සිරිපා වඳින්නට සමනලුන් පියඹායන මංපෙත ඔස්සේ...

 

 

සිරිපා මළුවට පහළින් හැරමිටිපාණට සහ එරත්න පාරේ ඉඳිකටුපාණට වම්පසින් ආරම්භ වන කුඩා උල්පත් කිහිපයේ එකතුව පහළ දී සීතගඟුල බවට පත්වෙන්නේ සැලකිය යුතු දොළක් බවට හැරෙමිණි.


සීතගඟුලේ හිරිගඩු පිපෙන සීතල වතුර කැටි හා හා පුරා කියා මුලින් ම ඉඳුල් කරන්නේ දැරණියගල මාළිබොඩ හරහා සිරිපා කරුණා කරන්නට එන බැතිමතුන් ය. ඊළඟට කුරුවිට එරත්න පාරේ එන බැතිමත්හු වර්ණගල, සුදුවැල්ල පහුකර සීතගඟුලේ දී ‘සීතගඟුල’ ඉඳුල් කරති.


සුමන සමන් දෙවියන්ගේ අඩවියේ කට වරද්දා නොගන්නා බැතිමතුන් සියලු කිලි සෝදා හිමගිරට ඇතුළු වෙන්නේ මේ සීත ගඟුලෙන් එගොඩ වෙමිනි.


බැතිමතුන් එසේ සිරිපා කරුණා කරද්දී, රංචු රංචු සමනල රෑන් සිරිපා පිහිටි සමනල කන්ද හෙවත් සමන්තකූඨ පර්වතය කරා පියඹා යන ආකාරය සිරිපා කරුණා කරන මාවත් කිහිපයෙන් ම යද්දී දැක ගත හැකි සුලබ දසුනකි. 


සබරගමුවට අධිගෘහිත සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනයකට සමනල කන්දට වැඩම කළ සම්මා සම්බුදු හිමියන් සමනල කඳු මුදුනේ වු ඉන්‍ද්‍රනීල මාණික්‍යයක් මත  වම් සිරිපා සටහන තැබූ බව පරම්පරාගත ජන විශ්වාසයකි. සුමන සමන් දෙවිඳුන්ගේ වාස භවන සමන්තකූඨ පර්වතය හෙවත් සමනල කන්ද  වූ නිසා සුමන සමන් දෙවිඳුන් ප්‍රධාන දේව දූතයන්, සුරංගනාවියන් උදේ සවස වන්දනා මාන කරන සමනල කන්ද මනුෂ්‍යයින් විසින් සොයා ගැනීම ගැන දැන ගන්නට ඇත්තේ ද පාරම්පරික ජන වහරේ එන ජන කතාවලිනි.
වූ ක්‍රි.පූ. හයවන සියවස හෙවත් අදින් වසර 2600 කට පෙරදී බුදුරජාණන් වහන්සේ ගේ තුන් වැනි ලංකා ගමන සිදුවූ අවස්ථාවේ උන්වහන්සේ සමන්තකූඨ පර්වතය හෙවත් සමනල කන්දට නොඑසේනම් වර්තමානයේ හඳුන්වන ශ්‍රීපාදස්ථානයට වැඩම කළ බව ‘මහාවංශය’ කියයි.


පුරාවිද්‍යා ගවේෂකයෙක්, මෙන්ම ගත් කතුවරයෙකු ද වන ජයන්ත විජේරත්න ලේඛකයා පැවසුවේ ජනකතා අතර ඇති පාරම්පරික ජනකතා තුළ පුරාවිද්‍යා සාධක පවා තිබිය හැකි බවයි. සමනල කන්දේ සිරිපා පතුල සොයාගැනීම ගැන පාරම්පරික බෞද්ධ ජනකතාවල ඇත්තේ සුළු සුළු වෙනස්කම්ය.


