ලපළු අගින් පිනි පබළු කඳුළු සලලා සුසුම් පවන් කෑ ගසා ඔබට කියනා....

  • ගීතය මුලින්ම ගයන්නේ ජපුර සරසවියේ වීරසූරිය උපහාර උළෙලෙදි
  • අසූ හයේ කැම්පස් ගියාට 88 වෙනතුරුම හිටියේ පළමු වසරේ
  • අවුරුදු එකහමාරක් විතර වහලා තිබුණු සරසවිය නැවත විවෘත කරද්දි එකට හිටිය යාළුවො භීෂණයෙන් මරා දමලා
  • ගීතය සංගිතවත් කළේ සුනිල් පුෂ්පකුමාර. සරසවියෙන් පිටවූ පසු මට කවදාවත් හමුවුණේ නෑ.

 

ශ්‍රී ලාංකේය සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනැගී ඇත්තේ ඔවුන්ටම පොදු වූ අනන්‍යතා මතය. අතීතයේ පටන් වර්තමානය දක්වා තම අයිතිවාසිකම් වෙනුවෙන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට පෙනී සිටීමට සිදු වූයේ කාලයෙන් කාලයට වෙනස්වූ ආණ්ඩු මාරු තුළින් නිදහස් අධ්‍යාපනයට සිදුවූ නොයෙක්විද අකටයුතුකම් හමුවේය. මේ හේතුවෙන් අව් වැසි නොතකා මහ පාරවල කෑගසමින්, කඳුළු ගෑස්, බැට්න් පොලු‍ පහරවලට මුහුණදෙමින් තම ජීවිතවලින් පවා වන්දි ගෙවූ සිසු සිසුවියෝ අප්‍රමාණය. ඇතැම් දෑ ඉතිහාසට එක්වූවත් සරසවි සිසු සිසුවියන්ගේ බොහෝ ගැටලු‍ සදාතනිකය.

කාලයෙන් කාලයට නොයෙක්විද ප්‍රශ්න හමුවේ විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දුන්නද අතීතයේ පටන් අද දක්වාද එහි සෞන්දර්යාත්මක රසයෙහි අඩුවක් නොවීම තුළ බිහිවූ නිර්මාණකරුවන් හා නිර්මාණ රටක කලාව, සංස්කෘතිය තුළ නව නැම්මක් ඇති කළ බවද නොරහසකි. විශ්ව විද්‍යාලයක් තුළ එසේ සිදුවන යම් කලා කටයුත්තදී මෙන්ම පොදු කටයුත්තදී නිරන්තරයෙන් ගැයෙන, අසා සිටින ශ්‍රාවකයන්ගේ ඇසග කඳුළක් නැගෙන “සිසු විරු ගීතය” පොදු ජන හද තුළ ඇති කරන සංවේගය වචනවලට හැරවිය නොහැක්කේ ඒ තුළ ගැබ්වී ඇති පරම සත්‍යය නිසාවෙනි.

වර්තමානය වනවිට බොහෝ විශ්වවිද්‍යාලයන්හි සිසු විරු ගීතය ගායනයට ලක් වූවත් එම ගිතයේ අයිතිකරුවා කවුරුන්දැයි බොහෝ දෙනකු නොදන්නා කාරණාවකි.

ඔහු තිලක් පුෂ්ප කුමාරය. අසන වාරයක් පාසා ඔබේ ඇසට කඳුළක් නංවන ගීතයේ පද රචකයා ඔහුය. මේ ඔහුගේ කතාවය.

මතුගම වලල්ලාවිට සුන්දර ග්‍රාමයේ උපන් තිලක් පුෂ්පකුමාර සහෝදර සහෝදරියන් අට දෙනකුගේ පවුලේ වැඩිමලා වන්නේ සුව පහසු ජීවිතයක් අතමිට මොළවාගෙන නොවේ. මවගේත් පියාගේත් ආදරය රැකවරණය ද උපතින්ම රැගෙන ආ කලා හැකියාවන් සමග ජීවිතය අරඹන ඔහු උසස් පෙළ සමත්වන්නේද තම ගමේ පාසල වූ වලල්ලාවිට මහා විදුහලෙනි.

“‘වලල්ලාවිට ඉස්කෝලෙ කන්දක් උඩ තියෙන ලස්සන පොඩි පාසලක්. මම කොහොමත් පාසල් කාලෙ ඉඳන්ම ගීත, කවි ලියන්න කැමතියි. මම එහෙම පාසල් යන කාලෙ ලියපු සිංදුවක් මට අහන්න ලැබෙන්නෙ විශ්ව විද්‍යාලයට ගියාට පස්සෙ. ඒ ගීතය තමයි මාලනී බුලත්සිංහල හා අමරසිරි පීරිස් ගයන “රෝස මලට දුක හිතෙන්න මලේ සුවඳ මට ලැබෙන්න” ගීතය. මම ගීත රචකයකු වෙන්නෙ පාසල් කාලෙමයි. හැබැයි පසු කාලෙක අපේ කලා හැකියාවන් ඔප් නැංවෙන්නෙ විශ්වවිද්‍යාලයෙන්.”

