IMG-LOGO

2025 පෙබරවාරි මස 17 වන සඳුදා


අඩි සීයේ පාරට ඉඩම් දී පාරට වැටුණු මිනිස්සු

විරෝධතාවල නියැළුණු අයුරු

 

වත්මන් යහපාලන රජය ආරම්භ වීමත් සමග රට තුළ විටින් විට ඇති වූ විරෝධතා උද්ඝෝෂණ වල නම් කිසිදු අඩුවක් නොමැති තරම්ය. ගෙවුණු මාස කිහිපය පුරාද එය එසේය. වත්මන් යහපාලනය බිහිවීමත් සමග රටේ සියලු පුරවැසියන්ට ලැබුණේ අසීමිත නිදහසකි. සාකච්ඡා මාර්ගයෙන් සිය අයිතිවාසිකම් දිනාගැනීමට නොහැකි වූ තැන මහජනයා පාරට බැස විරෝධතා පැවැත්වීමට පෙළඹී තිබේ.

වෛද්‍ය වැඩ වර්ජන, විශ්ව විද්‍යාල සිසු උද්ඝෝෂණ හා පෙළපාළි දිනෙන් දින තැන තැන පැවැත්වෙන්නේ සියලු පුරවැසියන්ට අද අත් වී ඇති නිදහසට පිංසිද්ද වෙන්නටය. මීට පෙර පැවති රජයන් සමයේද ජනතාවට ප්‍රශ්න කෝටියක් පැවතියේය. එහෙත් කිසිවකුත් පාරට බැස වත්මන් රජය සමයේ මෙන් ඉල්ලිම් ඉල්ලුවේ නැත. අඩුම තරමේ උද්ඝෝෂණයක් සංවිධානය කරන්නටද ගම්වල පිරිස් ඉදිරිපත් වූයේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව උද්ඝෝෂණයක් සංවිධානය කළේ නම් ඔවුන් එළිවෙන විට අතුරුදන් වේවි යන බිය නිසාවෙනි. එහෙත් අද රට තුළ සියලු දෙනාට ඇත්තේ අසීමිත නිදහසකි. එය වල්බූරු නිදහසක් කරගත් පිරිස්ද මේ අතරේ නැතුවාම නොවේ.

අද අප ඔබට ලියන්නට යන්නේ පසුගිය රජය සමයේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයක් නිසා අසරණ වූ ජනකොටසක් පිළිබඳවය. පසුගිය පාලකයන් විසින් සිදු කළ වරදකට වත්මන් රජයට වන්දි ගෙවීමට සිදු වූ පුවතකි.

රට පුරා ඇසෙන විරෝධතා උද්ඝෝෂණ අතරේ සූරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය දෙපස පදිංචිකරුවෝද නිතර නිතර පාරට බසිමින් විරෝධතා, මාරාන්තික උපවාස සිදු කළේ තමන්ට හිමි විය යුතු වන්දි මුදල් ඉල්ලමිනි. සූරියවැව - හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය රජය සමයේය. මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමේදී මාර්ගය දෙපස පදිංචිකරුවන්ට අහිමි වෙන දේපළ වලට හා ඉඩම් වලට සාධාරණ වන්දි ලබා දීමක් සිදු කරන බව පවසමින් ඉකුත් රජය සමයේ මෙම ඉඩම් පවරාගැනීම සිදුකෙරුණි. එහිදී ඇතැම් පදිංචිකරුවන් රජයේ පාර්ශ්වයෙන් රැගෙන ආ ලිපි ලේඛනවලට අත්සන් තබා පාර පුළුල් කිරීමට කැමැත්ත පළ කර ඇති අතර ඇතැම්හු ඊට විරෝධය පළ කළහ. විරෝධය පළ කළ පිරිස් වෙත රජයේ සංවර්ධන කාර්යයට බාධා පැමිණ වීම යටතේ අධිකරණ නියෝග ගෙන පිස්කල් මගින් ඔවුන් එළියට දමා තිබේ.

