල ප්‍රශ්න පිළිබඳව කතා බහ කරන්න, ඊට විසඳුම් ලෙස තවත් සෙනෙට් එකක් ගැන සලකා බලන්න අපි ඉතාම කැමැතියි. හැබැයි එක කාරණයක් තිබෙනවා. මහමැතිවරණයේදි නව ව්‍යවස්ථාවක් හදන්න එජාපය ජන වරමක් ඉල්ලුවාට ශ්‍රීලනිපයේ අපි ඉල්ලුවේ නෑ. එජාපයට ඒක ලැබුණේත් නෑ.


ප්‍රශ්නය- හිටපු ජනාධිපතිවරයා කියන්නේ අලුත් ව්‍යවස්ථා නවත්තලා ආණ්ඩුව පොරොන්දු වෙච්ච විදියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් හොඳයි කියලයි. කතාව ඇත්ත නේද?
පිළිතුර- ජනාධිපතිතුමා විධායක ජනාධිපති ධුරයේ බලතල ඉවත්කිරීමේ උපරිමයට ගිහින් තිබෙනවා. එතැනින් එහාට යන්න නොදුන්නේ අපි කවුරුවත් නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයයි.


ප්‍රශ්නය -බුද්ධාගමට හිමි ප්‍රමුඛතාව ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්නේ නෑ කියලා ආණ්ඩුවෙ ප්‍රධානින් කොපමණ කීවත් බෞද්ධ නායකත්වය එය නැවත නැවතත් ප්‍රශ්න කරනවා. ආණ්ඩුව ගැන බෞද්ධ නායකත්වයට විශ්වාසයක් නැද්ද?
පිළිතුර- ආණ්ඩුවෙම සමහර දුර්වලතා නිසා තමයි ඒක එහෙම වෙලා තියෙන්නේ. බලන්න දැන් මහජන මත විමසුමකට ගියා. ලාල් විජේනායක ප්‍රමුඛව ඊට පත්කළ කණ්ඩායමේ තිදෙනෙකු හැර අන් සියලුම දෙනා ෆෙඩරල් මතවාදයේ ඉන්න අයයි. නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධානවල ඉන්න අය. සමලිංගික විවාහවලටත් අවසර දෙන්න කියලා එවලා තිබුණනෙ. ඒවා එක එක්කෙනාගෙ යෝජනා වුණත් වාර්තාවෙ තිබුණනෙ. ඒවා මුද්‍රණය කරලා එලියටත් දැම්මනෙ. ඒ නිසා මේක කොහෙන් හරි මතු වෙලා ඒවි කියලා හාමුදුරුවරුන්ට පොඩි සැකයක් තිබෙනවා. කොහොම වුණත් බුද්ධාගමට හිමි තැනත් රටේ ඒකීයභාවයත් නැති කරන්න ශ්‍රීලනිපය හැටියට අපි ඉඩදෙන්නේ නෑ කියලා පැහැදිලිව කියනවා. හාමුදුරුවරු මේ විදියට කරන මැදිහත්වීම ඉතාම හොඳයි.


ප්‍රශ්නය- ආණ්ඩුවේ කීම් කණකට නොගන්න රජයේ වෛද්‍යවරු සංඝරත්නය කිව්ව ගමන් වර්ජනය කල් දැම්මා. වෘත්තිකයන් ආණ්ඩුව කියන දේවල් ගණන් ගන්නේ නැත්තේ ඇයි?
පිළිතුර- ලංකාවෙ සිංහල බෞද්ධ සම්ප්‍රදායෙ හැටි එහෙමනෙ. ලංකාවෙ බෞද්ධ නායකයො හැමවිටම මහා සංඝරත්නයෙ අවවාද අනුශාසනා ගැන සැලකිල්ලක් දැක්වුවා. ඒ අනුව ක්‍රියා කළා. පරදේසක්කාරයන් සමඟ සටන්වලදිත් ඉදිරියෙන්ම සිටියෙ අපේ හාමුදුරුවො.