සිරිපා මළුවට සුරංගනාවියන් මල් ගෙනයන මල්වත්තක් ගැන ඒ පාරම්පරික ජනකතාවල කියැවෙයි. එක් සමයෙක රටේ රජ්ජුරුවන්ට අයත් රාජකීය මල්වත්තක් සබරගමුවේ පිහිටි කතාවක් වැඩිහිටියන් අතර අදටත් පවතී. ගංගාවක් අයිනේ පිහිටි මේ මල්වත්ත විශාල ප්‍රදේශයක් පුරා පැතුරුණු පර මල් ඇතුළු නා නා විධ මලින් පිරුණු එකක් බව ඒ කතා කියයි.
සිරිපා අඩවියෙන් ගලා එන සීතගඟුල කුරුවිට එරත්න පාරේ වර්ණගලදී  ‘කුරු ගඟ’ බවට පත්වෙයි. වර්ණගල සිට එරත්න දක්වා තද බෑවුම සහිත මගක් ඔස්සේ පහළට ගලාගෙන එන මේ කුරු ගං කොමළිය අඩවිකන්ද, එරත්න, බටතොට, සූදාගල හරහා පන්නම දක්වා එන්නේ ගලින් ගලට පනිමින් දඩබ්බර කොලු ගැටයෙකුගේ හැසිරීම් රටාවක් පෙන්වමිනි. 
පන්නමින් කුරුගඟ ‘බෝපත් ඇල්ල’ නම් විස්මිත ස්වභාවික නිර්මානයෙන් ඇද හැලෙනු දකින ජනයා වශීකෘත වෙයි. ඊට වහ වැටී බෝපත් ඇලි කොමළිය සිපගන්නට වෙර දරන හැම දෙනාම සිය වසඟයට ගෙන සඟවා ගන්නා සීතගඟුලේ මේ නිල් දියකැටිය එතැන් සිට කළු ගඟ හමුවන තුරු තැන දෙතැනකදී හැර නිසොල්මනේ පහළට ගලා යයි.
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩකඩ, දෙල්ගමුව, කඳන්ගොඩ, පහළ කුරුවිට, තෙප්පනාව යන ගම් හරහා  නිම්නයක් ඔස්සේ පසුකරමින් රත්නපුර පානදුර ප්‍රධාන පාරද පසුකර කුරුං මෝදර දී කළු ගඟට එක්වෙයි. එකී ගමන් මග තුළ දී හමුවන දෙල්ගමුව ග්‍රාමයට පහළින් පිහිටි ‘මල්වත්තඕවිට’ නමින් වර්තමානයේ හඳුන්වන ගම සුරංගනාවියන් සිරිපා පුදට මල් නෙළුෑ ‘රාජකීය මල්වත්ත’ යැයි ජනවහරේ එයි.


මේ සම්බන්ධව පාරම්පරික ජනකතා ගණනාවකි. එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙයි. අපි අද කතා කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ, වර්තමානයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හෙවත් අතීතයේ කුරුවිටි කෝරළය අවට ප්‍රදේශයේ වැඩිහිටියන් තුළ වූ ජන විශ්වාසයන් කිහිපයකි. මේ පාරම්පරික ජන විශ්වාස මුසාවකැයි කෙනෙකුට බැහැර කළ හැකිය. එය සත්‍යයක් යැයි තව කෙනෙකු පිළිගත හැකිය. කෙසේ නමුත් මේ ජනකතාවේ කතුවරයකු, ඊට නියමිත කාලවකවානුවක්, ඒ කාල වකවානුවේ පුද්ගලානු බද්ධයක් ගැන සඳහන් නොවේ.

 

පිපුණු පරමලක්

 


එසේ නමුත් එකී ජනකතාව තුළ කියවෙන යම්යම් කරුණු දෙස ඉතා විමර්ශනාත්මකව සොයා බැලීමේ දී බැහැර කළ නොහැකි යමක් ඇති බව විශ්වාස කළ හැකිය. 


