අපට යන්න දෙන්න රාලහාමි! පොලිසිය එක්ක අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. විභාග පාස් වුණ එක්දහස් තුන්සියයක් විතර කැම්පස් එකට බඳවා ගෙන නැහැ. පොලිසියට මේවාට උත්තර දෙන්න බැහැ නේද?


“නීිතියට පටහැනිව යන්න දෙන්න පුළුවන් කමක් නැහැ හාමුදුරුවනේ කරුණාකරලා යන්න!


පාලි, සංස්කෘති භාෂා, දර්ශනය පුරාවිද්‍යාව, ඉතිහාසය, බෞද්ධ දර්ශනය, හින්දු, කතෝලික දර්ශනය ආදී ශාස්ත්‍රීය විෂයන් හැදෑරීම සඳහා විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය ප්‍රමාණය අවම කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂූ බලමණ්ඩලය ඉකුත් දා සංවිධානය කළ උද්ඝෝෂණයක් අවස්ථාවේ පොලිස් පරීක්ෂකවරයෙක් සහ ශිෂ්‍ය භික්ෂුවක් අතර ඇතිවූ තරමක් උද්වේගකර සංවාදයක දෙබස එසේ විය. පොලිස් නිලධාරියෙක් සහ භික්ෂුවක ඒ ආකාරයට ගැටීම සම්බන්ධයෙන් විවිධාකාරයේ විවේචන එල්ල විය. එබඳු ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීමට හේතු වූයේ කුමක්ද? මේ සතියේ අරගලයක කතාවෙන් අප ඒ පිළිබඳව විමසුවෙමු. අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙසේය. 


මෙබඳු ගැටලුකාරී තත්ත්වයක් මතුවීමට හේතුව කුමක්ද?
ඉකුත් දෙදහස් පහළොව වසරේ සිටි විශ්ව විද්‍යාලවල ශාස්ත්‍ර පීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම කප්පාදුවකට ලක්වී තිබෙනවා. තුන්සීයයක් බඳවාගත් ශිෂ්‍ය ප්‍රමාණය අසූවක් දක්වා අවම වී තිබෙනවා. මේ වෙද්දී එය තිහ හතළිහක තත්ත්වය දක්වා අවම වී තිබෙනවා. අතීතයේ කැලණිය ශ්‍රී ජයර්ධනපුර විශ්ව විද්‍යාලවල ශාස්ත්‍රීය විෂයයන් සඳහා වෙනම පීඨ පවා පැවතුණා. අද වෙද්දී ඒ සියල්ල වැසී ගිහින්. උදාහරණයක් විදියට සඳහන් කළොත් කාලයකට පෙර කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන පීඨයක් පවා පැවතුණා. එවායින් උගතුන් බුද්ධිමතුන් බොහෝමයක් බිහිවුණා. නමුත් අද වෙද්දී කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශනය අධ්‍යයන අංශය කියන්නේ වෙනත් අධ්‍යයන අංශයක් යටතේ නඩත්තු වන අනු කොටසක්. දිගින් දිගටම පවතින මෙම ගැටලුව පිළිබඳව අප විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලිඛිතව දැනුම්දීම් සිදු කළා. සාකච්ඡා ඉල්ලා සිටියා. ඒ සියල්ල අසාර්ථක වූ නිසා අපි මහමඟට බැහැලා විසඳුමක් හෙව්වා. ලැබුණේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලු ප්‍රහාර විතරයි. පොලිසිය අපට අධිකරණ නියෝග නිකුත් කළා. කොයිතරම් නියෝග ආවත් අපේ ගැටලුවට විසඳුමක් නැතිව ආපසු හැරිලා යන්න බැහැ. ඒ නිසා අපි නියෝගය භාරගන්නේ නැතිව ඉදිරියට ගියා භික්ෂූන්ට ශිෂ්‍යයන්ට පොලිසිය බැටන් පොලුවලින් පහර දුන්නා. එහෙම කරන්නේ ඇයි කියලා ඇහුවම ඒ සඳහා බලය ලබාදී තිබෙන බව කිව්වා. දර්ශනය, සංස්කෘත භාෂා පාලි භාෂා වගේම අනෙක් සම්භාව්‍ය භාෂා හැදෑරීමට කැමැත්තෙන් සිටින සිසුන් බොහෝමයක් සිටිනවා. අදවෙද්දී විශ්ව විද්‍යාලවල භික්ෂූන් ඇතුළත් කරගැනීම ඉතාම සීමිත මට්ටමකට පත් කරලා තිබෙනවා.


