එක්දහස් නවසිය අනූහතරේ ජනවාරි 18 වැනිදා රත්නපුර රෝහලේදී උපත ලද දැරියට මධුහංසි යනුවෙන් නම් තැබිණි. වැඩිමහල් සොහොයුරියක් සිටි ඇය හුරුබුහුටි නිරෝගී දැරියක් වූවාය. ඇගේ මාපියන් සමග මිත්තණිය ද නිවෙසේ පදිංචිව සිටියහ. මිත්තනිය නිතර ඖෂධ පානය කිරීම ද සිරිතය. ඒ වනවිට සිඟිති දැරියට වයස අවුරුදු දෙකක් පමණ විය. දිනක් මිත්තණිය සුපුරුදු පරිදි ඖෂධ පෙති කීපයක් පානය කරනු සිඟිති දැරිය දුටුවාය. මිත්තනිය ඖෂධ පෙති බීමෙන් පසු ඉතිරි ඖෂධ පෙති පසෙකින් තැබීය. ඒ දෙසට ගිය දැරිය ඖෂධ පෙති දෙස බලමින් සිටිනු මිත්තණිය දුටුවාය.  


මධුහංසි හඳුනාගත් ලීලාවතිගේ සොහොන 

ගතවූයේ තත්පර කීපයකි. පෙති කීපයක් අතට ගත් දැරිය එකවරම එය මුවට දමාගත්තාය. මිත්තනිය වහා ඒවා ඉවතට ගැනීමට උත්සාහ කළත් ඒ වනවිටත් ඇය ඉන් කීපයක් ගිල දමා තිබිණි. මාපියෝ මහත් භීතියට පත්වූහ. පැය කීපයක් ගතවිය. දැරිය අප්‍රාණික වන බවක් දක්නට ලැබිණ. ඇය බිව් මිත්තනියගේ ​ඖෂධ පෙති දැරියට විෂවීමක් සිදුවන්නට ඇතැයි මාපියෝ තීරණය කළහ. ඇය වහා රෝහල් ගත කෙරිණි. රත්නපුර ​රෝහලේදී ප්‍රතිකාර කිරීම ආරම්භ කරන විට ඇය සිහිසුන්වී සිටියාය. අසාධ්‍ය තත්ත්වයේ සිටි දැරිය දින තුනක් රෝහල්ගතව සිට සුවය ලැබීය. නැවත නිවෙසට පැමිණි දැරියගේ ​ෙරා්ගී තත්ත්වය මුළුමනින්ම සුවපත්වී තිබිණි. ඇය සුපුරුදු පරිදි දුව පැන ඇවිදිමින් ක්‍රීඩා කිරීම ද ආරම්භ කළාය.  


සති කීපයක් ගතවිණි. කොළයක් අතට ගත් දැරිය එහි මොනවාදෝ ලියන්නට උත්සාහ ගන්නා බැව් මවට දක්නට ලැබිණි. එය දුටු මව,  
“ඔයා මොනවද ලියන්නේ?” යැයි දියණියගෙන් විමසුවාය. එයට පිළිතුරු දුන් දැරිය,  


 “මම අම්මට ලියුමක් ලියනවා” යැයි පැවසුවාය. ඒ පිළිබඳව මව කිසිදු අවධානයක් නොකළාය. තවත් දින කීපයක් ගතවිය. පියාගේ මිතුරෙක් මෝටර් රථයකින් නිවසට පැමිණියේය. මෝටර් ර‌ථය දුටු දැරිය එක්වරම නිවස තුළට දුව ගොස් කාමරයක් තුළ සැඟවී සිටියාය. පියාගේ මිතුරා ආපසු යනතුරු සැඟවී සිටි දැරිය ඔහුගේ රථය ගිය පසු මව වෙත පැමිණියාය.  


“කෝ අර කාරෙක ගියා ද?” යයි මවගෙන් විමසීය. පුදුමයට පත්වූ මව,  
“ඇයි දුව ඔයා, බයවෙලා හැංගුණේ?” යයි ප්‍රශ්න කළාය.  
“ඔය වගේ කාර් එකක තමයි මාව එහෙදි හැප්පුනේ” යයි ඇගේ පිළිතුර විය. මව මවිතයට පත්විය.  
“කොහෙදිද කාර් එකේ හැපුනේ?”  


