සලරුවක කතාව

රපියෙල් (ලැඩී) හා බිරිඳ හෙලේනා (මිලී කහඳවල) පාන් විකුණන කාලේ  , රඳළ වෙස් ගත් මිස්ටර් රෆායෙල් (ලැඩී රණසිංහ) නන්දාවතී (රීටා රත්නායක) සමඟ  , ගිල්බට් (හර්බි සෙනෙවිරත්න) නන්දාවතී (රීටා රත්නායක)

 

 

‘රපියෙල් බාස් කිඹිසින්න විය - උදේ අවදි වූ වේලේ පටන් තොරතෝංචියක් නැතිව, කිඹිසින්න විය. ඔහුට හැඳීගෙන එන්නේ, හෙම්බිරිස්සාවකි. වෙන මිනිහකුට නම්, මේ හෙම්බිරිස්සාව කරදරයකි - නිව්මෝනියා වැනි භයානක රෝගයකට වුවත්, පාර කැපෙන්නට හැකි හෙයින් පරෙස්සම් විය යුත්තකි. එහෙත් රපියෙල් බාස්ට මේ හෙම්බිරිස්සාව ප්‍ර‌ීතියකි. ප්‍ර‌ීතිය වුණේ, අන් කිසිවක් නිසා නොව, වැළඳුණේ, හොඳ කෙනෙකුගෙන් හෙයිනි. රදළ කෙනෙකුගෙන් වැලඳුණු හෙම්බිරිස්සාව, අහක දැමිය යුත්තක් නොවේ’’   


සාහිත්‍ය කීර්ති ඩබ්ලියූ.ඒ.සිල්වා මහතා 1939 වැන්නේ මාර්තු 10 වැනි දින මතුරට දී ලියා නිම කළ දස වැනි නවකතාව වූ ‘රදළ පිළිරුව’ ඇරඹෙන්නේ එසේය. ‘රදල පිළිරුව’ ඉංග්‍රීසියෙන් සඳහන්ව ඇත්තේ Radala Piliruwa Or 'THE PUPPET NOBLEMAN' කියාය.   


පාන් පෙට්ටිය ඔළුවේ තබාගෙන ‘පාන් පාන්’ කියමින් වෙළෙඳ‌ාමේ ගිය රපියෙල් බාස් සුදුසු රැකියාවක් සොය සොයා කොළඹ වීථි ගානේ රස්තියාදු වෙමින් සිට අයිස් ක්‍රීම් වෙළෙඳාම, පාන් විකිණීම ආදියෙන් කිසිම සරුවක් නොවූයෙන් උඩරට තේවත්තක රක්ෂාවකට ගියේය. හෙතෙම ක්‍රමයෙන් භාග්‍යය ලබන්නට විය. වතු ජීවිතය ඇරඹූ ඔහු පසුව ගොඩනැගිලි කොන්ත්‍රාත් කරුවකු වී මුදල් හදල් හම්බ කර ගෙන යළිත් කොළඹ දෙමටගොඩ පදිංචියට ආවේය. මුදල් හදල් අතේ වැඩි වෙන්නට වෙන්නට අතීතය මතක් කරනු ලැබීම ද අප්‍රිය කළේය. අන් කිසිවක් තබා ඔහු මෙතරම් තත්ත්වයකට ගෙන ඒමට එකම බලපෑම වූ සිය පරණ පැළැන්තියේ බිරිඳ වන හෙලේනාගේ දර්ශනය ද ඔහුට සතුට ගෙන දෙන්නක් නොවීය.   


කොළඹ කුරුඳුවත්තේ විශාල නිවසක් මිළ දී ගත් රපියෙල් බාස් අහංකාරයෙන් මත්විය. ලොකු ලොක්කන් ඇසුරු කිරීම ඉතා ප්‍රිය මනාප විය. මෙකල ඔහු ආශ්‍රයට වැටුණු චාලි හාමු නමැත්තකු නිසා මේ රදළ පිස්සුව දෙගුණ තෙගුණ විය. චාලි හාමු කියන පදයට රපියෙල් බාස්ට නටන්නට සිදුවිය. මේ කරදරය නිසා වඩාත් කරදරයට පත්වූයේ බිරිඳ හෙලේනාත්, දියණිය වන නන්ද‌ාවතීත් ගෙදර මෙහෙකාරිය වූ අයෙෂාත්ය.   


