දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයකට අයත් බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ පිහිටි තෙල්ලඹුර ග්‍රාමය අදටත් ගැමිකම රැඳී පවතින සොඳුරු ගම්මානයකි. සොබා සොඳුරු වන පෙත්වලින් හා ඇළදොළ වලින් පිරී මනස්කාන්ත පරිසරයක් තෙල්ලඹුර ගමට පා නැගූ ඕනෑම අයකුට දැක ගැනීමට හැකිය. තෙල්ලඹුර යන ගම ගැන මුලින්ම එකල ගුවන් විදුලියෙන් මෙන්ම පුවත්පත් සඟරා වලින් දැන ගැනීමට ලැබුණේ සසුන්කෙත බැබලු වියත් යතිවරණයාණන් වහන්සේ නමක් වූ කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවනේ උප ප්‍රධානාචාර්ය ධුරය දැරූ තෙල්ලඹුර පවරකිත්ති නාහිමියන්ගේ ශ්‍රී නාමයෙනි.   

අප මුලින්ම තෙල්ලඹුරේ යන ග්‍රාමයට ග්‍රාම නාමය ලැබී ඇති අයුරු සොයා බැලිය යුතුය. 


තොටගමුවේ ශ්‍රී රහල් මාහිමියන් වැඩහිටි තොටගමුවේ විජයබා පිරිවෙන් රජමහා විහාරස්ථානයට තෙල් මුරයක් පිදු ගම තෙල්ලඹුර යන නමින් ප්‍රකට වු බව අදටත් තෙල්ලඹුර ගමේ ජිවත්වෙන පැරැන්නෝ පවසති. මේ ගැන තවත් ජනප්‍රවාද කතාවක් ඇත. එය නම් ශ්‍රීපාදස්ථානයට වාර්ෂිකව තෙල්මුරයක් පිදු නිසා තෙල්ලඹුර නමින් ප්‍රකට වූ බවය. කෙසේ වෙතත් තෙල්මුරයක් පිදු ගම තෙල්ලඹුර වු බව බොහෝ දෙනාගේ පොදු පිළිගැනීමයි. 


තෙල්ලඹුර ගමේ පුරාණය ගැන තොරතුරු සොයා යෑමේදී හමුවු තෙල්ලඹුර පුෂ්පාරාමාධිපති ශාස්ත්‍රපති පලල්ලෙ සරණජෝති හිමියන් තෙල්ලඹුර ගමේ පුරාණය ගැන පැවසුවේ මේ අයුරිනි. 
ඈත අතීතයේ ඉඳලම කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වු ජනතාවක් වාසය කළ ගමක් වශයෙන් තෙල්ලඹුර ගම හඳුන්වා දෙන්න පුළුවන්. දැන් බලන්න තෙල්ලඹුරේ පුරාණ විහාරයේ නම ඛෙත්තාරාමය වශයෙන් තමයි යොදලා තියෙන්නේ ඛෙත්තාරාමය කියන්නේ සරුසාර කෙත්වතුවලින් පිරුණු ගම මැද පිහිටි විහාරස්ථානයටයි. ඉස්සර තෙල්ලඹුර ගමේ මිනිරන් කර්මාන්තය තිබිලා තියෙනවා. අදටත් මිනිරන් පළේ ගෙදර ආදී නම්වලින් හඳුන්වන්නේ ඒ මිනිරන් හාරන ලද වළවල් තවමත් ගමේ තිබෙන නිසයි. ඊළඟට ගමේ හිටපු පැරැන්නෝ මැණික් ගැරීමත් කරලා තියෙනවා. එක පැත්තකින් මිනිරන් කර්මාන්තය තවත් පැත්තකින් මැණික් කර්මාන්තය අනෙක් පැත්තෙන් කෘෂිකර්මාන්තය මේ සියලු දේවල් වලින් පෙනි යන්නේ ඈත අතීතයේ ඉඳලා තෙල්ලඹුර ගම සශ්‍රීක මෙන්ම ආර්ථික වශයෙන් සමෘදධිමත් ගම්මානයක් වශයෙන් පැවැති බව තමයි. 

