IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


විදෙස් අත පෙවීමෙන් වැනසුණු යේමනය

වළපල්ලට ගිය රටවල්

කෛරාටික දේශපාලකයින් විසින් අද ලොව බොහෝ රටවල් විනාශ කර අවසානය. එවැනි රටවල වංචනිකයින්ට එරෙහි සටන වංචනිකයින් අතට පත්වීම අභාග්‍යයකි. එම දේශයන්හි වැඩිපුර සිටිනුයේ වංචාව හා දූෂණයට එරෙහි සටන කොල්ල කන දූෂිතයින්ය. එවැනි රාජ්‍යයන්හි රට කෑ උන් පසුපස වන්දනාවේ යාම පුරවැසියන් සිදුකරන බලවත් වරදකි. ආලෝකයේ සැබෑ වටිනාකම දැනෙන්නේ අඳුරේ තනිවූ විට බව ඔවුන්ට වැටහෙන්නේ නැත. රටවල් කන ​දේශපාලකයින් ආවේගශීලි කතා තුළින් බලය රැක ගනී. ඒවායෙහි නීතිය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ජනතාව උදෙසා පමණය. රන්ජන්ලා වැනි දේශපාලකයින් එම රටවල ද සිටිති. එම දේශපාලකයින්ට සමාජයේ තැනක් නැත.


මම ගිය සතියේ ලිව්වේ අඳුරු ගුහාවක හිරවූ නිකරගුවාව ගැනය. වළපල්ලට ගිය ලතින් ඇමෙරිකානු රාජ්‍යය ගැනය. අගාධයට තල්ලු වී යන මේ හැම රටකම ඇත්තේ දේශපාලන අස්ථාවරත්වයකි. චීනයේ මැදිහත් වීම නිසා ඇන්ගෝලාව විනාශ වූ හැටි සවිස්තරාත්මකව ජූනි 19 දා හෙළි කළේ රන්ජන් රාමනායකය. මෙතෙක් මෙම තීරයෙන් උතුරු ඇමෙරිකාවේ සහ අප්‍රිකාවේ පිහිටි කණකොකා හැඬූ රටවල් රාශියක් පිළිබඳ විස්තර ඉදිරිපත් කළෙමි. අද හඳුන්වන්නේ අරාබියේ ගින්නෙන් දැවෙන කතරක පිහිටි යේමනය (yemen) ගැනය. යේමන් ජනරජය විනාශ වුණේ විදේශ මැදිහත්වීම් නිසාය. එහි දේශපාළුවන්ගේ තක්කඩි ක්‍රියා නිසාය.
යේමනනය රතු මුහුදට බිලිවේද?


තෙල් සම්පත තිබුණත් මැද පෙරදිග අගාධයට වැටුණ යේමනය යළිත් ගොඩ එන බවක් නම් පෙනෙන්නට නැත. යේමනෙයේද වැඩිපුරම සිටින්නේ තල් අත්තකින් හුළු අත්තක් හදා ගන්න බැරි බව නොතේරෙන මජර දේශපාලකයින්ය. රට කොල්ලකන හොරු රැළක්ය. රටකට අවශ්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවා පොදු ජනතාව උදෙසා සටන් කරන දේශපාලකයින්ය. යේමනයේද වැඩිපුර සිටිනුයේ දූෂිත දේශපාලකයින්ට බලය ලබාදෙන ජනතාවය. මේ රටේද දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල්වල අය ඉදිරියෙහි නීතියේ දෙවඟන ඇස් පියාගෙන සිටී. හරියට ලංකාවේ වගේය. දේශපාලන හොරු අල්ලන එක බෙල්ල ගහල යන වැඩක් බව කියන්නේ රන්ජන්ය. අද යේමන් රාජ්‍යය රතු මුහුදට බිලිවන්නට ඔන්න මෙන්නය. එහිද සිදුවන්නේ රටේ සම්පත් මංකොල්ල කෑමකි.


මෙහි අධිකරණය, පොලිසිය, රේගුව, ඉඩම් අධිකාරිය, ආරක්ෂක අංශ පගා මරුවන්ගෙන් පිරී පවතී. මෙය අරාබියේ දුප්පත්ම රටයි. විවාහ වීමට වයස් සීමාවක් බල නොපාන එකම රට යේමනයයි. රට විනාශ වුණත් අරාබියේ දෙවැනි විශාලතම ත්‍රිවිධ හමුද‌ා සේනාංක සිටින රට මෙයයි. මෙහි පොදු ජනතාවට ඔරොත්තු දෙන්නේ නැත්තේ ආරක්ෂක වියදම්ය. ත්‍රිවිධ හමුද‌ා භට පිරිස හාර ලක්ෂය ඉක්මවා ඇත. මෙය ද සිවිල් යුද්ධවලින්, ත්‍රස්ත ප්‍රහාරවලින් විනාශ වූ දේශයකි.


