සලරුවක කතාව

 

 

ජෝසප් කොන්රාඩ් (Joseph Conrad) නම් සුප්‍රකට ඉංග්‍රීසි නව කතා කතුවරයා විසින් රචිත නව කතාවක් ඇසුරෙන් කැරොල් රීඩ් (Carol Reed 1906 - 1976) නම් ඉංග්‍රීසි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කළ Outcast of the Islands දිවයිනේ කුලහීනයා නම් චිත්‍රපටය ලංකාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම බ්‍රිතාන්‍ය චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක් වී ඇත.   


ලංකාවේ ස්වභාවික පරිසරය අලංකාරය අතින් අනූන නිසාත් කොන්රාඩ්ගේ කතාවේ විස්තර කෙරෙන අන්දමේ පරිසරයත් හා මිනිස් සම්පතක් මේ දිවයිනේ දක්නට ලැබෙන නිසාත් කැරොල් රීඩ් ලංකාව රූ ගැන්වීම සඳහා උචිත යයි තීරණය කර ඇත. ඒ අනුව 1950 වසරේ කැරෝල් රීඩ් ඇතුළු පිරිස එහි රූප ගත කිරීම් සඳහා ලංකාවට පැමිණ ඇත. කතාවේ මුල් උපත මලයාවේදී (මැ​ෙල්සියාව) සිදු වූවකි. ලංකාවේ පසුතලය, පරිසරය හා බාහිර අලංකාරය ද මලයාවේ පරිසරයට සමාන විය.   


මේ චිත්‍රපටය ගැන ඉරිදා ලංකාදීප පත්‍රයේ පළ වූ ලිපියක සඳහන්ව තිබුණේ නවකතාව ලියූ ජෝසප් කොන්රාඩ්ට මෑත පෙරදිග දිවයින් පිළිබඳ මනා අවබෝධයක් කෙසේ ඇති වී දැයි කියවන්නා තුළ ප්‍රශ්නයක් පැන නැගිය හැකි බවය. එහි සඳහන් වන්නේ කතුවරයා තරුණ කාලයේ සීනි නිෂ්පාදකයකු සමග එක් වී මුහුදු සංචාරයක යෙදුණ බවය. බලවත් කුණාටු, නාවුක අනතුරු හා වෙනත් අතවරයනට ගොදුරුව දිවයින්වල අවුරුදු ගණන් ගත කිරීමට සිදුවීම නිසා කොන්රාඩ් එම දිවයින්වල ජනයාගේ සිතුම් පැතුම්, අදහස් උදහස් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගෙන ඇති බවය. කෙසේ වුවද Outcast of the Islands (දිවයිනේ කුලහීනයා) කතුවරයාගේ වැදගත් කෘතීන් අතර සුවිශේෂය.   


අධ්‍යක්ෂක කැරොල් රීඩ් චිත්‍රපටයට අවශ්‍ය දර්ශන තල සඳහා මලයාව (මැලේසියාවේ) හා ලංකාව මධ්‍ය ස්ථාන කොට ගෙන ඇත. කතාවේ උපත මලයාවේ දී සිදු වූවක් නිසා එහි කියෙවන පරිසරයට සමාන විය යුතු යයි අධ්‍යක්ෂවරයා සිතන්නට ඇත. කථානායිකාව ද මලයාවේ තරුණියකට සමානය. කුවලාලම් පුරය ද කැරෝල් මධ්‍ය ස්ථානය කොට ගත්තේය. මේ චිත්‍රපටයට ලංකාවේ උඩරට නාට්‍යාංගනාවන්, නර්තන ශිල්පීන් ලංකාවේ නළු නිළියන් ද මෙරට අලංකාර දර්ශන ද දිවයිනේ කුලහීනයා චිත්‍රපටයට ඇතුළත් වී ඇත.   


