IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


නඩුවක් ගොනු කිරීමෙන් පුරවැසිකම අතහැරීමේ වැඩ පිළිවෙළ වළක්වන්න බෑ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ සිවිල් නඩු දෙකක් ගොනුකර ඇති බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමග දේශපාලන වේදිකාවේ උණුසුම්ම මාතෘකව බවට එය පත්විය. 


ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඉහළින්ම කියැවෙමින් තිබිය දී මෙවැනි චෝදනාවන් එල්ල වීම එයට හේතුවිය. 


ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත යුතු අතර ඒ සඳහා මෙම සිවිල් නඩු කොයි ආකාරයකින් බලපෑ හැකිද යන්න පිළිබඳව මේ වෙනවිට සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ. 


මින් එක් නඩුවක් ‘ද සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය විසින් ගොනුකර ඇති අතර, අනෙක් නඩුව කැනඩාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය විසින් ගොනුකර ඇත. 
වධහිංසාවලට භාජන වී යැයි කියන දෙමළ ජාතිකයකු වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ජාත්‍යන්තර සත්‍යය සහ සාධාරණ ව්‍යාපෘතිය නමැති රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කැලිෆෝනියාවේ දිසා අධිකරණයක සිවිල් නඩුවක් පවරා ඇතැයි එම සංවිධානයෙන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් විය. 
දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වෙන ජාත්‍යන්තර සත්‍යය හා සාධාරණ ව්‍යාපෘතිය නමැති සංවිධානය සහ ඇමෙරිකාවේ හවුස්ෆෙල්ඩ් නමැති නීතිඥ සමාගම එක්වී මෙම සිවිල් නඩුව ගොනු කර ඇත්තේ රෝයි සමාදානම් නමැති දෙමළ ජාතිකයකුගේ පැමිණිල්ලක් උඩ බව ද එම නිවේදනයේ දැක්විණ. 


සත්‍යය හා සාධාරණ ව්‍යාපෘතිය නමැති සංවිධානය සහ ඇමෙරිකාවේ හවුස්ෆෙල්ඩ් නීතිඥ සමාගම පෞද්ගලික විමර්ශකයන් මාර්ගයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින ස්ථානය සොයාගෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ පැසඩීනා නගරයේ දී පසුගිය ඉරිදා රාත්‍රියේ ඔහුට නොතීසි බාරදුන් බව ද එහි සඳහන් වේ. 


කැනේඩියානු පුරවැසියකු වන රෝයි සමාදානම් නමැත්තා 2007 වසරේ දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වූ බවත් එම කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පැවැති බවත් සමාදානම් නමැත්තා එම කොට්ඨාසය බාරයේ සිටිය දී කායික සහ මානසික වධ හිංසාවලට ලක්කර ඇති බවත් ව්‍යාජ ප්‍රකාශයකට සහ දඩ මුදල් ගෙවීමකට යටත්ව 2010 වසරේ දී ඔහු නිදහස් කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. 


මේ අතර සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවට චෝදනා කරමින් වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනුකර ඇති බවට බී.බී.සී. සිංහල පුවත් සේවය ඇතුළු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබිණි. 


කෙසේ වෙතත් ඇමෙරිකානු අධිකරණයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට නොතීසි බාර දුන් බවට පළවන වාර්තා ඒ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන බව ඔහුගේ ප්‍රකාශකයකු සඳහන් කරනු ලැබීය. 


ඇමෙරිකානු පුරවැසිභාවය හිමි අයෙකු වූ රාජපක්ෂ මහතා එම පුරවැසිභාවය අහෝසි කර ගැනීම සඳහා අවශ්‍ය අයදුම්පත 2019 මාර්තු මසයේ දී ඇමෙරිකානු රජයට යොමු කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවිය. 


ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් පවතින බවත් එහි ප්‍රතිඵලයක් ලෙසට මෙම සිවිල් නඩු ගොනු කර ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. 


මෙම කුමන්ත්‍රණය පිළිබඳ තම කණ්ඩායම කල් ඇතිව දැන සිටි බවත් එම සිවිල් නඩුවලින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන ගමන් මගට කිසිදු බාධාවක් නොවන බවත් ඔහු සඳහන් කළේය. 


වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ ද කීය. 


“තමන් ඇමෙරිකානු පුරවැසිභාවය අත්හරින බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම තිබිය දී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක නඩු දෙකක් ගොනු කර ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. 


එම එක් නඩුවක් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය තමන්ගේ පියාගේ මරණය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් වන්දි ඉල්ලලා නඩුවක් ගොනු කරලා තියෙනවා. ඒ වගේම කැනේඩියානු පුරවැසියෙක් නඩුවක් ඉදිරිපත් කරලා තිබෙනවා. 


එම කැනේඩියානු පුද්ගලයා අත්අඩංගුවට ගෙන භෞතික වශයෙන් හා මානසික වශයෙන් වධහිංසා කළා යැයි කියන චෝදනාව මත වන්දි ඉල්ලා එම නඩුව ඉදිරිපත් කර තිබෙනවා. 