නව අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කරගැනීමේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ඉතා කූට අන්දමින් ශිෂ්‍ය කප්පාදුව සිදු කොට තිබෙනවා. ශාස්ත්‍රීය විෂයයන් සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේදී සාමාන්‍යයෙන් ශිෂ්‍යයන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදය සහ ඊට අමතරව විශේෂ ප්‍රවේශයකින් ද සිසුන් ඇතුළත් කරගන්නවා. පාලි සංස්කෘත පෙරදිග භාෂා වැනි නම් කළ විෂයයක් යටතේ පමණක් සිසුන් ඇතුළත් කරගැනීමක් සිදුවෙනවා විශ්ව විද්‍යාලවල, ප්‍රවේශයට සුදුසුකම් ලැබූ ඇතැම් සිසුන්ට විශේෂ ප්‍රවේශය යටතේ සහ සාමාන්‍ය ප්‍රවේශය යන දෙආකාරයටම සිසුන් බඳවා ගැනීම සඳහා ලිපියවා තිබෙනවා. ලිපිය ලැබෙන්නේ එකම ශිෂ්‍යයෙකුටම වුණත් ප්‍රතිපාදන කොමිසම හරහා ලිපි දෙකක් යැවෙන නිසා බඳවා ගැනීම් නාම ලේඛනය පිරෙනවා නමුත් එකම ශිෂ්‍යයාට උපාධි දෙකක් කිරීමේ අවශ්‍යතාවයක් නැති නිසා එම පුරප්පාඩුව පිරෙන්නේ නැහැ. ඒ වෙනුවට ඊළඟට සිටින ශිෂ්‍යයාට ඉල්ලුම් කිරීමේ හැකියාවකුත් නැහැ.


ශාස්ත්‍රීය විෂයයන් කප්පාදු කිරීම ආරම්භ වුණේ එක්දහස් නවසිය හැත්තෑ අට විවෘත ආර්ථික ක්‍රමයත් එක්කයි. රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් විෂයයන් සඳහා පමණක් උසස් අධ්‍යාපනය කේන්ද්‍ර ගතවීම පාඩුවක්. එයින් වියතුන් බිහිවන්නේ නැහැ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කියන්නේ වෙළඳපොළ ඉල්ලුමට සැපයෙන භාණ්ඩයක් තත්ත්වයට අද වන විට පත්වෙලා. 


රජය මේ ගැන කිසිදු මැදිහත් වීමක් සිදු කරන්නේ නැහැ. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න සල්ලි බල පුළුවන්කාරකම් තිබෙන ශිෂ්‍යයෝ නවසීයයක් වගේ පිරිසක් වෙනුවෙන් හඬා වැලපෙන වත්මන් රජයේ බලධරයෝ දුප්පත් අහිංසක උසස් පෙළ සමත් වුණ සුදුසුකම් සහිත ශිෂ්‍යයන් ගැන සොයා බලන්න කවුරුත් නැහැ. ශාස්ත්‍රීය විෂයයන් ඉගෙන ගත්තාම ලාභ උපයන්න බැහැ නමුත් එයින් ලැබෙන සමාජ ලාභය නම් මිල කරන්න බැහැ. 

 


භික්ෂූන්ගේ විනය සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වෙනවා. එයට ලබාදිය හැකි පිළිතුර කුමක්ද?
භික්ෂුව ඉන්නේ හොරුන්ට පිරිත් කියන්න නෙවෙයි. බදු ගහලා ජනතාව පීඩාවට පත්කරන ඇමතිවරුන්ගේ ගුණවර්ණනා කරන්නට නෙවෙයි. ජනතාවගේ මුදලින් යැපෙමින් ජනතා පීඩනය හමුවේ නිහඩව හිඳීම බුද්ධ චීවරයට අගෞරවයක්. අපි ශීත කළ මාලිගා ඇතුළේ සැප විඳින්නේ නැහැ. මිල කරන්න බැරි තරම් වාහන ඉල්ලන්නෙත් නැහැ. විභාගය පාස්වුණ අපිට උපාධියට අවස්ථාව දෙන්න කියලා විතරයි ඉල්ලන්නේ. බුදු බණක් දේශනා කරන්න රුපියල් ලක්ෂයක් පනස්දහසක් ඉල්ලන භික්ෂූන් ඉන්න රටක උපාධියේ අයිතිය වෙනුවෙන් කෑගහන අපේ විනය ගැන කතා කරන විදිය සාධාරණ නැහැ. පොලිසියේ මහත්වරු අපිට ගැහුවා. කිසි ගැටලුවක් නැතිව වාඩි වෙලා ඉද්දිත් ගැහුවා. මහජන පීඩාවක් වෙනවා කියලා පාරට නොබැහැ වෙන අපට කරන්න දෙයක් නැහැ. ගොවියෝ ගැටලු කියන්න පාරට බැස්සාම මහජන පීඩාවක් කියලා චෝදනා කරනවා. ටෙලිකොම් කම්කරුවන්ටත් එහෙමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ටත් එහෙමයි. මහජන පීඩාව කියන්නේ මොකද්ද? ගැටලුවලට විසඳුම් නොදී බැටන් පොලුවලින් පහරදීමට කියන්නේ මොකද්ද? මේවා ගැන හොයා බලන්නේ කවුරුන්ද?