රපියෙල් බාස්ගේ මේ අලුත් පිස්සුව කෙරෙහි කළකිරී සිටි තවත් කෙනෙකු වූයේ ඔහුගේ ලියන්නා වූ ජස්ටින් ​ෙෆාන්සේකාය. ඔහු රපියෙල් බාස්ට මෙන්ම ගෙදර ස්වාමිදුවටද, දියණියට හිතවත්ය. චාලි හාමු තමා හා විවාහ ගිවිස ගෙන සිටි ලැවිනියා නම් වැන්දඹු වලව්කාරිය රපියෙල්බාස්ට ජෝඩු කොට මුදල් ගැරීමට සමත් විය.   


ලැවිනියා කෙරෙහි සිත ඇදී ගිය රපියෙල් බාස් කොණ්ඩය කපා, කලිසන් කෝට් අඳින්නට පටන් ගත්තේය. දිනක් ළමා තැනීම රපියෙල් බාස් බංගලාවට කැඳවන බව චාලි හාමු දන්නා පණ්ඩිතයකු ගෙන්වා පිළිගැනීමේ සිරිත්, උගැන්නුවේය. මොහුගේ නම ශ්‍රී කමලනාථය. ඊට අමතරව සංගීතඥයෙක් ගෙන්වා සංගීතය ඔහු උගත්තේය. දැන් රපියෙල් ‘මිස්ට රෆායෙල්’ ය. ඔහු පණ්ඩිතයාගෙන් ව්‍යාකරණ ශාස්ත්‍රය පාළි සංස්කෘත, ප්‍රාකෘතාදිය චන්දස්, අලංකාර ඉගෙන ගත්තේය. නවීන පන්නයේ පුස්තකාලයක්ද නිවසේ ඉඳි කර ගත්තේය. ඔහුගේ උපදේශකයා කිළිටි ඇඳුම් අඳින, විකාර ඇඳුමකින් සැරසුණු කමලනාථ පඬිවරයා කෝලමක් බඳු චරිතයකි.   
මිස්ටර් රෆායල්ගේ දියණිය ගිල්බට් නම් තරුණයකු හා පෙමින් වෙළී සිටියාය. මුලදී ඔවුන්ගේ විවාහයට කැමතිව සිටි රෆායෙල් රදළ පිස්සුව නිසා ඔහුගේ වංශයට, පුරාජේරුව මදි වී තම දියණිය චාලි හාමුට විවාහ කර දීමට සිතුවේය. ගිල්බට්ට මෙය දැරිය නොහැකි දුකක් විය. නන්ද‌ාවතීද ගිල්බට් අමතක කර දැමීමට නොහැකිව ළතවූවාය. ගිල්බට්ට මෙහිදී පිහිටට ආවේ කාවන් නම් හිත මිතුරාය. ඔහු රාෆායෙල්ගේ රදළ උණ සනීප කිරීමට උපායක් සෙවීය. එය ක්‍රියාත්මක විය. නන්දාවතීට විවාහයට සුදුසු සියම් කුමාරයෙක් ගැන කාවන් රෆායෙල්ට යෝජනා කළේය.   


මේ යෝජනාවට හෙලේනා හා නන්ද්‍රවතී විරුද්ධ විය. රාෆායෙල් සියම් දූත පිරිසට තම බංගලාවට ආරාධනා කළේය. අවසානයේ සියම් කුමාරයා ගිල්බට් බව සැවොම දැන ගත්තේ විවාහ ගිවිස ගැනීමෙන් පසුවය. රෆායෙල් තම රදළ පිස්සුව නිමා කරමින් නව යුවළට ආශිර්වාදය කළේය. නන්දාවතී ගිල්බට් සමඟ ද චාලි ලැවිනියා සමගද, ගෙදර මෙහෙකාරිය අයෙෂා හා රියැදුරු තෝමස්ද විවාහ වීමෙන් සියලු ප්‍රශ්න නිමාවට පත්වෙයි. ර​ෆායෙල් නැවත ‘රපියෙල් බාස්’ වීමෙන් පසු තම බිරිඳ හෙලේනාගේ අගය වැඩි වැඩියෙන් වැටහිණි.   