ප්‍රශ්නය- ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන්ව නිකරුණේ හිර අඩස්සියට දාන්න සැලැසුමක් යනවා කියලයි. විශේෂයෙන්ම තමන් දේශපාලනයට ඒවි කියන බය නිසා මෙහෙම කරනවා කියලයි ඔහු චෝදනා කරන්නේ?
පිළිතුර- එතුමාව දේශපාලනයට ගන්න අපෙත් අදහසක් තිබුණා. අපේ පළමු වැනි තේරීම වුණේ ඔහු නෙවෙයි.ගිය මහමැතිවරණයෙදි අපේ පළමු වැනි තේරීම වුණේ අගමැති අපේක්ෂකයා හැටියට චමල්ව දෙන්න කියන එකයි. ඒකට මහින්ද රාජපක්ෂ මහතා සම්පූර්ණයෙන් විරුද්ධ වුණාම ගෝඨාභයගේ නම ගෙනාවා.

දෙකටම විරුද්ධ වුණේ එතුමයි. ඒ නිසා ඇත්තටම චමල්ට ගෝඨාභයට දෙන්නටම ඉදිරියට එන්න ඉඩනොදෙන්නේ අපි නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහතායි. අනෙක් අතට ගෝඨාභය හොඳ චොයිස් එකක් හැටියට අපි දකින්නේ නෑ.


ප්‍රශ්නය- තාමත් එහෙමද?
පිළිතුර- ඔහුට බෞද්ධ ජනතාවගෙ ප්‍රසාදයක් තිබෙනවා වගේම සු`ඵ ජාතිකයන්ගේ දැඩි අප්‍රසාදයක් තිබෙනවා. ඉතින් ඒක අවාසියිනෙ. ගෝඨාභයගෙ ඇඟ මූණ දිහා බලලා නෙවෙයි ක්‍රියාකාරකම් බලලනෙ ඒක මනින්නෙ. දැන් එයාට කරන්න පු`ඵවන් ක්‍රියාකාරකමක් නෑ. හැබැයි එයා කරපු ක්‍රියාකාරකම් ඇතුළෙ මුස්ලිම්, කතෝලික හා හින්දු ජනතාව අමනාප කරගත්තා.


ප්‍රශ්නය- මෙච්චර රටේ ප්‍රශ්න අස්සේ ආයෙමත් පරිපූරක ඇස්තමේන්තු එනවා ඇමැති වරප්‍රසාද වෙනුවෙන්. යානවාහනවලට  සල්ලි අනුමත කරගන්නේ නෑ කිව්ව පොරොන්දුවටත් පිටින් ගිහින්නෙ මේ වෙන්නේ. ආණ්ඩුව ඇයි ජනතාව ගැන නොහිතන්නේ?
පිළිතුර- පරිපූරක ඇස්තමේන්තු කියන්නෙ ආණ්ඩුවක සාමාන්‍ය දෙයක්. ඒවා නැතුව ආණ්ඩුවකට යන්න බෑ. ඇමැතිවරුන්ට වාහන ගන්නේ නෑ. ජනාධිපතිතුමා ඒක මේ අවුරුද්දට නැවැත්තුවා. අමාත්‍යංශයට ගන්න වාහන ඇමැතිවරයාගෙ නමට එන්නෙ.


ප්‍රශ්නය- පළාත් පාලන ඡන්දෙ නැවතත් මාස තුනකට කල් ගියා. ආණ්ඩුව ඡන්දෙට බය ද?
පිළිතුර- එක මැතිවරණයක්වත් කල්දාන්න අපිට ඕනෑ නෑ. ඡන්දෙ මේ විදියට කල්යන්න බලපෑවේ බැසිල් රාජපක්ෂ මහත්තයා අලුත් ඡන්ද කොට්ඨාශ හදනකොට එයාගෙ හිතුමතයට වැඩ කිරීමයි. මැතිවරණ කොමසාරිස්වරයාත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඒ ගැන කළා. ඒ වැඩපිළිවෙලට අනෙක් පක්ෂවලින් ආපු විරෝධය නිසා කමිටු පත්කරලා ක්‍රියා කළා මිසක් ඡන්ද කල්දැම්මේ නෑ.


ප්‍රශ්නය- මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නම් කියන්නේ ශ්‍රීලනිපයේ අභ්‍යන්තර අර්බුදය හැර ඡන්දය පැවැත්වීමට කිසිදු බාධාවක් දැන් නෑ කියලයි. එතකොට ඒ කතාව බොරුද?
පිළිතුර- නිල ශ්‍රීලනිපය නම් ඒකට කිසි බයක් නෑ. මොකද මේ බෙදීම හරහා පක්ෂෙට වෙන හානියත් මිනිස්සු එතකොට දැකගනීවි.