කෙසේ නමුත් මාර්ගයේ ඉදිකිරීම් සිදුකර දින, සති, මාස ගෙවී අවුරුදු ගණන් පසු වුවද අඩි 100 පදිංචිකරුවන්ට නම් සාධාරණයක් ඉටු නොවීය. අවස්ථා කිහිපයකදිම ගම්මුන් විරෝධතා සඳහා සැරසුණද ඒවා අසාර්ථක විය. කෙසේ වෙතත් මාර්ගය දෙපස පදිංචිකරුවන්ට අහිමි වු දේපළ හා ඉඩම් වෙනුවට පැවති රජයේ පාර්ශ්වයෙන් සාධාරණයක් ඉටු නොවීම නිසා එම ජනතාව කබලෙන් ළිපට වැටුණි. අන්ත අසරණ තත්ත්වයකට පත් විණි. කාලයත් සමග පැවති රජය පරාජයට පත් වී වත්මන් යහපාලන ආණ්ඩුව පත්වූයේ වැඩි බහුතර ජනතා කැමැත්තක් හා රට තුළ සියලු දෙනාට පූර්ණ නිදහසක්ද ඇති කරමිනි.

එහි ප්‍රතිපලයක් ලෙස අඩි 100 ජනයා සිය ඉල්ලීම් ඉල්ලා පාරවල් ගානේ විරෝධතා හා මාරාන්තික උපවාස ගණනාවක්ම පැවැත්විය. පසුගිය රජය සමයේ පාලකයන් දුර දිග නොබලා අත්තනෝමතික අයුරින් නිසි ක්‍රමවේදයක්ද නොමැතිව ජනතාව සතු පදිංචි ඉඩම් හා දේපළ අහිමි කිරීමේ වන්දිය වත්මන් යහ පාලන රජයේ කරපිට පැටවුණේය. ආණ්ඩු පෙරළියත් එක්ක පරාජයට පත් වූ පිරිස්ද කිඹුල් කඳුළු හෙළන්නට ගත්තේ අඩි 100 ජනතාවට වන්දි දීම යහපාලන රජය සිදු නොකරන බව පවසමිනි. ඔවුන් බලයේ සිටි වකවානුවේ මෙම පිරිසට වන්දි දීමට තියා විරෝධතාවක්වත් පැවැත්වීමට අවස්ථාව ලබා නොදුන් බව සියල්ලෝම මැනවින් දන්නෝය.

කෙසේ නමුත් වත්මන් රජයටද මේ ගැටළුවෙන් මිදෙන්නට බැරිවීය. ඒ නිසා යහ පාලන රජයේ නිලධාරින් එක්ව සාකච්ජා කර කඩින් කඩ මෙම ජනතාවට හිමි වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය පියවර ගත යුතු බවට වත්මන් යහ පාලන ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් වන මහින්ද අමරවීර මහතා යෝජනා කර තිබේ. ඊට අමතරව ජනාධිපතිවරයාද දැනුම්වත් කර තිබේ. එවන් පසුබිමක් තුළ අඩි 100 ජනයා පසුගිය දින සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරස්කර පසුගිය 30 වැනි දින විරෝධතාවක් ආරම්භ කිරීමත් සමග ඇතිවූයේ දැඩි උණුසුම් තත්ත්වයකි. විරෝධතාවය නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතුද සම්පූර්ණයෙන්ම අඩාල වීය. කෙසේ වෙතත් විරෝධතාවය පැවති ස්ථානයට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර හා තංගල්ල පොලිස් අධිකාරී ඒ. ගම්ලත් මහතා ඇතුළු පිරිසක් පැමිණ සාකච්ජා සිදුකළද එය අසාර්ථක විය.

සාකච්ජා අසාර්ථකවීම නිසා තවදුරටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරස් කර පිරිස විරෝධතාවයේ යෙදුණු අතර සූරියවැව පොලීසිය විසින් පිරිස විසුරුවා හැරීමට පියවර ගත්තේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගෙන තිබූ නියෝගයකට අනුවය. එහිදී දෙපාර්ශ්වය අතර ඇතිවූ ගැටුමින් තිදෙනෙකු රෝහල් ගත වූ අතර දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවටත් පත්විය.