“එහෙදි මම රට හිටිද්දී.” දැරියගේ පිළිතුර විය. දියණිය පවසන්නේ කුමක්ද? පෙරභවය පිළිබඳ හැඟවීමක් ද? මවට ගැටලුවක් විය. එහෙත් මව දියණියගෙන් ඒ පිළිබඳව නැවතත් ප්‍රශ්න කිරීමක් නොකළාය. එහෙත් දියණියගේ මෙම කතා බහ ඇය සිය සැමියා සමගද හෙළි කළාය. දැරියගේ වැඩිමහල් සොහොයුරිය ඒ පිළිබඳව උනන්දු වූවාය. නැගණිය හෙළි කරන තොරතුරු පිළිබඳව ඇය විමසන්නට වූවාය.  


 “නංගිට මොකද වුණේ?” සොහොයුරිය අ​ැගෙන් ප්‍රශ්න කළාය. එයට පිළිතුරු දුන් දැරිය “අපි එදා යාළුවො තුන් දෙනා එක්ක පාටියකට ගිහින් ආපසු ආවා. එතකොට පාර හරහා එද්දි එකපාරටම මාව කාර් එකේ හැපුණා. ඉතින් මම මැරුණා” යයි කීවාය.  


“මට අක්ක කෙනෙකු එහෙදිත් හිටියා. මම එයාට සල්ලි එවනවා. අම්මට දෙන සල්ලිත් එව්වේ එයාට. අම්මට දාහක් දෙන්න කියලා මම ලියුම්වල ලියලා එවනවා ”යයි පෙරභව මතක සටහන් ඇය හෙළි කරන්නට වූයේ මාපියන් සහ සොහොයුරිය මවිතයට පත් කරවමිනි. අනතුරුව ඇය නිතර නිතර සිය පෙරභව මතක සිදුවීම් හෙළිකරන්නට විය.  

 

ලීලාවති විදේශගතව සිටියදී

 පෙරභවයේදී ඇය ජීවත්ව සිටි ප්‍රදේශය කපු සහිත ප්‍රදේශයත් බවත් පැවසූ අැය එම ප්‍රදේශය හැඳින්වූයේ ගුරුගලවත්ත ලෙස බවත් කීවාය. මාපියන් නිවෙසේ සිටි බවත් කීවාය. ඇගේ මිතුරියක් රාණි යනුවෙන් හැඳින්වූ බවත් හෙළි කළාය. එදා මෙම දැරියගේ පුනර්භව තොරතුරු විමර්ශනය කිරීමට අපට අවස්ථාව ලැබිණ. එහිදී දියණිය අනාවරණය කළ තොරතුරු මව විසින් හෙළි කෙරුණේ මෙසේය.  
“දුව ඒ විස්තර කියන විට එයා පැසුණු කෙනෙක් විදියට හැසිරීම් රටාව වෙනස් වෙලා තිබුණා. ආහාර පිසීම වැනි මුළුතැන්ගෙයි වැඩවලටත් එයා ඉදිරිපත් වුණේ වැඩිහිටි කාන්තාවක් ලෙසටයි. පිටරට තොරතුරුත් නිතර නිතර කිව්වා. කාරයේ හැපුනෙ යාළුවො තුන්දෙනෙක් එක්ක යන විටදි බවත් කිව්වා. කපුවත්ත වගේ ගමක නම් හෙළි කළා.  


දියණියගේ පෙරභව කරුණු අනාවරණය කිරීම දිනෙන් දින වැඩිවන්නට වූයෙන් ඒ පිළිබඳව සොයා බැලීමට මාපියෝ උනන්දු වූහ. මධුහංසි නිතරම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ ඇයව පෙරභව නිවසට රැගෙන යන ලෙසය. ඇගේ බලවත් ඉල්ලීම නිසාම පියා ඇය හෙළිකළ ගම් ප්‍රදේශය පිළිබඳව සොයා බැලීමක් සිදුකළේය. එහිදී ලීලාවති නම් තරුණියක් ලෙබනනයේදී මියගොස් ඇගේ සිරුර ශ්‍රී ලංකාවට එවූ පුවතක් ඔවුන්ට අසන්නට ලැබිණ. එම තරුණිය මිය ගොස් තිබුණේ මෝටර් රථ අනතුරකට භාජනය වීම නිසාය. එය සිදුවී තිබුණේ ලෙබනනයේ Jounich නම් ප්‍රදේශයේදීය. මළසිරුර 1995 ජනවාරි 8 වැනිදා ශ්‍රී ලංකාවට එවා තිබිණ. මරණයට හේතුව මරණ පරීක්‌ෂණ වාර්තාවේ සඳහන් වූයේ (CAUSE OF DEATH - A FATEL CAR ACCIDENT WITH WOUNDS IN THE BODY) යනුවෙනි.  


