මළ මිනිසුන් සමග නොමළ කතා

 

 

“අනේ අයියේ සිරිතුංග ගෙදර ආවේ නෑනේ ”   


සෝමා අල්ලපු ගෙදර ජයන්තට කතා කළේ සිරිතුංග ගෙදර එනතුරු බලාසිට එන වෙලාවද පසුව පැය ගණනාවක් ගතවූ පසුවය. ඒ වන විට වෙලාව රාත්‍රි එකොළහත් පසුවී තිබිණ.   
 “සිරි කොහෙද ගියේ?”   


 “වෙලට ගියේ. වෙනදත් වෙලට ගියාම නිමල්ලාගේ ගෙවල් පැත්තේ ගිහින් හත අට වෙලා තමයි ගෙදර එන්නේ. ඒ නිසා මම බැලුවේ නැහැ. ඒත් මේ තරම් වෙලා නෑවිත් ඉඳලා නෑ කවදාවත්.”   


 “අපි නිමල්ලාගේ ගෙවල් පැත්තේ බලමු.”   
 සිරිතුංග රත්නපුර ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි දෙදරු පියෙකි. ගොවිතැනින් ජීවත් වන ඔහු සෑම දවසකම උසේ පාන්දර වෙලට ගොස් ආපසු එකොළහට පමණ ගෙදර එන්නේය. යළි තුනට පමණ වෙළට යන සිරිතුංග ආපසු නිවසට එන්නේ පස්වරු හයට අටට පමණය.   
 ජයන්ත පාපැදියෙන් නිමල්ගේ ගෙදර ගියත් එදා සිරිතුංග එහි පැමිණියේ නැතැයි නිමල් පැවසීය. එයින් ප්‍රශ්නය තවත් නරක අතට හැරිණ. ඔහු වෙල පැත්තේද දකින්නට නැත. අවට ගෙවල්වල අයද සිරිතුංග හොයන්නට එහේ මෙහේ ඇවිද ගියද සිරිතුංග හමුවූයේ නැත.   
 පසුදින උදෑසන ගමේ තරුණයෙක් අරං ආවේ නරක ආරංචියකි. ඒ සිරිතුංග මියගොස් වෙල් ලියද්දක වැටී සිටින බවකි. ගමම එතනට රොක් වූවාසේ වෙල් යායම එකම හිස් ගොඩකි. කලබලයෙන් ඒ මේ අත දුවන මිනිසුන්ගෙන් වෙල නොසන්සුන්ය. හොඳට හිටිය මේ මනුස්සයාට මොකද වුණේ? මැරිලා වැටෙන්න විදිහේ ලෙඩක් ඔහුට තිබුණේ නැතැයි පවුලේ අය පවසති. ඒ බව අහල පහළ උදවියද දනිති. මත්පැන් බොන්න ගිහින් මෙහෙම දෙයක් වුණා නම් ඔහු වැටී සිටිය යුත්තේ ඒ බිපු තැනක හෝ යන එන මග අතරතුර තැනකය. එහෙත් දැන් සිරිතුංග සිටින්නේ තමන්ගේ වෙල් ලියද්දට ලියද්දකට විතර එපිටින් වු වෙනත් ලියද්දකය.   
 ඔහුට ඥාතියෙක් සමග ඉඩම ආරවුලක්ද තිබේ. ඒ නිසා මෙය ඉඩම් ආරවුල මත හටගත් බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකින් සිදුවු ඝාතනයක්ද යන සැකයද බොහෝ දෙනා තුළ මතුවිය. පවුලේ ඥාතීන් සිදුවීම පොලිසියට වාර්තා කළේ එලෙස ඇති වු සැකය නිසාය.   