 

 

තෙල්ලඹුර ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ මුලින්ම විහාරාධිපතින් වහන්සේ වශයෙන් වැඩ ඉදලා තියෙන්නේ කන්ද උඩරටින් වැඩම කරන ලද සිරිමල් වත්තේ හාමුදුරුවෝ කියන යතිවරයාණන් වහන්සේ තමයි. උන්වහන්සේ දක්ෂ පරිත්ත භාණකවරයාණන් වහන්සේ නමක්. 


ඒ කාලේ ගමේ ගිහි උදවියටත් මධුර ස්වරයෙන් පිරිත් කියන්න උන්වහන්සේ උගන්වලා තිබෙනවා. මේ අවධියේ අවට ගම්මානවල විසු භික්ෂූන් වහන්සේලා අතර වලවේ පංසලේ සිංහලේ හාමුදුරුවෝ උඩුමලගල පංසලෙන් නාකියාදෙණියට වැඩම කළ ජපන් හාමුදුරුවෝ නමින් හැඳින්වූ යාලේගම සරණපාල නායක හාමුදුරුවෝ නාකියාදෙණිය ගම දියුණු කරලා තිබෙනවා. ඒකාලේ තෙල්ලඹුරේ මිෂනාරී අ්‍ධ්‍යාපන ක්‍රමය යටතේ ආගම් ඉස්කෝලයක් තිබිලා තියෙනවා. අද විජය විදුහල නමින් හඳුන්වන විදුහල තමයි ඒ කාලේ ආගම් ඉස්කෝලේ නමින් හඳුන්වලා තියෙන්නේ. මෙවැනි වාතාවරණයක් යටතේ බෞද්ධ දු දරුවන්ට ඉගෙන ගන්න පාසලක් නොමැති යුගයක අග්ගමහා පණ්ඩිත වල්පොළ රාහුල හිමියන්ගේ ගුරුවරයා වූ සත්‍යනාථ වීරසිංහ පඬිවරයා මුල්වී තෙල්ලඹුර බෞද්ධ විදුහලක් තැනීමට පියවර අරගෙන තිබෙනවා. 


ඒ විදුහල 1926 වසරේදී දුටුගැමුණු විදුහල නමින් රමණීය භූමියක ​ෙපාල් අතු මඩුවකින් ආරම්භ කරලා තිබෙනවා. මේ විදුහල ඇරඹීමත් සමග අවට ගම්මානවල දූ දරුවන් පවා ඉගෙනීම සඳහා මේ විදුහලට ඇවිල්ලා තියෙනවා. යක්කලමුල්ල පොල්පාගොඩ වල්පොල ආදී ගම්මානවල මෙන්ම කොට්ටව තල්ගම්පල වගේ ප්‍රදේශවලිනුත් දූ දරුවන් මේ විදුහලට ඉගෙන ගන්න ඇවිත් තිබෙනවා. 
ඒ කාලේ ගමේ දක්ෂ වෙද මහත්වරු ඉඳලා තිබෙනවා. පුංචි වෙද මහත්තයා ගම්පහ වෙදමහත්තයා වගේම සර්පයන් දෂ්ඨ කළාම වෙදකම් කරන වෙද මහත්වරු ගමේ ඉඳලා තිබෙනවා. ගමේ ශාන්තිකර්ම බලිතොවිල් කරන යකදුරු මහත්තයාලා කියන පිරිසකුත් ගමේ ඉඳලා තිබෙනවා. මේ සියලු දෙනාම ගමත් සමග මෙන්ම ගමේ පංසල සමගත් පුදුම බැඳීමකින් හිටපු අය තමයි. 
රූපවාහිනී යන්ත්‍ර නොතිබුණ අවදියක රේඩියෝව තිබුණත් සවස පංසලට ගොඩවෙලා බුදුන් වැඳලා බණ අහලා යන සිරිතක් ඒ කාලේ ගැමියන් තුළ හොඳින් තිබුණා. 