‘කුරුවිට’ යන නම හැදුණු හැටි සහ මේ සුරංගනාවියන් මල් නෙළුෑ මල් වත්ත අතර යම් සම්බන්‍ධයක් ඇද්ද යන්න කෙනෙකුට සිතිය හැකිය. සිවුපා සතෙකු වන ‘අලි’ හඳුන්වන්නට ද ‘කුරු’ යනුවෙන් භාවිත කරයි. මේ කුරු අලි ද නිතර ගැවසුණ ජලය තරමක් යුතු ජලජ පැලෑටි මෙන්ම පඳුරු ස්වභාවයෙන් යුතු ගස්වැල්වලින් සමන්විත ‘ඕවිට’, කුරුන් සිටිය ඕවිට විය. එනම් අලි සිටිය ඕවිට විය. පසුකලෙක භාවිතයේ පහසුව තකා මේ ‘කුරු- ඕවිට’, ‘කුරුවිට’ වූ බව ජනප්‍රවාදයේ එයි. නමුත් හැබෑ කුරුවිට වර්තමානයේ කුරුවිට නගරය පිහිටි ප්‍රදේශය නොව අද පහළ කුරුවිට නමින් හඳුන්වන ප්‍රදේශය යැයි ද එකී මූලාශ්‍ර පෙන්වා දෙයි.


වර්තමාන කුරුවිට ප්‍රදේශය රාජකීය තැඹිලි උයනයක්ව තිබූ බවත් එය ‘තැඹිලි- ආන’ ලෙස හැඳින්වූ බවත් එකී මූලාශ්‍ර කියයි. ‘කැඹිලිආන’ පසුකලක ‘තැඹිලියන’ නමින් හැඳින්වූ බවද කියයි. කුරුවිට නගරයට යාබද ගම අදටත් හඳුන්වන්නේ ‘තැඹිලියන’ නමිනි. මේ ජනකතා මූලාශ්‍ර එස්සේ විමර්ශනාත්මකව බැලූ විට රාජකීය මල්වත්තක් සහ තැඹිලි උද්‍යානයක් පැවතුණේ නම් සිරිපා පුදන්නට සුරංගනාවියන් මල් නෙළුෑ රාජකීය ‘මල්වත්ත’ අද ‘මල්වත්තඕවිට’ නමින් හඳුන්වන ප්‍රදේශය යැයි අනුමාන කළ හැකිය.


“එක්තරා කාලයක අපේ රටේ රජකෙනෙකුට අයත් මල්වත්තක් තිබුණා. මේ මල්වත්තේ තියන මල් හැම දාම උදේ වෙනකොට කඩලා. කඩන්නේ කවුද කියලා හොයාගන්න රාජ පුරුෂයන් යෙදෙව්වට වැඩක් වුණේ නෑ. හැමදාම උදේට බලන කොට මල්වත්තේ නැවුම් මල් කවුරුන් හෝ විසින් නෙළාගෙන ගෙනිහින්. ගෙනගිය තැනක්වත් හොයාගන්න නෑ. මේ සම්බන්‍ධයෙන් රජ්ජුරුවන් හිටියේ කලකිරීමෙන්. හොරු අල්ලන්න යෙදූ රාජපුරුෂයොත් හිටියේ හරිම බයෙන්. හොරු අල්ලලා දුන්නේ නැත්නම් හිස ගසා දැමීමට ලක්වෙන බව රාජපුරුෂයන් දැන සිටියා.” මේ රාජකීය මල්වත්ත ගැන පාරම්පරික ජනකතාවේ එසේ සඳහන් වෙයි.


මල් හොරු අල්ලා දෙන කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙන බවට රජු විසින් යැවූ අණබෙරයක් නැවැත්වූ කෙනෙක් අත්පා නැති කොටෙකුට එය කළ හැකි බවට පොරොන්දු වී රාජකීය මල්වත්තේ පැලක් තනා ඒ පැලේ ‘කොටා’ හොරු ඇල්ලීමට කොටාගේ ඥාතීන් විසින් නැවැත්වූ බව ද එම ජනකතාව කියයි. මේ කියන ‘කොටා’ කිසියම් වරදක් නිසා ඥාතීන් විසින් අත්පා කපා දඬුවම් ලැබූවෙකු බවත්, මල් හොරුන් අල්ලන්නට බැරි වුණොත් හිස ගසා දැමීමට ලක්වන නිසා රාජකීය මරණ දඬුවම ලබාදීමට උපක්‍රමශීලීව හොරු ඇල්ලීමට යෙදූ බව ද සමහර ප්‍රදේශවල මේ ජනකතාව අනුව සඳහන් වෙයි.