උසස් පෙළින් පසුව තිලක් තේරී පත් වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටය. ඒ හරියටම 86 - 87 කණ්ඩායම ලෙසිනි. මේ කාලය තුළ රටේ පැවැතියේ දරුණුතම වාතාවරණයකි. ඒ කාලය තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් වුවද තිලක් කුමන බාධක පැමිණයත් තම අධ්‍යාපන කටයුතු නවත්වන්නේ නැත.

“86 -87 කණ්ඩායම ලෙස අපි බඳවගත්තට පස්සෙ තවත් කණ්ඩායම් දෙකක් එකට ගන්නවා. ඒ වුණත් විශ්වවිද්‍යාලය දිගටම වහනවා ඒ කාලෙ. අපි 86 අවුරුද්දෙ ගියාට 88 වෙකම්ම පළමු වසරේ. ඒකත් ඉවර නෑ ප්‍රශ්න නිසා.මෙහෙම ඉන්න අතරේ කැම්පස් එක වැහුවා. හරියටම අවුරුදු එකහමාරක් විතර. අපි ඉතින් ගෙදර ආවා. හැබැයි ඇවිල්ලා වනගත වෙලා තමයි හිටියෙ. අපි හත්දෙනෙක් හිටියා එකට. මාත් එක්ක එකට විශ්ව විද්‍යාලයට ගිය අපේ ඉස්සර ගෙදර එදිරිසිංහ සහෝදරයාත් ඒ අතර සිටියා.”

“මෙවන් වූ අති දුෂ්කර කාල පරිච්ඡේදයක් තම හිරිමල් යොවුන් වියේ ගෙවා දැමුවේ තිලක් පමණක් නොවේ. මේ කාල සීමාව තුළ රටේ බොහෝ තරුණ තරුණීයන් තම ජීවිතය ​ෙබ්රා ගත්තේ කැලෑවල, හේන්වල රාත්‍රීන් ගත කරමිනි. තැන්තැන්වල ටයර් සෑ දැවෙමින් විනාශ වූ තරුණ ජීවිත අද දවසේ මතක සටහනක් බවට පත්වී ඇති අතර, එසේ ජීවිත අහිමි වූ තරුණ තරුණියන්ගේ සමීපතමයෝ අද දවසේද සුසුම්ලති.

“‘විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගත්තට පස්සෙ සමාජය ගොඩක් වෙනස් වුණා. බොහෝ දෙනා සමාජයට බැස්සා. අපිත් නැවත විශ්ව විද්‍යාලයට ගියා. ඒත් මගේ හිතේ කියාගන්න බැරිතරම් කනගාටුවකුත් තිබුණා. මොකද ඒ වෙද්දි මාත් එක්ක කැලේ හිටිය අනෙක් හය දෙනාටම ජීවිතය අහිමි වෙලා තිබුණෙ. ඇත්තටම මම හුදෙකලා වුණා. අපිත් එක්ක එකට ඉඳලා පිටවෙලා ගිය යහළු යෙහෙළියො නැවත විශ්වවිද්‍යාලය පටන් ගනිද්දි නැහැ. ඔවුන්ට ජීවිතය අහිමිවෙලා. ඒ හුදෙකලාව හිතට පුදුම විදියට දැණුනා.”

“ඒ හේතුව නිසාමයි මහා ශිෂ‍්‍ය සංගමය තීරණය කරන්නේ 1976 නොවැම්බර් 12 දා පේරාදෙණි සරසවි භූමිය තුළ පැවති ශිෂ්‍ය අරගලයකදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ රෝහණ වීරසූරිය නමින් උපහාර උත්සවයක් කරන්න. ඔහු තමයි අපේ රටේ විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය ප්‍රථම සරසවි සිසුවා.”

තිලක් පුෂ්පකුමාර අතින් “ලපළු අගින් පිනි පබළු කඳුළු සලලා” සිසු විරු ගීතය ලියැවෙන්නේ ඒ උපහාර උළෙල වෙනුවෙනි. ඒ උපහාර ගීතයට මනරම් තනුවක් යොදා සංගිතය නිර්මාණය කරන්නේ එකල ජයවර්ධනපුර සරසවියේම ජ්‍යෙෂ්ඨ සිසුවකු වූ සුනිල් පුෂ්පකුමාරය. එම ගීතය ප්‍රථම වරට ගායනා කරන්නේ ජයවර්ධනපුර සරසවියේ සිසු සිසුවියෝය.