ලංකාවේ නර්තන ශිල්පිනියක වූ රංජනා තංගරාජාට මේ චිත්‍රපටයේ විශේෂ තැනක් ලැබී තිබුණි. ඇය සහ ඇගේ ගුරුවරයා වන අල්ගම කිරි ගණිත ගුරුන්නාන්සේ ඉදිරිපත් කරන නැටුමක් චිත්‍රපටයේ නාමාවලියට ඇතුළත්ව තිබුණි. ඉංංග්‍රීසි චිත්‍රපටයක නැටුමක් ඉදිරිපත් කළ මුල්ම නිළිය රංජනාය. ඇය මෑතකදී මියගිය චිත්‍රපට නිෂ්පාදන අධ්‍යක්ෂ ටී. අර්ජුනගේ මවය. 1950 වසරේ Outcast of the Islands චිත්‍රපටයේ රූ ගත කිරීමට ලංකාවට පැමිණි කැරොල් රීඩ් චිත්‍රපටයේ ආරම්භක නාමාවලියේ පසුබිමට උඩරට නැටුමක් ඇතුළත් කිරීමට අදහස් කර සිටියත් එතෙක් ඔහු නැරඹූ නැටුම් ගැන සෑහීමකට පත් නොවී ඒ සඳහා විකල්පයක් ගැන සිතමින් සිටියේලු. මේ අතර එක්තරා සාදයක දී කැරොල් රීඩ් කොළඹ නගරාධිපති සි​ෙලා්න් තියටර්ස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ ඇස්. සෙල්ලමුත්තු මහතාට මේ ගැන කියා ඇත.   


මගේ හොඳම යාළුවෙක් ඉන්නවා තංගරාජා කියලා. එයාගේ බිරිඳ රංජනා දක්ෂ උඩරට නාට්‍ය ශිල්පිනියක්.   


සෙල්ලමුත්තු මහතාගේ රෙකමදාරුව අනුව රංජනා හමුවීමට මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ගිය කැරොල් රීඩ් ඇය ඉදිරිපත් කළ රංගනයෙන් මවිත වී තම චිත්‍රපටයේ ආරම්භක දර්ශනය සඳහා තෝරා ගත්තේය. රංජනා තම යෙහෙළියත් සමග මේ නැටුම ඉදිරිපත් කළේ අල්ගම කිරිගණිත ගුරුන්නාන්සේ හා අර්​නෝලිස් ගුරුන්නාන්සේ සමගය. අපේ උඩරට නැටුම රංජනා ප්‍රමුඛ පිරිස ඉදිරිපත් කළ අපූර්වත්වය චිත්‍රපටය නැරඹූ විදේශිකයන් මෙන්ම පුවත්පත් කලාවේදීන්ගේ ප්‍රසංශාවට ලක් විය. වේදිකා නාට්‍ය ලෝකයේ විශේෂයෙන් ඔතෙලෝ වේදිකා නාට්‍යයේ ඔතෙලෝ ලෙස රඟ පෑ විශිෂ්ට නළුවකු වූ ලැඩී රණසිංහගේ (1913- 1983) රංගනය දුටු කැරොල් රීඩ් ඔහුට චිත්‍රපටයේ මලයානු වරායක කම්කරු නායකයකු ලෙස චරිතයක් ප්‍රදානය කළේය. ලැඩීට තම චරිතය රඟපෑමේදී මලයානු භාෂාව තරමක් දුරට කටපාඩම් කර ගැනීමට සිදු වූ බව අපට කියා ඇත. මේ රංගනයෙන් පසු ලැඩීට ප්‍රේ‍ම තරගය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑමට අවස්ථාව උදා විය. ලංකාවේ අතිරේක නළු නිළියන් රැසක් මේ චිත්‍රපටයට සහභාගීව ඇති අයුරු චිත්‍රපටය අද සංගත තැටි මගින් නරඹන අපට දැක ගන්නට ලැබෙයි.   


මේ චිත්‍රපටයේ මලයාවේ ගෝත්‍රික නායකයකු ලෙස ඊ.සී.බී. විජේසිංහ (1901 - 1981) රඟපෑ බව පැවසේ. දක්ෂ ඉංග්‍රීසි වේදිකා නළුවකු හා මුල් යුගයේ චිත්‍රපට නළුවකු වූ ඔහු ඔබ්සවර් පත්‍රයේ නියෝජ්‍ය කතුවරයකු ලෙස ද කටයුතු කොට ඇත. ඔහු මේ චිත්‍රපටයේ රඟපාන ඡායාරූපයක් 1950 දෙසැම්බර් 02 ලංකාදීප මුල් පිටුවේ පළ වී තිබුණි.   


චිත්‍රපටයේ කතාව විකාශනය වන්නේ මෙසේය.   