 පොලිසිය වහා එම ස්ථානයට පැමිණ පරික්ෂා කර අධිකරණ වෛද්‍යවරයා ගෙන්වනු ලැබුවේය. වෛද්‍යවරයා සිරුර පරික්ෂා කර බැලුවේය. සිරුර තිබුණේ මුනින් අතට වැටිලාය. උඩුකය නිරාවරණය වූ සිරුරේ පිට පැත්තේ රතු පැහැ පැල්ලමක් විය. සිරුර අනෙක් පස හරවා බලන විට පපුවේද රතු පැහැ පැල්ලමක් දැකිය හැකි විය. එය තැල්මකින් ඇති වූවක්ද නැත්නම් වෙනත් හේතුවක් මත ඇති වූවක්ද යන්න තීරණය කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුවය.   
 ඔහුගේ දෑත් තවමත් දරදඬු වී නැත. සාමාන්‍යයෙන් කිසියම් පුද්ගලයෙක් මියගොස් පැය භාගයකට පමණ පසුව දරදඬුවීම ආරම්භ වේ. එය ආරම්භ වන්නේ ඇස් පිහාටුවලිනි. ඉන්පසු අත පයද තවත් කාලය ගතවෙද්දි සිරුරේ අනෙකුත් කොටස්ද දරදඬුවීම සිදුවේ. පැය හයකදි මිය ගිය අයෙක් සම්පුර්ණයෙන්ම දරදඬු වී අවසන් වේ. එම දරදඬු තත්ත්වය ඉවත් වන්නේ සිරුර නරක් වීම ඇරඹුන පසුවය.   
 මෙසේ මිය ගිය පුද්ගලයෙකුගේ සිරුර දරදඬු වන්නේ මාංශ පේශිවල ඇක්ටීන් හා මයෝසින් නමැති ප්‍රෝටීන වර්ග දෙක එකට බන්ධනය වීමෙන් ඇති වන තත්ත්වය නිසාය. බන්ධනයන් ඇති වන විට ශක්තිය පිටවන අතර බන්ධනයක් කැඩෙන විට ශක්තිය අවශ්‍ය වේ. මිය ගිය පුද්ගලයෙක් මිය ගිය පසු සිරුරේ උෂ්ණත්වය පහත වැටීම ආරම්භ වේ. එවිට සිරුරේ උෂ්ණත්වය පවත්වාගෙන යාමට මාංශපේශිවලින් උෂ්නත්වය පිටකරනු ලැබේ. එසේ මාංශපේශිවලින් උෂ්ණත්වය පිට කරන්නේ ඇක්ටීන් හා මයෝසීන් ප්‍රෝටීන බන්ධනය වීමෙනි.   


 පුද්ගලයෙකු මියගිය පසු සිරුරට පිටින් ඔක්සිජන් හා ග්ලුකෝස් ලැබීම සිදුවන්නේ නැත. ඒ නිසා මාංශපේශිවලට ශක්තිය ලැබෙන්නේ නැත. මංශපේශිවලට පිටින් ශක්තිය ලැබෙන්නේ නැත්නම් ඇක්ටීන් හා මයෝසින් වලින් ඇති වු බන්ධනය බිඳ වැටෙන්නේ නැත. ඒ නිසා දරදඬුවීම දිගට පවතී. එය කැඩිය හැක්කේ පිටින් බලයක් යෙදීමෙන් පමණි. එසේ බන්ධනය කැඩූ පසු යළි දරදඬු නොවේ.   
 සිරිතුංගගේ සිරුරේ දෑත් දරදඬු නොවන්නේ ඔහු මිය ගොස් ගතවී ඇති කාලය පැය හයකට අඩු විය හැකිය. එසේත් නැත්නම් පිටින් යෙදූ බලයක් නිසා දරදඬුවීම නැතිව ගොස් තිබෙනවා වන්නටද හැකිය. මිය ගිය ස්ථානයෙන් වෙනත් තැනකට මාරු කිරිමේදීද මෙවැනි දෙයක් සිදුවිය හැකිය. ඒ ගැන වඩාත් හොඳින් නිගමනය කළ හැක්කේද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුවය.   
 සිරුර පශ්චාත් මරණ පරීක්ෂනය සඳහා රෝහල් මෘත ශරිරාගාරය වෙත යොමු කරන්නැයි අධිකරණ වෛද්‍යවරයා නියෝග කළේය. පශ්චාත් මරණ පරික්ෂණයේදී වෛද්‍යවරයා යළිත් වරක් වඩාත් හොඳින් සිරුර මතුපිටින් පරීක්ෂා කළේය.   