අරාබියේ කඳුළු සලන පාරාදීසය


ත්‍රස්තවාදී කල්ලිවල ක්ෂේම භූමියක් වූ යේමන් ජනරජය පිහිටා තිබෙන්නේ සවුදි අරාබිය, ඕමානය සහ රතු මුහුදට මැදිවය. එහි ජනගහණය දෙකෝටි පනස් හය ලක්ෂයකට අධිකය (2,56,9300). ව.කි.මී. 5,27,829 ක් හෙවත් ව.සැ. 2,03,796 ක් විශාල මෙම රට 200 ක් පමණ වූ දූපත් රාශියකින් යුක්තය. අරාබිකරයේ කාන්තාවන්ට ඡන්ද බලය හිමිවූ ප්‍රථම රටයි. එහෙත් කාන්තා හිංසනය දැවැන්ත අයුරින් සිදුවේ. වයස අවුරුදු 15 ට අඩු ගැහැනු ළමයින් විවාහ දිවියට ඇතුළුවන රාජ්‍යයකි.


එරිත්‍රියාව, මැඩගස්කරය, ගිනියා, මොසම්බික්, මලාවි, නයිගර්, ලයිබීරියාව, බුරුන්ඩි, කොංගෝව සහ මධ්‍යම අප්‍රිකාව වැනි රටවල් වගේම දරිද්‍රතාවයේ පත්ලටම කිඳ‌ා බැස ඇති රාජ්‍යයකි. දීර්ඝ කාලීන යුද්ධවලින් පසු උතුරු යේමන් හා දකුණු යේමන් යන දේශයන් එකම රාජ්‍යයක් බවට පත් වුණත් කිසිදු දියුණුවක් නොලැබූ රටකි. දේශපාලකයින්ගේ අනුවණකම් නිසා මෙහි ජනතාවට අද සිදුවී අත්තේ රතු මුහුද දෙස බලා සුසුම් හෙළන්නටය.
අහිමිවන ජල සම්පත


ලෝකයේ ජල සම්පත අහිමි වී යා හැකි ප්‍රථම රට යේමනය විය හැකි බවට අනාවැකි පළ කළ හැක. පානීය ජලය නොමැතිව දුක් විඳින මේ රටේ ජනතාව පාලකයින්ට ශාප කරමින් සාගින්දරෙන් පෙළෙමින් දිවි ගෙවන අයුරු හද කම්පා කරවනසුළුය. ජල ප්‍රශ්නය මුළු ජනගහණයෙන් සියයට 80 කට වඩා බලපායි. පලතුරු, කෝපි, කපු වගා විනාශ වී ගොස්ය. සිමෙන්ති හා ඇලුමිනියම් කම්හල් බොහෝමයක් වැසී ගොස්ය. ගුවන් තොටුපොළ, මාර්ග සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයන් සඳහා චීන මැදිහත් වීම් තුළින් රට ආපස්සට ගොස් හමාරය. විදේශ ණය බර ජනතාවගේ කරපිටට හෙණ ගෙඩියක් මෙන් පහත් වී හමාරය. මන්ත්‍රීවරුන් 301 කින් සමන්විත පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් කතා පෙට්ටිවලට සීමා වූ පිරිස්ය. පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන්නේ සුරංගනා කතාය. කතාවලින් ජනතාවට වැඩක් නැත.


යුද්ධ හා ත්‍රස්ත ප්‍රහාර නිසා අවැතන් වූවන් වැඩිම පිරිසක් ඉන්න රට යේමනයයි. එහි අවතැන්වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 28 කට අධිකය. කොළරාවෙන් පෙළෙන රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 කට අධිකය. සවුදි අරාබිය මේ රටේ ආර්ථිකය නැංවීමට මුදල් පොම්ප කරන නමුත් රට එතැනමය. ඇමෙරිකානු මැදිහත් වීම් රට විනාශ වීමට මූලික හේතුවක් වූ බවද කියනු ලැබේ.


