IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දඩමසට ගිජුවූ සුගතන්ගේ අවසන් ගමන

ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මෙම විශේෂාංගය ඒ වෙනුවෙනි.

පාදුක්ක බෙලිඅත්තවිල කේ.කේ. පියරත්න මහතා ලියා එවූ කතාවකි.   

දඩමසට ගිජුවූ සුගතන්ගේ අවසන් ගමන

මෙයට දශක තුනකට පමණ ඉහත බස්නාහිර පළාතේ පිටිසරබද ගම්මානයක සිදුවූ සිද්ධියකි.   


නමින් සුගතන් වූ මොහුගේ රැකියාව වූයේ එකල තිබූ හැලි අරක්කු පෙරීමත් මස් සඳහා සතුන් දඩයම් කිරීමත්ය. මොහු මාංශ වලට ඉතාම ගිජු පුද්ගලයෙක් විය. මොහු විසින් එම හැලි අරක්කු පෙරා විකිණීමේ කටයුතු කරගෙන ගිය අතර ඒ සඳහා ගමේ සහ අනිකුත් ගම් වලින් මත් වතුරට ගිජුවූ අය මොහුගේ හැලි අරක්කු බීමට පැමිණියහ. මේ නිසා ගමේ පවුල්වල සංඩු සරුවල්ද නිතර දකින්නට ලැබිණි.   


මොහු පදිංචිව සිටින නිවස කිට්ටුව වනාන්තරයක් තිබූ අතර එහි වල් ඌරන්, හාවුන්, තලගොයි ආදී සතුන් දක්නට ලැබුණි. මොහු ඔවුන් ඇල්ලීම සඳහා දඩයමට හුරුකළ බල්ලන් කීපදෙනෙක්ද සිටියහ.   


ඔවුන් සාවුන් පසුපස පන්නා මරා මොහුට ගෙනවිත් දෙයි. සුගතන් විසින් වල් ඌරන් මැරීම සඳහා කැළයේ ලොකු වළවල් කපා වළට උඩින් වළ​ නොපෙනෙන සේ කැලෑ කොළ වලින් වසා දමයි. රාත්‍රී කාලයේ කෑම සොයා එන ඌරන් මොහු කපා තිබෙන වළවල් වලට වැටෙයි. ඉන්පසු දින මොහු ගොස් වළේ මරබියෙන් කෑගසන ඌරාට ලොකු ගල් උගේ ඔලුවට අතඅරියි.   


ඌරා මරහඬ දී කෑගසන අතර ඌරා මැරුණාට පසුව ගොඩට ගෙන පුලුස්සා මස්කර වැඩිපුර මස් මොහුගෙන් හැළි අරක්කු බීමට එන පුද්ගලයින්ට විකුණයි.   


මෙම මස් මාංශ ​මොහුගේ බිරිඳ රසට මොහුට උයාදෙයි. පසුව මාංශ රස විඳිමින් මොහු හැලි අරක්කු පානය කරයි. මොහු කිසි දිනක පසළොස්වක පෝයකටවත් ගමේ පන්සලට නොයන කෙනෙකි.   


දිනක් පන්සලේ දායක සභාව විසින් සුගතන් කරන මෙම හොරසුරා පෙරීමත් කැලේ අහිංසක සතුන් දඩයම් කිරීමත් පිළිබඳව නායක හාමුදුරුවන් වෙත පැමිණිලි කළ අතර ඒ අනුව පන්සලේ නායක හිමියන් විසින් සුගතන්ට පණිවිඩයක් යවා ඔහු විසින් කරන සතුන් මැරීම හා සුරා පෙරා විකිණීම හා ඔහු විසින් කරන ලද පලවිපාක පැහැදිලි කර දුන් නමුත් මොහු ඒවා පිළිනොගත්තේය.   


මෙසේ සතුන් දඩයම් කරමින් හැලි අරක්කු පෙරා විකුණමින් කල් ගෙවන සුගතන් දිනක් තමන් කපා තිබූ වළකට වැටුණු ඌරෙක් මරා මස්කර උයා මස් රස විඳිමින් තමන්ගේ යහලුවන් කීපදෙනෙක් සමඟ සුරා පානය කරන අතර ඔවුන්ගේ එක් අයෙක් සමග සුගතන් වචන හුවමාරුවක් ඇතිවිය. එතැනදී සුගතන් විසින් ඔහුට පා පහරක් එල්ල කළ අතර එම පා පහර වැදී ඔහු බිම පතිත විය. එසැනින් නැගීගත් ඔහු විසින් ඉනේ සඟවා සිටි උල්පිහිය සුගතන්ගේ ලය පසාරු කරගෙන යනසේ එල්ලකල අතර එම මාරක පිහි පහරින් සුගතන් ඔහුගේ ජීවිතයේ අවසන් ගමන් ගියේය. පිහිපහර එල්ලකළ වුන් පලාගිය අතර ටික වේලාවක් යන විට සුගතන්ට පිහියෙන් ඇන ඇති බව පළාතේම ආරංචි විය.   


