IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ගනිද්දී හසුවුණු පොලිස් ලොක්කා

 

 

මහ සොහොන් කාලි දේවාලයෙන් රුපියල් 190,000 ක අල්ලසක් ලබා ගනිද්දී හලාවත සහකාර පොලිස් අධිකාරී අල්ලස් දැලේ පැටලුණේ මෙහෙමයි.   


අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අල්ලස් ලබාගන්නා කෙනාගේ තරාතිරම මොකක් වුවත් කොටින්ම දේශපාලන හයිරංකාරයකු වුවත් වැටලීම් කරන්නේ ඒවා තුට්ටුවකටත් මායිම් නොකරයි.   


හාල්මැස්සන් මෙන්ම තෝරු මෝරුද අල්ලස් දැලට පසුගිය කාලය පුරා වරින් වර කොටුකරගත්තේ අල්ලස් ගත් කෙනාගේ තරාතිරම නිලතල නොබලාය.   
හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා හා දැව සංස්ථාවේ එවකට සිටි සභාපතිවරයා ද අල්ලස් දැලට කොටුවූයේ කෝටි 2 ක පමණ මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් අවස්ථාවේය.

   
රේගු අධිකාරීවරුන් පස්දෙනකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් අල්ලාගත්තේ කෝටි 12 1/2 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මොහොතේය.   
මෙම වැටලීම් දෙකම කරනු ලැබුවේ පසුගිය වසරේය.   
කෝටි ගණනින් අල්ලස් ලබාගනිද්දී අල්ලස් ලබාගත් මේ ලොකු ලොක්කන් අල්ලා ගැනීමේ වැටලීම් දෙකම සිදුකරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් හා මෙහෙයවීමෙනි.   
නුගේගොඩ කොට්ඨාසයේ රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරීවරයෙක් අල්ලස් දැලට කොටුකරගත්තේ 2014 වසරේය.   
අල්ලස් වශයෙන් ලබාගත් එම මුදල ලක්ෂ 10 කි.   


ඉන්පසු සහකාර පොලිස් අධිකාරී නිලයේ සිටි අයකු අල්ලස් දැලට කොටුවී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේය.   
ඒ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන කාන්තාවකගෙන් රුපියල් 30,000ක පමණ මුදලක් ලබාගත් මොහොතේය.   
මෙසේ අල්ලස් දැලට කොටුවී තිබුණේ එවකට වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයාය.   
පසුගිය සිකුරාදා අල්ලස් දැලට කොටුකරගෙන තිබුණේ හලාවත සහකාර පොලිස් අධිකාරීවරයාය.   
පොලිස් පොඩ්ඩෝ නම් පසුගිය වසර කිහිපය තුළ පමණක් ඕනෑ තරම් වරින්වර අල්ලස් දැලට කොටුකර ගෙන ඇතත් සහකාර පොලිස් අධිකාරී නිලයේ සිටි තිදෙනෙක් මෑත ඉතිහාසයේ තමා අල්ලස් දැලට පැටලී ඇති බවක් දැන ගැනීමට නොමැත.   
හලාවත සහකාර පොලිස් අධිකාරී 01 වශයෙන් රාජකාරි කරන නිලධාරියා අල්ලස් දැලට කොටුකරගත් කතාව මෙසේ පෙළගස්වන්නෙමු.   
හලාවත සිංහපුර පාරේ අංක 58/21 දරන ස්ථානයේ පදිංචිව සිටි ජයසේකර ආරච්චිගේ නිලංකා ප්‍රේමණී මහත්මිය පසුගිය දවසක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණ පැමිණිල්ලක් කළාය.   


හලාවත කුරුණෑගල පාරේ මුන්නේෂ්වරම මහසොහොන් කාලි කෝවිලේ භාරකාරිය ලෙස කටයුතු කරනුයේ නිලංකා ප්‍රේමණී මහත්මිය වන්නීය.   
නිලංකා මහත්මිය මේ තනතුරට පත්වීමට කලින් දේවාලයේ බාරකරු වූයේ ඇයගේ සැමියාය.   
ඇයගේ සැමියා හදිසියේ රෝගාතුරව මිය ගියේ පසුගිය වසරේය.   
මහසොහොන් කාලි දේවාලයේ බාරකාරිය ලෙස ඇය පත්ව තිබුණේ සිය සැමියාගේ හදිසි වියෝවෙන් පසුවය.   
මේ වසරේ දවසක මහසොහොන් කාලි දේවාලයේ තැන්පත් කර තිබූ වාලම්පුරි දෙකක් කිසිවකු විසින් සොරාගෙන ගොස් තිබුණේ මහසොහොන් කාලි දෙවියන්ගේද ඇස් වසාය.   
වාලම්පුරි දෙක සොරාගත් එකාට ඒමොහොතේම දේව දඬුවම් ලබාදීමට ද මහසොහොන් කාලි මෑණියන්ට නොහැකිවීම නිසා මේ අවනඩුව කීමට ගියේ හලාවත මූලස්ථාන පොලිසිය වෙතය.   
පොලිස් නිලධාරීන්ට කන්නලව් කරමින් දේවාලයේ තිබූ වාලම්පුරි දෙක සොයා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත්තේ දෙවියන්ට මේ ගැන කිව්වට වැඩක් වෙන්නේ නැති නිසා බව දැන සිටි නිසා ද යන්න ගැන කීමට අපට හැකියාවක් නොමැත.   