මෙහි වයස අවුරුදු 5 ට අඩු ළමයින් ලක්ෂ 4 කට (4,00,000) වැඩි පිරිසක් මන්ද පෝෂණයෙන් පෙළෙති. පානීය ජලය නොමැතිවීම සහ වැසිකිළි පහසුකම් නොමැති වීම රට මුහුණ දී ඇති ප්‍රධානතම ප්‍රශ්නයයි. පොදු ජනතාවගේ මානව හිමිකම් කඩකරනු ලැබූ රටවලින් මුල් තැනක් හිමිවන්නේ යේමන් දේශයටයි. රජයේ ප්‍රතිපාදනවලින් සියයට 40 කට වැඩි මුදලක් වැය කරන්නේ ආරක්ෂක වියදම් සඳහාය. එය රටට ඔරොත්තු දෙන්නේ නැත.

 


දේශපාලන පෝරිසාදයෝ


1950 වර්ෂයේදී මෙහි ජනගහනය ලක්ෂ 43 කි. 2018 වන විට ජනගහණය කෝටි 3 කට ආසන්න විය. 2050 වන විට මෙය කෝටි 6 දක්වා වැඩිවනු ඇතැයි කියනු ලැබේ. මෙහි ජනගහනය සීඝ්‍රයෙන් වැඩි වේ. රටේ සම්පත් සීඝ්‍රයෙන් විනාශ වී යයි. මෙහි යුද්ධවලින් මියගිය වුන්ගේ සංඛ්‍යාව 2,50,000 කට අධිකය. මෙහි ජනගහනයෙන් සියයට 46 ක්ම අවුරුදු 15 ට අඩු ළමයින්ය. ලොව දූෂිත රටවල් 180 ක ලැයිස්තුවේ 175 වැනි ස්ථානය හිමිවී ඇත්තේ යේමනයටයි. ගිය වසරේ පමණක් නිව්මෝනියාවෙන් 50,000 කට අධික පිරිසක් මියගියහ. ඔවුන්ගේ වැඩි පිරිස ළමයින්ය. දේශපාලන පක්ෂ 15 ක් බලය ලබා ගැනීමට පොරකන දේශයකි. මුළු ජනගහනයෙන් සියයට 35 ක් රැකියා විරහිත වූවන්ය. මේ මෙම අරාබි රටේ ඇතුළු පැත්තෙන් බිඳක් පමණකි.


ජනපති හොරකම් කළ හැටි


යේමනයේ ප්‍රථම ජනාධිපති අලි අබ්දුල් සලේය. ඔහු වසර 33 ක් බලයේ රැඳී සිටියේය. ඔහු තම පාලන කාලසීමාව තුළදී සොරකම් කළ මුළු මුදල ඩොලර් බිලියන 32 සිට 60 දක්වා වැඩි වූ බව වාර්තා වේ. රටවල් 20 ක බැංකුවල මෙම මුදල් ඔහු සහ ඔහුගේ පුත්‍රයා විසින් තැන්පත් කරන ලදී. ජනතාව විසින් ඔහු පළවා හැර ඝාතනය කරනු ලැබීමෙන් පසු එම ධනය යළි රටට ගෙන්වා ගැනීමට පසුව පත්වූ පාලකයින් ක්‍රියා නොකළහ.


ඔහුගේ පුත්‍රයාටද ඔහුගෙන් පසු බලය ලබා ගැනීමට නොහැකි විය. සොරකම් කර විදේශයන්හි තැන්පත් කළ ධනස්කන්දය යළි රටට ගෙන්වා ගනු ලැබුවා නම් දරිද්‍රතාවයෙන් රට ගොඩ ගැනීමට හැකිව තිබුණි. ඔහුගේ පුත්‍රයා වූ අහමඩ් අලි සලේ රටින් පළාගොස් විදේශ රටක සුරසැප විඳින බවද කියනු ලැබේ. ඔහු සහ ඔහුගේ පුත්‍රයා සිබාම් හෝලිඩින් කොම්පැනි (Shibam Holding Company) ආයතනය පිහිටුවා ගෙන සමස්ත දේශයේ ඉදිකිරීම් නිවාස ව්‍යාපෘති හා මාර්ග තැනීම් සිදුකිරීම අනුසාරයෙන් මුදල් ගසා කෑ අයුරු හෙළිවී තිබේ.


මේ රටේ ද සිටින්නේ විදේශ ආධාර සහ විදේශ ණය සාක්කුවේ දමා ගන්නා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා දේශපාලකයින්ය. දේශපාලන හොරු රැළකි. මෙම දේශපාලකයින් ඉඩම් මංකොල්ලකෑම ගජරාමයට සිදුකරයි. ලෝක ආහාර සංවිධානය (WFP) සපයන ආහාර සලාකවලින්ද ගසා කන නරුමයින් රොත්තකි. මොවුන්ට සැපය. සනීපය. ජනතාවට දුකය, ශෝකයය.


