IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අසරණ වූ අම්මාට ජීවත්වෙන්න නිවසක් හදන හිමිවරු

 

 

නායයෑම හේතුවෙන් උන්හිටි තැන් අහිමි වූ අම්මා කෙනෙකුට කුඩා කාමර දෙකක් සාදා ගැනීමට වෙහෙසෙන සහෝදර හිමිවරුන් දෙනමක් සීගිරියේ වෙසෙති.   


සීගිරිය නාගල වැව ප්‍රදේශයේ සිරි නදී විවේක සේනාසනයේ වැඩ හිඳින මොරවක සුමනවංස හිමියන් සහ මොරවක පියනන්ද හිමියන් එක කුසේ උපන් සහෝදරයෝ වෙති. වයස අවුරුදු දාහතරේදී සහ වයස අවුරුදු නවයේදී මෙම දෙදෙනා මවුපියන් අතහැර මහණ දම් පුරන්නට වූහ. මොරවක ප්‍රදේශයේ පදිංචිව සිටී උන්වහන්සේලා කුඩා අවධියේදී සිරි නදී විවේක සේනාසනයේ විහාරාධිපති විහාරහේනේ ධම්මවංශ හිමියන් මගින් මෙම සෙනසුන හි පැවිදි දිවියට එක්වී තිබේ. 
 


එමෙන්ම මෙම හිමිවරුන් දෙදෙනා ගේ මව වන ජේ.වයි. ආරියවතී (66) මාතාව මේ වෙනවිට මොරවක ප්‍රදේශයේ තනිවම ජීවත් වෙන්නීය. ඊට හේතුව 2014 වසරේ මෙම හිමිවරුන්ට සිටි පියා පිළිකා රෝගයෙන් මිය යාමය. පියා මියගොස් මාස කීපයක් ගතවෙද්දි උන්වහන්සේලාගේ සහෝදරයා ද පිළිකා රෝගයෙන් මිය ගොස් තිබේ. තනිවම නිවෙසේ සිටිය දී මොරවක ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් එම නිවෙසට ද දැඩි ලෙස අලාභහානි සිදුව තනි වූ නිවසේ මව අසරණව කිසිවකුගේ හව්හරණක් නොමැතිව තනිව ජීවත් වෙන්නීය.   
කාත් කවුරුවත් නොමැතිව තනිවම අසරණව සිටින මවට සුමනවංශ හිමියන් සහ පියනන්ද හිමියන් තමනට ලැබෙන පිරිකරවලින් යම් මුදලක් ඉතිරි කරගෙන ආහාරපාන පිටත් කර හරිමින් ඇයව ජීවත් කරවති. සසර දුර බව දැනගෙන ඉන් එතෙර වෙන්නට උත්සාහ දැරූ මෙම සහෝදරවරු දෙදෙනාට තම මව දුක් විඳිමින් සිටියදී සසර ගමන කෙටිකර ගැනීමට දැඩි බාධාවක් තිබේ. ඒ අනුව උන්වහන්සේලා දෙන්නා හැකි ආකාරයෙන් නාහිමියන් සමග සාකච්ඡා කොට උන් වහන්සේලා වැඩ සිටින ආරණ්‍ය ආසන්නයේ ඉඩම් කැබැල්ලක කුඩා කාමර දෙකක් සිය මව වෙනුවෙන් ඉදි කරන්නට උත්සහ දරමින් සිටිති.   

 

 


මෙම සහෝදර හිමිවරුන් දෙනම ලැබුණු මුදල් වලින් සහ දායක කාරකාදීන්ගේ සහයෝගය ඇතිව මේ වෙනවිට කාමර දෙකට අවශ්‍ය අත්තිවාරම දමාගැනීම සඳහා උන්වහන්සේලා විසින්ම වැඩ කරමින් සිටිති.   


ඒ සඳහා උදේ සිට දහවල් හවස් වෙන තුරුම මෙම අයියා මලෝ ස්වාමීන් වහන්සේලා දෙනම දැඩි වෙහෙසක් දරමින් කටයුතු කරති.   


තමන් වහන්සේලා වනවාසීව වැඩ වාසය කරන නිසා මිල මුදල් නොමැතිවීම බරපතල ප්‍රශ්නයක් ලෙස උන් වහන්සේලා පවසති. මෙම කුඩා කාමර දෙක කවුරුන් හෝ විසින් ඉදිකර ගැනීමට උදව් උපකාර කරන්නේ නම් තම මෑණියන් එම ස්ථානයට ගෙනවිත් මිය යන තුරු රැකබලාගැනීම උන්වහන්සේලාගේ ඒකායන අරමුණ බවට පත්ව තිබේ.   
 විහාරාධිපති විහාරහේනේ ධම්මවංශ හිමි කියා සිටියේ උන් වහන්සේලාට බණ භාවනා කරගෙන මවට උපස්ථාන කරගෙන ජීවත් වී ජීවිතාවබෝධය ලබා ගැනීම සඳහා අවසරය ලබා දුන් බව ය.   


විහාරාධිපති විහාරහේනේ ධම්මවංශ හිමියෝ මෙසේ කියති.   


