මිනිසුන් නොයෙකුත් දුක් කම්කටොලුවලදී නොපෙනෙන දෙවියන්ගේ පිහිටි පැතීමට පෙලඹුනහ. ආරම්භයේදී මෙම දේව සංකල්පය විහාරස්ථානවලටද සංක්‍රමණය විය. ඒ අනුව බොහෝ දෙනෙක් දෙවියන් ඉදිරියේ සිය දුක් කම්කටොලු ගැන කියා ඊට සහනයක් පැතීය. මෙම දෙවියන් ඇදහීමේදී විෂ්ණු දෙවියන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. ඒ උන්වහන්සේගේ තිබෙන මහානුභාව සම්පන්න බලමහිමයත් එක්කයි.   


විෂ්ණු දෙවියන් අවතාර 10කින් පෙනී සිටින බව සඳහන් වෙයි “රාම, ක්‍රිෂ්ණ, වරාහ, ගජ, නාග, රාවණ, කීර්ති, දෙමළ, බුද්ධ හා මල යනු එම අවතාර 10යි. විෂ්ණු දෙවියන් එක් එක් අවස්ථාවල මෙම අවතාරවලින් පෙනී සිටි බව කියැවේ. විෂ්ණු දෙවියන් සඳහා නිරන්තරයෙන් කියනු ලබන දේව කන්නලව්වේ සඳහන් වන අන්දමට විෂ්ණු මතු බුදුවන දේවස්වාමීන් ලෙස කියැවෙයි.   


විෂ්ණු දෙවියන් ගැන කියවන විට අලුත්ගම කන්ද විහාරයට සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. ඒ විෂ්ණු දේවාලය නිසාය. දිනපතාම දහස් සංඛ්‍යාත බැතිමතුන් සිය දේව කන්නලව්වන් සඳහා අලුත්ගම කන්ද විහාරයට පැමිනෙන බව කන්ද විහාර ක්ෂේත්‍රාරාම මහා පිරිවෙන් විහාරාධිපති කළුතර දිසාවේ හා බෙන්තර වළල්ලාවිට කෝරලේ ප්‍රධාන සංඝනායක බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමියෝ පැවසූහ.   
කන්දවිහාරය හුඟක්ම ආලෝකය වුණේ මේ විෂ්ණු දේවාලයත් සමඟයි. දිනපතාම දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණෙනවා වන්දනාමාන කිරීමට. ඔවුන්ගේ නොයෙකුත් ගැටලුවලට විසඳුම් සොයාගෙන. ඉතින් ඒවා ඉටු වුණාම ඔවුන් නැවත ඒ භාර හාර ඔප්පු කරනවා. ඔවුනට යම් කිසි පිහිටක් නැති නම් මෙච්චර දහස් ගණනක බැතිමතුන් පිරිසක් එන්නේ නැහැනේ.

  
ජීවමාන විෂ්ණු දෙවියන් වැඩ සිටින බවට බො​ෙහා් දෙනා තුළ තිබෙන කන්ද විහාරයේ විෂ්ණු දෙවියන් පිළිබඳව හා උන්වහන්සේගේ අනුහස් පිළිබඳ අපි සාකච්ඡා කළෙමු. කන්ද විහාර ක්ෂේත්‍රාරාම මහපිරිවෙනේ පරිවේනාධිපති, කන්දවිහාරාධිකාරී, ඇමරිකාවේ ෆ්ලෝරිඩා බෞද්ධ විහාරාධිපති කොක්කාවිට විපුලසාර නායකහිමියෝ විෂ්ණු දෙවියන් හා කන්දවිහාරය ගැන සාකච්ඡා කිරීමට අපහා සම්බන්ධ වූහ.   


විෂ්ණු දෙවියන් කියන්නේ කවුද? නායක හාමුදුරුවනේ?   


