IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා විභාගය ඉහළින්ම සමත්වූ මිත්තනිය

 

 

“වයස අවුරුදු 94ක අම්මා කෙනෙක් විභාගයක් ලියලා එයා ඒක ඉහළින්ම පාස් වෙලාලු. දැන් එයා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති විභාගයට සූදානම් වෙනවාලු.” 


එය සමාජයට පුදුම දනවන පුවතක් විය.


එය මිනිසුන්ගේ සිහිනවලට නොව ජීවිතවලට එකතුකරගත යුතු ධෛර්යය හා කැපවීම පිළිබඳ පාඩමක් කියා දෙන උත්සාහවන්ත දිරිය මවකගේ කතාවකි.


ඇය විතානගේ ඇස්ලින් ලීලාවතී ධර්මරත්නයි. සිවුදරු මවක් වන ඇය මේ දිනවල නාවලපිටිය පල්ලේගම පත්තුනුපිටිය ප්‍රදේශයේ ඇගේ තුන්වැනි දියණියගේ නිවසේ වාසය කරන්නීය.


1928 පෙබරවාරි 15 වැනි දින හොරණ මිල්ලෑවේ උපන් ඇයට මුළු ජීවිත කාලයම අභියෝගයක් විය. නමුත් ඇය එම අභියෝග එකින් එක ජයගෙන ඇත්තේ ඇගේ මෙම උත්සාහය හා කැපවීම නිසාය.
“මම කුඩා කාලයේ මිල්ලෑව ගමේ පාසල් ගියා. පසුව විභාග සමත් වෙලා ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට ටික කලක් සේවය කළා. මට තව නංගිලා දෙන්නෙක් හිටියා. අද ඒ අය ජීවතුන් අතර නෑ. ඉතිං මට ලොකු ආශාවක් තිබුණා නීතිඥවරියක් වෙන්න. මම නොතාරිස් විභාගයට පෙනී ඉඳලා ලංකාවෙන්ම පළමු වැනියා විදිහට සමත් වුණා. 1962 වසරේදී නොතාරිස්වරුන්ගේ සම්මේලනයට ගිය වෙලාවේ මගේ මහත්තයා මුණ ගැහුණා. ඒ සම්මේලනයේ හිටපු එකම කාන්තාව මමයි. 1963 වසරේදී අපි විවාහ වුණා. ඉන්පස්සේ නීතිඥවරියක් වෙන්න නීතිය ඉගෙන ගත්තා. 1970 වසරේදී නීති විභාගය ලියන්න ඉන්න අතරේ හදිසියේම මගේ මහත්තයා මිය ගියා. ඒ වෙනකොට අපට දරුවෝ හතර දෙනෙක් ලැබිලා හිටියා. හතර දෙනාම ගැහැනු ළමයි. සැමියාගේ මේ හදිසි වියෝවෙන් මගේ ජීවිතය කඩා වැටුණා. නීති විභාගය පැත්තක තියලා මම මගේ දරුවෝ ගැන බැලුවා. මම නොතාරිස් කෙනෙක් විදිහට දිගටම වැඩ කරමින් දරුවෝ හතර දෙනාට ඉගැන්නුවා.
1971 වසරේදී කැරැල්ලක් ආවා. ඒකෙදී දෙමාපියන්ට දරුවෝ රැක ගන්න මහත් වෙහෙසක් ගන්න සිදු වුණා. විශේෂයෙන් ගැහැනු දරුවන් සමඟ තනිවම හිටිය මට ධෛර්යයෙන් මේ කාරණයේදී නැගී සිටීමට සිදු වුණා. මම ළමයින්ට හැම වෙලාවෙම කීවේ අපට අනාගතයක් තියෙන්නේ ඔය ළමයි හොඳට ඉගෙන ගත්තොත් විතරයි කියලා.”


ලීලාවතී අම්මා ජීවිතයේ පටන් ගැන්ම විස්තර කළේ එසේය.

 

 වසර 65ක් පැරණි මැෂිමෙන් රෙදි මහන 94 හැවිරිදි ලීලාවතී මාතාව

 

 

අභියෝග හමුවේ දිරියෙන් ජීවිතයට මුහුණදී දිවි මග ජය ගත් ඇය තම දරුවන් සිවු දෙනාම උපාධිධාරීන් කළේය. අද ඇයගේ වැඩිමහල් දියණිය ධම්මිකා ජයලත් බස්නාහිර පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරියයි. දෙවැන්නා සමුද්‍රා ජයලත් වෘත්තියෙන් ඉංජිනේරුවරියක වන අතර ඇය ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක ලෙස සේවය කරයි. පවුලේ තෙවැන්නිය ඉන්දුනීලා ජයලත්ය. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා පාසල් සේවයකොට අද සේවය කරන්නේ පත්තුනුපිටිය විද්‍යාලයේය. නීතිඥවරියක හා වැඩ බලන මහේස්ත්‍රාත්වරියක වන මනෝහාරි ජයලත් පවුලේ සිවුවැන්නාය.
ඇය මෙසේ දරුවන් හදා ජීවිතයේ සැඳෑ සමයට පත්වන විට ඇයට ඇගේ නොනිමි ආශාව වන අධ්‍යාපන පිපාසාව දරා ගැනීමට නොහැකි වී ඇත. 1970 වසරේදී අධ්‍යාපනයට තිත තබා තිබූ ඇය යළි වසර 50කට පසු එම ඉලක්කය ජය ගැනීමට ඉටා ගත්තාය.


