අම්මාවරුන් වූ අපේ රටේ කාන්තාවන්ට එක් යුගයකදී යුද බිමට ගිය තම පුතුගේ හා ස්වාමි පුරුෂයන්ගේ නිසල දේහයන් භාර ගැනීමට සිදුවිය. තවත් කතුන්ට මැදපෙරදිග ගෘහ සේවිකාවෝ, සාත්තු සේවිකාවෝ මෙන්ම ආයම්මාවරුද වීමට සිදුවූයේ සිය දරු පවුල රැක ගැනීම සඳහාය. එයින් නොනැවතී අද වන විට අපේ රටේ කාන්තාවන්ට තම දරු පවුල වෙනුවෙන් වරදක් නොකරම සිරබත් කෑමටත් සිදුවී ඇත. මේ එබඳු කතා පුවතකි. 


බළන්ගොඩ වෙළේකුඹර ප්‍රදේශයේ පදිංචි ටී.පී.ඩබ්ලිව්. සේපාලිකා සමන්මලී මහත්මිය විසිහතර හැවිරිදි දෙදරු මවකි. විසිපස් හැවිරිදි ඇයගේ සැමියා කලකට ඉහතදී පිරිසක් සමඟ ආරවුලක් ඇතිකර ගෙන ඇති අතර එම සිදුවීම සම්බන්ධයෙන් බළන්ගොඩ පොලිස් ස්ථානය මගින් බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඔහුට නඩු පවරා ඇත. 


රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් තබා තම සැමියා නිදහස් නිදහස් කරගත හැකියැයි සැළවූ සැණින් බිරිඳ සමන්මලී ශරීර ඇපයට අත්සන් තබා ඔහුව නිදහස් කරගත් බවත් ඉන් අනතුරුව රැකියාවක් සඳහා සැමියා නිවසින් නික්ම ගිය අතර මේ වනතුරුත් දරුවන් දෙදෙනාව හෝ දැකබලා ගැනීමට ඔහු නැවත නොපැමිණි බවත් සේපාලිකා සමන්මලී මහත්මිය අප සමඟ සඳහන් කළාය. ඒ අනුව උද්ගත වූ තත්ත්වයත් ඇය රක්ෂිත භාරයට පත්වූ ආකාරයත් පිළිබඳව අප සමඟ මෙසේ සඳහන් කළාය. 


 ගැටුමකට මැදිවෙලා අධිකරණයේ නඩු පැවරුණාම ඇප අත්සන් කරලා මම මගේ සැමියාව බේරා ගත්තා. පසුව බලද්දී ඒ ඇපය වරෙන්තුවක් වුණා. ඇප මුදල වන රුපියල් ලක්ෂය ගෙවා ගැනීමට මට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා මාව කුරුවිට බන්ධනාගාරයට අරන් ගියා. මා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්වරුන් මා දැනට මුහුණපා තිබෙන තත්ත්වය ගැන අධිකරණයට පැහැදිලි කළා. නමුත් ඔක්තෝබර් දහනව වැනිදා සිට ඔක්තෝබර් තිස් වැනිදා දක්වා මට කුරුවිට බන්ධනාගාරයේ ඉන්න සිදුවුණා. බන්ධනාගාරයේ හිටපු නිලධාරි මහත්ම මහත්මීන් මා ගැන ඉතා කාරුණිකව සොයා බැලුවා. රැඳවියෝ පවා මට හොඳින් සැලකුවා. ඒ අය මට සබන්, දත් බෙහෙත් පවා ලබා දුන්නා. රුපියල් ලක්ෂයක ඇප මුදල ගෙවලා මාව කවුරු හරි බේරා ගනීවි කියලා ඒ අයත් මට කිව්වා. 


 මට නිතර මතක් වුණේ මගේ දරුවන් දෙදෙනාව. පොඩිම දරුවාට තවම වයස අවුරුදු දෙකහමාරයි. වැඩිමහල් දරුවාට වයස අවුරුදු තුන හමාරයි. ඒ කාලසීමාවේ දරුවන්ව බලාගත්තේ මගේ අම්මා. ඇයත් එතරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙන්නේ නැහැ. මා මුහුණපා සිටින තත්ත්වය ගැනත්, මා ගැනත් මාධ්‍යවලින් වාර්තා වී තිබෙන බවත් ඒ අනුව කවුරුන් හෝ පැමිණ රුපියල් ලක්ෂයේ ශරීර ඇපය ලබාදී තමා නිදහස් කරගනු ඇතැයි දිනක් බන්ධනාගාර නිලධාරියෙක් මා සමඟ සඳහන් කළා. 