විෂ්ණු දෙවියන් කියන්නේ මහානුභාවසම්පන්න දේවතාවුන්වන්සේ නමක්. සම්බුද්ධ ශාසනය භාරදීල තිබෙන්නේ විෂ්ණු දෙවියන්ට. ශක්‍රදේවේන්ද්‍රයාට බුදුහාමුදුරුවෝ නියම කරලා තිබෙනවා, පොත පතේ සඳහන් වෙනවා “පනිට්ටතු දේවින්ද ලංකාය මම සාසනං” කියලා. බුද්ධශාසනය මම ලංකාවේ පිහිටුවනවා, ඒක ආරක්ෂා කරන්න කියලා. ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මහා විෂ්ණු දෙවියන්, විජය රජ්ජුරුවන් ගොඩ බැස්ස වෙලාවේ පිරිත් නූල් ගැටගසපු බව. මුල් යුගයේ ඉඳලම බුද්ධ ශාසනය ආරම්භයේ සිටම, ලංකාවට බුදු දහමේ ව්‍යාප්තියත් සමඟම දේව සංකල්පවලදී විෂ්ණු දෙවියන් ගැන මුලින්ම සඳහන් වෙනවා. ලංකාවේ බුද්ධ ශාසන භාර විෂ්ණු දේවරාජෝත්තමයන් කියලනේ කියන්නේ. එදා සිට මේ දක්වාම ලංකා ඉතිහාසයේ පිංපෙත් අනුමෝදම් කරලා දේව පිහිට පතපු පිරිසක් තමයි බිහිවුණේ. අප දන්නවා පොළොන්නරුව යුගය මුල් කාලයේ මේ දේව සංකල්ප විහාරස්ථානය හා සම්බන්ධ වුණා. විශේෂයෙන් විෂ්ණු දෙවියන් හා සමන් දෙවියන් පිළිබඳ ශ්‍රී ලංකාවාසීන් තුළ වැසි හා සම්බන්ධ දේව සංකල්ප දැන් බුද්ධ භාෂිතයෙත් සඳහන් වෙනවා. දෙවිවරු ගැනම සම්බන්ධ පිරිත් සූත්‍ර වගේම ඒ සම්බන්ධ කතා රාශියක්ම තිබෙනවා. ඒවත් එක්කම අපිට අනුගත වෙලා, දැන් දෙවියන් යදින ලෝකෙක අපිට එදිනෙදා මතුවන ගැටලුවලට පිළිතුරු සොයන්න අදෘෂ්‍යමාන බලවේගවල අවශ්‍යතාව එදා සිට අද දක්වාම තිබෙනවා. තවමත් තිබෙනවා. දැනුත් මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි බෝධියටත් ජීවමාන ස්වරූපයක් දීලා ඒ වෘක්ෂ වන්දනාව වෙනත් ක්‍රමයකින් පවත්වන්නේ.   

අළුත්ගම කන්දෙ විහාරාධිපති බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමි

 

ඒ වගේම දෙවියන් අදහන ලෝ​ෙකක තමයි අද අපි ඉන්නේ. ඒ නිසා බෞද්ධ සංකල්පයත් එක්ක ගොඩනැගුනු දේව සංකල්පය අනුව විෂ්ණු දෙවියන්ට බොහෝ දෙනෙකු තුළ භක්තියක් ඇති වුණා. එසේ දෙවියන්ගේ පිහිට පතා විවිධ ආකරයන්ගෙන් බාර හාර වෙමින් දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනා.   


ඇත්තටම දෙවියන්ගේ පිහිටක් තිබෙනවාද?   


දෙවියන්ගේ පිහිටක් තිබෙනවා කියලා මිනිස්සු තුළ විශ්වාසයක් තිබෙනවා. මිනිසුන් පිහිට ලබලා ඒ තුළින් සහනයක් ලබලා පිහිටක් ලබන ස්වරූපයක් තිබෙනවා. ඒක සමාජ ගත සංකල්පයක්.   


විෂ්ණු දෙවියන් වැඩ සිටින බවට දෙවුන්දර හා අළුත්ගම කන්ද විහාරය ප්‍රසිද්ධයි. එ් ගැන සඳහන් කළොත්?   


කන්ද විහාරය ගැන කථා කරන කොට කන්දවිහාරයේ විෂ්ණු දේවාලය ආරම්භ වෙන්නේ දෙවුන්දර විෂ්ණු දේවාලය ආරම්භ කළාට පසුවයි. දෙවුන්දර දේවාලයට වඩා වෙනස් ඉතිහාසයක් තමයි කන්දේ විහාරයට තිබෙන්නේ. 1734 වර්ෂයේ තමයි කන්දේ විහාරය ආරම්භය ලෙස සැලකෙන්නේ. විහාරයේ ආරම්භයත් සමඟයි දේවාලයෙත් ආරම්භය සිද්ධ වුණේ. මේ කන්ද විහාරයේ ඇති විෂ්ණු දේවාලයේ විෂ්ණු දෙවියන්ගේ රූපය අඹලා තිබෙන ආකාරයත් අතිවිශේෂයි. දෙවියන්​ෙග් රූපයට පිටුපසින් විෂ්ණු දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන ‘ගුරුලා’ගේ රූපය අඹලා තිබෙනවා. ඒ ප්‍රතිමාවට නේත්‍ර තබන කොට විශේෂයෙන් මහ පිළිම වහන්සේලාටයි විෂ්ණු දේව ප්‍රතිමාවටයි නේත්‍ර තබලා තිබෙන්නේ බටහිර දෙසට නේත්‍රා යොමාගෙන ඉන්න ස්වරූපයට. නේත්‍රා සම්පූර්ණයෙන්ම විවෘතව පවතින්නේ නැහැ. අඩවන් වූ නේත්‍රා තමයි අඹලා තිබෙන්නේ.   