ගමේ පංසලේ නාට්‍යාසාරයෙන් පවත්වනු ලබන ධර්ම දේශනා විහාරස්ථානයේ මතු දියුණුව වෙනුවෙන් පවත්වනු ලබන සල්පිල් බොදු බැති ගී සදංර්ශන වගේම වසරක් පාසා පවත්වනු ලබන දුරුතු මහා පෙරහර ඒ කාලේ ගැමි සංස්කෘතිකයේ වටිනා හර පද්ධතීන් වුණා යැයි සරණජෝති හිමියන් අවසන් වශයෙන් පැවසුහ. 


තෙල්ලඹුරයෙන් බිහිවූ ලේඛකයන් සිහිපත් කිරීමේදී ‘හරිම පුදුම ඉස්කෝලේ’ ඇතුළු ග්‍රන්ථ ගණනාවක් රචනා කළ නැසීගිය ලීලානන්ද ගමාච්චි මහතාද මේ මොහොතේ සිහිපත් කළ යුතුව ඇත.
තෙල්ලඹුර ගම්මානය මිහිරි ගීතයක පදවැලක් පරිද්දෙන් ඉතා රසවත්ව එහි අතීත මතක සටහන් සිහිපත් කළේ තෙල්ලඹුරේම උපත ලද කිවිපති රත්න ශ්‍රී විජෙසිංහ කවීන්ද්‍රයාණන්ය. 


ඇත්තෙන්ම තෙල්ලඹුර කියලා මට දැනෙන්නේ ඉතාම රොමැන්ටික් සිහිනයක් වගේ. එහි රසය කවරදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ හදවතේ ගැඹුරුම තැනක ලියවී තිබෙන කවක් පරිද්දෙන් ඒක මට නිතර දැනෙන දෙයක් මගේ නිර්මාණාත්මක කෞශල්‍යයේ තෝතැන්නක් වූයේ මගේ සුන්දර තෙල්ලඹුර ගම්මානය තමයි. මේ ගමේ බොහෝ දෙනා එකම නෑ පරපුරකින් පැවත එන පිරිසක්. 


දොඩම්පේ ගමගේ බඹරැන්ද ගමගේ තෙල්ලඹුර විතානගේ ආදී වශයෙන් ගමේ නෑ පරපුර හඳුන්වා දෙන්න පුළුවන්. මගේ අම්මාගේ ගම තමයි තෙල්ලඹුර කියලා. කියන්නේ මගේ තාත්තා ඇල්පිටිය ප්‍රදේශයේ ඉඳලා ඇවිත් ඔය මහේස්ලන්ඩ් වත්ත අසල කඩයක් දාගෙන ඉඳලා තියෙනවා. වත්තේ කඩේ මුදලාලි කියලා තමයි මගේ පියාට කියන්නේ. මගේ අම්මා කුඩා කාලයේදීම මිය යනවා. ඊට පස්සේ මගේ තාත්තත් මිය පරලොව යනවා. 


මේ අහිමි වීම් සමග මගේ ජීවිතේ විරහවෙන් පිරුණු ජීවිතයක් වුණා. මම හැදුණු පරිසරය බොහෝම වන ගහනයෙන් පිරුණු ප්‍රදේශයක්. අපිට අක්කර බාගයක විතර කුඹුරක් තිබුණා. මේ කුඹුරේ වක්කඩ ළඟ පිලී හයි කරනවා. දිය පාරවල්වල හුළං පෙති හයි කරනවා. අපේ ගෙදර තිබුණේ කන්ද උඩ තමයි. ආත්තම්මලාගේ මහගෙදර තිබුණේ ටිකක් පහළට වෙන්න තමයි. මේ ගෙවල් දෙක අතර මිටර් 300ක විතර දුරයි. මම පොඩි කාලේ කම්බි ඇදලා ටින් එකකින් ටෙලි​ෙෆා්න් එකක් හදාගෙන සෙල්ලම් කළා. ඉතින් මේ ළමා කාලය ඉතාම සුන්දරයි. මේ වනගහනයෙන් පිරි වපසරිය තුළ මගේ ළමා විය හුදෙකලා විදිහට තමයි ගෙවුණේ. ඉස්කෝලේ ගිහිල්ලා එද්දී මිතුරන් හමුවෙනවා. මම මුලින්ම අවුරුදු 3දී ඉස්කෝලේ ගියේ නාවල රජයේ කනිෂ්ඨ විද්‍යාලයට තමයි. පහළ බාලාංශය හා ඉහළ බාලාංශය දක්වා ඉගෙන ගන්න ගියේ නාවලට. 