 කොහොම නමුත් තිස්වැනිදා මට නිදහස් වීමට හැකිවුණා. ආනන්ද කුලසේකර මහත්තයා කියලා කෙනෙක් අපේ ගෙදරට ඇවිත් මගේ අම්මාගේ අතට සල්ලි දීලා දරුවන්​ෙග් වියදමටත් මුදල් ටිකකුත් දීලා ගිහින් තිබුණා.

පහුවෙනිදාම ඒ සල්ලි ගෙවලා අම්මයි නීතිඥ මහත්තයායි ඇවිත් මාව බේරාගත්තා. තව මංජුල උක්වත්ත කියලා මහත්තයෙක් ඇවිත් දරුවන් දෙන්නට උදව් කරන්නම් කියලා පොරොන්දු වුණා. 


 මම මෙයට පෙර බළංගොඩ නගරයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක වැඩ කළා. නමුත් ඒ මංජුල මහත්තයා මට කිව්වා දරුවන් දෙදෙනාව බලාගෙන ඉන්න, ඒ මහත්තයාට පුළුවන් විදිහට සෑම මසකටම වියදමට මුදල් එවන්නම් කියලා. ගෙයක් හදා ගන්නත් උදව් කරන්නම් කියලත් කිව්වා. 


 අපි දැනට ඉන්න ගෙය ඉතාම අබලන් වූ එකක්. තද වැස්සක් ආවොත් ගෙය කඩා වැටෙන්නත් පුළුවන්. ඒ නිසා දරුවන් දෙදෙනා සමඟ වැටිලා ඉන්න පොඩි කාමර දෙකක ගේ කෑල්ලක් තිබුණත් ඇති. 


 මගේ සැමියාත් නැවත අප සොයාගෙන ඒවි කියලා මට එතරම් බලාපොරොත්තුවක් නැහැ. ඇපය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්ෂයක මුදල ගෙවූ ආනන්ද කුලසේකර මහත්තයාටත් ඒ වෙනුවෙන් උදව් කළ මාධ්‍ය ආයතනවල මහත්වරුන්ටත් වගේම මංජුල උක්වත්ත මහතාටත් මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. සේපාලිකා සමන්මලී මහත්මිය අප සමඟ සඳහන් කළාය. 


 බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට ඇප මුදල ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගතවීමට සිදුවන අවස්ථා සෑම වසරකම දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව සඳහන් වේ. 


 සිය සැමියා බේරා ගැනීමට ශරීර ඇප තැබූ සේපාලිකා සමන්මලී මහත්මිය වෙනුවෙන් රුපියල් ලක්ෂයක ඇපය ගෙවා දැමූ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ‘රේගු මිතුරු සංසදය’ වෙනුවෙන් ආනන්ද කුලසේකර මහතා ඉහත සිදුවීම සම්බන්ධයෙන් අප සමඟ මෙසේ අදහස් දැක්වීය. 


‘ශරීර ඇපයට ගෙවිය යුතු රුපියල් ලක්ෂයක මුදල ගෙවාගත නොහැකිව එම කාන්තාව මුහුණ පා තිබෙන තත්ත්වය දැකලා මා ඇතුළු මිත්‍ර සමූහය එකතු වී මුදල් එකතු කරගෙන ඒ අයට අවශ්‍ය උපකාරය කරනු ලැබුවා. ඒ සඳහා මිතුරන් හතළිහක පනහක පමණ පිරිසක් මා සමඟ එකතු වුණා. උදව් කළ යුතු යැයි හැඟෙන අවස්ථාවකදී අප ඒ අයුරින් උදව් කිරීමට ඉදිරිපත් වෙනවා. ජනප්‍රියවීම හෝ වෙනත් යම් අරමුණක් ඒ තුළ නැහැ. උපකාරයක් අවශ්‍ය යැයි හැඟෙන මොහොතක එවැනි උපකාරයක් කිරීම පමණක්ම අපගේ අරමුණ වෙනවා.’ ආනන්ද කුලසේකර මහතා අප සමඟ සඳහන් කළේය. 


යම් සැකකරුවෙක් හෝ විත්තිකරුවෙක් වෙනුවෙන් ශරීර ඇපයකට අත්සන් තැබූ අයෙකුට අදාළ සැකකරු හෝ විත්තිකරු නීතිය හමුවේ පෙනී නොසිටීමට දඬුවම් වශයෙන් ඇපකරුවාට නීතිය ඉදිරිපිට දඬුවම් විඳීමට සිදුවන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා මෙසේ සඳහන් කළේය. 