 

 

සූරියවැව අඩි 100 පාර වන්දිලාභීන්ගේ සංවිධානයේ සභාපති වී.ඒ. අනුෂා ප්‍රින්සි මහත්මිය මෙසේ පැවසුවාය.

“පසුගිය රජය සමයේ අඩි 100 පාර සංවර්ධනය කර හදන්න කියලා අපේ ඉඩම් පවරා ගත්තා. ඒ පවරා ගන්නකොට අපිට කිව්වා ඉඩම් වලට හා කැඩෙන නිවාස වලට වන්දි දෙනවා කියලා. අපි ඒ වචනය විශ්වාස කරලා ඉඩම් දුන්නා. අපේ සමහර ගෙවල් වලින් බාගයක් කඩලා දමලා. සමහර ගෙවල් සම්පූර්ණයෙන්ම පාරට ගියා. අද වෙනකම් අපිට ගෙයක් හදාගන්න විදියක් නැතිව දුක් විදිනවා. බලධාරීන් ඇවිත් හැමදාම කළේ අපිට බොරු පොරොන්දු දුන් එක විතරයි. අද දෙනවා. හෙට දෙනවා. ඔන්න සල්ලි පාස් වෙලා කිය කියා හැමදාමත් අපිව රැවැට්ටුවා. අවුරුදු පහක් තිස්සේ නිලධාරීන් එහෙට මෙහෙට බෝලේ පාස් කර කර අපව අනාථ කළා. අපි අපේ අතේ තියෙන තුට්ටුව ඉවර වෙනකම් මේ ගැටලුවට විසඳුම් ඉල්ලා යන්න තියෙන හැම තැනකටම ගියා. හමුවෙන්න තියෙන හැම ඇමැති කෙනෙක්ම හමු වුණා. ජනාධිපති තුමාත් හමුවුණා. නමුත් මේ වනතුරුත් අපිට සාධාරණයක් ඉටු වුණේ නෑ.

අපි ඔය හැම නිලධාරියෙකුටම කිව්වා ඇවිත් අපේ ගෙවල් බලන්න. අපි විඳින දුක මොකද්ද කියලා බලන්න කියලා. හැමදාම නිලධාරීන් කරන්නේ අපි රවට්ටන එක විතරයි. දැන් දින 44ක් තිස්සේ අපි සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ළඟ සත්‍යග්‍රහයේ නිරත වුණා. එක වගකිවයුත්තෙක් ඇවිත් අපිට මේකට පිළිතුරක් දුන්නේ නෑ. බැරිම තැන තමයි අපි අද මේ විදියට ගේට්ටුව හරස් කළේ. මේකට සාධාරණ විසඳුමක් නැතිනම් අපි මරාගෙන හරි මැරෙන්න සූදානම් දැන්. ජීවත් වෙලා හිටියත් දැන් අපිට ඉන්න තැනක් නෑ.

මගේ මහත්තයා වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා. දැනට එයා කරාපිටිය රෝහලේ නවත්තලා ඉන්නේ. මහත්තයා ගෙදර එක්ක එන්න විදියක් නෑ විෂබීජ යන නිසා. පාරට මගෙ ගේ කඩලා දැම්මා. නමුත් ඊට වන්දි මුදල් දුන්නේ නැති නිසා අපි මහ පාරෙයි ජීවත් වෙන්නේ. මේ නිසා අපි වගකිවයුත්තන්ට කියනවා මේ ගැන සොයා බලලා අපිට සාධාරණයක් ඉටු කරන්න කියලා.

 

සූරියවැව බැද්දෙවැව පුරාණ රජමහා විහාරාධිපති බැද්දේවැව පේමසිරි හිමි අදහස් දක්වමින්.