 

රාජකීය මල්වත්ත අසලින් නිහඩව ගලනා කුරුගඟ

 

 


රාජකීය පුරුෂයන්ටත් අල්ලාගන්නට බැරි වූ මල් හොරු අතපය නැති කොටා කෙසේ අල්ලන්න දැයි හැමෝම පුදුම වූ බවත් එකී ජන විශ්වාසය පෙන්වා දෙයි. මේ මල් හොරකම් කළ රාජකීය මල්වත්තට සමන්තකූඨ පර්වතය යහපත් කාලගුණය ඇතිවිට නැගෙනහිර පැත්තෙන් හොඳින් දිස් වෙයි.


මල් හොරු අල්ලන්නට රාජකීය මල්වත්තේ පැලක ඉන්න කොටාට ද කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකරමින් මල් හොරකම සිදුවෙයි. කොටාට මල් හොරු අල්ලා දීමට නියමිත කාලයද දවසින් දවස ගෙවීයයි. දැන්නම් ඉතිං තමන්ට මරණය හැර වෙනත් විකල්පයක් නැති බව කොටාට අවබෝධ වූ නිසා ‘සතර සතිපටාඨන සූත්‍රය’ කියවන්නට වූ බව ද මේ පාරම්පරික ජනකතාවේ කියැවෙයි.


සුපුරුදු පරිදි සිරිපා පුදන්නට වනමල් නෙළන්නට ආ සුරංගනාවියන්ට මල්වත්තේ පැත්තකින් මිහිරි මිනිස් කටහඬකින් ‘සතර සතිපට්ඨාන සූත්‍රය’ සඡ්ඡායනා කරන හඬ සවනට වැටී දින කිහිපයක් තිස්සේ ඇසෙන ඒ මියුරු හඬ ගැන සොයා බලද්දී රාජකීය මල්වත්තේ පැලක සිටින කොටා දැක ඇති බවද ජනතකා මූලාශ්‍ර පෙන්වා දෙයි.


දින කිහිපයක් තිස්සේ ඇසෙන මේ මිහිරි ගායනයට වශී වූ සුරංගනාවියන් මිනිස් වෙස් ගෙන කොටා හමුවට පැමිණ පැලේ සිට මිහිරි ගායනයක් කරමින් කුමක් කරන්නේ දැයි විමසා ඇත. රටේ රජ්ජුරුවන්ට අයත් මේ මල් වත්තේ හැමදාම උදේට මල් අඩුවන බවත්, ඒවා කවුරුන් හෝ විසින් හොරකම් කරන බව විශ්වාස කර හොරු ඇල්ලීමට තමන් පැලේ සිටින බව කොටා සුරංගනාවියන්ට දැනුම් දී තිබේ. 


මල් හොරු අල්ලා දීමට තමන්ට දුන් කාලයෙන් ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයක් බවත්, හොරු ඇල්ලුවේ නැත්නම් තමන්ගේ හිස ගසා දමන නිසා මරණය බලාපොරොත්තුව සම්මා සම්බුදු රාජණන් වහන්සේ දෙසූ සතර සතිපට්ඨාන සූත්‍රය සඡ්ඡායනා කරමින් හිස ගසා දමන දිනය එළඹෙන තෙක් ගතකරන කරන බවත් කොටා මේ මිනිස් වෙස් ගත් සුරංගනාවියන්ට පැවසූ බවද එම ජනකතාවේ සඳහන් වෙයි.


කොටාගේ මේ කතාවෙන් මල් නෙළන්නට ආ සුරංගනාවියන් දැඩි සේ දුක් වූ බවත්, රජුගේ මල් වත්තේ මල් නෙළන්නේ තමන් බවත්, සුරංගනාවියන් වූ තමන් මේ නෙළාගන්නා මල් සමන්තකූඨ පර්වත මුදුනේ ඇති සිරිපතුල වන්දනා කිරිමට ගෙනයන බවත් කොටාට දැනුම්දුන්හ. ඒ අවස්ථාවේ කොටා සාදුකාර දී පින් අනුමෝදන්ව අත්පා නැති තමන්ට සිරිපතුල වන්දනා කරන්නට නොහැකි වීම ගැන දුක්වන්නේ යැයි සුරංගනාවියන්ට දැනුම්දුන් බව ද එකී ජනප්‍රවාදයේ එයි.