එහි විශේෂත්වයක් තිබෙනවාද?   


විශේෂත්වය කියන්නේ ඒ නේත්‍රාවලින් බලන්නේ බෝධීන් වහන්සේ දිහා. ඒක තමයි විශේෂත්වය. මේ බෝධීන්වහන්සේ කළුතර දිස්ත්‍රික්කයේ තිබෙන පැරණිතම බෝධීන්වහන්සේලාගෙන් එක් නමක්. බටහිර දිසාවට නේත්‍රා තබන්න තවත් විශේෂ කාරණයක් තමයි නුවර යුගය වන විට ආකල්පයක් තිබුණා පූජා වස්තුව දිහා බලාගෙන වන්දනා මාන කරන්න ඕනෑ කියලා අදහසක්. එතකොට නැගෙනහිර බලාගෙන යන කොට බටහිරට තමයි නේත්‍රා වැටෙන්නේ. විහාරවලත් එහෙමයි. විෂ්ණු දේව ප්‍රතිමාවේත් එසේමයි. මේ බුද්ධ ප්‍රතිමාවලයි දේව රූපවලයි නේත්‍රා වැටෙන්නේ බෝධීන්වහන්සේට. මේ බෝධීන්වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ දෙතිස්පල බෝධියක අනුශාඛාවක් ලෙසයි සැලකෙන්නේ. අන්න ඒ බෝධීන්වහන්සේට නේත්‍ර වැටෙන විදිහටයි පිළිම අඹලා තිබෙන්නේ.   


සාමාන්‍යයෙන් හිඳි පිළිම, ඒ කියන්නේ බුද්ධ රූපය හිඳි පිළිමයමක් වුණාම දේව පිළිමය හිටි පිළිමයක් විදිහටයි අඹන්නේ. පසු කලෙක දේවරූපත් හිඳි පිළිම ලෙස අඹලා තිබෙනවා. එයින් විශේෂයි කන්ද විහාරයේ විෂ්ණු දේව පිළිමය. දෙවියන්ගේ රූප අඹන කොට දෙවියන්ගේ වාහනය මත සිටින ලෙසයි රූපය අඹලා තිබෙන්නේ. එහෙත් මේ කන්දවිහාරයේ විෂ්ණු දේව ප්‍රතිමාව උන්වහන්සේගේ වාහනය වන ගුරුලව වෙනම අඹලා තිබෙනවා. දැන් දේවාලයේ දක්නට ලැබෙන්නේ ඒ මුල් යුගයේ ආරම්භ කළ දේව රූපයමයි. ආරම්භ යුගයේ ඉඳලා පැවත එන පිළිමය තමයි දැන් ඔය පැමිණෙන බැතිමතුන් වන්දනා මාන කරන්නේ. සෑම ප්‍රභූ නායකයකුම දේවාලයට පැමිණිලා පුද ජූජා කරන ස්ථානක් තමයි අලුත්ගම කන්ද විහාරය. මේ දේවාලයට බෞද්ධ ආගමේ අය විතරක් නොවෙයි අන්‍ය ආගම්වල අයත් එනවා. අපි ඔවුන් සමඟ කථා බහ කරන කොට දැනගන්නවා ඔවුන්ගේ ආගම් ජාතිය වගේම ආ කාරණය කුමක්ද කියලා.  

විහාරාධිකාරී ​ෙකාක්කාවිට විපුලසාර හිමි

 

කන්ද විහාරයට දේවරූප ගැන සඳහන් කිරීමේදී විශේෂ තැනක් හිමිවෙන්නේ අපේ මේ දේවාලයේ දේව රූපය අනිත් දේවාලවල දේවරූපවලට වඩා විශේෂයි. මහානුභාවසම්පන්න දේව ස්වරූපයක් තමයි මේ දේවාලයේ තිබෙන්නේ. බැතිමතුන් දෙවියන් දිහා බලගෙන ඉල්ලීමක් කළහම ඒ ඉල්ලීම ඉෂ්ඨ සිද්ධ කර දෙන විශ්වාසය බහුතර සමාජය තුළ පවතිනවා. ඇත්තටම ඒ විදිහට බාර වෙලා ගිහින් ඒවා ඉෂ්ට සිද්ධ වෙලා නැවත බාර හාර ඔප්පු කරන ක්‍රමයක් මුල් යුගයේ ඉඳලා මේ දක්වාම තිබෙනවා. ඒ විශ්වාසය අඛණ්ඩවම තිබෙනවා.  


කොයි කොයි වගේ පිරිස්ද නායක හාමුදුරුවනේ වැඩිපුර භාර හාර වෙන්න එන්නේ?  