ඉන් පසුව සුගතන්ගේ අවසන් කටයුතු පංසලේ නායක හාමුදුරුවන් ප්‍රමුඛව සිදුකළ අතර එහිදී පංසලේ නායක හාමුදුරුවන් අනුශාසනාවක් කරමින් සුගතන් යහමඟට ගැනීමට තමා විසින් දැනමුතුකම් දුන් නමුත් ඔහු ඒවා පිළිනොගත් බැවින් එහි පලවිපාක ඔහුටම විඳින්නට සිදුවී අකාලයේ වේදනා විඳ මරණයට පත්වූ බවත් සඳහන් කළ නායක හිමියන් අනෙකුත් ගමේ තරුණ වැඩිහිටියන් සුගතන්ට සිදුවූ මෙම අකාලයේ මිය යෑම සිතට ගෙන බුදු දහමට අනුව තමන්ගේ ජීවිතය හැඩගැස්විය යුතු බව සඳහන් කරමින් උපදේශයක්ද දුන් සේක.   


ගමේ වැඩිහිටියෙක් කියනු ඇසුනේ සුගතන් කළකම් ඔහුට පලදුන් බවයි.



සොබාදහමෙන් දුන් දඬුවම

(කේ.එච්.එම්. වීරසේකර මහතා ලියා එවූ කතාවක් මෙසේය)   

බින්තැන්න පත්තුවේ කුඩා ගම්මානයක විසූ ජයවර්ධන හේන් ගොවිතැනින් දිවි සරිකරගත් අයෙකි.   


ස්වභාව ධර්මයේ නියමයන්ට අනුව හේනේ කුඹුරේ වැඩ කිරීමට වඩා ඔහු කැමැත්තක් දැක්වූයේ දිවා රාත්‍රී වෙනසක් නොමැතිව වනාන්තරය තුළ ඇවිදිමින් වන සතුන් දඩයම් කිරීමටය.   


බෙහෙත් කොටන තුවක්කුව කරමතට ගෙන වෙඩි බෙහෙත් ඇතුළු අනික් උපකරණ සහිත මල්ල උරහිසේ එල්ලාගෙන තනිවම වනාන්තරයට ඇතුළුවන ජයවර්ධන ආපසු ගමට එන්නේ දින දෙක තුනකට පසුව වියළා සකස් කරගත් දඩමස් ගෝනියක් කර තබාගෙන බව ගම්වාසීහු පවසති.   


දඩයමේ යන අතරතුරදී හමුවන කුඩා ප්‍රමාණයේ සතුන් දඩයම් නොකළ ඔහු සෑම අවස්ථාවකදීම තුවක්කුවට එල්ල කරගත්තේ කුළු මීහරක් වීම දඩයමේ විශේෂත්වයකි.   


රැයක් දෙකක් වනාන්තරය තුළ ගතකරමින් කුළු මී හරක් රංචු ගැවසෙන දිය කඩවල් අසල රැක සිටිමින් හැඬි දැඩි පෘෂ්ඨිමත් මී ගවයෙකු රංචුවෙන් තෝරා වෙන් කරගෙන වෙඩිතබා මරා ගන්නා ජයවර්ධන එදිනම සතා මස්කර වියළා ගමට ගෙන ඒමටත්, රැගෙන ආ මස් ​ගෝනමස් බව කියමින් විකුණා හොඳ ආදායමක් ලබාගැනීමටත් පුරුදුව සිටියේය.   


දින කීපයක් වනාන්තරය තුළ ඇවිද විශාල මී ගවයෙකු මරා ගැනීමෙන් මාසයකට දෙකකට පවුලේ විය හියදම් සඳහා වැඩි මුදලක් උපයා ගැනීමට හැකිවීම නිසා ජයවර්ධන මෙම දඩයමට වඩා කැමැත්තක් දැක්වීය.   
දින දෙ​ක තුනකට සරිලන ආහාර ද්‍රව්‍ය, තුවක්කුවට අවශ්‍ය වෙඩි බෙහෙත් මූනිස්සම් රැගත් ජයවර්ධන එදින නිවසින් පිටත්වූයේ සුපුරුදු මී ගව දඩයමේ යාමටය.   


උදේ කාලයේ නිවසින් පිටත්වූ ජයවර්ධන කුළු මී ගව රංචු සැරිසරන ඉසව් වල දිය කඩවල් සොයායමින් සිතට සරිලන ප්‍රමාණයේ මී ගවයෙකු පිළිබඳ සොයා බැලුවේය.   


සොයා බැලීමෙන් පසු සතුන් බහුල ලෙස ගැවසෙන දිය මංකඩක් අසල පිහිටි කඳු ගැටයකට ගොඩවූයේ එදින රාත්‍රිය ගතකර පසුදින තම දඩයම කිරීමේ අරමුණු ඇතිවය.   