දේශපාලකයින්ට එරෙහි නඩු වාෂ්ප වන හැටි


2017 වර්ෂය වන විට මෙහි දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් හා රාජ්‍ය නිලධාරින් විසින් සිදුකරන ලද මහා පරිමානයේ වංචනික ක්‍රියා 2400 ක් පමණ අනාවරණය විය. නඩු 71 ක් උසාවිවල ෆයිල් අතර හිරවී තිබේ. නඩු විභාගවන බවක් හෝ චූදිතයින්ට දඬුවම් කරන බවක් පෙනෙන්නට නැත. හරියට ලංකාවේ වගේමය. ලංකාවේ රන්ජන්ලා සටන් කරන්නේ මෙවැනි දේශපාලන හොරුන්ට එරෙහිවය. යේමනයේද අධිකරණය දූෂිත වූ (JUDICIAL CORRUPTION) හමාරය.


යුද්ධ ඉවර වුණත් බඩ වියත රැක ගැනීමට යුද්ධ කරන ජනතාව සිටින රටකි යේමනය. 2012 පෙබරවාරි 27 දා පැවැත්වූ ජනපතිවරණයට එකම අපේක්ෂකයෙකු තරග කළ එකම රට යේමනය බව මෙහිදී සඳහන් කිරීම වැදගත්ය. වත්මන් ජනපති වූ ඒ. මන්සූර් හයිඩි (A MANSUR HAIDI) එරට දෙවැනි ජනපති බවට පත්වූයේ මෙම ඡන්දයෙනි. ගල්ෆ් කලාපයේ දූෂිතම හා දිළිඳුම රට බවට පත්වී ඇත්තේ මේ කියන යේමනයයි.

 

 

 

 

සිරි හීන්පැල්ල නිව්‌යෝර්ක් නුවර සිට ලියයි

 

 



අදහස් (0)

විදෙස් අත පෙවීමෙන් වැනසුණු යේමනය

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

පළමු වතාවට ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ ශ්‍රී ලාංකිකයා
2025 පෙබරවාරි මස 11 27 0

ඇන්ටාක්ටිකාව තරණය කිරීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒත් හිමාලය තරණය කළ ඔහුට එය තවත් අභියෝගයක් පමණක් වුණි.


සොබාදහමට ආදරය කරද්දී අපේ ජීවිතවල ආතතිය අඩු වෙනවා
2025 පෙබරවාරි මස 11 26 0

හුදකලාව සොබාදහම විඳින්න කැමති බොහෝ දෙනා අතරේ තමන්ගේ ළබැඳි සමීපතමයන් සමගින් ඒ හෝරාවන් බෙදාහදා ගන්නට කැමති වූ ඔහු - අද සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය සංචාරකයන


දකුණට ආවොත් යන්නම ඕනැ නිල්වැල්ලේ නිල් දුපත
2025 පෙබරවාරි මස 10 74 0

කුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර වෙරළ තීරයන් අතුරින් Blue Beach Island නිල්වැල්ල වෙරළ තීරයට හිමිවන්නේ සුවිශේෂි තැනකි.


කඳු නගින්න කෑම්පින් කරන්න කැමතිද ? එහෙනම් මේ කතාව ඔබට ...
2025 පෙබරවාරි මස 10 28 0

නිවර්තන පාරාදීසයක් වන ශ්‍රී ලංකාවේ දර්ශනීය කඳුහෙල් මෙන්ම, විශ්මය ජනක ගිරිශිඛර කන්දක් මුදුනට ළඟා වීමත්, ඒ අතරතුර කඳවුරු ගසා ගෙවන රාත්‍රීන් ද ජීවිතයේ ලබ


චීනයේ සිච්කෝ පැරණි පන්නයේ ගල් ඇති රූ වීදි දිගේ දවසක්
2025 පෙබරවාරි මස 10 23 0

චීන ජනතාව අතර පවතින මතයක් වන්නේ - චීනයේ චොන්ග් චිං නගරයේ සිටිමින් සිචිකොව් (Ciqikou) නගරය වෙත නොයන්නේ නම්, අදාළ අය චොන්ග් චිං වෙත පැමිණීමෙන් පලක් නැතිය යන්නයි


ලෝකයේ පළමු පාලි - සංස්කෘත හා සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය බිහිවූ හැටි
2025 පෙබරවාරි මස 07 31 0

“මම පුංචි මිනිහෙක් මම ඒක කරන්නේ කොහොමද” උන්වහන්සේගෙන් මම විමසුවා.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 205 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 132 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 946 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site