කෙසේ වෙතත් නැති වූ වාලම්පුරි දෙක සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.   
හලාවත සහකාර පොලිස් අධිකාරී (01) ද මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට මහසොහොන් කාලි දේවාලයට පැමිණ තිබේ.   
සහකාර පොලිස් අධිකාරීවරයා මේ වාලම්පුරි සොරකම ගැන පරීක්ෂා කර බැලීමට පැමිණි අවස්ථාවේ තවත් වාලම්පුරි දෙකක් ද එහි තිබෙනු දැක ඇත.   
මෙසේ වාලම්පුරි ළඟ තබාගැනීම නීතිවිරෝධී බවත් ඒ සඳහා අවසර ලබාගත යුතු බවත් සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණිලිකාර කාන්තාවට (දේවාලයේ බාරකාරිය) දැනුම් දී තිබෙන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.   
ඒ නිසා වාලම්පුරි දෙක පොලිස් බාරයට ගෙන පැමිණිලිකාරියට එරෙහිව නීතිමය කටයුතු කළ හැකි බව ද පවසා ඇතැයි කියති.   
ලක්ෂ දෙකක මුදලක් ලබාදෙන්නේ නම් මෙම කාරණය සමතයකට පත්කර ගත හැකි බව පැමිණිලිකාර කාන්තාවට සහකාර පොලිස් අධිකාරීවරයා දැනුම් දී ඇත.  
සහකාර පොලිස් අධිකාරී ඉල්ලා සිටි බව කියන ලක්ෂ දෙකේ මුදල එක් ලක්ෂ අනූදහසක (190,000) පමණ මුදලකට අඩුකරගත් පසු එම මුදල ඉදිරි දිනක ලබා දීමට පොරොන්දුවී මේ ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඇය පැමිණිලි කරනු ලැබුවාය.  


කාන්තාව කළ පැමිණිල්ල මත දේවාල පරිශ්‍රය තුළ දී අදාළ අල්ලස් මුදල හලාවත සහකාර පොලිස් අධිකාරි (01) විසින් ලබාගත් අවස්ථාවේ දී වැටලීමක් සිදුකර සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.  
වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා අල්ලස් ලබාගත් අවස්ථාවේදී වැටලීමක් සිදුකර ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රසිරි මහතාගේ මෙහෙයවීම හා උපදෙස් මත ක්‍රියාත්මකවූ කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසිනි.  
සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර සහකාර පොලිස් අධිකාරී කීර්ති බණ්ඩාර මහතා හලාවත වැඩබලන මහේස්ත්‍රාත් බී.ඩබ්ලිව්. ශානක උදයංග මහතා හමුවට ඉදිරිපත් කරන ලදුව දෙසැම්බර් මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබීය.  


සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයාට වයස අවුරුදු 60 සම්පූර්ණවීම නිසා ලබන වසරේ මාර්තු මාසයේ පොලිස් සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව සිටියේය.  
ලක්ෂ ගණනින් අල්ලස් ලබාදී නීතියෙන් ගැලවීයාමට උත්සාහ කළ අවස්ථාවල දී එම මුදල්වලට පයින් ගසා අල්ලස් ලබා දීමට උත්සාහගත් පොලිස් නිලධාරීන්ද පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඕනෑතරම් සිටින බව අපි කිසිසේත් අමතක කළ යුතුනොවෙමු.  
ඇතැම් පොලිස් නිලධාරීන් අල්ලස් ලබාගෙන පොලිසිය ගඳගස්සවද්දී බහුතරයක් පොලිස් නිලධාරීන් අල්ලසට යටනොවී රාජකාරි කරනුයේ පොලිසියට අභිමානයක් ගෙන දෙමිනි.

 

 

 

සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  



අදහස් (0)

අල්ලස් ගනිද්දී හසුවුණු පොලිස් ලොක්කා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31320 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13532 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site