මළ මිනිසුන් සමග නොමළ කතා

 

 

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරක් මත පොලිසිය ප්‍රදේශයේ පිහිටි හමුදා බැරැක්කයක් වෙත කඩා වැදුණේ විදුලි වේගයෙනි. බැරැක්කය තුළ මිය ගිය හමුදා සෙබළෙකුගේ සිරුරකි. ඔහුගේ හිස තිබුණේ ලේ විලක් මැදය. නිල වශයෙන් ලැබුණ ගිනි අවිය ඔහු අසලම වැටී තිබිණ. බැලූ බැල්මට මෙය සියදිවි නසාගැනීමක් බඳුය. 


පොලිසිය මෙම හමුදා බැරැක්කය අනුයුක්ත වූ හමුදා කඳවුරේ කීප දෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කරගත්තේය. 


මියගිය සෙබළා දුෂ්මන්ත වීරසේකර. ගම කතරගම. අවුරුදු විසිතුනයි. හමුදාවට බැඳිලා තවම අවුරුදු දෙකකට වඩා නෑ මම හිතන විදිහට. තාත්තා ගුරුවරයෙක්. අම්මා රස්සාවක් කරන්නේ නැහැ. නංගිලා දෙන්නයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. නංගියෙකුයි මල්ලියි ඉගෙන ගන්නවා. එක නංගි කෙනෙක් කසාද බැඳලා. මෙයා තමයි පවුලේ බර කරගහන්න තාත්තාට හයියක් වුණේ. සමහර විට පවුලේ අගහිඟකම් ප්‍රශ්න දරාගන්න බැරුව මෙහෙම දෙයක් කරගත්තා ද දන්නේ නැහැ. 


මියගිය සෙබළා ගැන මුලින්ම අදහස් දැක්වූ ඔහු ගැන හොඳින්ම දන්නා කෝප්‍රල්වරයෙකු වන සේනක එලෙස දීර්ඝ විස්තරයක් කළේය. 
දුෂ්මන්තට පෙම් පලහිලව් මොනවවත් තිබුණ ද? 


අපිට දැනගන්න නම් එහෙම දෙයක් තිබුණේ නැහැ. රහස් සම්බන්ධකම් තිබුණා ද දන්නේ නැහැ. සේනක උත්තර දුන්නේය. 
ඊළඟට අපට හමුවූයේ එදින ඔහු සමග බැරැක්කයේ සිටිය යුතු වූ එහෙත් එදින නිවාඩු ලබා සිටි ජනකය. 
මමයි දුෂ්මන්තයි තමා එදා රෑ බැරැක්කේ ඉන්න ඕන වුණේ. ඒත් එදා දවල් හදිසියේම මට පණිවුඩයක් ලැබුණා අම්මාට අසනීපයි අමාරුයි කියලා. මම ගෙදර ගියා. දුෂ්මන්තට වෙන කෙනෙක් සම්බන්ධ කරන්න ඕනකම තිබුණත් ඔහු කිව්වාලු කමක් නැහැ මම තනියම ඉන්නම් කියලා. ඒක නීත්‍යනුකූල නැහැ. ඒත් රාජකාරි හදිසියේ මාරු කරන්න අමාරු නිසා ඒක එහෙන්ම යන්න ඇරලා තිබුණා. 
දුෂ්මන්තට ප්‍රේම සම්බන්ධයක් තිබුණේ නැද්ද? 


තිබුණා. ගමේ සම්බන්ධයක් තිබුණා. ඒත් ඒ දෙන්නා අතර ප්‍රශ්නයක් තිබුණ බවක් මා දැන සිටියේ නැහැ. දුෂ්මන්තට සියදිවි නසාගන්න තරමට බලපෑම් කරන්න හේතුවක් මම නම් පහුගිය කාලය තුළ දැකලා තිබුණේ නැහැ. 


මෙයාට අනියම් සම්බන්ධයක් තිබෙනවා කියලා දැනගෙන හිටියා ද? 
අනේ නැහැ. එයා ඕනම කෙනෙක් එක්ක විවෘතව කතා කරනවා. විහිළු තහළු කරනවා. මේවා බලන් ඉන්න අයට ඔහු ගැන විවිධ අදහස් ඇති වෙන්න පුළුවන්. ඒත් එයාට ඒ ජාතියේ අනියම් කේස් තිබුණේ නැහැ. 