ප්‍රශ්නය- පළාත් පාලන ඡන්දෙ තව තව කල් දාලා කුණු ගොඩ ගැහිල්ලෙන් ඩෙංගු පැතිරීමෙන් සිදුවන මරණවලට ආණ්ඩුව වගකියන්න ඕනෑ කියලා ජනතාව අතරේ මතයක් නිර්මාණය වෙමින් තිබෙනවා?
පිළිතුර- ඒක ඇත්ත. ඕක විතරක් නෙවෙයි. ඒ කාලේ විමධ්‍යගත අරමුදල් හරහා පළාත් පාලන ආයතනවලින් අපි වැඩ කරගත්තත් දැන් එහෙම කරන්න බෑ. ඒවා අකාර්යක්ෂමයි. හැබැයි ඉතින් ඩෙංගු මරණ නම් මිනිස්සු තම තමන් ප්‍රවේශම් වෙනවා නම් අඩුකරගන්න පු`ඵවන්. මිනිස්සු තමන්ගෙ මිදුල, වත්ත, අවට පාර හරියට බලාගන්නවා නම් ඩෙංගු වසංගතය එන්නේ නෑ. මිනිස්සු විසින් තමයි ඩෙංගු වසංගතය බෝකරන්නේ. කුණු වුණත් එහෙමයි. කොළඹට පිටින් එන මිනිස්සු ලන්ච් ෂීට් එක, ජරාව මග නොදා ගෙනියනවා නම් කොළඹ කුණු ගොඩගැහෙන්නේ නෑනෙ. කොළඹ කුණුවලින් 70%ක් පිටින් එන අයගෙ.


ප්‍රශ්නය- බැඳුම්කර ප්‍රශ්නයත් සයිටම් ප්‍රශ්නයත් කොටි වලිගයක් වගේ වෙලා අවසානයක් නෑ කියලා මිනිස්සු කතා වෙනවා. ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න අවංක වුවමනාවක් තිබෙනවාද?
පිළිතුර- බැඳුම්කර ජනපති කොමිසමේ පරීක්ෂණ නම් ඉතාම සාර්ථකව සිදුවෙනවා. ඒ පරීක්ෂණවල ඉතාම නිවැරැදි තැනදි තමයි පර්පචුවල් ටේ‍රෂරීස්වලට තහනමක් ගෙනාවෙ. මේකට ආණ්ඩුව, ආණ්ඩුවෙ මැති ඇමැතිවරු සම්බන්ධයි. පළමු වැනි බොන්ඞ් එක නිකුත් කරන වෙලාවෙත් එතැනට ඇමැතිවරු දෙතුන් දෙනෙක් ගිහින් හිටියා. මේක රජය විසින්ම යට ගහන්න හදපු බව ලංකාවම දන්නවා. එහෙම වෙලාවක ඉතාම නිවැරැදිව පරීක්ෂණ කිරීම ගැන ගෞරවය දෙන්න ඕනෑ. මේක කවදාවත්ම ආණ්ඩුවකින් බලාපොරොත්තුවීමට බැරි දෙයක්.


