IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රූපලාවන්‍ය නිෂ්පාදනයෙන් ලෝකය ඇල්ලූ පොප් ගී රැජින

ප්‍රකට සමාගම් ලොව  දිනූ හැටි 

  • ලෝක සංගීත කරළියේ ජනප්‍රිය වෙන විට වයස අවුරුදු 16 යි
  • අම්මාට පණමෙන් ආදරෙයි. මිලියන 10 ක් වටිනා මන්දිරයක් මවට තනා දුන්නා
  • සමාජ සුබසාධනය වෙනුවෙන් වැඩිම මුදලක් පරිත්‍යාග කරන තාරකාව ඇයයි
  • උසස් අධ්‍යාපනය හෝ සරසවි අධ්‍යාපනය ලබා නැහැ

 

​‘රියානා හෙවත් රිහානා’ ගැන මුළු ලෝකයම දන්නේ බටහිර පොප් ගායිකාවක, රංගන ශිල්පිනියක සහ ව්‍යවසායක කාන්තාවක ලෙසය. වෙසෙසින්ම පොප් ගී රැජිණ යන අන්වර්ථ නාමයෙන් හැඳින් වූ මැඩෝනාගෙන් පසුව පොප් ගායන ලෝකයේ ‘ගිනිසිළුව’ වූයේ මෙම රිහානාය. 


පොප්, රෙගේ, හිප්හොප්, ආර් ඇන්ඩ් බී, ඊඩීඑම් යන ශෛලීන්ට අනුගතව ගැයුමෙන් ලෝකය තම වසඟයට නතුකර ගත් රිහානා යනු වත්මනෙහි ලෝකයේ අඩු වයසේ සිටින ධනවත් ව්‍යවසායක චරිතයකි. දැන් ඇයගේ වයස අවුරුදු 32 කි. මෙම අවුරුදු 32 වයසට ඇය කර ඇති වැඩ නම් විටෙක හිතාගත නොහැකි තරම්ය. රූපලාවන්‍ය හා විලාසිතා ක්ෂේත්‍රයට අනර්ඝ නිෂ්පාදන රැසක් බිහි කළ ‘ෆෙන්ටි (Fenty) බියුටි’ සමාගම ඇයගේය. ෆෙන්ටි ෆැෂන් ඇයගේය. වයස අවුරුදු 30 වෙද්දී ඩොලර් මිලියන 600 ක මහා ධනයකට උරුමකම් කී ‘රිහානා යනු ස්වකීය ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය නිසා අඩු වයසේ දී ජීවිතය ජයගත් අපූරු කාන්තාවකි. ගැයුමෙන්, රැඟුමෙන් මෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදන සහ විලාසිතා වෙතින් මහා ධනස්කන්ධයක් උපයන අතරේ, මිලියන ගණනින් දුප්පතුන් සහ සමාජ සුබසාධනය උදෙසා අත දිගහැර ධනය පරිත්‍යාග කරන මහා ද‌ානපතිනියකි.  


විටෙක සිරුර වඩාත් නිරාවරණය වෙන පරිදි විලාසිතා ඇඳගෙන ගී ගයන, නටන, රඟන, ඇය දිහා බාහිරව බලන සමාජය බොහෝ විට ඇය මනිනවා විය හැක්කේ ඒ බාහිර ස්වරූපයට අද‌ාළව විය හැකිය. එහෙත් මේ රිහානා එලෙසින් පෙනී සිටින්නේ ප්‍රාසාංගික අවස්ථා වෙනුවෙන් කැමරාව ඉදිරියේ පමණකි. වයස අවුරුදු 32 පසුවෙන මේ සුන්දර ගී තාරකාවගේ ජීවිතය වෙතින් ගත හැකි හොඳ දේ නම් බොහෝමය. ප්‍රකට සමාගම් ලොව දිනූ විශේෂාංගය වෙතින් මේ කියැවෙන්නේ බාහිර ස්වරූපයෙන් නොවී ඇතුළාන්ත ජීවිතයෙන් වඩාත් අරුත්බර වූ රිහානාගේ ජීවිතයේ කතාව සහ ඇය බිහි කළ ෆෙන්ටි (Fenty) බියුටි නිෂ්පාදන සමාගමේ කතාවය.  


