IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


“අලි” නඩුවකට පැටලී අතරමංවූ සුජීවා

 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටින අංක 206 ‘සුජීවා’ නමැති ඇතින්න සහ තුන් මස් වියැති ඇගේ පැටවා කිසිදු පාර්ශ්වයක් වෙත මුදාහැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණේ, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතය. ඒ, ඉකුත් 22 වැනිදාය. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ‘නඩු භාණ්ඩයක්’ බවට පත් වෙද්දී මේ ‘සුජීවා’ සිටියේ තනිවමය. ඒ, මීට වසර පහකට පමරණ පෙරය. එහෙත්, අද ඇය ඇත් පැටවකුගේ මවක් වූවාය.   


මහාධිකරණයෙන් අධිචෝදනා ගොනු කර නොමැති අලි ඇතුන් හැරුණු කොට වනජීවී භාරයේ සිටි අලි ඇතුන් 15 දෙනකු මේ වනවිට මුල් අයිතිකරුවන් වෙතම ලියාපදිංචිය සඳහා ලබාදීමේ අධිකරණ නියෝග නිකුත් වී තිබිණ. ඒ, නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරවය. 

 
නියෝග එහෙට මෙහෙට වෙද්දී නිදහස් කෙරුණු අලි ඇතුන් 15 දෙනාගෙන් ‘සුජීවා’ට ගෙදර යන්න ලැබුණේ නැත. ඒ, පැටියා නිසාය. අම්මාගෙන් පැටියා වෙන් කිරීමට කිසිසේත් නොහැකි බව වනජීවී දෙපාර්තමේන්තුව මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවෙද්දී සඳහන් කළේය. එහෙත්, අම්මාත් පැටියාත් දෙදෙනාම මුල් හිමිකරුටම මුදාහරින ලෙසට නීතිපතිවරයාත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීම් කරමින් තිබියදී පාරිසරික සංස්කෘතික අධ්‍යයන කේන්ද්‍රය සහ සත්වයන් උදෙසා යුක්තිය නමැති සංවිධාන අභියාචනාධිකරණයේ රිට් පෙත්සම් දෙකක් ගොනු කළහ.   
ඒ අනුව, එම පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් නියෝග කළේ, සුජීවා ඇතින්නත්, ඇගේ පැටවාත් කිසිදු පාර්ශ්වයකට මුදා නොහරින ලෙසයි. ඒ නියෝගය ලබන 29 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි අභියාචනාධිකරණයෙන් ලබා දී තිබිණි.   
නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ජේ. ප්‍රභාකරන් මහතා මෙම අලි ඇතුන් මුදාහරින ලෙසට නියෝග කළේ, ඉකුත් 6 වැනිදාය. වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 6 වන වගන්තියේ දෙවන කොටස ප්‍රකාරව සහ 2241/21 අගෝස්තු මස 19 වැනිදා දරන ගැසට් පත්‍රය ප්‍රකාරව මෙම සතුන් ලියාපදිංචි කිරීම සඳහා ඔවුන්ගේ මුල් හිමිකරුවන් වෙත මුදාහරින ලෙසට නීතිපතිවරයා සිය උපදෙස් ලබාදුන් බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.   


කූඨ ලේඛන සකස් කර, අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමට අදාළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලි ඇතුන් 47 දෙනකු පිළිබඳව විමර්ශන සිදුකරන අතර, ඉන් අට දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මුදාහරින අලි ඇතුන් 15 දෙනා සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය ප්‍රකාරව නඩුව අවසන් බවට සඳහන් කරමින් ඉදිරි දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කරන බව ද අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී සඳහන් කළේය.   


සුජීවාත්, පැටියාත් වනජීවී දෙපාර්තමේන්තුව භාරයේම රඳවා තබන ලෙසට පාරිසරික සංස්කෘතික අධ්‍යයන කේන්ද්‍රය සහ සත්වයන් උදෙසා යුක්තිය නමැති සංවිධාන අභියාචනාධිකරණයේ රිට් පෙත්සමකින් ඉල්ලීම් කරන අවස්ථාවේදී, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ, අලි ඇතුන් මුදාහැරීමට ලබාදුන් නියෝගය වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට පටහැනි බවය.   