ප්‍රශ්නය- සයිටම් ප්‍රශ්නෙදිත් එහෙමද?
පිළිතුර- අපි නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට වගේම පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයටත් එකඟයි. රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉඩ ප්‍රස්ථා වැඩි කරන අතරේ අපි පෞද්ගලික විශ්ව විද්‍යාලවලට දොර විවෘත කරනවා. ඕක ගෙනාපු පුද්ගලයා හැටියට ලංකාවට ආර්ථික වශයෙන් නැගීසිටින්නට තිබෙන හොඳම පාර ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රයක් බවට ලංකාව පත්කරගැනීම කියලයි මම හිතන්නේ. මම උසස් අධ්‍යාපන ඇමැති කාලේ ඔය විරෝධතා සතේකට ගණන් ගන්නැතිව විදේශ දරුවො ගෙනාවා. විශ්ව විද්‍යාලයක රේටින්ග්ස් හදද්දි ඉස්සෙල්ලම බලන්නේ කොපමණ විදෙස් සිසුන් එහි ඉගෙන ගන්නවද කියලයි. විදෙස් සිසුන් නොඑන තාක් අපි ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වලින් විසි වෙනවා. ඒක නිසා මම ගෙනාවා. සයිටම් ප්‍රශ්නෙදි වෛද්‍ය සභාව විරුද්ධ වුණත් නෑ ඒක ලියාපදිංචි කරන්න යැයි කියන්න ඇමැතිවරයාට බලතල තිබෙනවා. අමාරු කාරිය තිබුණෙ මට. ඒ තමයි උපාධි ප්‍රදානය කිරීමේ අයිතිය දීම. ඒ සඳහා විෂය අනුකමිටුවේ අනුමැතිය ගෙන ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ගන්න ඕනෑ. ඒ සේරම මම කළා.


ප්‍රශ්නය- ආණ්ඩුව නම්‍යශීලී වැඩියි කියලද කියන්නේ?
පිළිතුර- වැඩියි කියන්නෙ හොඳටම වැඩියි. අද ආයෙත් විශ්ව විද්‍යාල පාලනය කරන්නෙ ශිෂ්‍යයෝ. මම ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල පාලනය කරන්න දුන්නේ නෑ. නායකත්ව පුහුණුව, කවිතා මම පටන්ගත්තෙ නිකන් නෙවෙයි. ඒවා දැක්මක් ඇතිව පටන්ගත්ත දේවල්. විද්‍යාත්මකවයි මම වැඩ කළේ. මම සිටිද්දි විශ්ව විද්‍යාල පාලනය කළේ උපකුලපතිවරුයි විශ්ව විද්‍යාල පාලක මඩුලුයි. 1967 න් පස්සෙ මාත් එක්ක මේ රටේ රාජ්‍ය නායකයා විශ්ව විද්‍යාලවලට ගියා. දැන් ආපහු යන්න බෑ.


ප්‍රශ්නය- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නම් කියන්නේ බලයට පත්වෙච්ච දවසේ පටන් තමන්ට බැණ බැණ හිටපු ආණ්ඩුව පන්සලේ පිං කැටේටත් කෙලින්න යනවා කියලයි. චෝදනාව බරපතලයි නේද?
පිළිතුර- ඒ චෝදනාව නම් යුක්තිසහගත නෑ. අපි තමයි එතුමාට වැඩ කළේ. එතුමා ඒ මැතිවරණය දිනුවා නම් අද රටේ තත්ත්වය මීට වඩා හුඟක් වෙනස්වෙන්න තිබුණා. කට්ටියම හිතාගෙන හිටියෙ එතුමා දිනලා එක්සත් ජාතින්ගෙ මහා මණ්ඩලේට ගිහින් ඉන්දියාව අපේ පැත්තට අරගන්නයි. හැබැයි ඒවා හිතලුනෙ.එහෙම නම් එක්සත් ජාතින්ට 2005 අප්‍රේල් 22 කොමිෂන් වාර්තාව එනවා. ඒකෙ අපි යුද අපරාධකාරයො හැටියට නම් වෙනවා. ඒ අනුව අනිවාර්යෙන්ම යුරෝපීය ආර්ථික තහනමක් එනවා. ඊටපස්සෙ අපේ ඇඟලුම් විතරක් නෙවෙයි. රබර් ටික, තේ, පොල්, කුරුඳු, ගම්මිරිස් ටික දෙන්න තැනක් නැතිවෙනවා. ඉන්දියාව නම්මගන්න හිතුවට පහුගිය මැතිවරණයේදි ඉන්දියාව හැසිරුණු විදිය ලෝකයට රහසක් නෙවෙයිනෙ. ඉන්දියාව ඉතාම නරක තත්ත්වයක හිටියෙ එතුමා එක්ක. එනිසා එතුමා එක්ක අපි බලයට ආවා නම් අද අපේ රටේ තත්ත්වෙ ඉතාම ඉතා..ම නරක වෙන්න තිබුණා. මෛත්‍රී ජනාධිපතිතුමා දිනපු ගමන් මුඵ ලෝකයම අපේ පැත්ත ගත්තා.