රොබින් රිහානා ෆෙන්ටි  


ඇයගේ සම්පූර්ණ නාමය වෙන්නේ රොබින් රිහානා ෆෙන්ටිය. 1988 පෙබරවාරි 20 වැනිද‌ා ඇය උපත ලබන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට අයත් බාබඩෝස්හි ශාන්ත මයිකල්හිදීය. බාබඩෝස් දූපත කලාප එකොළහකින් සමන්විතය. මෙම ශාන්ත මයිකල් එම දූපතට අයත් එක් කලාපයකි. බටහිර ඉන්දීය කොදෙව් කී පමණින් ලෝකයේ බොහෝ දෙනා දන්නේ එක්කෝ ක්‍රිකට් නිසාය. නැතිනම් ලෝප්‍රකට වූ ජැමෙයිකානු මලල ක්‍රීඩා තරු නිසාය. ඒත් නැතිනම් රෙගේ සංගීත කලාවේ පියා වූ බොබ් මාලේ නිසාය. එකී කලාපයෙන් ලෝක තලයට ගිය මේ ‘රිහානා’ නිසා කොදෙව් දූපත් හි බාබඩෝස් තවත් වර්ණ ගැන්වී ඇත.  


පුංචි දූපතක සිට කුඩා කාලයේ දී අනේක විධ ගැහැටවලට මුහුණ දීම  


කොදෙව් දූපත්වලට අයත් මිනිස්සු බොහෝ විට කාල වර්ණයෙන් යුතුය. කුඩා කාලයේ දී රිහානා ද පෙනුමෙන් තළෙලු විය. ඇයගේ මව එවකට කටයුතු කළේ ගණකාධිකාරිනියක ලෙසය. පියා වූ රොනල්ඩ් ෆෙන්ට් කටයුතු කළේ ගබඩා ආයතනයක සුපවයිසර්වරයකු ලෙසය. රිහානා හට සහෝදරයන් දෙදෙනෙකි. රොරී සහ රජාඩ් යනු එ් දෙදෙනාය. ඊට අමතරව පියාගේ කලින් විවාහ කීපයක සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරයකු ඇයට සිටී. රිහානාගේ පියා නම් කිසි විටෙකත් සත්ගුණවත් චරිතයක් නොවූ අතර මත්පැන්වලට සහ කොකේන් මත්ද්‍රව්‍ය භාජනයට තදින්ම ලොල් වූ කෙනෙක් විය. මෙහි අනවශ්‍ය ඵලය වූයේ තදින්ම මතට ලොල් වී සිටි රොනල්ඩ් ෆෙන්ටි නිසා රිහානාගේ මව ගෘහස්ථ හිංසනයට නතුවීමය. රිහානාගේ මව ගණකාධිකාරිවරියක ලෙස රැකියාව කරන අතර චරිතවත්ව ජීවිතය ගෙන ගිය කාන්තාවක වූ නමුදු නිවසට ආ පසු සැමියාගෙන් ගුටිබැට කෑමට පවා සිදුවුණි. මවට ඉතා ආදරය කළ කුඩා රිහානා දැරියට එය වාවාගත නොහැකි තරමේ දෙයක් විය. ඒ නිසා ඇය මහත් කනස්සල්ලට සහ වේදනාවට පත්ව සිටියාය. කාමර තුනකින් සමන්විත වූ රිහානා ඇතුළු පවුලේ උදවිය ජීවත් වූ පුංචි බංගලාව පිහිටා තිබුණේ බාබඩෝස්හි අගනගරය වන බ්‍රිජ්ටවුන් හිදී වුවද, කුඩා රිහානාට ඒ පරිසරය දැනුණේ අපායක් ලෙසිනි.  


‘අනේ තාත්තේ ඇයි අපේ අහිංසක අම්මට මෙච්චර ගහන්නේ’ එලෙසින් වචන පිට කිරීමට තරම් ශක්තියක් එද‌ා මේ දැරියට නොතිබුණේ තාත්තා හට බිය වූ නිසාය. එහෙත් බේබදු තාත්තා අම්මාට පහර දුන් අවස්ථාවල දී පුංචි ‘රිහානා’ මැදට පැන ඒ රණ්ඩු සරුවල් බේරන්නට උත්සාහ කළාය. දරදඬු බේබඳු තාත්තාගේ පහරවල් කුඩා රිහානාට වැදුණු අවස්ථා ද නැතුවා නොවීය. රිහානාගේ පුංචි බංගලාවේ බොහෝ දිනවල සුන්දර හැන්දෑව මේ නිසා අසුන්දර විණි. රාත්‍රිය වඩාත් බියකරු විණි. පසුද‌ා උද‌ෑසන බේබදු පියා හැසිරුණේ මේ කිසිවක් නොවූ විලසින්ය.  