“‘ඇත්තටම මේ ගීතය මගේ ජීවිතයේ සදා මතකයක්. 90 දශකයේදි තමයි මේ ගීතය නිර්මාණය වෙන්නෙ. එදා මේ ගිතයේ තනුව මතක තියාගෙන කටින් කට ගැයුවත් 2000 දි වගේ තමයි පටිගත වෙලා තියෙන්නෙ. ඒ කර්තව්‍යට මැදිහත් වෙලා තිබුණෙ ජයවර්ධනපුර සරසවියෙම මල්ලි කෙනෙක්. ඒ කවුද කියන්න මමවත් දන්නේ නැහැ. හැබැයි මුල් තනුවට හානි නොකර මේ ගිතය පටිගත කර තිබීම විශේෂයි.අද ඇහෙන්නෙත් සුනිල් පුෂ්පකුමාරගෙ තනුවමයි.”

මෙම විරු සිසු ගීතය ජයවර්ධනපුර සරසවියේ විවිධ අවස්ථාවන්හි දී වරින්වර ගායනා වුවද ඉන්පසු වැඩිපුරම ඇසුණේ රුහුණු සරසවියේ ය. එයද ගීතය නිර්මාණය වී වසර 10ක් 12ක් ගතවූ පසුය. නමුත් අදවනවිට ලංකාවේ සියලූම විශ්වවිද්‍යාලයන්හි විවිධ අවස්ථාවන්හිදි මෙම විරු සිසු ගිතය ගැයෙන අතර, පසුගියදා යාපනය විශ්‍වවිද්‍යාල සිසු සිසුවියෝද මෙම ගිතය ගායනා කර තිබුණි.

“‘මේ කාලය වෙද්දි ජපුරෙ සරසවියෙ සාහිත්‍ය කලා කටයුතුවලට කවුරුවත් අත තියලා තිබුණෙ නැහැ. මට සරසවියේදි මේ වැඩකටයුතුවලට හයියට ඉන්න හොඳ සහෝදරයෙක් මුණ ගැසුණා. ඒ තමයි ජගත් ගාමිණී මාවතගම. අපි ඇතිකරපු ඒ කලාව සාහිත්‍යමය වැඩවල ප්‍රතිඵලයෙන් තමයි “වේදිකාෙවන් මහපොළවට” කෙටි නාට්‍ය උළෙල බිහිවුණේ. එහි තේමා ගිතය ලියුවෙත් මම. ඇත්තටම අපි ගමේ පාසලවලින් ආවත් ජපුරෙදි අපිට හොඳ තැනක් ලැබුණා. විශේෂයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න වන් ගුරුවරුන් මුණගැසීම අපේ ජීවිතවලට ලොකු හැරවුම් ලක්ෂයක් වුණා.”

මේ කාලය තුළ තිලක් පුෂ්පකුමාරත් ජගත් ගාමිණී මාවතගමත් එකතු වී ජයවර්ධනපුර සරසවිය තුළ දියත් කළ විරු සමරු ප්‍රසංගය සදා නොමියෙන මතකයකි. එහි සියලු‍ම ගීත රචනා කරනලද්දේ තිලක් සහ ජගත් ගාමිණී.ය. ඒ ගීත අතරේ ප්‍රධානම ගීතය වූයේද සිසු විරු ගීතයයි. මේ සියලු‍ම ගිත සඳහා අපේ රටේ ප්‍රවීණතම සංගීතඥයන් තනු නිර්මාණය කරදී ඇති අතර, මෙම ප්‍රසංගයේ ගීත වැඩි ප්‍රමාණයකට සංගිතය සපයා සංගිත මෙහෙයවීම සිදුකරන ලද්දේ විශාරද සුදත් සමරසිංහ ය. ජපුර සරසවිය ඉදිරිපිට ඇති විරු සිසු ස්මාරකය ඉදිවූයේද මේ කාල සිමාවේය.

ලපළු අගින් පිනි පබළු කඳුළු සලලා
සුසුම් පවන් කෑ ගසා ඔබට කියනා
නිරුවත් දන විස හි සර පහර වැදී
මලගිය මලිගිය මානව කැකුල
කතාව අහපන් සිත නිරුවත් කර
කතාව අහපන්නේ....

අයුක්තියේ පට පිළී බරණ ඇඳි
සිඟාලයන් නිරුවත් කළ වරදට
දේශන ශාලා... සිර කඳවුරු කර
අසත්‍යයේ මළගම සරසන්නට
නුඹගේ මළගම සඳකඩපහණකි...

එදා ඔබේ මුදු වතින් ගලාගිය
රුහිරු සුවඳ පැන් ලෙසින් දොවාගෙන
සිංහ නාද දී... ගිජිඳු නසන්නට
ඔබේම මාවත පියමැන යන්නට
සුවහස් මල් තව සරසවි බිම ඇත...