මට ඉගැන්වූ ඉස්කෝලේ හාමිනේලා අතර මහදුවේ ඉස්කෝලේ හාමිනේයි. මගේ මතකයට එන්නේ. පස්සේ මාත් ගුරුවරයෙක් වුණ කාලේ නැවුන්ගල මහ විදුහලේ එතුමිය සමග මටත් එකම විදුහලේ ආචාර්ය මණ්ඩලයේ එකට සේවය කරන්න ඉඩ ලැබුණා. 


අපේ තාත්තා ඇතුළු ගමේ බොහෝ දෙනා එකතු වෙලා ඉහළ තෙල්ලඹුර විද්‍යාකාන්තී විදුහල හදනවා. මම ඒ විදුහලේ 2 වැනි පංතියට ඉගෙන ගන්න යනවා. 


එකපාරක් විද්‍යාකාන්තී විදුහලේ වහලත් හුළඟට ගහගෙන ගියා. මේ සිද්ධියෙන් ටික කලක් මහේස්ලන්ඩ් වත්තේ දලු මඩුවේ අපේ පාසල කරගෙන යනවා. එතැනන් මම අවුරුද්දක් පමණ ඉගෙන ගත්තා. ඊළඟට මම 3 වැනි පංතියට යන්න තෙල්ලඹුර දුටුගැමුණු විදුහලට ඇතුළු වෙනවා. හැතැප්ම 2ක් විතර පයින්ම තමයි යන්නේ. මගේ පුංචි අම්මාත් ගියේ මේ දුටුගැමුණු විදුහලට නිසා දිනපතාම ඇයත් සමග දුටුගැමුණු විදුහලට ඉගෙන ගන්න ගියා. 


ඒ කාලේ අද වගේ සෙරෙප්පු සපත්තු නැතුව තමයි මේ සැතපුම් දෙක පයින් යන්නේ. නමුත් ඒ ළමා ජීවිතය ඒ කාලේ හරිම සුන්දරයි. මට ඉගැන්වූ ගුරුවරු අතර කරුණාතිලක මහත්තයා මගේ මතකයට එනවා. දුටුගැමුණු විදුහලෙදී මම හැමදාම පංතියේ පළමු වෙනියා වෙනවා. කොහොම හරි මම 7 වැනි පංතිය දක්වා දුටුගැමුණු විදුහලට ඉගෙන ගන්න ගියා. 6 වැනි පංතියේදී මම පහේ ශිෂ්‍යත්වය ලියනවා. 


මම පහේ ශිෂ්‍යත්වයෙන් පාස් වෙනවා. 7 වැනි පංතියේදී ප්‍රථිපල එනවා. 1965 වසරේ දුටුගැමුණු විදුහලෙන් අයින් වෙනවා. ඊට පස්සේ හික්කඩුවේ ශ්‍රී සුමංගල මැදි මහ විදුහලට ඇතුළත් වෙනවා. නමුත් මගේ ගම මට අමතක කරන්න බැරි නිසා සෑම සති අන්තයකම මම ගමේ යනවා. මගේ සිතේ ඇඳිලා තියෙන තෙල්ලඹුර නම් වූ සුන්දර ගම්මානය මගේ ජිවිතයත් එක්ක පුදුම බැඳීමක් තමයි තියෙන්නේ. එක්තරා සතිඅන්තයක ගාල්ලට ඇවිත් උඩුගම බස් එකෙන් ගොස් තෙල්ලඹුර හන්දියෙන් බැස්සේ ගෙදරට යෑම පිණිසයි. තෙල්ලඹුර හන්දියෙන් බැහැලා නාමුල්ලෙ මුදලාලිගේ තේ කඩයෙන් බනිස් ගෙඩියක් කලා තේ එකක් බිව්වා. ඊට පස්සේ ඒ කඩෙන්ම ඉටිපන්දමක් අරගෙන පොල් කටුවකුත් ඉල්ලගෙන ඉටිපන්දම පත්තු කර ගෙන ඇඟිලි දෙකේ රඳවා ගෙන ගෙදරට යෑමේ ගමන ආරම්භ කළා. ටික වේලාවක් යනවිට ඉටිපන්දම් කිරි ඇඟිලි දෙකේ බේරෙන්න පටන් ගත්තාම ඇඟිලි දෙක මාරුකර ගනිමින් අමාරුවෙන් දැන් ගමන යනවා. ගුරුපාර දිගේ මෙහෙම යද්දී දෙල්ගහදුවේ ඔපිසර මහත්තයා කියලා දොඩම්පේ ගමගේ සලමන්ද සිල්වා කියන ගම්මුලාදෑනියා අපේම ඥාතිවරයෙක්. ඔහු මැරුණු වෙලාවේ ලොකු ගෙඩි ගෙයක් හදලා එතැන සොහොන තිබුණා. මේ සොහොන අසලදී එතැන ගෙජ්ජි හොළවන හඩක් මට ඇහුණා. ළමාවියේ ඉන්න මම දැන් ඇස් දෙක පියාගෙන එතැනින් දුවලා යනවා. පස්සේ බැලින්නම් එතැන හරකෙක් බැඳලා උගේ ගෙජ්ජි හඬ තමයි මට ඇහිලා තියෙන්නේ. 