පෙරභවයේ නිවස හමුවීමෙන් පසු මධුහංසි දැරියට ඇගේ පෙරභව ඥාතීන් හමුවීම සඳහා නිවෙසට යෑමට ද අවස්ථාව ලැබිණි. කැලෑගමට නුදුරුව පිහිටි ඇගේ පෙරභව නිවසට ගිය දවසේ හඳුනා ගැනීම් රැසක්ම සිදුවිය. එම හඳුනාගැනීම් අතර පෙරභවයේ මව සහ සොහොයුරිය වූහ. ඇගේ නිවෙසේ තිබූ භාණ්ඩ කීපයක්ද නිවැරදිව අැය විසින් හඳුනාගනු ලැබීය. ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයේදී පෙර භවයේ නිවසට ඇය පැමිණි දිනයේ ඇය ඉදිරියේ සිදුවූයේ කුමක්දැයි පෙරභවයේ මවගෙන් විමසුවෙමු. ඇයට පිළිතුරු දුන් ලීලාවතිගේ මව.  

පෙරභවයේ දෙමාපියෝ 

“මගේ අම්මා කියලා මාව අඳුනා ගත්තා. තාත්තාවත් අඳුනා ගත්තා. කෝ මගේ අල්මාරිය කියලා අපෙන් ඇහැව්වා. ඊට පස්සේ එයාම ගේ ඇතුළට ගිහින් මේ මගේ අල්මාරිය කියලා එයාගේ අල්මාරියත් අඳුන ගත්තා” යයි ඇය පැවසුවාය. අනතුරුව ඇය එහිදී සිදුවූ විශේෂ සිදුවීමක් ද අප හා විස්තර කළේ මෙසේය.  


“ඒ පුංචි දරුවා ගෙදරින් එළියට බැහැලා මිදුලේ ඇවිද්දද්‍ා. එයාගෙ මිනිය වළදාපු තැන තිබුණෙ ගේ පිටුපස්සෙ තරමක් ඈතින්. එයා එතැනට ගිහින් මේ තියෙන්නෙ මාව වළදාපු තැන කියලා ඒක අඳුන ගත්තේ පුදුම විදියට. කවදාවත් නොදුටු තැනක තිබුණු ඒ වළදාපු තැන අඳුනගන්න එක හරිම පුදුමයි.” යනුවෙන්ද ඇය ප්‍රකාශ කළාය.  


මධුහංසි හෙළිකළ තොරතුරු සනාථ වූ අන්දම ඇගේ පෙර භවයේ සොයුරිය ද හෙළි කළාය.  


“එදා ඒ දරුව එන දවසේ මමත් හිටියා. එයා ගේ ඇතුළට ඇවිත් සිටින විට ලීලාවති රට ඉඳන් එවපු ලියුම් කීපයක් මම අතේ තියාගෙන හිටියා. ඒ ලියුම් මොනවද කියලා එයාගෙන් අපි ඇහැව්වේ නෑ. ටික වෙලාවක් ගේ ඇතුළෙ සිටින විට මගේ අතේ තිබුණු ලියුම් එයා දැක්කා. ඔය තියෙන්නෙ මම එවපු ලියුම් කියලා ඒ ලියුම් එයා අඳුන ගත්තෙත් පුදුම විදියට.  


 අම්මට රුපියල් දාහක් දෙන්න කියලා ඒ ලියුම්වල ලියලා එවනවා. ඒ කතාව එයාගෙ අම්මත් එක්ක රත්නපුරේදි කියලා තිබුණා.” යයි පැවසූ පෙර භවයේ සොයුරිය එහි ලියා තිබූ එම වැකිද අපට පෙන්වා දුන්නාය.  