කෙසේ වෙතත්, මේ වනවිට අලි ඇතුන් 15 දෙනාගෙන් 12 දෙනකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව සහ එක් අලියකු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත ලබා දී ඇත. තවමත් මුල් අයිතිකරුවන් රැගෙන නොගිය අලින් දෙදෙනකු සිටියි. ඒ, ‘සුජීවා’ සහ ‘භානු’ යන දෙදෙනාය. සුජීවා ගැන අද කතාබහට ලක්වී ඇත්තේ, ඇය පැටවකු ලද නිසාය. භානු හෙට අනිද්දා ගෙදර යනු ඇත. ඉතිරි වී ඇත්තේ, සුජීවාගේ කතාවය. එහෙත්, දැන් අභියාචනාධිකරණයේ සුජීවා ගැන විමසීමට නියමිතය.

   
වනජීවී දෙපාර්තමේන්තුවේ තිබූ අලින් ලියාපදිංචි කිරීමේ පොත කූඨ ලෙස වෙනස් කර බලපත්‍ර නොමැති අලින් සන්තකයේ තබාගත් බවට සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණේ, ඉකුත් 2016 වර්ෂයේදීය.   
2014 ජුලි මාසයත්, 2015 අගෝස්තු මාසයත් අතර කාලයේ මහරගම, ඇරැව්වල, නාවල, බත්තරමුල්ල සහ ඔරුවල යන ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් අය සමග එක්ව සොරකම් කළ අලි බව දනිමින් වංචනිකව එම අලි ජාවාරම් කිරීමට කුමන්ත්‍රණ කිරීම, ඒ අනුව අලි ජාවාරම් කිරීම, එම අලි නීති විරෝධී අන්දමින් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා යටතේ අලින් අට දෙනකු සන්තකයේ තබාගෙන සිටි විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ අධි චෝදනා 33ක් සහිතව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ මෙම සිද්ධියට අදාළව නඩු පවරා තිබිණි.   


නීතිපතිවරයා මෙසේ නඩු පැවරූ අට දෙනා වන්නේ, සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (නීති) ලෙසින් සේවය කළ පැස්කුවල් ෆොන්සේකලාගේ උපාලි පද්මසිරි, වනජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදංචි අංශය භාරව සිටි ලිපිකාරිනී එච්. ප්‍රියංකා සංජීවනී, සමරප්පුලි හේවගේ උචිත නිශාන් ධම්මික, කඩුපිටියගේ චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, පලිහපිටිය ගමගේ ජයලත්, රණසිංහලාගේ දමිත් චතුරංග යන වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු අට දෙනකුට එරෙහිවය.   


මේ අතර, අලි ඇතුන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනයේ දී වංචනිකව හෝ හිතාමතා හෝ බලපෑමක් මත තමන්ට පැවරී තිබූ බලතල නිසි ලෙස ක්‍රියාත්මක නොකළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙසට ඉල්ලා පරිසර සංවිධාන කිහිපයක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබුණේ ඉකුත් 21 වැනිදාය.   


මෙලෙස බලතල නිසි ලෙස ක්‍රියාත්මක නොකළ රාජ්‍ය නිලධාරීන් අතර නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවලට අදාළ අමාත්‍යාංශ ද මේ සඳහා වගකිව යුතුව ඇතැයි එම පරිසර සංවිධාන සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබිණි.   


ඒ අනුව, මෙම විමර්ශනයේදී සිදු වී තිබෙන අයථා ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 112, 188, 189, 190 සහ 289 යන වගන්ති ප්‍රකාරව පොදු දේපළ පනත මෙන්ම වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ එම නිලධාරීන් සම්බන්ධයෙන් අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඔවුන් සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබිණි.   


පැමිණිලි, විමර්ශන සහ නියෝග මතින් මේ ‘අලි නඩුව’ අද වනවිට කතාබහට ලක්වී ඇත. පරිසර සංවිධාන මාධ්‍ය හමු පවත්වමින් පෙන්වා දෙන්නේ, නඩු දැම්මේත්, නඩු නැතැයි කියන්නේත් නීතිපතිම බවය. මුදාහැරුණු අලි ඇතුන්ගෙන් කතාබහට ලක්වී සිටින්නේ, සුජීවාත් ඇගේ පැටියාත්ය. ඔවුන් දෙදෙනා ඉහළම උසාවිය තෙක් ගොසින්ය. හෙට දින ඔවුන් දෙදෙනා ගැනත්, මේ අලි නඩුවටත් සිදුවන්නේ කුමක්දැයි මුළු මහත් සමාජයම බලා සිටිනු ඇත.     

 

 

නිමන්ති රණසිංහ



අදහස් (0)

“අලි” නඩුවකට පැටලී අතරමංවූ සුජීවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 327 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 356 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site