“එවකට බලයේ සිටි රජයේ අය සූරියවැව සිට හම්බන්තොට දක්වා අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී මාර්ගය දෙපස ජීවත් වුණු පිරිසගේ ඉඩම් වන්දි ලබා දෙනවා කියා පවරා ගැනීම සිදු කළා. මේ ප්‍රදේශවල ජීවත් වෙන්නේ ගොවිතැන්බත් කරගෙන ජිවත්වෙන අහිංසක ජන කොටසක්. කෙසේ නමුත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහවැලි අධිකාරිය, තක්සේරු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකින්ම මේ ගම්වලට ඇවිත් මේ මිනිස්සුන්ට කඩිනමින් වන්දි දෙන බව පවසමින් ඒ මිනිස්සු නොමග යවමින් රවට්ටලා මේ ඉඩම් ටික ලබාගන්න එවකට හිටිය පාලකයෝ කටයුතු කළා. නමුත් මේ වෙනකොට ඒ මිනිස්සු කොටස කබලෙන් ලිපට වැටිලා ඉන්නේ. ඉඩම් පවරාගත් අවස්ථාවේ දෙනවා කී වන්දි මුදල් මේ වන තෙක් ලබාදීමට කිසිදු බලධාරියෙක් කටයුතු කර නෑ. මේ වෙනකම් වන්දි ලබාදීම සිදු කරලා තියෙන්නේ ලොකු ලොකු මුදලාලිලාට හා දේශපාලන හයිය තියෙන අයට විතරයි. ඒ පිරිසට තමන්ගේ කැඩුණු ගෙවල් හදාගන්න සල්ලි දුන්නා. හැබැයි අසරණ කාත් කවුරුත් නැති මේ අහිංසක මිනිස්සු ටිකට තවමත් වන්දි ලැබුණේ නෑ. මේ අයට මේක කියන්න කෙනෙක් නෑ. මේ මිනිස්සුන්ගේ සරණට එදත් අදත් තියෙන්නේ මාධ්‍ය ආයතන විතරයි. මේ වන්දි මුදල ලබා ගැනීමට මේ මිනිස්සු නොකරපු දෙයක් නැති තරම්. නොගිය තැනක් නැති තරම්. ඒ නිසා අපි වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා වහාම මේ මිනිස්සුන්ගේ තත්ත්වය දිහා බලලා ඒ අදාළ වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන්න කියලා.

 

 

මේ සම්බන්ධයෙන් අප සූරියවැව ප්‍රාදේශීය ලේකම් සුභාෂ් නානායක්කාර මහතාගෙන්ද විමසීමක් කළෙමු.

“විරෝධතාවයේ නිරත වෙලා ඉන්න අයගේ ඉල්ලීම සාධාරණ හා සංවේදි කාරණයක්. හැබැයි එහෙමයි කියලා රජයේ කාර්යාලයක ගේට්ටුව අවහිර කරගෙන මේ විදියට විරෝධතාවයේ නිරත වෙන්න පුළුවන් කමක් නෑ. අද සේවයට ආව සේවකයෝ තාම එළියේ. සේවය ලබාගන්න ආව අයත් රස්තියාදු වෙලා බැණ බැණ යනවා. කෙසේ නමුත් කාර්යාලයේ හා දේපළවල ආරක්ෂාව සම්බන්ධයෙන් මං සූරියවැව පොලිසිය දැනුවත් කිරීමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ඒ වගේම කියන්න ඕනෑ මේ ඉඩම් අහිමි වුවන්ට වන්දි ලබාදීමේදි අවශ්‍ය දැනුම්වත් කිරීම් මා සිදුකර තියෙනවා. රජයේ සංවර්ධන කාර්යයකදී ඉඩම් අත්පත් කරගන්නා නිලධාරියා ලෙස ප්‍රාදේශීය ලේකම් කටයුතු කළාට ඊට අවශ්‍ය මුදල් ලැබෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියෙනුයි. මාර්ග සංවර්ධන අධිකාරියෙනුත් එක සැරේටම මුදල් දෙන්නේ නෑ. ඒ සඳහාත් යම් ක්‍රියාවලියක් තියෙනවා. මාර්ගයට අත්පත් කරගත් ඉඩම් පළමුවෙන්ම තක්සේරු කළ යුතුයි. මේ කාර්යයේදී පවරා ගත් ඇතැම් ඉඩම් රජය සතු ඒවා. ඇතැම් ඉඩම් කැබලි වල මිනිස්සු හිටියට ඒවායේ අයිතියක් ඔවුන්ට නෑ. එක්කෝ මහවැලියට අයිති ඉඩම්. නැත්නම් අයිතිකාරයා කවුරුවත්, ඉන්නේ තව කවුරුවත්. ඉතින් මෙහෙම වුණාම වන්දි ගෙවීමේ යම් ප්‍රමාදයක් සිදුවෙන්න පුළුවන්. මේක සියලු දෙනා තේරුම් ගත යුතුයි. ඒ නිසා මගේ කාර්යාලය වට කළා කියලා මේ ක්‍රියාදාමය ඉක්මන් වෙන්නේ නෑ. මේ මිනිස්සුන්ගේ ඉල්ලිම සාධාරණ එකක් කියන එක මටත් තේරෙනවා. ඉවසීමෙන් ඉන්න කියන එක තමයි මට කියන්න වෙන්නේ. මාර්ග සංවර්ධන අධිකාරියෙන් මට මුදල් ලැබුණු වහාම මං ඒ මුදල් මේ අයට ලබා දීමට පියවර ගන්නවා. ඒක තමයි මට කරන්න පුළුවන් දේ මේ අය වෙනුවෙන් යැයි පැවසීය.