මම ගාල්ලේ රිච්මන්ඩ් එකේ ඉගෙන ගන්න දවස්වල ගාල්ලේ කොටුවේ තමයි නතර වෙලා හිටියේ. දවසක් මම තිත්ත කළුවරේ තෙල්ලඹුරේ හන්දියෙන් බැහැල ගෙදර යනවිට ඉහළ තේල්ලඹුර විද්‍යාකාන්ති විදුහල අසල පටු පාරේදී අපේ සුවඳරා ආත්තම්මා කියලා ආත්තම්මා කෙනෙක් කළුවරේම ඇවිත් මගේ ඇඟේ හැපුණා. මාව වෙලට විසිවුණා. සුවඳරා ආත්තම්මා පංසල් යන්නයි ඇවිල්ලා තියෙන්නේ. අනේ බුදු පුතේ උඹට තුවාල වුණාද කියලා අහලා මාව නැගිට්ටවලා හෝදවලා මගටත් ගිහින් මාව ඇරලවලා උන්දැ යන්න ගියා. ඒවගේ ඒ කාලේ අමුතුම සුන්දර පරිසරයක් තමයි ගමේ තිබුණේ. ඒ දවස්වල මේ ජීවිතය කටුක වගේ දැනුණත් අද කල්පනා කරන විට ඉතාම සුන්දරයි. 

 

 

ඇත්තෙන්ම අපි දැකලා තිබුණේ නැහැනේ ලෝකය මේ තරම් සුවපහසුයි කියලා. ඒ අනුව දැන් ඒ දිහා බලනවිට දැනෙන සුන්දර බව වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මේවායේ තිබෙන වඩාත්ම සුන්දර බව දැනෙන්නේ මට වගේ මේ අත්දැකීම් කිසිම ළමයෙකුට හම්බවෙලා නැහැ කියලා මට දැනෙන නිසයි. ඇත්තෙන්ම පස්සේ කාලේ මම ලියනවනේ මගේ ගමත් එක්ක තිබුණු සම්බන්ධතාව ගැන මම ලියු සෑම පොතකම තියෙනවා. මම මගේ ගම ගැන ලියු වදන්. 


මෙලොව සුන්දරම අහස ඇත්තේ මගේ ගමට ඉහළින් අම්මා නිදන තැන ඇයගේ සොහොනට උඩින් 


ගලින් ගලට අඩි තිය තිය 
හෙමින් හෙමින් අකුරට යන 
පුංචි නංගීයේ 
හෝඩි පොතේ මල් පිපිලා 
පාර දෙපැත්තේ මගේප


ළමුවැනි ගුරු පත්වීම ලබාගෙන ඉස්කෝලයට යද්දී ළමයින් ඒදණ්ඩෙන් එගොඩවෙලා ඉස්කෝලේ අකුරු කරන්නට එනවා. ඒවා දැකලා තමයි මේ ගීතය ලිව්වේ. 