 පෙර දුටු රතු පැල්ලම් දෙක අධෝස්ථිතිය නිසා ඇති වු පැල්ලම් බව එහිදී වෛද්‍යවරයාට ඒත්තු ගියේය. අධෝස්ථිතිය යනු කිසියම් පුද්ගලයෙක් මියගිය පසු හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය ඇණ හිටීම නිසා ඉහළ ස්ථානවල පවතින රුධිරය හෘදය වස්තුවේ ප්‍රේෂර් කිරීමෙන් තොරව පහළ ස්ථාන කරා ගමන් කර තැන්පත් වීමයි. එයින් එම ස්ථාන රත්පැහැ පැල්ලම් සේ දිස්වේ. සැබෑ ලෙසම මෙසේ ගමන් කරන්නේ රුධිරය නොව රුධිරයේ පවතින හිමෝග්ලොබින්ය. මිය ගිය පුද්ගලයෙකුට ඔක්සිජන් නොලැබීම නිසා රුධිරයේ රතු රුධිර සෛළ මිය යාම සිදුවේ. එවිට ඉතිරි වන හිමෝග්ලොබින් රුධිර නාල බිත්තිවලින් පිටතට කාන්දු වේ. එසේ පැමිණෙන හිමෝග්ලොබින් රතු වර්ණකය සිරුරේ පහළ ස්ථාන කරා ගමන් කර තැන්පත් වේ.   
 මේ පුද්ගලයාගේ සිරුරේ පිට පැත්තේ මෙන්ම පපුවේද අධෝස්ථිතියෙන් ඇති කළ රතු පැල්ලම් දකින්නට ලැබීම ප්‍රහේලිකාවකි. එයින්ද වැටහෙන්නේ ඔහු කලින් සිටි ඉරියව්වෙන් වෙනස් කර වෙනත් ඉරියව්වකට මාරු කර ඇති බවය.   


 සාමාන්‍යයෙන් අධෝස්ථිතිය ඇති වන්නේ පුද්ගලයෙකු මිය ගොස් පැය තුනක් හතරක් අතර කාලයේදී වන අතර එය පැය හයකදි සම්පුර්ණයෙන්ම අවසන් වේ. පැය දොළහකදි මෙසේ තැන්පත් වන රුධිරය ගල්වේ. පැය හයට පෙර ඔහු සිටි ඉරියව්ව වෙනස් කළ හොත් කලින් ඇති වූ පැල්ලම සම්පූර්ණයෙන්ම ඉවත්ව අලුත් පැල්ලමක් ඇති වේ. පැය හයත් දොළහත් අතර සිරුර වෙනස් කළහොත් කලින් ඇති වු පැල්ලම එසේම තිබියදි අලුත් පැල්ලමක් පසුව සිරුර තැන්පත් කළ ආකාරය අනුව තිබෙන පහලම ස්ථානය ආශ්‍රිතව ඇති වේ.   
 සිරිතුංගගේ සිරුරේ පැල්ලම් දෙකක් පැවතීමෙන් අදහස් වන්නේ ඔහු කලින් වැටී සිටි ඉරියව්ව වෙනස් කර ඇති බවය. ඔහුගේ දෑත් දරදඬු නොවීමෙන්ද ඒ ගැන සැකයක් ඇතිව තිබිණ. ඒ අනුව සිරිතුංග මිය ගොස් පැය හයත් දොළහත් අතර කාලය තුළ මියගිය තැනින් වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇති බවට නිගමනය කළේය.   
 සිරිතුංගගේ නාස් පුඩු ආශ්‍රිතව සුදු පැහැ පෙණ වැනි ස්වභාවයේ යමක් දක්නට ලැබිණ. ඒ ගැන අපි පසුව කතා කරමු.   
 තවදුරටත් සිරුර මතුපිටින් පරීක්ෂා කිරීමේදී ඔහුගේ දකුණු අතේ දබරැඟිල්ලේ එක පැත්තක හම ඝනකම වි ඇති අතර එහි මැද කානුවක් සේ දිගට ඇදී ගිය ස්වභාවයක් දකින්නට ලැබිණ. එවැනි දෙයක් සිදුවිය හැක්කේ කම්බියකින් විදුලිය වැදීමකදීය. කම්බියකින් විදුලිය වැදුණ විට ඒ විදුලිය සිරුරට ඇතුළු වන්නේ තාපය ලෙසිනි. අධික තාපයට එක්වර ක්ෂයෙන් ගොදුරුවන සිරුරේ ප්‍රෝටීන කොටස් උණු වී තදවීමට ලක්වේ. සිරිතුංගගේ ඇඟිල්ලේ තදවීමද එලෙස විදුලිය වැදීමෙන් සිදුවූවක් බවට නිගමනය කළ හැකි විය.   
සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ සිරුරේ හිස ප්‍රදේශයෙන් විදුලිය ඇතුළු වුවහොත් මොළයේ මූලය හරහා ගමන් කරන විදුලිය නිසා හෘදය ගැස්ම හා ශ්වසන පද්ධතිය එකවර නවතී. හිටගෙන ඉන්න පුද්ගලයෙකුගේ අතකට විදුලිය වැදුණහොත් එවිටද එය පොළොව කරා ගමන් කරද්දි හෘදය වස්තුව හරහා ගමන් කරන්නට ඉඩ තිබේ. එවිටද හෘදය ගැස්ම හා පෙනහලුවල ක්‍රියාකාරිත්වය නවතී.   