නැව් බ්‍රෝකර්කෙනෙකු ළඟ ලිපිකරුවෙකු ලෙස සේවය කරන තැනැත්තකුගේ පුතෙකි විලියම්. තරුණ වියේ දීම ජීවිතය ගැන කලකිරී සිටි විලියම් ගෙදරින් පැන ගොස් මුහුදු ගමන්වල නියැලුණ හිතුවක්කාරයෙකි. ඔහු පිටුවහල් කළ පුද්ගලයෙකි. මලයානු මුහුදේ රජා යන අපරනාමයෙන් හැඳින්වුණු ටොම් ලින්ගාර්ඩ් නමැති කපිතාන්ගේ ඇසුරට විලියම් ගොදුරු වෙයි. ටොම් මුහුදු මංකොල්ලකාරයන් හා වෙනත් දාමරිකයින් සමග සටන් කිරීමෙන් ඇසුවන් බිය ගැන් වූ පුද්ගයකු ලෙස නම් දරා සිටියේය. ඔහු විලියම් නම් මේ තරුණයා තම මුහුදු ගමන්වලදී ආරක්ෂකයකු ලෙස පත් කර ගෙන තිබුණි. යහපත් දිවි පෙවෙතක් ගත නොකළ විලියම් සොර කමකට හසු වූ අවස්ථාවක කපිතාන් විසින් බේරා ගනු ලබයි.   


මෙවර කපිතාන් ටොම් ඕලන්ද හා අරාබි වෙළෙඳුන්ගෙන් අල්ලා ගත් දූපත්වල වෙළෙඳාම පිණිස ගෙන ගියේද විලියම්ය. එක් දූපතක දී විලියම් සුරූපී මලයානු තරුණියක දැක ඇය පිළිබඳ සිතක් ඇති විය. ලැජ්ජා බිය නොහඳුනන එඩිතර තරුණියක් වූ ඇය වරක් ගිනි ගනිමින් තිබූ යුද්ධ නැවක සිටි තම අන්ධ පියා ඔසවා ගෙන ගොස් දිවි බේරා දුන්නාය. අයිසා නම් මේ තරුණිය පිළිබඳ විවිධ කතා විලියම්ට අසන්නට ලැබිණ. දිනක් ගම්බද පෙදෙසක හුදකලාවේ ඇවිදින ඔහුට සෙමින් සෙමින් පා තබන හඬක් ඇසී පිටුපස බැලූ විට නිල්වන් කෙස් කළඹක් විදහා ගත් දැකුම්කළු තරුණියක් දක්නට ලැබෙයි. මේ රූමතිය පැන් බඳුන් දෙකක් ගෙන ගමන් කරමින්ම ඔහු දෙසට හෙලූ බැල්ම ඔහුගේ සිතත් මනසත් දෙකම සිදුරුකරගෙන යාමට සමත් විය. මේ එදා දුටු තම සිත වසඟ කළ අයිසා මය.   


මම අන්ධ ඕමාර්ගේ දුව... මේ පළාතේ ඉතා උසස් තැනැත්තෙකු වූ සුදු වෙළෙන්ඳා ඔබ නොවේද?   


ඔව්. යුරෝපියෙක් තමයි එහෙත් මම ම​ෙග් ජනතාවගෙන් පිට මං කළ කෙනෙක්.   


අයිසාගේ මුහුණ ජීවමාන ඇස් ඇති රන් රුවක සිරි ගත්තාය. අඩක් වැසී ගිය ඇසිපිය අතරින් ඇය හෙළන තියුණු වූද බලවත් ප්‍රිය උපදවන සුලු වූද බැල්මට ඔහු වසඟ විය. ඇගේ තොල් යුග තරයේ පිය වී තිබිණ.   
හැබෑටම ඔබ බොහෝ රමණීයයි. විලියම් ඇයට කොඳුරා කීවේය.   


අනතුරුව ඔහුට ඇය කිහිප අවස්ථාවකම හමු විය. දූපතේ සිටි වැඩිහිටියෝ අයිසාට දුන් අවවාද වලින් පළක් නොවීය. සියලු බාධක නොතකා බෝට්ටුවක් පදවා තනිවම ඔහු ඇය සොයා ගොස් පහස ලැබුවේය. අයිසාට ඔහු වීරයකු බඳුය. ඇයට මෙතෙක් මිහිපිට දුටු ඉතාම ජවසම්පන්න කඩවසම් තරුණයා ඔහුය. විලියම් හා අයිසාගේ සම්බන්ධයට එරෙහි වන ඇගේ අන්ධ පියා විලියම් මැරීමට යන වෑයම අසාර්ථක වෙයි. විලියම්ගේ පහරක් හේතුවෙන් ඔත්පළ වන අන්ධ පියා මියයයි.   