නැවුන්ගල මහාවිදුහලට උගන්වන්න දෙටු කොළණිය හරහා දුෂ්කර මාර්ගයේ එද්දී හිමිදිරි උදෑසන පිනිපොද වැටිලා මගේ කලිසමත් තෙමෙනවා. පයින්ම ඇවිල්ලා පටි සපත්තු දෙක ඉක්මනට කැඩෙනවා ඉද්දමල්දෙණිය වත්ත අසලින් යද්දී තමයි ඉද්දමල්දෙනිය වත්තෙන් ඉද්දමල් කඩා යන ගීතය මගේ අතින් ලියවුණේ. 


නැවතත් මගේ පාසල් කාලය ගැන සඳහන් කළොත් මම පහේ ශිෂ්‍යත්වය පාස් වෙලා හික්කඩුව මැදි මහ විදුහලේ නේවාසිකාගාරයට ගිය දිනයේ දැනුණ පාළුව තනිකම, හුදෙකලා බව මට විඳ දරා ගන්න බැරිවුණා. මගේ ඥාති මිත්‍රාදින්නේ සමු අරගෙන ආපසු මේ ගමන තුළ දැනුණු පාළුව තනිකම, දුරුකර ගැනීමට මම කළ එකම දෙය තමයි ගොඩක් පොත්පත් කියවන්න පුරුදුවීම ඊළඟට පුළුවන් තරම් ලියන්න පුරුදු වුණා. මම ලේඛකයකු හරි කවියකු හරි වුණානම් වෙන්නේ මේ පසුබිම මතයි. මම හත්වැනි පංතියේදී තමයි දවස පුවත්පතේ ගීතාංජලි කියන කවි පිටුවට කවියක් ලිව්වේ. ඒ කාලේ ඒ මුල් පිටුවේ පින්තූරයක් තිබුණා ඒකට කවියක් ලියන්න කූපනයක් තිබුණා ඔරුවක් උඩ ගඟක් අයිනේ කොල්ලෑවත් තියෙනවා. ගැහැනු කෙනෙක් චීත්තෙයි හැට්ටෙයි ඇඳගෙන බෙල්ලේ මුතු පොටක් දාගෙන කූඩයක් අතේ තියාගෙන ඉන්න පින්තූරයක් තිබුණා. ඒකට කවියක් ලියන්න ඕන මම එ්කට කවියක් ලිව්වා. 


මල් මල් චීත්තය තිත් හැට්ටයකි
ගත මුල් මුතු පොට ගෙලෙහි හිල් කූඩයකි
අත කොල්ලෑවට නැගී පෑවත් සිනා වත
කෙල්ලේ ඔබට තව ඔරු පැද පුරුදු නැත 


​ෙම් කවියට පළමු ස්ථානය ලැබිලා මට රුපියල් 25ක මුදල් තෑග්ගක් ඒ කාලේ ලැබුණා. කොහොම හරි රුපියල් 25ක චෙක් එකක් තමයි ආවේ. තෙල්ලඹුර හන්දියේ පීරිස් මුදලාලිගේ කඩේට දීලා මේක මාරු කර ගත්තා. හැබැයි පීරිස් මුදලාලි ශත 45ක කොමිස් මුදලක් ලබා ගත්තා. මේ සිදුවීමෙන් පස්සේ හික්කඩුව මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිතුමා මාව විදුහලේ උදේ රැස්වීමේදී කැඳවලා මේ කවිය මට කියලා රැස්වීමේදී කියවලා ඉස්කෝලේට මාව හඳුන්වලා දුන්නා. මේ සිදුවීම මට ලොකු උත්තේජනයක් වුණා. ඊට පස්සේ මම නිතරම කියවන්නත් ලියන්නත් පුරුදු වුණා. රිච්මන්ඩ් එකෙදී මගේ නිර්මාණශීලී ​ෙලා්කය තවත් වැඩිදියුණු වුණා. එදා ඉඳන් අද දක්වාම මගේ ගම සමග මගේ ඇති බැඳීම අඩුවක් වෙලා නැහැ. 