‘රදළ පිළිරුව’නවකතාව ඩබ්ලියු.ඒ. සිල්වා මහතාගේ සෙසු නවකතාවල මෙන් මිනිමැරුම් දිවි නසා ගැනීම් නැත. එය උපහාස රසය පිරි කතාවකි. ප්‍රංශ ජාතික නාට්‍යකරුවකු වූ මෝලියර්ගේ ‘ල බුර්ජවා ජොංටිඔම් Le Bourgeois Gentlihomme' (The Would be gentleman) නම් කෘතියෙන් සිංහලයට ගළපා ගන්නා ලද්දක් බව එදිරිවීර සරච්චන්ද්‍රයෝ ‘සිංහල නවකථා ඉතිහාසය හා විචාරය’ ග්‍රන්ථයේ පළකරති. ඇතැම් තැනක සංවාද පවා මෝලියර්ගේ නාට්‍යයෙන් පරිවර්තනය කර ඇති බවත්, මේ කෘතියෙන් සිල්වා මහතා රදලවරුන්ගේ ජීවිතය උපහාසයට ලක්ව ඇතැයි ද ඔහු පවසයි.  


‘රදල පිළිරුව සිනමාවට නැඟෙන්නේ 1954 වසරේ මුල භාගයේදීය. ඒ මදුරාසියේ සේලම් නුවර මොඩර්න් චිත්‍රාගාරයේදීය. එය සිනමාවට නැගීමේ පසුබිම් කතාවේ ප්‍රධාන චරිතය 1956 මහා මැතිවරණයෙන් ජයලබා කැබිනට් ඇමැතිවරයකු වූ ටී.බී.ඉලංගරත්න මහතාය.   


මහනුවර කච්චේරියේ ලිපිකරුවකු ලෙස සේවය කරන කාලේ ‘නිකං ආවා’ ‘හඳහන’ ඩබ්ලියු.ඒ. සිල්වාගේ ‘රදළ පිළිරුව’ නවකතාව ඇසුරෙන් ​ෙගාතන ලද නාට්‍යය ද රචනා කොට නිෂ්පාදනය කළ ඉලංගරත්නගේ සිත තිබුණේ කවදා හෝ සිනමා ක්ෂත්‍රයට සම්බන්ධවීමටය. මේ කාලයේ ඉලංගරත්නයන්ගේ සමීපතම මිතුරෙකු වූයේ නීතිඥ එස්.නඩේසන්ය. නවකතා රචනයට පිවිසි ඉලංගරත්නයන් ‘විලම්බීත’ පොත ලියා තිබෙනු දුටු න​ෙඩ්සන් එය මුද්‍රණය කර ගැනීමට සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම්ගේ අනුග්‍රහය ලබා දී ඇත.  

 


මේ වන විට ‘සුජාතා’ චිත්‍රපටයේ නිෂ්පාදන අධිකාරිව සිටි ටී​. සෝමසේකරන්, ගුණරත්නම් සමඟ අමනාප වී සිටියේය. හොඳ කතා කාරයකු වූ ඉලංගරත්නයන් ගුණරත්නම් විසින් සේලම් නුවරට කැඳවාගෙන ගොස් චිත්‍රපට අධ්‍යක්ෂ ටී. සුන්දරම් හඳුන්වා දී චිත්‍රපට කතාවක් ලියන ලෙස කීවේය.  


‘මගේ කාර්ය භාරයන් වෙහෙස වූත්, රසවත් විය. අධ්‍යක්ෂතුමා සිංහල නොදත් නිසා දෙබස් විලාසය හා ​ෙව්ගය මට කියා දුන්නේ රැඟුමෙන් හා හස්ක මුද්‍රා වෙන්ය. මේ චිත්‍රපටයේ නම ‘වරද කාගේද?’ ය. මම මේ චිත්‍රපටයේ ශිෂ්ට සම්පන්න කරුණාවන්තයකුගේ චරිතය රඟපෑවෙමි. ‘වරද කාගේද’ චිත්‍රපටය සාර්ථකව තිර ගත වීමෙන් පසු සිනමාස් සමාගමේ ඊළඟ නිෂ්පාදනය සඳහා සුදුසු කතාවක් තෝරා ගැනීම. මට භාර විය. මම ‘රදළ පිළිරුව’ යෝජනා කළෙමි. වේදිකා නාට්‍යයක් ලෙස මා සකස්කර මහනුවර විනෝද රංග මණ්ඩලය ලවා රඟ දැක්වීමෙන් එයට ප්‍රසිද්ධියක් ලබා තිබුණි.  