 ‘අපේ රටේ අපරාධ නඩුවක විත්තිකරුවෙක් හෝ සැකකරුවෙක් අධිකරණයට ඉදිපත් වූ විට ඒ තැනැත්තා නැවත අධිකරණයට ගෙන්වා ගැනීම සඳහා ඇපයක් තැබීම සිදුකරනු ලබනවා. මෙරට ක්‍රියාත්මක ඇප වර්ග කිහිපයක් තිබෙනවා. පළමුවැන්න මුදල් ඇපය. දෙවැන්න ශරීර ඇපය. සහතික ඇප හා පුද්ගල ඇප වශයෙන් මෙම වර්ග කිරීම දැක්වීමට පුළුවන්. ඒ යටතේ යම්කිසි පුද්ගලයෙක්ට ඇපයක් නියම කිරීමේදී ඉහත කී කාරණා හතර සලකා බැලෙනවා. යම්කිසි පුද්ගලයෙක් මුදලින් ඇපයක් තැබුවහොත් ඒ වේලාවේදී අදාළ මුදල තැන්පත් කිරීමට සිදුවෙනවා. එවැනි අවස්ථාවක විත්තිකරු හෝ සැකකරු අධිකරණයට ඉදිරිපත් වීම පැහැර හැරියොත් මුදල් ඇපය රාජසන්තක වීමක් සිදුවෙනවා. නමුත් ශරීර ඇපයක් තැබීමේදී යම් ආකාරයක ගැටලුවක් මතුවෙනවා. ශරීර ඇපයක් තබන වේලාවේදී කිසිදු මුදලක් ලබා ගන්නේ නැහැ. ශරීර ඇප තබන කෙනාගේ හැඳුනුම්පත ලබාගෙන ඒ අයගේ සම්බන්ධතාවය සලකා බැලීමෙන් පසුව යම්කිසි බැඳුම්කරයකට අස්සන් තැබීමක් සිදුකරනවා. උදාහරණයක් හැටියට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් තැබුවහොත් ලක්ෂයක බැඳුම්කරයකට අස්සන් තැබීම සිදුවෙනවා. ඒ මගින් පොරොන්දු වෙන්නේ සෑම නඩු වාරයකදීම අදාළ විත්තිකරු හෝ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොරොන්දු වෙන බවත් එසේ ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ඊළඟට සිදුවන්නේ අස්සන් තබා තිබෙන ඇප මුදල රාජසන්තක වීමට යටත්ය කියන කාරණාවයි. 


 මෙතැනදී ඊළඟ කාර්ය වන්නේ එවැනි අවස්ථාවක් උද්ගතවුවහොත් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියයි. එබඳු අවස්ථාවලදී සාමාන්‍යයෙන් ඇපකරුගේ යුතුකම වන්නේ සැකකරු හෝ විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවේ නම් ඒ බව අධිකරණයට දැනුම් දීමයි. එසේ නොකළහොත් විත්තිකරුට හෝ සැකකරුට වරෙන්තු නියම කිරීමත් ඇපකරුට සිතාසි නිකුත් කිරීමත් සිදුවෙනවා. එහිදී විත්තිකරු හෝ සැකකරු අධිකරණයට නොපැමිණියහොත් ඇපකරු අධිකරණයට යායුතු වෙනවා. අධිකරණයට ගොස් අදාළ විත්තිකරු හෝ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට යම් කාලසීමාවක් ඉල්ලා සිටීමේ හැකියාව අදාළ ඇපකරුට තිබෙනවා. ඇපකරු ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීම පැහැර හැරියහොත් අධිකරණයට එම ඇපකරුට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා. 


විත්තිකරු හෝ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට ඇපකරුට දිගින් දිගටම නොහැකි වුව​ෙහාත් ඊළඟට සිදුවන්නේ ඇපය රාජසන්තක නොකිරීමට අදාළ හේතු කාරණා අධිකරණයට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමයි. 
එවැන්නක් අධිකරණයක් මගින් අනිවාර්යයෙන්ම සිදුවෙනවා. ඇපය රාජසන්තක කිරීමට අදාළ කරුණු පැහැදිලි කිරීමට අපොහොත් වුවහොත් හෝ අදාළ පැහැදිලි කිරීම පිළිගත හැකි මට්ටමේ ඒවා නොවේ නම් එම ඇප මුදල රාජසන්තක කිරීමේ හැකියාවක් ඊට (අභිමතානුසාරි බලයක්) අධිකරණයට පැවැරෙනවා. 