විශ්ව විද්‍යාලයට එන භික්ෂූන් චීවරය අත්හරිනවා කියලා සමාජයේ චෝදනාවක් නැඟෙනවා. 


ඒකට කියන්න තියෙන්නේ එක උත්තරයයි. මහණ කරන භික්ෂුව මහණකම අත්හරිනවා මහණවෙන භික්ෂුව චීවරයේ රැඳෙනවා. මගේ පැවිදි ජීවිතය එක්ක මට උදාහරණයක් කියන්න පුළුවන්. මා සමඟ පැවැදි වූ දහතුන් දෙනා අතරින් නව දෙනෙක් උපැවදි වුණා. ඒ අය කිසිවෙක් විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වූ අය නෙවෙයි. නමුත් මාත් සමඟ විශ්ව විද්‍යාලය ප්‍රවේශ වූ භික්ෂූන් තිදෙනාම තවමත් චීවරය දරනවා. එක්දහස් නවසිය අසූ හතර අසූ හත කාලසීමාවේ ඉඳලම ශිෂ්‍ය සටන්වලදී භික්ෂූන් පෙරමුණ ගත්තා බලහරුවේ සෝම හිමි, තාරපේළියේ රතන ජෝතී හිමි, තලාකොළවැවේ චන්ද්‍රරතන හිමි, පානදුරේ ආන්නදන් හිමි ඇතුළු භික්ෂූන් පිරිසක් ඊට පුරෝගාමී වුණා. නිදහස් සටනේදී වාරියපොළ සුමංගල හාමුදුරුවෝ කුඩාපොළ හාමුදුරුවෝ කළ කැපකිරීම් අපේ ඉතිහාසයේ නොමැකෙන හිමිවරුන් ලෙස සටහන් වෙනවා. සමාජය ගිනිගනිද්දී භික්ෂුව නිහඩව සිටිය යුතු නැහැ. විනය කියන්නේ මොකද්ද කියලා අපි හොඳට දන්නවා. රටේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීම විශ්ව විද්‍යාල ශිෂ්‍ය භික්ෂූන්ගේ සුබසාධනය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් උරෙනුර ගැටීම සරසවි ශිෂ්‍ය භික්ෂු ජිවිතයේ අරමුණක් වෙනවා. භික්ෂුවගේ බාහිර ස්වරූපය ගැන හිතලා ඔවුන් පිළිබඳව නිගමනය කිරීම වැරදියි. සමාජය සුපේෂල සාමකාමී තත්ත්වයක තිබෙනවා නම් අපිටත් තවුස්දම් පුරන්න පුළුවන් සුගතානන්ද හිමියෝ අප සමඟ පැවසූහ.


විශ්ව විද්‍යාලවල ශාස්ත්‍ර පීඨ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම කප්පාදුවකට ලක්වී තිබේද?
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උපසභාපති පී.එස්.එම්. ගුණරත්න මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවේය.
“ශිෂ්‍ය කප්පාදුවක් කිසිදු අයුරකින් සිදුවන්නේ නැහැ. විශ්ව විද්‍යාලවලින් ඉල්ලා සිටින ශිෂ්‍ය ප්‍රමාණය අපි ලබා දෙනවා. ශාස්ත්‍රීය විෂයයන් සඳහා සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාවලියේ යම් ගැටලුවක් තිබෙනවා. උදාහරණයක් ලෙස සාමාන්‍ය ක්‍රමයෙන් එකයි දශම හතරයි පහක කඩයිම් ලකුණින් ශිෂ්‍ය බඳවාගැනීම් සිදුවෙද්දී ශාස්ත්‍රීය විෂයයන් සඳහා ඊට අවම කඩඉම් ලකුණු යටතේ පවා ශිෂ්‍ය බඳවා ගැනීම් සිදුකරනවා. අද වෙද්දී ශාස්ත්‍රීය විෂයයන් සඳහා ඉල්ලුම්කරන ශිෂ්‍ය ප්‍රජාව අවම මට්ටමක් කරා එළැඹ තිබෙනවා. සිසුන් බොහෝ විට ඉල්ලුම් කරන්නේ ජනප්‍රිය විෂයයන්. ශාස්ත්‍රීය විෂයයන් සඳහා බඳවා ගැනෙන ශිෂ්‍ය කප්පාදුවත් සිදුවන්නේ නැහැ කියලා පැහැදිලිවම කියන්න පුළුවන් ගුණරත්න මහතා අප සමඟ සඳහන් කළේය.

සටහන ---- සමන්තිකා මාධවී
ඡායාරූප - - ඉෂංක සුනිමල්