නිකට යටත් හිස මුදුනෙත් තුවාල සිදුව ඇති බව මතුපිටින් සිරුර පරීක්ෂා කර බැලූ පොලිස් නිලධාරින්ට දක්නට ලැබිණ. මෙය ඝාතනයක් ද සිය දිවි නසාගැනීමක් ද යන්න නිශ්චය කළ නොහැකි නිසා පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ වෛද්‍යවරයෙකුගේ සහය ලබාගත්තේය. 


අදාළ ස්ථානයට පැමිණි අධිකරණ වෛද්‍යවරයා සිරුර පරීක්ෂා කර බැලුවේය. හිසෙහි පිටුපස ඉහළින් ලේ ගලාවිත් තිබූ අතර නිකට පහළින් ද ලේ ගලාවිත් ඇති බව දක්නට ලැබිණ. සෙබළා වැටී සිටි ස්ථානය ආසන්නයේ බිම වතුර මලක් විසිරෙන්නා සේ ලේ බිඳු විසිරී තිබෙනු අධිකරණ වෛද්‍යවරයාට නිරීක්ෂණය විය. අදාළ ස්ථානයේ ඡායාරූප කීපයක් ද විවිධ පැතිකඩවලින් ගනු ලැබිණ. 
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් ද පසුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කරනු ලැබිණ. 


වෛද්‍යවරයා මුලින්ම සිදුකළේ හිසෙහි පිහිටි තුවාලය පරීක්ෂාවට ලක් කිරීමය. එම ස්ථානයේ ලේ රෝස පැහැයක් ගෙන තිබෙනු නිරීක්ෂණය විය. එම ලේවලින් සාම්පලයක් වෛද්‍යවරයා පරීක්ෂණ සඳහා යොමු කළේය. තවදුරටත් පරීක්ෂා කිරීමේදී එම තුවාලය අවට කෙස් පිළිස්සී ඇති බව ද නිරික්ෂණය විය. හිසෙහි වෙනත් කිසිදු තුවාලයක් දක්නට නොලැබුණ නිසා වෛද්‍යවරයා නිකටෙහි ලේ ගලාවිත් තිබූ තුවාලය නිරීක්ෂණය කළේය. වෙඩි උණ්ඩය ගමන් කළ බවට සැකකරන තුවාලයෙන් පිටතට කැඩී විසිරුණ මාංශ පේශි පැමිණ තිබෙනු නිරීක්ෂණය විය. මේ සියල්ල සටහන් කරගත් අධිකරණ වෛද්‍යවරයා හිස් කබලේ එක්ස්රේ පිටපත් ලබාගත්තේය. ඉන්පසු සිරුර කපා පරීක්ෂා කිරීම ඇරඹුවේය. 


එහිදී ද ඔහු මුලින්ම පරීක්ෂා කළේ හිස් කබලය. මුලින්ම හිස පිටුපස තුවාලය අසල ලේ ඉවත් කර පරීක්ෂා කළේය. තුවාලය අසල හිස්කබල මතුපිට සම කැඩී තිබිණ. එය නැවත එකතු කර හොඳින් නිරීක්ෂණය කිරීමේ දී තුවාලය ආසන්නයේ සමෙහි කුඩා රවුමක හැඩයකට සම තදවී තිබෙනු දැකිය හැකි විය. ඉන්පසු හිස් කබල නිරීක්ෂණය කිරීමේ දී මතුපිටින් පැහැදිලි රවුමක් ආකාරයට සිදුරක් දැකිය හැකි විය. හිස්කබල කපා පරීක්ෂා කිරිමේ දී තුවාලය වූ ස්ථානයේ ඇතුළු පැත්තෙන් හිස්කබල පතුරු ගැලවෙන ආකාරයෙන් බිඳී තිබෙනු දැකිය හැකි විය. 


නිකටෙහි වූ තුවාලයෙහි ද විසිරී තිබුණ සම එක්කොට පරීක්ෂා කරද්දී සම දැඩිව කැබලී වී තිබෙනු නිරික්ෂණය විය. හිසෙහි පිටුපස මෙන් එහි පැහැදිලිව රවුමට සිදුරක් දක්නට නොවීය. ඒ වෙනුවට කැඩී විසිරුණ හිස්කබලෙහි යටි හනුවේ කැබලි එක්කොට බලන විට හිස් කබලේ යටිහනුව පුපුරා කැබලි වී තිබෙනු දක්නට හැකි විය. 