 මෙසේ හුස්ම ගැනීම නැවතී හිරවුණ විට, හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය නැවතුණ විට, රුධිර සැපයුම අඩපණ වේ. එවිට පෙණහලුවල ගර්තවල ජලය පිරෙන්නට පටන් ගනී. ඒ ලේවල පවතින ජලයෙනි. ගර්තවල පවතින ලිස්සනසුලු ද්‍රාවණයක් ජලය සමග මිශ්‍රවී සිරුරෙන් පිටතට ගමන් කරන්නේ ඇතිවන ක්‍රියාවලියට ප්‍රතිරෝද ලෙසය. එය ජලයේ ගිලුණ අයෙකුගේද සර්පයෙක් දෂ්ට කළ අයෙකුගේද එනම් ක්ෂණයෙන් හෘද ස්පන්දනය හා ශ්වසන ක්‍රියාවලිය ඇණ හිටින ලද අවස්ථාවකදී දැකිය හැකිය.   


 සිරුර වෙළේ වැටීමෙන් තෙමෙනවාට වඩා තදින් ජලයක වැටී සිටියා සේ තෙමී ඇති බවක්ද දක්නට හැකි විය.  මේ සියල්ල පරික්ෂා කර නිගමනයට එළැඹි අධිකරණ වෛද්‍යවරයා පොලිසිය දැනුම්වත් කරමින් කියා සිටියේ සිරිතුංග මුලින්ම මිය ගොස් සිටි ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙනවිත් දමා ඇති බව ස්ථිර බවත් එසේම ඔහුට කම්බියකින් විදුලි සැර වැදීමෙන් මරණය සිදුව ඇති බවත් පැවසීය. එවැනි ස්ථානයක් ගැන පරීක්ෂා කර බලන ලෙස පොලිසියට දැනුම්වත් කරනු ලැබිණ.   


 ඒ අනුව පොලිසිය සමග අධිකරණ වෛද්‍යවරයාද නැවත සිරුර තිබූ ස්ථානය කරා ගමන් කළේය. ඒ අවට පරීක්ෂා කර බැලූ අධිකරණ වෛද්‍යවරයාට වෙලේ එක් කෙළවරකින් ගලායන ඇළ මාර්ගය දැකිය හැකි විය. එහි එක් ස්ථානයක ඇළ ඉවුරේ ගස් තැළී පොඩිවී තිබිණ. එම ස්ථානය තවදුරටත් පරික්ෂා කිරිමේදි මියගිය මාලුන් කීප දෙනෙක් පාවෙනු දැකිය හැකි විය. එම ස්ථානයට තරමක් එහාට වන්නට අකුළා දමා සඟවන ලද විදුලිය ගෙන යන වයරයක් දැකිය හැකි විය. එය එම ස්ථානයට ඇද තිබුණේ ඒ ආසන්නයේ වූ නිවසකින් බවද දැක ගත හැකිවිය.   


 එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමන් මසුන් මැරීමේ අරමුණෙන් ඇළ මාර්ගයට විදුලි රැහැනක් අදින ලද බව පිළිගත්තේය. වෙලේ වැඩ කළ සිරිතුංග අත පය සෝදාගන්නට මේ ස්ථානයට පැමිණෙන්නට ඇත. එහිදී අහඹු ලෙස ඔහුගේ අතේ වයරය පැටලීමෙන් විදුලිය වැදුණ බවට අනුමාන කළ හැකිය.   
 සිරිතුංග නැතැයි ගමේ කතාව පැතිරෙන විට මෙම සැකකරුද වෙළට ගොස් ඔහු ගැන සොයා බලා ඇත. එහිදී කම්බියද අත දැවටී ඇළේ වැටී සිටි සිරිතුංග දැක තිබේ. එයින් තමන් මත වරද පැටවේ යැයි බියට පත්වු සැකකරු සිරිතුංගගේ මළ සිරුර වෙනත් වෙල් ළියද්දකට ගෙනගොස් දමා තිබේ.   


 මේ අනුව සැකකරුට කාරණා දෙකක් යටතේ නඩු පවරනු ලැබීය. එනම් ඇළ මාර්ගයකට අනවසරයෙන් විදුලි රැහැනක් ඇදීමෙන් අපරාධයක් සිදුකිරීම හා අපරාධයක් වසන් කිරීමේ අදහසින් මළ සිරුර වෙනත් ස්ථානයකට දැමීම යන කාරණා දෙක යටතේය.   


(මෙහි එන නම් ගම් මන:කල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න.)   


හලාවත මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලිව්වේ මුදිතා දයානන්ද