කොටාගේ කපා දැමූ දෑත් දෙපා කෙළවරවල සුරංගනාවියන්ගේ සළු පොටවල් ස්පර්ශවන්නට සැලැස්වීමෙන් පසු අත් පා සම්පූර්ණ වූ බවත් මල් නෙළුෑ සුරංගනාවියන් සමන්තකූඨ පර්වතයට යන මග දිගේ මල් වැටෙන්නට සලස්වා අතපය සම්පූර්ණ වූ කොටාට සමන්තකූඨ පර්වතය මුදුනේ සිරිපතුල වන්දනා කරන්නට මග සලසා දුන් බවත් මේ ජනකතාව අවසන් වෙයි.


මෙය ජනකතාවක් නිසා මේ කතාව විශ්වාස කර කටයුතු කිරීම මිත්‍යාවක් විය හැකිය. නමුත් ඒ ජනකතාවේ ඇති පිළිගත හැකි සාධක ඔස්සේ මනාව සිතූ විට සුරංගනාවියන් සිරිපා පුදට මල් නෙළුෑ මල්වත්ත කුරුවිට නගරයට නුදුරු ‘මල්වත්තඕවිට’නොවේදැයි එක් වරම බැහැර කිරීම ද අපහසුය.


වත්මන් ‘මල්වත්තඕවිට’ පිහිටීම ගත්කල සිරිපා මලුවේ සිට බටහිර දෙසට බලද්දී හමුවන කුරු ගඟේ දකුණු පැත්තේ සියවස් ගණනාවකට පෙර අක්කර සිය ගණනක් වූ මේ රාජකීය මල්වත්ත පිහිටා තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. එකී රාජකීය මල්වත්ත වත්මන් ‘මල්වත්තඕවිටට’ ලඝු නොවී කඳන්ගොඩ, පහළ කුරුවිට, තෙප්පනාව, මුදුන්කොටුව, පොහොරබාව ආදී විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබෙන්නට ඇතැයි සැක සිතිය හැකිය.


පසුකාලීනව ජනාවාස වෙමින්, වගුරු බිම් සහ ඕවිටි කුඹුරු බවට පරිවර්තනය වෙමින් තැනින් තැන ගෙවල් එක දෙක ඉදිවෙමින් සියවස් ගණනක් තිස්සේ ජනාවාස වන්නට ඇතැයි ද අනුමාන කළ හැකිය. 


රාජකීය මල්වත්තේ මල් හොරු අල්ලන්ට හිටි කොටා සුරංගනාවියන්ගේ උදව් ඇතිව අත්පා නැවත ලබා සිරිපා මළුවේ ශ්‍රීපතුල වන්දනා කර සමන්තකූඨ පර්වතය මුදුනේ සිරිපතුල ඇති බව සොයාගත් බවට වන ජනප්‍රවාදය සුරංගනා කතාවක් වුවත් ලංකාවේ රජ කළ රජදරුවන් බොහෝ දෙනෙක් සිරිපා කරුණා කළ බවට පොතපතේ දැක්වේ.


ක්‍රිස්තු වර්ෂ 1059ත් 1114ත් අතර රජකළ ශ්‍රී සංඝබෝධි විජයබාහු හෙවත් පළමු වැනි විජයබාහු රජු සිරිපා වන්දනා කළ පළමු ශ්‍රීලාංකික රාජ්‍ය නායකයා යැයි ඇතැම් පොත්පත් පෙන්වා දෙයි. රජුගේ ගමන් මාර්ගය කුරුවිට, එරත්න, ගිලීමලේ ඔස්සේ වූ බවද ඇතැම් පොත්පත් වල සඳහන් වෙයි. එය සත්‍යයක් නම් ශ්‍රී සංඝබෝධි විජයබාහු රජු සිරිපා කරුණා කළේ සුංරංගනාවියන් මල්දමා පෙන්නූ පාරෙන්දැයි කෙනෙකුට සිතුණොත් එය ද බැහැර කළ නොහැක. 