එක්ස්රේ පිටපත පරීක්ෂා කිරීමේ දී උණ්ඩවලින් සියුම්ව බිඳුණ ඊයම් කුඩු විසිරී ඇති ආකාරය වැදගත් සාක්ෂියක් සැපයුවේය. මෙහි දැක්වෙන රටාව අනුව උණ්ඩය ගමන් කර තිබෙන්නේ හිස්කබලේ යටිහනුවේ සිට ඉහළට නොව හිස්කබලේ පිටුපස ඉහළ සිට පහළට බව පැහැදිලි විය. ඒ අනුව මෙය සියදිවි නසාගැනීමක් විය නොහැකි බවට නිගමනය කළේය. 


සියදිවි නසා ගැනීමක් නම් වෙඩි උණ්ඩය පිටවිය හැක්කේ යටි හනුව සිදුරු කරගෙන හිසෙහි ඉහළටය. එසේ නැත්නම් මුඛයෙහි ඉදිරියේ සිට හිස පිටුපසට උණ්ඩය ගමන් කර තිබිය යුතුය. ඇතැම්විට පපුවට වෙඩි තබාගැනීම ද සිදුවේ. පිස්තෝලයකින් වෙඩි තබා ගත්තේ නම් හිසෙහි පැත්තෙන් (අත හුරුව අනුව වම් පැත්තේ සිට දකුණු පැත්තට හෝ දකුණු පැත්තේ සිට වම් පැත්තට හෝ) කන අසලින් නළල පසාරු වන පරිදි වෙඩි තබා ගැනීම සිදුවේ. එහෙත් කිසිවෙකුට හිසෙහි ඉහළ සිට පහළට වෙඩි තබාගත නොහැකිය. ඒ අනුව මෙය වෙඩි තබාගැනීමක් නොව ඝාතනයක් බවට මූලිකව නිගමනය කළේය. 
එහෙත් එයින් නැවතීමට අධිකරණ වෛද්‍යවරයාට ඉඩක් නැත. ඔහු අනෙකුත් පරික්ෂාවන් සිදුකර සටහන් කරගත්තේ ඒ නිසාය. හිස් කබලේ පිටුපස ඉහළ පැහැදිලි රවුම් සිදුරක් දක්නට ලැබීමත් එම සිදුරේ පිටතට පැහැදිලි වන විට ඇතුළත බිත්තිය පළුදු වී තිබීමත් තුළින් පැහැදිලි වන්නේ ද කිසිවකු විසින් සෙබළ දුෂ්මන්තගේ හිසෙහි පිටුපසින් වෙඩි තබා ඇති බවය. එසේම හිස්කබලේ යටි හනුවේ තුවාලය සිදුව ඇති ආකාරයත් එම ස්ථානයෙන් මාංශ පේශි කැඩී පිටතට පැමිණ තිබූ ආකාරයත් අනුව හිසෙහි ඉහළ සිට පැමිණි වෙඩි උණ්ඩය නිකටෙන් පිටව ගොස් ඇති බව පැහැදිලි විය. 


හිසෙහි පිටුපස තුවාලය ඇති තැන කෙස් පිලිස්සීමට හේතු වී තිබෙන්නේ ද වෙඩි උණ්ඩය තුවක්කු කටෙන් පිටවන අවස්ථාවේ වන අධික උෂ්ණත්වය ය. හිසෙහි පිටුපස තුවාල අසල වූ රුධිරය රෝස පාට වී තිබෙන්නේ වෙඩි උණ්ඩයේ ඊයම් මද වශයෙන් පිලිස්සෙද්දී පිටවන කාබන් මොනොක්සයිඩ් වායුව ලේ සමග සම්බන්ධ වීමෙන් කාබොක්සි හිමොග්ලොබින් නිෂ්පාදනය වීමය. එය ලේ රෝස පැහැයට හරවනු ලබයි. හිස පිටුපස තුවාලය වූ ස්ථානයේ හම මතුපිට රවුමක් සෑදී තිබෙන්නේ තුවක්කු කට තදවීම නිසාය. 