නිෂ්පාදකවරයා සහ කතුවරයා සමඟ දීර්ඝ සාකච්ඡාවක් කර එම යෝජනාව සම්මත කර ගත් පසු ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා සමඟ මම නැවත සේලම් බලා ගියෙමි. ඩබ්ලිව්.ඒ සිල්වා මහතාණන්ගේ පරිශ්‍රමය වූයේ දෙබස් සියල්ලම ව්‍යාකරණානුකූලව හෙවත් ‘පොතේ භාෂාවෙන්’ සකස් කිරීමටය. එය ස්වභාවිකත්වයටත් තාත්විකත්වයටත් බාධාවක් බව තරයේ කියා සිටියෙමි. අන්තිමේදී මගේ කාරුණික බලවත් ඉල්ලීමට ඔහු එකඟ විය. එහෙත් ඇතැම් ජවනිකා සකස් කිරීමත් කැමරා ගත කිරීමත් ඔහුට රහසින් කිරීමට සිදුවිය.  


මේ තොරතුරු එන්නේ ටී.බී. ඉලංගරත්නයන් විසින් ලියා ඇති ‘යුගයක ගමන’ කෘතියේය. මුලදී රෆායෙල් ලෙස තේරාගෙන සිටි නළුවාට වඩා ඉලංගරත්නයන් හොඳ යයි අධ්‍යාක්ෂවරයා යෝජනා කළත් ඔහු ඒ වෙනුවට දොස්තර ඔලිවර් නම් ළන්දේසි වෛද්‍යවරයාගේ චරිතය තෝරා ඇත.  


‘චිත්‍රපටයේ වැඩ කටයුතු බැලීමට සිල්වා මහතා සේලම් නගරයට සැපත් වී මොඩර්න් චිත්‍රගාරයට නුදුරින් පිහිටි වික්ටෝරියා හෝටලයේ නවාතැන් ගෙන ඉලංගරත්නයන් සමඟ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කළත් ‘රදළ පිළිරුව’ සිනමා ගත කළ ආකාරය ඔහුගේ සිත් නොගත්තේය. දෙසතියකට පමණ පසු චිත්‍රපටය මෙහෙය වූ අධ්‍යක්ෂවරයා සමඟ නොයෙක් මත භේද ඇතිකර ගන්නටත්, නළු නිළියන් පුහුණු කිරීමේ අඩු ලුහුඩුකම් දක්වමින්. සුළු වරදකට පවා තදින් කිපුණු හෙයින් නොයෙක් විට ඔහුගේ නහරගත රුධිරය කෝපාග්නියෙන් දැෙවන්නට විය.  


‘රදල පිළිරුව’ වෙනුවෙන් දෙමසක් පමණ දැඩි වෙහෙසට පත් වූ ඔහු පෙරළා දියතලාවට සැපත් වූයේ අන්තයට පිරිහුණු ශරීර ශක්තියෙන් යුක්තව බව සිල්වා සූරින්ගේ චරිතය වූ ‘කතා රජ කතාව’ කෘතියේ කර්තෘ කේ.එච්.ඒ ධර්මසේකරයන් සඳහන් කර ඇත.  


‘රදල පිළිරුව’ චිත්‍රපටයේ එකල සිටි දක්ෂ චරිතාංග නළු නිළියෝ රඟපෑහ. රපියෙල් බාස් නොහොත් මිස්ටර් රාෆයෙල් ලෙස ලැඩී රණසිංහ ද, ඔහුගේ බිරිඳ හෙලේනා ලෙස මිලී කහඳවල ද, දියණිය නන්ද‌ාවතී ලෙස රීටා රත්නායක ද, ගිල්බට් ලෙස හර්බ්ට් සෙනෙවිරත්න ද, චාලි හාමු ලෙස ඩොමී ජයවර්ධන ද, ලැවිනියා ලෙස ශාන්ති ලේඛා ද, ජෝන් ලෙස ප්‍රේමනාත් මොරායස්ද, තෝමස් ලෙස ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, කමලනාත පණ්ඩිතයා ලෙස බන්දු ගුණසේකරද, අයේෂා ලෙස උදුලා දාබරේද ඩොලී ලෙස ලතා ප්‍රනාන්දු (වල්පොළ) ද රඟපෑහ.   