‘ඒයි පුංචි කෙල්ලෙ, මෙහෙ වරෙන් මාත් එක්ක ඇඳුම් විකුණන්නට යන්න’  


තාත්තා එලෙසින් ඇයව කැඳවාගෙන ගියේ බ්‍රිජ්ටවුන්හි වීදියක මැස්සක් ගසාගෙන ඇඳුම් විකිණීම කළ නිසාය. එලෙසින් ඔහු එද‌ා අමතර රස්සාවක් කළේ ගෙදර වියදමට දීමට නම් නොවේ. මතට කීයක් හරි හොයා ගැනීම වෙනුවෙනි.  


ළමා වියේ දී රිහානා සී.ටී. ස්කෑන් කීපයකට මුහුණ දීම


වයස අවුරුදු දහයක පමණ දැරියකව සිටි අවදියේ දී රිහානා හට විටින් විට තදබල හිසේ කැක්කුමක් ඇතිවිණි. මව පුංචි රිහානා වෛද්‍ය පරීක්ෂණ කීපයකට රැගෙන ගියාය.  අපි මෙයාව සී.ටී. ස්කෑන් එකක් කරලා බලමු? වෛද්‍ය උපදේශය එය විය. එහෙත් එය එක් සී.ටී. ස්කෑන් එකකට සීමා නොවුණි. සී.ටී. ස්කෑන් කීපයක් කිරීම එතරම් සුදුසු දෙයක් නොවුව ද රිහානා හට සී.ටී. ස්කෑන් කීපයකටම මුහුණ දීමට සිදුවිණි.  


‘සමහර විට මෙයාගෙ හිසේ ටියුමර් එකක්’ වෙන්නැති. වෛද්‍ය එසේ ද ප්‍රකාශ කළෝය.  


කෙසේ වුවද මෙම තදබලව පැවැති හිසරදයට සහ පීඩනයට ඇය හට මුහුණ දීමට සිදු වුණේ වයස අවුරුදු 13 දක්වා පමණකි. රිහානාගේ මව බැරිම තැන බේබදු සැමියාගෙන් දික්කසාද වූවාය. ඒ සමගම වයස අවුරුදු 14 දී රිහානා පෙළී සිටි හිසරදය ද සුව අතට හැරිණි. සමහර විට ඇය පෙළෙන්නට ඇත්තේ ඇයගේ මව ගෘහස්ථ හිංසනයට මුහුණ දුන් සිදුවීම නිසා වූ පීඩනයට විය හැකිය. මව්පියන් අඬදබර කර ගන්නා විට පුංචි දරුවන් අසරණ තත්ත්වයට පත්වෙන වග මානසික වෛද්‍යවරු ප්‍රකාශ කරන දෙයකි. ළමයකු හට එය දරාගත නොහැකි වුවහොත් සිදුවෙන්නේ මානසික රෝගී තත්ත්වයට පත්වී ජීවිත කාලයම විඳවීමටය. වාසනාවකට ‘රිහානා’ එයින් මිදුණාය.  


රෙගේ සංගීතයට එළැඹ සිටීම.  


බාබඩෝස්හි චාල්ස් එෆ් බෲම් අනුස්මරණ පාසලේ සිට පාසල් අධ්‍යාපනය ලබමින් සිටි රිහානා ඒ වෙන විටත් රෙගේ සංගීතයට ලැදිව කටයුතු කරමින් සිටියාය. ඒ වෙනුවෙන් මවගෙන් ඇය හට ලැබුණේ නොමද සහායකි.  


‘මගේ පුංචි කෙල්ල දක්ෂයි, ලස්සනයි, වාසනාවන්තයි. දුව ඔයා කවද‌ාහරි මේ ලෝකය හොල්ලනවා.’