 මෙම පුනර්භව තොරතුරු හෙළිකළ මධුහංසි දැරිය අද නව යොවුන් තරුණියකි. ඇගේ පෙරභව මතක පිළිබඳ නැවත විමර්ශනයක් සිදුකිරීමට පසුගිය සතියේ අපට අවස්ථාව ලැබිණි. ඇගේ පෙරභව නිවෙස හමුවීමෙන් පසු ඇය පෙරභව නැදෑ පිරිස සමග මේ වනවිටත් ඇසුරු කරන්නේ එම පවුලේම සාමාජිකයෙකු ලෙසිණි.  

මධුහංසි දැරිය

 එදා ඇය හෙළිකළ පෙරභව මතක පිළිබඳව අැය සමග කළ සාකච්ඡාව ඒ අයුරින්ම මෙහි සඳහන් කළ හැකිය.  


‘‘පෙරභවයේ නිවෙසට ඔබ තවමත් යනවාද?’’  
‘‘ඔව් මාස කීපයකට උඩදිත් මා එහි ගියා.’’  
‘‘ඒ මාපිය නැදෑහිතවතුන් හමුවුණාම ඔබට ඇතිවුණ හැඟීම් කෙසේද?’’  
‘‘මට ඒ ගෙදරට ගියාම පුදුම විදියට මගේ හැඟීම් වෙනස් වෙනවා. ගෙදර සිටි අයුරු මට සිහිවෙනවා.’’  
‘‘විශේෂ සිදුවීම් තියෙනවද?’’  
‘‘ඔව්. මගේ සොහොන තියෙන්නේ ඒ වත්තෙ. මම එතැනට ගියාම මට මුළු ඇඟම පණ නැතිවෙනවා. ඒක නම් හරිම පුදුමයි.’’   
‘‘පෙරභවයේදී සිදුවූ අනතුර සිහිවෙනව ද?’’  
‘‘මහා මාර්ගයේදී පාර හරහා යනවිට නම් මට ඒ බය ඇතිවෙනවා.’’  
‘‘එය විස්තර කළ හැකි ද?’’  


‘‘ඔව්. මම පාර හරහා යනවිට අනෙක් වාහන එනවිට මට කිසිදු බයක් ඇතිවෙන්නේ නැහැ. ඒත් කාරයක් එනවිට නම් මට අධික බියක් ඇතිවෙනවා. මාව හැපෙයි කියලා තමයි ඒ බය ඇතිවන්නේ.’’


‘‘ඔබ ඒ ගැන හිතන්නේ කුමක්ද?’’


‘‘මාව පෙරභවයේදි මැරුණේ පාර හරහා පනින විටදි කාරයක හැපිලා. ඒ සිදුවීම සිහිපත් වෙලා මට බය දැනෙනවා.’’ යයි මධුහංසි අප හා පැවසුවාය.  


 පුනර්භව සාධක පර්යේෂණ අතරින් අසන්නට ලැබෙන අතිශය දුර්ලභ සිදුවීමක්ද ඇය අනාවරණය කළාය. එනම් පෙර භව පවුලේ ඥාතීන් ඇයට එම පවුලේ කෙනකුට මෙන් තවමත් සැලකීමය. නිවෙසේ පවුලේ අයට මෙන්ම සෑම දෙයක්ම ඇගේ කොටස ඇයට ලබාදීමය. ගෙවත්තේ ඵලදාවෙන් පවා ඇගේ කොටස ඇය වෙත නොකඩවා මේ දක්වා ලබාදෙන බැව් ද මධුහංසි සිහිපත් කරන්නේ පෙරභව ඥාතීන් වෙත දක්වන ඉමහත් ගෞරවය ඇතිවය.  


 අ.පො.ස. උසස් පෙළ සමත්ව රැකියාවක් අපේක්ෂාවෙන් පසුවන ඇය දක්ෂ සිසුවියකි. මේ භවයේදීත් විදේශයකට යෑමට ඇය තුළ මහත් ආශාවක් පවතින බැව්ද ඇය අප හා අනාවරණය කළාය.   


තිස්ස ජයවර්ධන