පසුදින මධ්‍යහනය වෙන විට මී ගව රංචු දාහය නිවා ගැනීමට වැතිර සිටින දිය මංකඩ අසලට ගිය ජයවර්ධන මඩ වළේ ලැග සිටි මී ගවයින් අතරින් හැඩි දැඩි පෘෂ්ඨිමත් මී ගවයා තෝරාගෙන ඔහු ඉලක්ක කර වෙඩි තැබුවේය.   


වෙඩි හඬින් බියපත්වූ දිය මංකඩේ ලඟ සිටි මී ගව රංචුව වනාන්තරය බිඳගෙන දිවගිය අතර වෙඩි වැදුන මී ගවයා මරහඬ දෙමින් දියවළ තුළ වැටී දඟලන අයුරු බලාසිටි ජයවර්ධන සැඟවී සිටි ස්ථානයෙන් ඉවත් වූයේ තුවක්කුවට තවත් වෙඩිල්ලක් සවිකර ගැනීමේ අදහසිනි.   


මරු විකාරයෙන් කෑ මොරදෙමින් මද වේලාවක් දැඟලූ වෙඩි කෑ මී ගවයා වැටී සිටි තැනින් නැගිට වනාන්තරය බිඳගෙන දිවගියේ හාත්පස රුධිරය වගුරවමිනි.   


තුවක්කුවට තවත් වෙඩිල්ලක් සවිකරගත් ජයවර්ධන රුධිරය වගුරවමින් වනාන්තරය තුළට පලාගිය මී ගවයා සෙවීම එතැන් සිට ආරම්භ කළේය.   


ගස් පඳුරු මත තැවරී ඇති රුධිරය සොයමින් වනාන්තරය තුළ ගමනක යෙදෙන ජයවර්ධනගේ සිහියට එන්නේ වෙඩිපහර කා මියගොස් වැටී සිටින මී ගවයාගේ සිරුරත්, එම සිරුර තුළ ඇති මස් තොගයත්, ඒවා විකුණාගැනීමෙන් ලබාගන්නා මුදලත් පමණකි.   


ගස් ගල් වලට මුවා වෙමින් මී ගව රුධිරය ඉව අල්ලමින් සැරිසරන ජයවර්ධනට නොදැනෙන ලෙස පැමිණි මී ගවයාත් ජයවර්ධනත් මුහුණට මුහුණ හමුවූයේ ගස් ගොම්මනක් අවසානයේදීය.   


මඳ වේලාවක් ජයවර්ධන දෙස බලා සිටි වෙඩි කෑ මී ගවයා විදුලියක් ලෙස ඉදිරියට දිවවිත් ගැසූ අං පහරින් ජයවර්ධන ඉළුක් තලාව තුළට පෙරළී ගියේය.   


තම කුස පෙදෙසින් ගලා යන රුධිරයත්, මී ගවයාගේ අං පහරින් දෙපලුවූ කුස තුළින් එළියට ඇදී තිබුණ බඩවැල් ගුලියත් දුටු ජයවර්ධන සිහිසුන් විය.   


මද වේලාවකින් සිහි එලවාගත් ජයවර්ධන එළියට ඇදීවිත් තිබුණ බඩවැල් ගුලිය නැවත කුසතුළට ඇතුළුකර ඇඳ සිටි සරමෙන් තීරුවක් ඉරාගෙන සිරුර වටා ඔතාගෙන අසල තිබූ ගල්තලාවේ වැතිරුණේය.   
වෙඩි පහර වැදී තමාට මරු පහර එල්ල කල මී ගවයාද පෙනෙන දුරින් වැටී ගෝරනාඩු දෙමින් මරු විකාරයෙන් දඟලන අන්දම අව සිහියෙන් සිටි ජයවර්ධනට පෙනුණි.   


දින කීපයක්ම නොපැමිණි බැවින් දඩයමේ ගිය ජයවර්ධන සෙවීමට වනාන්තරය තුළට ගිය ගම්වාසීන් පිරිසකට සරම් කැබැල්ලකින් කුස ඔතාගත් ලේ විලක් මැද මැරී සිටි වන සතුන්ගේ ආහාරයට ලක්වී කුණුවෙමින් තිබුණ ජයවර්ධනගේ සිරුරත් ඒ ආසන්නයේම වෙඩි කෑ විශාල මී ගවයෙකුගේ සිරුරත් කුණුවෙමින් තිබී හමුවිය.   


ඒ වෙනවිට ප්‍රදේශයේ පැවති වාතාවරණය අනුව මියගිය ජයවර්ධනගේ සිරුර ගමට ගෙන ඒමට ඥාාතීන්ට හැකියාවක් නොමැති වූ බැවින් මරණයේ පරීක්ෂණ වනාන්තරය තුළදීම අවසන් කර වනාන්තරය තුළම සිරුර මිහිදන් කළ බව ගම්වාසීහු පවසති.

 

 

 

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

දඩමසට ගිජුවූ සුගතන්ගේ අවසන් ගමන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site