නමුත් අදාළ සම්පූර්ණ ඇප මුදලම රාජසන්තක විය යුතුයි කියලා එයින් හැඟවෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඊට අභිමාතානුසාරි බලයක් අධිකරණයට තිබෙනවා. ඇප මුදල ගෙවාගත නොහැකි නම් ඔහුගේ හෝ ඇයගේ දේපළක් තහනමකට ලක්කොට ගෙන එය වෙන්දේසි කිරීමෙන් මුදල් ලබාගැනීමේ හැකියාවක් අධිකරණයට පැවරෙනවා. 
එබඳු අවස්ථාවක දේපළ වත්කම් ආදියත් නොමැති නම් ඇපකරුට සිර දඬුවමකට ලක්වීමට සිදුවෙනවා. එම සිරදඬුවම වන්නේ අදාළ වරදකරුට නියම වෙන දඬුවමෙන් හතරෙන් එකක උපරිමයක්. මෙම ගැටලුවේදී අදාළ තැනැත්තිය අධිකරණයට කරුණු පැහැදිලි කළා නම් මහේස්ත්‍රාත්වරයාට ඇප මුදලෙන් කොටසක් පමණක් රාජසන්තක කිරීමේ හැකියාවක් තිබුණා. ඒ මක්නිසාදැයි කිව​ෙහාත් ගෙවිය යුතු සම්පූර්ණ ඇප මුදලම රාජසන්තක විය යුතු යැයි නීතියේ සඳහන් වන්නේ නැහැ. එහිදී තම අභිමතානුසාරි බලය අනුව අදාළ මුදලම රාජසන්තක කිරීමක් සිදුව තිබෙනවා. මෙවැනි අවස්ථාවක ඇපකරුට සිරදඬුවමට යටත් වීමට සිදුවනවා. 


නීතිය පිළිබඳව නොදැනුවත්ව කටයුතු කිරීම සමාවට හේතුවක්ද? 
 නීතිය පිළිබඳව දැනුවත්ව නොසිටීම සමාවට හේතුවක් නොවෙයි. ඇප අස්සන් කිරීමේදී ඊට අදාළ කොන්දේසි මාලාවක් ලිඛිතව එම බැඳුම්කරයේ සඳහන් වෙනවා. ඒ කොන්දේසි පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. නමුත් බොහෝ අය කියනවා යාළුවෙක්, මිත්‍රයෙක් හෝ සමීප ඥාතියෙක් නිසා ඇප අස්සන් කළා, නමුත් කොන්දේසි පිළිබඳ දැනුවත් වුණේ නැහැ කියලා. එසේ ප්‍රකාශ කිරීම තුළ අධිකරණයකින් සහනයක් ලබා ගන්න බැහැ. 


මෙම සිදුවීමේදී ඇයගේ අසරණභාවය, ඇයගේ නොහැකියාව අධිකරණය පැහැදිලි කළා නම් යම් සහනයක් ලබා ගැනීමේ හැකියාවක්ද තිබෙනවා. නමුත් ඇප මුදල නොගෙවනවා නම් දඬුවමකට යටත් නොවී සිටීමට හැකියාවක් තිබේය යන්න එයින් කිය​ෙවන්නේ නැහැ. 


මෙම ගැටලුවට අදළ පාර්ශ්ව ගැන සැලකීමේදී අදාළ ස්වාමි පුරුෂයා බිරිඳව හැර ගියාද? නැත්නම් එම පුද්ගලයාට විපතක් සිදුවෙලාද? යන්න විමසමින් කල් ගෙවීමට අධිකරණයට හැකියාවක් නැහැ යනුවෙන් ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කළේය. 


 අප ඉහත කී ඛේදනීය ඉරණමට මුහුණ පෑ සේපාලිකා සමන්මලී තවමත් වයස අවුරුදු විසිහතර තරම් අඩු වයසක් වූ තැනැත්තියකි. ඇය පවසන ආකාරයට ඇයගේ සැමියාද විසිපස් වැනි වියේ පසුවන්නෙකි. නමුත් දැන් ඇය මුළු පවුලේම බර කරට ගෙන දරුවන් දෙදෙනා රකිනා මවකි. එමෙන්ම ඇයට ජීවත්වීමට නිශ්චිත ආදායම් මාර්ගයක් තබා හරිහැටි ගෙයක් දොරක් හෝ නැතැයි අප සමඟ පැවසුවාය. 


අඩු වයසින් විවාහ ජීවිතයට පිවිසෙන අය නිසා සමාජ ගැටලු මතුවන අවස්ථා බොහෝමයක් අප ඉකුත් සමයේ ඇසුවෙමු. දුටුවෙමු. ඒ සම්බන්ධයෙන් පුළුල් සමාජ විමසුමක් අවශ්‍ය යැයි අප යෝජනා කරන්නෙමු.

 

සටහන හා ඡායාරූප 
සමන්තිකා මාධවි 
පසුබිම් වාර්තාව:  බළංගොඩ විශේෂ 
වයි.ඒ.එස්. වීරවංශ