අදහස් (0)

අඩි සීයේ පාරට ඉඩම් දී පාරට වැටුණු මිනිස්සු

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

පළමු වතාවට ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ ශ්‍රී ලාංකිකයා
2025 පෙබරවාරි මස 11 45 0

ඇන්ටාක්ටිකාව තරණය කිරීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒත් හිමාලය තරණය කළ ඔහුට එය තවත් අභියෝගයක් පමණක් වුණි.


සොබාදහමට ආදරය කරද්දී අපේ ජීවිතවල ආතතිය අඩු වෙනවා
2025 පෙබරවාරි මස 11 39 0

හුදකලාව සොබාදහම විඳින්න කැමති බොහෝ දෙනා අතරේ තමන්ගේ ළබැඳි සමීපතමයන් සමගින් ඒ හෝරාවන් බෙදාහදා ගන්නට කැමති වූ ඔහු - අද සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය සංචාරකයන


දකුණට ආවොත් යන්නම ඕනැ නිල්වැල්ලේ නිල් දුපත
2025 පෙබරවාරි මස 10 84 0

කුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර වෙරළ තීරයන් අතුරින් Blue Beach Island නිල්වැල්ල වෙරළ තීරයට හිමිවන්නේ සුවිශේෂි තැනකි.


කඳු නගින්න කෑම්පින් කරන්න කැමතිද ? එහෙනම් මේ කතාව ඔබට ...
2025 පෙබරවාරි මස 10 33 0

නිවර්තන පාරාදීසයක් වන ශ්‍රී ලංකාවේ දර්ශනීය කඳුහෙල් මෙන්ම, විශ්මය ජනක ගිරිශිඛර කන්දක් මුදුනට ළඟා වීමත්, ඒ අතරතුර කඳවුරු ගසා ගෙවන රාත්‍රීන් ද ජීවිතයේ ලබ


චීනයේ සිච්කෝ පැරණි පන්නයේ ගල් ඇති රූ වීදි දිගේ දවසක්
2025 පෙබරවාරි මස 10 28 0

චීන ජනතාව අතර පවතින මතයක් වන්නේ - චීනයේ චොන්ග් චිං නගරයේ සිටිමින් සිචිකොව් (Ciqikou) නගරය වෙත නොයන්නේ නම්, අදාළ අය චොන්ග් චිං වෙත පැමිණීමෙන් පලක් නැතිය යන්නයි


ලෝකයේ පළමු පාලි - සංස්කෘත හා සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය බිහිවූ හැටි
2025 පෙබරවාරි මස 07 35 0

“මම පුංචි මිනිහෙක් මම ඒක කරන්නේ කොහොමද” උන්වහන්සේගෙන් මම විමසුවා.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 274 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 142 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 972 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site