  
රිහානාගේ මව මොනිකා රිහානා දැරිය උනන්දු කළේ එලෙසිනි. පාසලේ උප හමුද‌ා ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකාවක වූ ඇය පසුව පාසලේ සරඹ කණ්ඩායමේ සාජන්ට්වරියකු ද වූවාය. බාබඩෝස්හි ප්‍රකට ගීත රචිකාවක මෙන්ම ගායිකාවක වූ ෂොන්ටෙල් එම සරඹ කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු කිරීම නිසා රිහානා තවත් පිබිදීමකින් කටයුතු කළේ සංගීතය තම ආත්මයට බද්ධ වී තිබූ බැවිනි. උසස් අධ්‍යාපනය ලබා උපාධියක් හිමිකර ගැනීමේ අරමුණ යටිහිතේ පැවැතිය ද, රිහානා හට උසස් පාසලට ඇතුළත් වී උසස් අධ්‍යාපනය ලැබීමට නොහැකි විණි.  


ගැයුමේ ඇරඹුම  


2003 දී එනම් වයස අවුරුදු 15 දී පමණ රිහානා හට තම පාසලේ සිටි ඇයගේ යෙහෙළියන් දෙදෙනකු ද සම්බන්ධ කරගෙන ගායන කණ්ඩායමක් පිහිටුවා ගැනීමට හැකිවුණි.  


‘කෙල්ලො තුන්දෙනෙක්ගෙ සංගීත කණ්ඩායමක් තියෙනවා. උන් තුන්දෙනා මරේ මරු, අර රිහානා කියන කෙල්ල හරිම හැඩයි. ඒ මදිවට අපිව පිස්සු වට්ටවන විදියට නටමින් ගී ගයනවා.’  


බාබඩෝස්හි සමහර වැසියන් මෙම කෙල්ලෝ තුන්දෙනාගේ සංගීත කණ්ඩායම ගැන කතා කළේ එලෙසිනි. මෙම කෙල්ලෝ තුන්දෙනාගේ කණ්ඩායමට නිත්‍ය නමක් නොතිබිණි. එහෙත් මේ කෙල්ලෝ තුන්දෙනා ගැන විශේෂයෙන්ම ‘රිහානා’ ගැන ඇමෙරිකානු ජාතික සංගීත ඇල්බම් නිෂ්පාදකවරයකු වූ එවන් රෝජර්ස් හට දැනගන්නට ඉඩ ලැබුණි.  


‘කොහොම හරි මේ කෙල්ල හොයාගන්නට ඕනෑ.’ හොඳ හඬක්, හොඳ රුවක් සොයමින් ගවේෂණයක යෙදෙමින් සිටි එවන් රෝජර්ස් හට මේ ලස්සන මැණික් කැටය සොයාගත හැකිවුණි. රිහානා ද මේ වෙන විට සිටියේ ලෝකයට යාමට පාරක් සොයමිනි. දිනෙක මෙම ඇමෙරිකානු ජාතික සංගීත නිෂ්පාදකවරයා නැවතී සිටි හෝටලයට මේ කෙල්ලෝ තිදෙනා ගිය ද, රෝජර්ස්ගේ කාමරයට යාමට ඉඩ අවසර ලැබුණේ රිහානා හට පමණෙකි.  


‘කියන්න බලන්න ගීත කීපයක්’ රෝජර්ස් රිහානා හට කීවේය.  


ලෝප්‍රකට සංගීත කණ්ඩායමක සහ ගායක ගායිකාවන් කීප දෙනෙකුගේ ගීත රෝජර්ස් ඉදිරියේ ඇය ගැයුවාය. රෝජර්ස් ගල්පිළිමයක් වී මොහොතකට ඊට සමවැදී සිටියේය.  


‘ඔයා අම්මත් එක්ක මාව හමුවන්න එන්න.’  


ඔහු රිහානා හට එසේ කීවේ ඒ වෙන විට ද ඇය ළමා වියේ සිටි බැවිනි.  


‘මගේ ගීත ඇල්බමයට මෙයා ඇමෙරිකාවට එක්ක යන්න වෙනවා. ගීත පටිගත කිරීම් පාසල් නිවාඩු කාලයේ දී විටින් විට කරමු.’  


