(අජන්ත කුමාර අගලකඩ)  

මහා පරිමාණ ඡන්ද ප්‍රචාරක රැලි පැවැත්විය නොහැකි බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන්ගේ එක් ජන හමුවකට බැගින් සහභාගිවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. ඒ අනුව ජනාධිපතිවරයා පොහොට්ටුව ලකුණින් තරග කරන සෑම අපේක්ෂකයකුගේම එක් ජනහමුවකට බැගින් සහභාගි වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු​ණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  

ශ්‍රී ලංකා ​පොදුජන පෙරමුණෙන් තරග කරන පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය යන සියලුම අපේක්ෂකයන්ගේ ජනහමුවලට ජනාධිපතිවරයා ඒ අනුව සහභාගිවෙනු ඇත. 


ජනාධිපතිවරයා ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් පෙරේදා (03) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ සියලුම අපේක්ෂකයන්ගේ ජනහමුවලට සහභාගි විය. ඒ අනුව ඉදිරියේ දී අනෙකුත් දිස්ත්‍රික්කවල අපේක්ෂකයන්ගේ ජනහමුවලට ජනාධිපතිවරයා සහභාගි වෙන බව බැසිල් රාජපක්ෂ මහතා කීවේය.