ශ්‍රී සංඝබෝධි විජයබාහු රජු මේ සිරිපා ගමනේ දී ගිලීමලේ සහ බඹරබොටුව යන ගම් දෙක ශ්‍රී පාදස්ථානයට පූජාකර ගිලීමලේ සහ අඹගමුව සෙල්ලිපි දෙක කරවූ බවද ඉතිහාසයේ සඳහන් වෙයි. වර්තමානය මෙන් ජනාකීර්ණ නොවූ එසමයෙහි ගස්වැල්වලින් අනූනව මහ ඝන වනාන්තරයක් වූ සමනල අඩවියේ පිහිටි සමන්තකූඨ පර්වතය මුදුනේ සම්මා සම්බුදු පියාණන්ගේ වම්සිරිපා පද්මය පිහිට වූ තැන වැඳපුදාගන්නට අද වැලනොකැඩී යන බැතිමතුන් බොහෝ දෙනෙක් මේ පුරාවෘත්ත දන්නේ දැයි සැකයක් පවතී.


සමන්තකූඨ පර්වතය පහළ කඳුවැටියේ සීත ගඟුලට ඉහළින් ‘පලතුරු වත්තක්’ ගැන ද ජනප්‍රවාදයේ කියවෙයි. එහෙත් එය දුටු කෙනෙක් මෙ​ෙතක් හමු වී නැත. සබරගමුවට අධිගෘහිත සුමන් සමන් දෙවියන් ඇතුළු දෙවිවරුන්ගේ භාවිතයට මෙම පලතුරු උයන පිහිටා ඇති අතර මනුෂ්‍යයෙකුට කිසි දා එහි ළඟාවිය නොහැකි බවත් ජනප්‍රවාද කියයි. සමහර වැසි දිනවලට කුරුවිට එරත්න පාරේ සීතගඟුලේ ඉහළ සිට පොල්අතු, අඹ අතු වැනි පලතුරු ගස්වල අතු පහළට ගලාගෙන එන බව බොහෝ දෙනකු දැක ඇතිබව ද ජනප්‍රවාදයේ සඳහන් වෙයි. 

 

සුරංගනාවියන් මල්නෙලු මල්වත්ත පිහිටි යැයි  අනුමාන කරන ප්‍රදේශය

 

 


ජනවාරි මාසයේ අග සිට පෙබරවාරි මාසයත් මාර්තු මාසයේ මුල් සතියත් සමනල අඩවියට වැස්ස අඩුය. එසේම ජූලි අග සිට අගෝස්තු අග දක්වාද වැසි අඩුය. සමනලුන් සිරිපා වදින්නට රංචු පිටින් යන්නේ මේ වියළි කාලයට යැයි ජන විශ්වාසයක් පවතී. සුරංගනාවියන් මල් නෙළාගෙන පෙන්වා දුන් මග ඔස්සේ සමනලුන් සිරිපා වන්දනාවේ යන බවට පැරැන්නන් කී විට වත්මන් පරපුර එය හාස්‍යයෙන් යුතුව බැහැර කළේය. ඒ සමනලුන්ට ඔච්චර දුරක් පියඹා ගියහැකි දැයි ප්‍රශ්න කරමිනි.


නමුත් අද මේ තර්කය බැහැර කර පැරැන්නන් කළ විශ්වාසය අපට පිළිගන්නට සිදුව තිබේ. තමිල්නාඩුවේ සිට ‘සේනා දළඹුවාගේ’ සලබයා කිලෝමීටර් සියයකට වැඩි දුරක් දැඩි සුළඟද නොතකා මහ මුහූද තරණය කරගෙන පැමිණියානම්, ගස්වැල් වලින් පූර්ණ වූ මල් සහ නෙක පලතුරු වලින් පලබර මගක් ඔස්සේ කිලෝමීටර් දහයක් පහළොවක් පියඹා යන්නට ඇතැයි යන්න කෙසේ බැහැර කළ හැකි ද?

 


තවත් කොටසක් ලබන සතියේ....

 


සටහන සහ ඡායාරූප
අජිත්ලාල් ශාන්තඋදය