ඇමෙරිකානු සංගීත ඇල්බම නිෂ්පාදකවරයා දෙවැනි හමුවේ දී එලෙසින් කීය. 'Music of the Sun' නමින් 2005 දී රිහානාගේ ප්‍රථම ගීත ඇල්බමය නිකුත් වූයේ ඉන් පසුවය. 'Pon dereplay' යනු ඇයගේ ප්‍රථම පටිගත කිරීම විය. රිහානා මේ නිසා කෙතරම් ජනප්‍රිය වී ද යත් එම වසරේදීම කාල් ස්ටර්කෙන් නිෂ්පාදකවරයා සමග තවත් ගීත ඇල්බමයකට ගිවිසුම් ලබා ගත්තාය.  


ලෝක සංගීත අඹරේ රිහානා සලකුණ  


ඉනික්බිතිව ඇයගේ ජීවිතය ගතවුණේ සංගීත දිවිය සමඟ පමණකි. ලෝක මහා සංගීත සාගරයේ හංසියක වී ඇය, ප්‍රේක්ෂකයින්. අසන්නන් පිනවමින් එහි පීනා ගියේ හැඩකාර ගමනක්මය. ග්‍රැමි සම්මානද, ලෝප්‍රකට සංගීත කරළියේ අනෙකුත් ප්‍රමුඛතාව සම්මාන ද ඇය ඉදිරියේ සනිටුහන් විණි. ජනතා සම්මාන ද, ප්‍රේක්ෂක ආදරය ද උන්මාදයක් වී ඇය කරා ළඟා වූවේය.  


‘රිහානා.... රිහානා....’ ප්‍රකෝටි සංඛ්‍යාත ප්‍රේක්ෂකාගාරය සුරූපී රිහානා ස්පර්ශ කළේ එලෙසිනි. මේ දක්වා පැමිණි ලෝක සංගීත ගමනේ දී ලෝක වාර්තා පවා තැබීමට ඇයට හැකිවිණි. සම්මාන පිට සම්මාන ලබමින් ගමනක් ආ ඇයගේ ගීත ඇල්බම ලොව පුරා මිලියන දහයකට වඩා අලෙවි විණි. මේ සියල්ල සමග ඇය අමතර අද‌ායමක් ඉපයුවේ වෙළෙඳ දැන්වීම්, අනුග්‍රාහක වැඩසටහන්, රඟපෑම් ආදී දේ නිසාය. එවැනි දේ නිසා උතුරා පිටාර ගලා යන තරමේ ධනස්කන්ධයක් ඇයගේ ගිණුමට බැරවිණි. ඇය මුදල් උපයන මැෂිමක්ම වූවාය.  


සංගීතය මත පමණක් නොසිට ව්‍යවසායාකත්වයට පැමිණීම  


සංගීත දිවිය වෙතින් මහා මුදල් කන්දරාවක් උපයමින් සිටිය ද රිහානා ඉන් නොනැවතී තමාගේ රත්තරන් නාමය, ජනප්‍රියත්වය ප්‍රයෝජනයට ගෙන ව්‍යවසායකත්වයට ඒමට තීරණය කළාය. ෆෙන්ටි බියුටි (Fenty Beauty) Fenty (විලාසිතා අලෙවි කණ්ඩායම සමග එක්වීම) වෙතින් ඇය ව්‍යාපාර ක්ෂේත්‍රයට පැමිණියේ ඇයගේම නිෂ්පාදන වෙතිනි. රූපලාවන්‍ය ක්ෂේත්‍රයට ඉතා අනර්ඝ නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට රිහානා පියවර ගත්තාය. ඒවා වෙතින් ඇය මහා ධනස්කන්ධයක් උපයමින් සිටින්නීය.  