නැවතත් තෙල්ලඹුරේ දුටුගැමුණු විදුහලේ ඉගෙන ගත් කාලය සිහිපත් වෙනවිට එ් කාලේ රතු මහත්තයාගේ කඩේ කියලා කඩයක් තිබුණා. ඒ කඩේ ළඟ ලොකු ඇඹරැල්ල ගහක් තිබුණා. ඒ ඇඹරැල්ල ගහේ ගෙඩි කොල්ලෝ පොලු ගහලා කඩනවා. එහෙම කඩන ඇඹරැල්ලා අපි බෙදා හදාගෙන කනවා. නාවල කනිටු විදුහලට යද්දී මාදං හිඹුටු පේර ගස්වල ගෙඩි පිරිලා ඒවා කඩ කඩා කමින් තමයි ඉස්කෝලේ යන්නේ. මැස්කිම් ගෝර්කි කියනවා එයා පොඩි කාලේ කාපු පාන් පොතු තවම දිරවන්නේ නැතිව බඩේ තියෙනවා කියලා. 


මටත් කියන්න තියෙන්නේ මම පුංචි කාලේ ඉඳලා ගමේ කාපු වෙරළු පේර අඹ පලා කොළ පොලොස් ගොටුකොළ මගේ බඩේ තියෙනවා. එවා තමයි මගේ නිර්මාණ අමුද්‍රව්‍ය ​ෙවලා තියෙන්නේ. ඒ දවස්වල කොට්ටව පංසලේ එහෙම සති පිරිත් පිංකම්වලට අපි යනවා ඒ කාලෙට පංසල හරියට සැණකෙළියක් වගෙයි. මාරක වලේ බයිසිකල් ධාවනය විජ්ජා පෙන්වීම මේවා බලන්න අපි ​ෙතල්ලඹුරේ ඉඳලා අතුරු පාරවල්වලින් කොට්ටවට යනවා. මේ සියලු සුන්දර මතක සටහන් තෙල්ලඹුර ගමත් මගේ ජීවිතයත් අතර පවතින්නේ පුදුම බැඳිමක්. මාව නිර්මාණකරුවෙක් කිරීමට මේ සොඳුරු වනපෙත සරුසාර කෙත්වතු අතර ඇත්තේද පුදුම බැඳීමක්. රත්න ශ්‍රී විජේසිංහයන් අවසන් වශයෙන් ප්‍රකාශ කළේය. තෙල්ලඹුර ගමේ අතීත තොරතුරු ඊළඟට ගෙනහැර පෑවේ ඩි.ජී. ධර්මසේන මහතාය. 


ඉස්සර තෙල්ලඹුර ගමේ කරත්ත තිබුණා. ගමේ මිනිස්සු මිනිරන් පවා ගාල්ලට අරන් ගිහින් තියෙන්නේ කරත්ත වලින් තමයි. තෙල්ලඹුර දුටුගැමුණු විදුහල අසල ගොඩපරගහ කියන හරියේ තමයි ඒ කාලේ කරත්ත බැඳලා කියලා තියෙන්නේ. ඉස්සර උඩුගම පාරේ වැඩ කළේ එක බස් එකයි ගාල්ලේ පැටි මහත්තයාගෙ තමයි ඒ බස් එක. ඒ බස් එකට ගොඩවෙන්න තිබුණේ පිටිපස්සෙන් ඉස්සර නාකියාදෙණිය උඩුගම ආදී වතුවල හිමිකරුවෝ වුණේ සුදු පාලකයන්. ඔවුන් අශ්වයා පිටිනුයි වතුවලට ගිහිල්ලා. තියෙන්නේ කොට්ටව මූකලාන හරියේ අශවයන්ගේ ඉස්තාලයක බිත්ති තිබුණා මට මතකයි ඉස්සර වී වගාව විතරක් නොවෙයි කුරහන් මෙනේරි වගේ ධාන්‍ය වර්ගත් තිබිලා තියෙනවා. 