දැන් මේ නඩු දෙක සම්බන්ධයෙන් කැපී පෙනෙන සිද්ධීන් කිහිපයක්ම තියෙනවා. ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණය සිදුවුණේ මෙයට අවුරුදු දහයකට පමණ පෙරයි. මේ කැනේඩියානු පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ 2007 වසරේ සැප්තැම්බර් මාසයේදීයි. 


මෙයට අවුරුදු දහයකට දොළහකට පෙර සිදුවූ සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් තමයි මේ නඩු දෙකම ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ නඩු සද්භාවයෙන් ද ඉදිරිපත් කරලා තියෙන්නේ කියන ගැටලුව මෙතන දී අපිට මතුවෙනවා. 


ගෙවී ගිය දශකය තුළ හැම අවුරුද්දකම වගේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාවට ගොස් තිබෙනවා. හැබැයි අද වෙනතුරු කිසිම අවස්ථාවක දී මේ විදියේ චෝදනාවක් ඇමෙරිකානු අධිකරණයකට ඉදිරිපත් කිරීමට මේ පුද්ගලයන් කිසිම උත්සාහයක් දරලා නැහැ. 


අවුරුදු දහයක් දොළහක් නොකරපු අධිකරණ ක්‍රියාමාර්ගයකට ඇයි මේ අය මේ මොහොතේ එළැඹෙන්නේ. මේක ප්‍රහේලිකාවක් නෙමෙයි. මේකට හේතුව මොකක්ද කියලා දැන් කාටත් පැහැදිලියි. 


මේ වසර අවසානයේ දී අපේ රටේ පැවැත්වෙන ජනාධිපතිවරණයට මේ හේතුව සම්බන්ධයි. ඒ හැරෙන්න වෙන කිසිදු හේතුවක් නොමැති බවට සක් සුදක් සේ පැහැදිලියි. 
ඇමෙරිකානු නීතිය යටතේ මොකක් හරි නඩුවක් කවුරුහරි දැම්ම නම් ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සම්බන්ධව ඒක බලපාන්නේ නැහැ. එවැනි නීතිමය තත්ත්වය තිබුණි නම් ඕනෑම පුද්ගලයෙකුට විරුද්ධව කිසිදු පදනමක් නැතුව අවුරුදු දහයකට පහළොවකට පස්සේ වුණත් ඕනෑම නඩුවක් ඇමෙරිකානු අධිකරණය හමුවේ ගොනු කිරීමේ හැකියාව තිබෙනවා. 


ඇමෙරිකානු අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමෙන් ඇමෙරිකානු පුරවැසිභාවය අතහැරීමේ වැඩපිළිවෙළ වළක්වාලීමේ තත්ත්වයක් නැහැ. එවැනි දෙයක් මෙයට පෙර සිදුවෙලත් නැහැ. 


දැන් මේ සියල්ලම පිටුපස සිටින්නේ කවුද කියා පැහැදිලියි. මේ සියල්ලම පිටුපස සිටින්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය අද ඉතාමත් ප්‍රබල ලෙස අපේ රට තුළ හා ජාත්‍යන්තරව ඉතා සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. 


අති විශාල මුදල් කන්දරාවක් වැය කරමින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ ජාලය භාවිතා කරමින් කරන ලද සැලසුම් සහගත වැඩපිළිවෙළ රැසක් අද අපේ රටට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. මේකත් එහි එක ප්‍රතිඵලයක්. 


මේ වැඩපිළි​ෙවළ මේ අවස්ථාවේ සිදුවීම ගැන අපි කවුරුත් පුදුම විය යුතු නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව මේ පියවර ගන්නා බව අපි කවුරුත් දැන ගෙන හිටියා. ඒක නොවුණ නම් තමයි මවිතයට පත්විය යුත්තේ. අපි මේකෙන් සැලෙන්නේ නැහැ. 


ගෝඨාභය රාජපක්ෂ මහතා තව දවස් කිහිපයකින් මෙරටට පැමිණීමට නියමිතයි. එතුමාට ඇමෙරිකාවට ඇතුළුවීමට සහ පිටවීමට පූර්ණ නිදහස තියෙනවා. මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට තියෙන්නේ ඇමෙරිකානු පාස්පෝට් එකක්. එතුමා මෙරටට පැමිණි විගස අපි අපේ වැඩපිළිවෙළ අපි ඉතාමත්ම ශක්තිමත්ව ඉදිරියට ගෙනියනවා” යැයි ද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. 

 

 

 

සටහන - නිමල කොඩිතුවක්කු

 



අදහස් (0)

නඩුවක් ගොනු කිරීමෙන් පුරවැසිකම අතහැරීමේ වැඩ පිළිවෙළ වළක්වන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28534 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18199 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11019 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 203 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site