සමාජ සේවයට එක්වීම


තුරුණු වියේ සිට ලෝක තරුවක වී මෙලෙසින් මුදල් උපයමින් සිටි රිහානා උපයන මුදල තමා පමණක් පොදි ගැසීම කළ යුතු නැතැයි විශ්වාස කළාය. 'Clara Lionel Foundation' නමින් සමාජ සත්කාර සඳහා පදනම පිහිටුවා ගත්තේ දුප්පතුන්, අසරණ වූවන් සඳහා සමාජ සත්කාරයේ යෙදීම වෙනුවෙනි. බටහිර පොප් තරු අතරින් සමාජ සේවය සඳහා වැඩිම මුදලක් පරිත්‍යාග කරන ප්‍රමුඛ ලෝක තරුවක් ලෙස වාර්තා සඳහන් කරන්නේ ඇයගේ නාමයයි. නිව්​ෙ‌යා්ර්ක් නුවර ජීවත්වෙන උදවු අවැසි ජනතාව වෙනුවෙන් ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළ ඇය ලොස් ඇන්ජලීස්හි වෙසෙන අපයෝජනයට සහ හිංසනයට පත්වී අසරණව සිටින ළමුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා මිලියන 2.1 ක් පමණ පරිත්‍යාග කළාය. තවත් මිලියන 5 ක පමණ මුදලක් සමාජයේ විවිධ සුබසාධන කටයුතු සඳහා වැයකර ඇති ඇය පවතින කොරෝනා වසංගතය මැඬලීම උදෙසා ඩොලර් මිලියන අටකට වඩා පරිත්‍යාග කර තිබේ. ලෝකයට එලෙසින් සලකන අතරේ රිහානා තම පවුලේ අයට සැලකීමට ද අමතක නොකළ හිත හොඳ ගැහැනියකි. එමෙන්ම දුටුවන් වශීකෘත කරවන සිරුරක් ඇති ඇය කැරිබියානු උරුමය අමතක නොකළ චරිතයකි.  


ගෘහස්ථ හිංසනය සහ ප්‍රචණ්ඩත්වය තරයේ ප්‍රතික්ෂේප කරන ඇය එවැනි දේ සමාජ මාධ්‍ය සහ ජංගම දුරකථන ඔස්සේ ප්‍රචාරය කරවීම ගැන ද ප්‍රසිද්ධියේ කනස්සල්ල පළකරන තැනැත්තියකි. ඇයගේ පෙම්වතකුව සිටි ගායක ක්‍රිස් බ්‍රවුන්ගේ පහර කෑම්වලට මුහුණ දීමට සිදුවීම ඇයට ගෙන දුන්නේ බලවත් පීඩනයකි. දැන් ඒ ප්‍රේමය ගිලිහී ගොසිනි. ඇය ගීත ගයන විට වේදිකාව දෙසට එක් එක් දේ එල්ල කිරීම ගැන ද ඇයට ඇත්තේ පිළිකුලකි. එක්තරා අවස්ථාවක එවැනි සිදුවීමක් නිසා ඇය ප්‍රසංගය අතරමග නවතා යන්නට ගියාය.  
බොබ්මාලේ හට පණමෙන් ආදරය කරන ඇය ඇයගේ මන්දිරයේ තැනෙක ඔහු හට වැඳුම් පිදුම් කරන ස්ථානයක් පවා නිමවා තිබේ. මවට දැඩි සේ ආදරය කරන ඇය ඥ‌ාතීන් සමග සහ පවුලේ උදවිය සමග වැඩි කාලයක් ගතකිරීමට මනාපය. බාබඩෝස්හි සුපිරි මන්දිරයක් තැනුවේ මිලියන 10 ක් වියදම් කරමින් මවට එහි ජීවත්වීමටය.  


‘ඇයි දුව ඔයා මහන්සිවෙලා හම්බ කරන සල්ලි නිරපරාදේ වියදම් කරන්නේ.’ අම්මා රිහානට කීවාය. ඒත් මිලියන ගණනකට වඩා සෙනෙහසට තමා ඇලුම් කරන බව රිහානා පවසන්නීය. ඩොලර් මිලියන ගණනකට ප්ලේබෝයි සඟරාව ඉදිරියේ අඩ නිරුවත් වීමට ඇරයුම් ලැබුණ ද ඇය ඒවා ප්‍රතික්ෂේප කළේ තමා නිරුවත් හෝ අඩු නිරුවත් වන්නේ තමාගේ නිෂ්පාදනවලට පමණක් වීම නිසාය. ඒ හැරත් ඇය එසේ යමක් කළොත් ඒ මුදල යොදන්නේ සමාජ සේවය උදෙසාය.  


වයස අවුරුදු 14 දී පමණ නිවස අතැර ලෝකයට ඉගිල්ලී ගිය රිහානා වයස අවුරුදු 32 පමණ වෙද්දී ගිය දුර සහ ජීවිතයට දුන් වටිනාකම හරි අපූරුයි නේද?

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ



අදහස් (0)

රූපලාවන්‍ය නිෂ්පාදනයෙන් ලෝකය ඇල්ලූ පොප් ගී රැජින

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 240 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2093 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site