ඉස්සර පවුලක සාමාජික සාමාජිකවන් 10ක් 12ක් විතර ඉන්න පවුල් තිබුණා. ඉතින් කැත්ත උදැල්ලේ වැඩ කරන්න හොඳ පුරුෂයෝ ගමේ හිටියා. එක පුරුෂයෙකුට පුළුවන් ඒ කාලේ වී මලු 10.12 වැඩ කරන්න. ඒ තරමට වැඩ කරන්න පුළුවන් මිනිස්සු ගමේ හිටියා. ඒ කාලේ පැල් රැකීම තිබුණා. පැල්වල ඉන්න මිනිසුන්ගෙන් සීපද රාවය රාත්‍රියට අහන්න පුළුවන්. තේ වගාවක් සමග ඒ තත්ත්වය වෙනස් වුණා. ඉස්සර උදේ පාන්දර කුඹුරු වැඩ කාලේට හු කිව්වාම ඒ හූවට තවත් හුවකින් උත්තරදීලා මිනිස්සු වැඩට එනවා. උදේට අමුඩය ගහ ගත්තාම රාත්‍රියේදී තමයි නැවත අමුඩේ ගලවන්නේ. ඒ කාලේ අලබතලවලට තෙල්ලඹුරේ හරි ප්‍රසිද්ධයි විශේෂයෙන් ඉන්නල වගාව ඉතාම ජයට මේ ප්‍රදේශයේ තිබුනා. ඉස්සර අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලොරි දෙක තුනක් ඇවිත් ඉන්නල අරගෙන යනවා. 


තෙල්ලඹුරේ යසවති පණ්ඩිත මහත්මිය සිය ගම ගැන අදහස් දැක්වුයේ මේ අයුරිනි. ඒ කාලේ තෙල්ලඹුරේ හන්දියේ තිබුණේ වකෝනා කඩේ, ගම්පහ කඩේ, පියුම් කඩේ සහ අපේ ගෙදර කොස් ගහ කඩේ තමයි තිබුනේ. 


ඒ දවස්වල ගමේ කාන්තාවෝ වෙල්වල තිබුණු පන් උදුරාගෙන ඇවිල්ලා පන්මලු වගේම ලොකු මාගල් වියනවා. මේවා හරිම ප්‍රයෝජනවත් වෙනවා. වී වනන්න මාගල හරිම ප්‍රයෝජනවත්. ඊළඟට කඩේට ගියේ පන් මලු අරගෙන මිස ඔය ෂොපින් බෑග් කියන ඒවා ඒ කාලේ තිබුණේ නැහැ. එ කලේ ශ්‍රීපාද වන්දනාවේ යනවා කියන එක හරිම දුෂ්කර කාර්යයක්. මම අවුරුදු 10දී ශ්‍රීපාදේ වඳින්න ගියා. ඉස්සර මිනිස්සු පයින්ම තමයි රත්නපුරේ පාරේ ශ්‍රීපාදයට ගිහිල්ලා තියෙන්නේ. ඉස්සර ගමේ පොල් අතු සෙවිලි කළ ගෙවලුත් තිබුණා. සිංහල උළු සෙවිලි කළ ගෙවල් ද තිබුණා. අහංගම පැත්තේ පොල්අතු කරත්ත යක්කල මුල්ල පොළට එනවා එතැනින් මිනිස්සු පොල් අතු අර ගන්නවා. ඊට පස්සේ ගමේම ගඩොල් කර්මාන්තය තිබුණා පස්සේ ගමේම උළු කර්මාන්තයක් පටන් ගත්ත නිසා ගමේ හොඳ ගෙවල් හැදෙන්න පටන් ගත්තා. ඒ කාලේ සරල සමාජයේ මිනිස්සු හරිම සමගියෙන් සමාදනයෙන් ජිවත් වුණා. අවසාන වශයෙන් තෙල්ලඹුර ගම තරම් වටිනා සුන්දර ගමක් මට නම් ඇත්තේ නැහැ කියන එක තමයි ප්‍රකාශ කරන්න තියෙන්නේ යසවතී පණ්ඩිත මහත්මිය පැවසුවාය. 

 

 

 

 

 

 

 

 

 

 

 


සටහන හා ඡායාරූප
මහින්ද ආරියවංශ