‘රදල පිළිරුව’ චිත්‍රපටයේ සියලුම ගීත ජනප්‍රිය වී ඇත. සංගීත අධ්‍යක්ෂණය ඉන්දීය ජාතික එස්. දර්ශනමූර්තිය. ඩී.ටී. ප්‍රනාන්දු, හර්බට් එම්.සෙනෙවිරත් ගීත රචනා කර ඇත. ඒ ගීත සියල්ල මහාචාර්ය සුනිල් ආරියරත්න තම සිංහල චිත්‍රපට ගීතාවලියේ දක්වා තිබුණි.  


‘සුදෝ සුදෝ එන්න සුදෝ මාගෙ ප්‍රේම සිනමාවේ’ ගායනය මොහිදීන් බෙග් සහ ජමුණා රාණි) ‘මිහිර පෙන්නා දී ආලේ පෑ මා හඳේ ‘සුන් සුන් සුන් ඩාලිං මා’ ගායනය - ධර්මදාස වල්පොළ හා ලතා) ‘නම්බුව සොයා සොයා’ (ලතා) ‘ශාන්ති වේවා, නිරෝගි වේවා’ (ජමුනා රාණි සහ පිරිස) මේ ගීත අතරින් වඩාත් ජනප්‍රිය වී ඇත. 

 


‘රදල පිළිරුව’ චිත්‍රපටයට සම්බන්ධ බොහෝ කලාකරුවන් කලාකාරියන් අද ජීවතුන්ගෙන් සමුගෙනය. කමලනාථ පඩිතුමා ලෙස රඟපෑ බන්දු ගුණසේකර (පසුව ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විය) මොරටු වේ සොයිසා මහල් නිවස සංකීර්ණයේ ඕ 7/2/3 නිවසේ පදිංචිව සිටියි. ඔහු 88 හැවිරිදිය.   


‘‘මම රදල පිළිරුවේ රඟපෑවේ කිළිටි පණ්ඩිතයෙක්ගේ චරිතයක්. චිත්‍රපටය තිරගත වූ කාලයේ මම බොරැල්ලේ පදික වේදිකාවේ ඇවිදගෙන යන කොට මාව දැකලා ප්‍රේක්ෂකයෙක් තව ප්‍රේක්ෂකයෙකුට කිව්වා ‘අන්න යනවා අපි බලපු පික්චර් එකේ ගඳ පණ්ඩිතයා කියලා. අනික් ප්‍රේක්ෂකයා කිව්වා ඌ තමයි මිනිහා ගඳයා’ කියලා. ‘මට තනියම හිනා. චිත්‍රපටයේ මම රඟපෑ පණ්ඩිතයාගේ චරිතය නාන්නේ නැති අපිරිසිදු ඇඳගත් මිනිහෙක්. ඒ වුණාට ලංකාදීපයේ කරුණාසේන ජයලත් එයාගේ විචාරයේ කියලා තිබුණා චිත්‍රපටයේ හොඳම නළුවා මම බවයි’’ බන්දු ගුණසේකර මා සමඟ කීය.  


උදුලා ද‌ාබරේ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ 5 ඕ/20/08 නිවසේ වෙසෙන්නීය. චිත්‍රපටයේ ජනප්‍රිය ගීත ගායනා කරමින් රඟපෑ 84 හැවිරිදි වියේ පසුවන ලතා මාලඹේ පදිංචිව සිටින්නීය.  


රදල පිළිරුව චිත්‍රපටය 1954 දෙසැම්බර් 24 වෙනිදා ගාමිණී, සැෆයාර් ඇතුළු සිනමාහල් 10 ක තිරගත වී අැත. සිංහල සිනමාවට නැඟුණු දෙවන නවකතාව ‘රදල පිළිරුව’ ය මුල් නවකතාව වූයේ ‘කැලෑහඳ’ය   
‘දිනමිණ’ පත්‍රයේ ජයවිලාල් විලේගොඩ රදල පිළිරුව ගැන මෙසේ ලියා තිබුණි.  


‘මේ චිත්‍රපටයේ ඉතා හොඳ ජවනිකා කිහිපයක් ඇත. ඒ. ඩබ්ලිව්.ඒ. සිල්වා මහතාගේ පොතට අනුකූලව චිත්‍රපට ගත කෙරුණ ඒවාය. රපියෙල් බාස් සංගීතය හා භාෂාව ඉගෙන ගන්නා කොටස් හා සියම් අමුත්තන් පිළිබඳ ජවනිකා පෙළ තිරයේ නිරූපණය වන්නේ පොතේ එන අයුරින්ම යයි මම සිතමි. චිත්‍රපටයේ එන හොඳම ජවනිකා කීපය ද ඒවා යයි මම සිතමි.  