ජීවිතයේ බොහෝ දුක් කම් කටොලු විඳ ඇති මේ අම්මා, බුදු දහම මැනවින් හදාරා ඇති කෙනෙකි. ඒ අනුව ඒ මග යමින් ඇය විද්‍යෝදය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මගින් පවත්වනු ලබන ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට මුහුණ දීමට සුදානම් වූවාය.


ඇයටම වෙන්වූ දින චරියාවට අනුව අලුයම තුනට අවදිව පිළිපැදිය යුතු බණ දහම් වඩා ඉන්පසු පොතපත පරිශීලනය කළේ තරුණ විද්‍යාර්ථියෙක් ලෙසිනි. ඒ අනුව පසුගිය පෙබරවාරි මස 6 වැනි දින මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී අදාළ විභාගයට පෙනී සිටියේ ඇගේ තුන්වැනි දරුවාද සමග ගොසිනි.
දැන් මෙහි ප්‍රතිඵල පැමිණ ඇත. ඒ අනුව මෙම විභාගයේ ප්‍රථම, මධ්‍යම හා අවසාන යන පරීක්ෂණවලින් ඇය විශිෂ්ට ලෙස සමත්ව ඇත්තේ ගෞරව සාමාර්ථ සමගිනි.


මෙම අවස්ථාව ඇයට හා ඇගේ දරුවන්ට හිමිවූ ගෞරවයක් පමණක් නොවන්නේ එය මේ රටේ සිදුවූ ප්‍රථම අවස්ථාව වීමය. ඇගේ දියණිය වන ඉන්දු ජයලත් මහත්මිය පවසන්නේ මෙහි ලෝක ශ්‍රේණිගත වීම සොයා බැලීමේදී වයෝවෘද්ධ

ව සිටියදී පිළිගත් විභාගයකට පෙනීසිට සමත්වූ පුද්ගලයන් අතර තම මව මුල් පස් දෙනා අතර සිටින බවයි.
මේ ප්‍රතිඵලය අනුව ලීලාවතී මාතාවගේ මීළඟ ඉලක්කය වී ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි භාෂා ශාස්ත්‍රපති (එම්.ඒ.) විභාගය සඳහා සූදානම් වීමයි.

 

 ඇගේ පරම්පරා 3ක දරුවන්ගෙන් කොටසක්.

 


94 වියට එළඹ තිබුණද ඇය අදටත් පොත්පත් බැලීම මෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම සිදු කරනුයේ උපැස් යුවල හෝ නොපැලඳවය. එසේම ඇගේ දෙසවන් හොඳින් ඇසීම, දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් හෝ වෙනත් කිසිදු රෝගයක් නොවීම, අතපය වෙවුලීම හෝ ස්නායු දුර්වලතා නොවීම ඇගේ වාසනාව කියාපාන්නක් බඳුය.


වයෝවෘද්ධ වුවත් ලීලාවතී මාතාව අදටත් මැහුම් ගෙතුම් පමණක් නොව පොල් කොලෙන්, තල් කොලෙන් හට්ටි පෙට්ටි විවීම, විසිතුරු මල් සැකසීම සිදු කරන්නේ පරිසරය ගැන පාඩම්ද කියා දෙමිනි.
ඇයගේ මහන මැෂිමට වසර 65ක් බව පැවසූ ඇය, එය එවකට රුපියල් 1600කට ගත් බව පවසයි. අදටත් ඇයගේ සියලු ඇඳුම් හා දරු මුණුපුරන්ගේ ඇඳුම් මෙයින් මසා දීම ඇය සිදුකරයි.


මිය යාමට ප්‍රථම ඇයගේ එකම අධිෂ්ඨානය වන්නේ ශාස්ත්‍රපති උපාධිය ගැනීම බව ඇය පවසන්නේ නිහතමානීවය.


ඇගේ උපාධිධාරී දූවරු සිවුදෙනාගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේද තම මවගේ ආශාව ඉටුකිරීමට සහාය දීම බව ඉන්දු නීලා දියණිය පවසන්නීය.

 

 

විස්තර හා ඡායාරූප: ගම්පොල 
සුරංග රාජනායක

 



අදහස් (0)

ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා විභාගය ඉහළින්ම සමත්වූ මිත්තනිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1098 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site