මේ පළාත ධීවර කර්මාන්තයටත්, කෘෂිකර්මාන්තයටත්, රා කර්මාන්තයටත් විශේෂයි. බොහෝ ධීවරයන් සිය මුහුදු ගමන යන්න ප්‍රථමයෙන් දේවාලයට පැමිණිලා බාර හාර වෙනවා. සිය ගමන සාර්ථක වීමෙන් පසු භාර හාර ඔප්පු කරන්න. ඒ වගේම කෘෂිකර්මාන්තයේ නිරත අය සිය අස්වැන්න කපාගෙන පළමු කොටස බුදුන්ට වෙන් කරල, දෙවන කොටස විෂ්ණු දෙවියන්ට පූජා කරනවා. ඒ වගේම රා කර්මාන්තයේ නිරත අයත් එහෙමයි. ඔවුන්ගේ කර්මාන්තය සාර්ථක වූණාම නොයෙක් පූජා භාණ්ඩ පූජා කරනවා. ඒ කර්මාන්ත දෙක අනුමත කරන්න බැහැ. එහෙත් ඔවුන්ගේ විශ්වාසයක් තිබෙනවා විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා කියලා.  


ඊට අමතරව දරුවන් ලැබීමට සිටින අය, දරුඵල නැති අය දරුවන් බලාපොරොත්තුවෙන් දේවාලයට එනවා බාර හාර වෙන්න. එ් වගේම අධ්‍යාපනය ලබන දරුවන් අධ්‍යාපන කටයුතු දියුණු වෙන්න කියලත් එනවා. රෝගී අය වගේම නොයෙක් නොයෙක් කාරණා ඉෂ්ඨ කරගන්න විවිධ බාර හාර වෙනවා. රා කර්මාන්තයයි, ධීවර කර්මාන්තයයි පාප කර්මයක් වුවත් දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්න අවශ්‍යයි කියලා විශ්වාසයක් තිබෙනවා. ඉතින් අපි ඒ සැමදෙනාටම එකවගේ යාතිකා කරනවා. ඔවුන්ගේ කටයුතු ඉෂ්ට කරලා දෙන්න කියලා. තමන් අදහන අදෘෂ්‍යමාන බලවේගයක පිහිටක් පතමින් තමයි ඔවුන් මේ ස්ථානයට පැමිණෙන්නේ. සෑම ක්ෂේත්‍රයකම නිරත අය ඇවිල්ලා දෙවියන්ගෙන් පිහිටක් ප්‍රාර්ථනා කරනවා. වඩු වැඩ, මේසන් වැඩ වගේම කුලී වැඩ කරන ඔය කියන සෑම ක්ෂේත්‍රයකම අය පැමිණෙනවා. වසරකට වරක් මහා විෂ්ණු දේවාලයට පැමිණිලා පූජාවන් තබලා දෙවියන්ගෙන් පිහිට පතලා යන පිරිසක් කන්දෙ විහාරයට පැමිණෙනවා. සෑම පළාතකින්ම වාගේ වසරකට සැරයක් පැමිණෙනවා. සිංහල අවුරුද්ද ලබන්න කලිනුත් ලැබුවට පසුවත් බැතිමතුන් පැමිණිලා විශේෂ යාතිකා කරගෙන පුද පූජා පවත්වලා යන සිරිතක් තිබෙනවා.  


ඊට අමතරව විශේෂ කාරණයක් තමයි දරු ප්‍රසූතියට ආසන්න ගැබිනි මව්වරුන් දිවයිනේ සෑම පළාතකින්ම පාහේ පැමිණෙනවා. දරු ප්‍රසූතියෙන් පස්සේ තුන් මසක් ගිය පසු බාර හාර ඔප්පු කරන්න නිරුපද්‍රිතව දරු ප්‍රසූතියෙන් පස්සේ රූපෙට රූපයක් හෝ තොටිල්ලක් වගේ පූජා භාණ්ඩ බාර වෙනවා. ඒ වගේම දරු පල නැති අය විශේෂයි. ඔවුන් එනවා බහුතරයක් අය දෙවියන්ට බාර වෙනවා යම් යම් ග්‍රහ දෝෂ නිසා දරු පල පමාවෙනවා නම් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න. කර්ම දෝෂ නිසා දරු පල නොලැබෙන ඒවත් තිබෙනවා. නමුත් බොහෝ අයගේ විශ්වාසයක් තිබෙනවා විෂ්ණු දේවාලයෙන් තමන්ට පිහිටක් තිබනෙ බවට.  


ඔන් ඔය වගේ බලවේග රැසක් තිබෙනවා අලුත්ගම කන්ද විහාරයේ විෂ්ණු දේවාලය ආශ්‍රිතව.  

ලබන සතියට

සටහන - 
නිශාන්ත කුමාර බණ්ඩාර  
ඡායාරූප - ජයමල් චන්ද්‍රසිරි
අළුත්ගම තුසිත කුමාර