 “මේ උන්නාන්සේලා දෙන්නම අපේ ළඟ මහණ දම් පුරනවා. මේ සෙනසුනට කුඩා කාලයේ ඉඳලා තමයි ඇවිල්ලා සසුන් ගත වුණේ. ඒ නිසා උන් වහන්සේලාට කරදරයක් වුණු වෙලාවේ පිහිටවීම අපේ යුතුකම වෙනවා. ඒ නිසා මම අවසර දුන්නා පන්සල ආසන්නයේ ම තමන්ගේ මෑණියන් හට කුඩා කාමර දෙකක් හදලා මියැදෙන තුරු උවටැන් කරන්න කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පිණ්ඩපාතේ වැඩලා හරි දෙමව්පියන් පෝෂණය කරන්න කියලා.”‍   


“මේ හාමුදුරුවන් දෙනමගේ අම්මා දැඩි ලෙස අසරණ වෙලා ඉන්නේ. මොකද පියා පිළිකා රෝගයකින් මිය ගිහිල්ලා මාස කීපයක් ගත වෙද්දී එයාගේ රැකවරණයේ හිටපු පුතාත් පිළිකා රෝගයකින් මිය යනවා. ඒ ඉන්න අතරතුර මහා වරුසාවක් එක්ක කන්දක් නාය ගිහිල්ලා නිවස කැඩිලා ඇය ගම මැද තනි වෙනවා. දැන් ඇයට යන්න එන්නවත් අඩුම තරමේ පාරක් තොටක් වත් නැතිව අසරණ වෙලා ඉන්නවා. මෙහෙම තියෙද්දි සසරෙන් එතෙර වෙන්න වන සෙනසුනක ඉන්න බුදු පුතාලා දෙන්නට හිත හදා ගන්න බැහැ කියලා අපි දන්නවා. ඒ නිසා මවට පින් රැස්කරගන්න උන්වහන්සේලා දෙන්නාට පින් රැස් කර ගන්නත් පුළුවන් පින්කමක් තමයි අපි ඉටු කරන්නේ. ඒ නිසා කවුරුන් හෝ උදව් උපකාරයෙන් උන්වහන්සේලා දෙන්නාගේ මව තව වසර කිහිපයක් ජීවත්වෙන කාලයේ සතුටින් තියන්න උදව් උපකාර කරනවා නම් බොහොම පින් සිද්ද වෙනවා.”‍   

 

 


 “මොකද අපි වනවාසීව වැඩ ඉන්න හාමුදුරුවරු. අපි මිල මුදල් අතින් පොහොසත් නැහැ. අපි මිල මුදල් හඹා ගෙන යන්නෙත් නැහැ. කැලයකට වෙලා බණ භාවනා කරගෙන ඉන්න පිරිසක්.”‍   


තමන් කරන ක්‍රියාව පිළිබඳව විහාරවාසී මොරවක පියනන්ද හිමියන් මෙසේ පැවසූහ.   


 “මම පන්සලට එන්නේ අවුරුදු නවයේදී. මගේ සහෝදරයා පන්සලට එන්නෙත් අවුරුදු දාහතරේදී. අපි දැන් මහණදම් පුරන්නේ සහෝදරයන් දෙදෙනා එකට එකම නිකායේ. වැඩිමල් සහෝදරයාගේ ගිහිනම ඉන්දික කුමාර. මම වසන්ත කුමාර. මොරවක ප්‍රදේශයේ තමයි ජීවත් වුණේ. ගමේ ඉද්දි වනවාසීව වැඩ හිටපු ධම්මවංශ නාහිමියන් පිණ්ඩපාතයේ වඩිනවා දැකලා තමයි අපිට මහණදම් පුරන්න ආසාවක් ඇති වුණේ. ඒ අනුව මේ ප්‍රදේශයට ඇවිල්ලා මහණ වෙලා දැන් අවුරුදු විස්සකට වැඩි. ඒ නිසා අපට නැවත මොරවක පැත්තෙ ගිහිල්ලා අම්මට උදව් උපකාර කරගෙන ජීවත් වෙන්න විදිහක් නෑ. ඒ වගේම කන්ද නාය ගිහිල්ලා ගමට යන්න එන්න අඩුම තරමේ පාරක් වත් නෑ. දහම් පඬුරු වලින් කීයක් හරි ඉතුරු කරලා තමයි අම්මව ජීවත් කරවන්න යවන්නේ, ඒක හැමදාටම කරන්න පුළුවන් කමකුත් නැහැ. අම්මා ගොඩක් දුක් විඳිනවා, තාත්තයි අයියයි පිළිකාවෙන් මිය ගියාට පස්සෙ. අම්ම ගොඩක් අසනීප වුණා.”‍   


“එයාව රැක බලා ගන්න කවුරුත් නෑ අපි දෙන්නත් ඈත ඉන්නකොට අම්මට තවත් දුකක් ඇති කියලා අපි හිතනවා. ඒ නිසා තමයි කොහොමහරි මේ කාමර දෙක හදන්න මම මගේ සහෝදරයත් එකතු වුණේ. මේකේ අඩිතාලම දාගන්න අපේ දායක සභාවල බෝහෝ දෙනා උදව් කළා. උළුවහු ටික ගන්න ජනෙල් දොරවල් ටික ගන්න ගඩොල් ටික ගන්න වහල ගහගන්න ආදී ඉතිරි වැඩ ටික අමාරු නිසා කවුරු හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඒක උතුම් ක්‍රියාවක්.”‍   


මෙම ස්වාමීන් වහන්සේලා දෙනමට තම මෑණියන් විඳින දුකෙන් අත මුදවා ගැනීම සඳහා උදව් උපකාර කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් 0716060202 මොරවක පියනන්ද හිමියන් අමතා වැඩි විස්තර ලබාගත හැකිය. මුදලක් ලබාදෙන්නේනම් ලංකා බැංකුවේ සීගිරිය ශාඛාවේ මොරවක පියනන්ද හිමි නමින් ගිණුම් අංක 79558734 යට බැර කළ හැකිය.   

 

සටහන/ඡායාරූප
දඹුල්ල කාංචන කුමාර ආරියදාස   

 



අදහස් (0)

අසරණ වූ අම්මාට ජීවත්වෙන්න නිවසක් හදන හිමිවරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site