ජයවිලාල්ගේ මතය අනුව රපියෙල් ලෙස රඟපාන ලැඩී රණසිංහ ඉතා දක්ෂ ලෙස රඟපායි. එතෙක් ආයා අප්පු චරිත රඟපෑ බර්ට්‍රම් ප්‍රනාන්දු (කාවන්) නළුවකුගේ දක්ෂතාව පෙන්විය නොහැකි බවට ජයවිලාල් අනතුරු අඟවා ඇත. පණ්ඩිත කමලනාත ලෙස රඟ පෑ බන්දු ගුණසේකරට ජයවිලාල්ගේ ප්‍රශංසාව ලැබී ඇත. 1954 දෙසැම්බර් 26 වෙනිදා ‘ඉරිද‌ා ලංකාදීප’ පත්‍රයේ ‘රදල පිළිරුව’ ගැන මුළු පිටුවක්ම ලියා තිබුණි. නවකථාවේ කතා වස්තුව පළ කර තිබූ අතර මේ කතාවෙත් තිරගතවන චිත්‍රපටයේත් සමාන අසමානකම් මේ ලිපියෙන් දක්වා තිබුණි. මේ ලිපිය ලියූ ලියුම්කරුගේ නම පළවී නොතිබුණත් එය කරුණාසේන ජයලත් ලියා ඇති බවට අනුමාන කළ හැකිය.  


‘සංස්කෘති’ සඟරාවට අමරද‌ාස වීරසිංහ ලියූ චිත්‍රපට විචාරයේ වූයේ ‘රදල පිළිරුව’ ක්‍රමයෙන් පිරිහුණු ශුර නළුවෙක්’ කියාය.  


‘ප්‍රේමතරගයෙන් අපගේ ප්‍රශංසාව දිනාගත් ලැඩී රණසිංහ නම් නළුවා රදල පිළිරුවෙන් විනාශ වී ගියේය. ඔහු බොහෝ වේලාවක් යනතුරු ලැඩී රණසිංහ ද එඩී ජයමාන්නද යනු හිතා ගැනීමට අපහසුවිය. ඔහු රඟපෑවේ රපියෙල් බාස් නම් මෝඩ මිනිසාගේ චරිතය නොව එඩී ජයමාන්න නම් විකට නළුවාගේ පිළිරුවක් ලෙසය. දැන් ඔහු ගැනද අප යම් කිසි බලාපොරොත්තුවක් තබා තිබුණේ නම් එය අත්හැරීම හොඳය. අනිත් නළු නිළියන් ගැන කථා කිරීමට මම වෙහෙස නොවෙමි.  


‘රදල පිළිරුව’ නවකථාවේ සමාජ විද්‍යාත්මක පැත්තෙන් එකල (1938 දී පමණ) ලංකාවේ තිබුණ සිනමාහලක් ගැන ද කියවෙයි. ඒ 1930 වසරේ ආරම්භ කළ කොටුවේ රීගල් සිනමාහල ගැනය. නන්දාවතීගේ පෙම්වතා වූ ගිල්බට් තම ප්‍රියාවිය ගැන වැරදි අවබෝධයකින්, බස් රියකින් කොටුවේ රීගල් සිනමාහල පසුකර යන විට දුටු අවස්ථාවක් ලේඛක සිල්වා මහතා මෙසේ විස්තර කොට තිබුණි.  


‘ලේන්සුවකින් පවන් සල - සලා, වට - පිට බලන ඔහුට බස් රිය, රීගල් සිනමා ශාලාව පසු කර යන විට එහි විශාල සිතියමක, තරුණයකු තරුණියකට පිස්තෝලයකින් වෙඩි තබන්නට සැරසෙන විලාසයක් පෙනිණි. ඒ තරුණිය ඔහුට පෙනුණේ, නන්දාවතීය මෙනි. ඇය බියෙන් විකසිත වූ දෙනෙතින් යුත් හිස ඔසවාගෙන පිටි අතට දිගු හැර ගත් යුගත් ඝෝෂාවක ගසා ගෙන ලය ඉදිරියට ලා ගෙන සිටින සැටි’’  

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්