“විරු සමරු ප්‍රසංගය පැවැත්වෙද්දි ඒක බලන්න ඇවිත් සිටියා මැදිවියේ දෙන්නෙක්. සරසවි ළමයි අතරේ ඒ දෙන්නා කැපී පෙණුනා.ඉස්සරහම තමයි වාඩිවෙලා හිටියේ. ප්‍රසංගය ඉවරවුණාම ඒ දෙන්නා ඇවිත් මගෙයි ජගත්ගෙයි අත්වලින් අල්ලගත්තා. ඒ දෙන්නා 71 කැරැල්ල වෙලාවෙ යාපනේ බන්ධනාගාරේ හිටපු දෙන්නෙක් කිවවා. නිදහස් වෙලා ඇවිත් ව්‍යාපාරයක්‍් කරගෙන ඉන්‍නවා කිව්වා. මේ වගේ ප්‍රසංගයක්‍ තියෙනවා කියලා දැනගත් නිසා තමයි ඇවිත් තියෙන්නෙ.ඒ දේවල් අද සිහිවෙද්දි පුදුමත් හිතෙනවා.”

තිලක් පුෂ්පකුමාරලා ගේ සවියෙන් ජපුර සරසවියේ ඇතිවූ සාහිත්‍ය ප්‍රබෝධය මෙතෙකැයි කියා කිව නොහැකි වන්නේ කාලයෙන් කාලයට බිහිවූ එක් එක් පරම්පරා විසින් ඒ දෑ ඉදිරියට රැගෙන ගොස් ඇති බැවිණි. ඒ තුළින් බිහිවූ විශිෂ්ට නිර්මාණකරුවන් අද දවසේද සාහිත්‍ය කලා ක්ෂේත්‍රය තුළ පවතින්නේ තිලක්ලා පෙන්වූ මඟ නිවැරදියැයි ලෝකයටම පෙන්වාදෙමිණි.

“‘මම ලියපු ගීත එකතුවක් “ස්වර රිද්ම” නමිනුත් ප්‍රසංගයක් කළා 1992දි විතර විශ්වවිද්‍යාලයේම. අපේ ළමයි දාලා ගායනා කළේ. ඒ ගීතවලට සංගීතය සැපයුවෙත් සිසු විරූ ගීතයේ සංගීතය කළ සුනිල් පුෂ්ප කුමාරමයි. ඔහු ගොඩක් උදව් කළා මගේ නිර්මාණ දිවියට. ඒත් මට ඔහු ඊට පසුව නැවත මුණගැසුණේ නැහැ. ඒ කාලෙ මේ වැඩවලට උදව් කළේ අපේ පහළ කණ්ඩායම්වල සිටි වසන්ත දුක්ගන්නාරාළ, නිලාර්.එන්. කාසිම්, මහින්ද කුමාර දළුපොත වගේ අය. ඒ වෙද්දි ජපුරෙ එළිමහන් රඟහල වහලා තිබුණේ මේ ප්‍රසංගවලට තමයි ඒක නැවත විවෘත වුණේ.”

තිලක් පුෂ්පකුමාරගේ පන්හිඳෙන් ලියැවී ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් බිහිවූ සිසු විරු ගිතය මේවනවිට අපේ රටේ සෑම සරසවි බිමකම ගැයෙන මොහොතේ හුන් තැනින් නැගිට ගයන්නට සෑම පාර්ශ්වයක්ම පෙළඹී ඇත්තේ, තවත් පරපුරකට නව මං තනන්නට දිවි දුන් සිසු විරුවන්ට උපහාරයක් වනු පිණිසය. ඒ ගෞරවය තිලක්ට මෙන්ම එම ගීතය සංගිතවත් කළ සුනිල්ට ද ගැයු සරසවි සොයුරු සොයුරියන්ට ද හිමිවිය යුතුව ඇත.

සරසවිය තුළ සාහිත්‍යයෙන් කලාවෙන් සුවිසාල මෙහෙවරක් කළ තිලක් පුෂ්පකුමාර අද දවසේ සිය ජීවිතය ගෙවා දමන්නේ ද තවත් සුවහසක් දරු පරපුරක් වෙනුවෙනි.

“මම ගුරුවරයෙක් ලෙස අවුරුදු 32 ක් පිරිවෙනක ඉගැන්නුවා. මගේ බිරිය නීතිඥවරියක්. මට ඉන්නෙ දුවලම තුන් දෙනෙක්. ලොකු දුව වෛද්‍ය ශිෂ්‍යාවක්. අනෙක් දෙන්නා උසස් පෙළ ලියලා ඉන්නෙ. විශ්‍රාම ගියත් මම දරුවන්ට උගන්වන එක අතහැරලා නැහැ. ඒක තමයි ජීවිතයේ ලබන සතුට.”

සුජිත් ප්‍රසංග