එසේ රවුමක් සෑදෙන්නේ උණ්ඩය සමග වායුව විශාල ප්‍රමාණයක් හම තුළින් ඇතුළු වීම නිසා හිස්කබලයි හමයි අතර විශාල ලෙස වායුව එකතුවී ඇති කරන පීඩනය සමග හම පුපුරා යාමත් ඒ සමග නැවත වායුව පිටතට ගමන් කිරීමට උත්සාහ කිරීමත් නිසාය. එලෙස වාතය ඔළුකට්ටෙන් පිටතට ගමන් කිරීමට උත්සාහ ගත්ත ද තුවක්කුව තද කරගෙන සිටීම නිසා වාතය පිටවීමට නොහැකිවීමෙන් තුවක්කු කටේ ප්‍රමාණයට රවුමක් නිර්මාණය වේ. 


මේ සියල්ල අනුව මෙය සිය දිවි නසා ගැනීමක් නොව කිසිවකු පිටත සිට වෙඩි තැබීමෙන් සිදුවූවක් බව නිගමනය විය. අධිකරණ වෛද්‍යවරයා තම ඡායාරූප ශිල්පියා මගින් ලබාගත් ඡායාරූප ද නිරීක්ෂණය කළේය. සෙබළාගේ ඇඳුමේ කලව මත මලක් සේ ලේ වැටී තිබෙනු දැකිය හැකි විය. එසේම වතුර ටිකක් උඩ සිට පහළට එකවර වේගයෙන් විසි කිරීමේ දී ඇති වන ආකාරයෙන් විසිරුණු ලේ බිඳු ද දක්නට ලැබිණ. සියදිවි නසා ගත්තේ නම් යටි හනුවේ සිට හිස් කබලේ ඉහළට වෙඩි තබා ගැනීමක දී සිදුවන ආකාරයෙන් බැරැක්කයේ වහළයේ හෝ ආවරණයට තබා ඇති වැලිකොට්ටවල හෝ ඉහළ කොටසේ මේ ආකාරයට ලේ විසිරී තිබෙනු දක්නට ලැබිය යුතුය. 


ඒ අනුව මෙය ඝාතනයක් බවට අධිකරණ වෛද්‍යවරයා කිසිදු සැකයකින් තොරව නිගමනය කළේය. එය සිදුකළේ කවුරුන් ද යන්න සෙවීම පොලිසියේ කාර්යභාරය විය. ඒ වන විටත් පොලිසිය තවත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබිණ. 


දුෂ්මන්ත ඝාතනයට ලක්ව තිබූ තැන තිබූ වෙඩි උණ්ඩය අයත් ගිනිඅවිය සෙවීම පොලිසිය ආරම්භ කළේ පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භ කරන අතරතුර දීමය. එහිදී දුෂ්මන්තගේ ගිනිඅවිය පරීක්ෂා කළත් එයින් උණ්ඩයක් පිටව නැති බව තහවුරු විය. ඉන්පසු මෙවැනි උණ්ඩ භාවිත කරන ගිනි අවි සහිත, කඳවුරේ සියලුම හමුදා සෙබළුන්ගේ හා නිලධාරින්ගේ ගිනි අවි පරීක්ෂාවට ලක්කෙරිණ. එහිදී එම උණ්ඩයක් පිටවූ බවට තහවුරු වන වැටී තිබී හමුවූ උණ්ඩයට සමාන උණ්ඩ භාවිත කරන ගිනි අවියක් හමුවිය. 


ඒ අනුව එම ගිනි අවිය අයත් නිලධාරියාගෙන් ප්‍රශ්න කරනු ලැබුවේය. දුෂ්මන්තගේ හිතවතුන්ගෙන් පවුලේ අයගෙන් පෙම්වතියගෙන් හා හමුදා කඳවුරේ ළඟින් ඇසුරු කළ අයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගැනිණ. එහිදී ලැබුණ තොරතුරු හා දුරකථන දත්ත වාර්තා අනුව කඳවුරේ කෝප්‍රල්වරයෙකුගේ බිරිඳ සමග දුෂ්මන්තගේ අනියම් සබඳතාවක් ගොඩනැගී තිබූ බව ද එයට පලිගැනීමක් ලෙස එම කෝප්‍රල්වරයා මෙම ඝාතනය සිදුකර ඇති බව ද තහවුරු විය. 


හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලිව්වේ 

 


මුදිතා දයානන්ද