කාලයාගේ ඇවෑමෙන් මේ ප්‍රේමය නිසා දිවයින්වල කපිතාන් ලින්ගාර්ඩ්ගේ වෙළෙහෙළඳාම අන්ත පිරිහීමට පත් විය. කපිතාන් සතු වෙළෙඳාම කඩාකප්පල් කිරීමට මහල්ලන් දෙදෙනෙකු ගත් උත්සාහයට විලියම් මහඟු උපකාරයක් විය. කපිතාන් දුරකතර ගෙවා අයිසා සොයා දූපතට එයි. ඒ සමගම විලියම් ද ඈ ​සොයා එයි. වරෙක විලියම් සමග බහින් බස් වන කපිතාන් රිවෝල්වර​ෙයන් ඔහුට වෙඩි තැබීමට සැරසෙයි. තවත් වරෙක විලියම් ද ඔහුට වෙඩි තැබීමට සූදානම් වෙයි. කපිතාන් තමා පැමිණි බෝට්ටුවෙන් නැවත යාමට සැරසෙද්දී අයිසා රිවොල්වරය විලියම් අතට දී වෙඩි තියන්නැයි ගොළු බසින් කියන්නීය. විලියම් බෝට්ටුවක නැගී යන කපිතාන් දෙස බලා සිටි. අයිසා හා විලියම් දුපතේ තනි වෙයි.   


Outcast of the Islands චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කැරොල් රීඩ් බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහු චිත්‍රපට 24 ක් අධ්‍යක්ෂණය කර ඇත. it Happened in Paris, Midshipman Easy, Who's your Lady Friend, Bank Holiday ඇතුළු ඔහුගේ චිත්‍රපට අතුරින් 1949 නිර්මාණය කළ The Third Man චිත්‍රපටය ඔහුගේ විශිෂ්ටම කෘතියයි විචාරක ප්‍රශංසාව ලැබී ඇත. පසු කලෙක සර් කැරෝල් රීඩ් නමින් හැඳින් වූ ඔහු 1976 ලන්ඩනයේ දී මිය ගියේය.   


80% ක් ලංකාවේ රූ ගත කළ මේ චිත්‍රපටයේ පසුතල ඉදි වූයේ කලා අධ්‍යක්ෂ Vincent korda ගේ උපදෙස් මත මැලේසියාවේ පරිසරය ලංකාවේ මැවීමට අපේ ප්‍රකටම වඩුබාස්සුන්නැහේලා විසිනි. පුංචි මලයාවක් කැලණි ගං ඉවුරේත්, හංවැල්ලේත් ඉදි විය. දර්ශන සඳහා අලි ඇතුන් රැසක් ද සාමාන්‍ය ලාංකීක ජනයා පන්සියයක් පමණ සහභාගි කරගෙන ඇත. චිත්‍රපටය ලංකාවේ රූප ගත කළ දර්ශන තළ හා විවිධ පහසුකම් සම්බන්ධීරකණය කළේ සිලෝන් ටුවර්ස් අධිපති පී.ඒ. එදිරිවීර මහතාය. Robet Morley සමග ලංකාවේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කර ඇත්තේ ප්‍රේමනාත් මොරායස්ය.   

 

සැෆයර් සිනමා හලේ දී මංගල දර්ශනය ආණ්ඩුකාර සෝල්බර් සාමි සහ අගමැති ඩී.එස්. සේනානායක මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් පැවැති අවස්ථාව. කවයෙන් දැක්වෙන්නේ අාණ්ඩුකාරතුමා සහ අගමැතිතුමාය

 

 


චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුන වූ කපිතාන් ලෙස Ralph Richardson (1902-1983) විලියම් ලෙස Trevor Howard (1916-1988) ද අයිසා ලෙස ඇලජිරියානු ජාතික Kerima රඟපෑහ.  


 1925 උපන් ඇය අද 93 වැනි වියේ පසු වෙයි. ඒ ඇල්ජිරියාවේය. සෙසු චරිත Robert Morley, Wendy Hiller රඟපා ඇත.   


මේ චිත්‍රපටය රූ ගත කිරීමට 1950 වසරේ ලංකාවට පැමිණි කැරොල් රීඩ් ඇතුළු කණ්ඩායමට රජයේ චිත්‍රපට අංශයේ (Government Film Unit - GFU) පූර්ණ අනුග්‍රහය ලැබී ඇත.   


එවකට රජයේ ප්‍රවෘත්ති නිලධාරියාව සිටි එච්.ඒ.ජේ. හුලුගල්ල මහතාගේත්, රජයේ චිත්‍රපට අංශයේ භාරකාරත්වය දැරූ ජුලියෝ පෙට්‍රෝනි හා ෆෙඩ්රිකා සේරා අවශ්‍ය පහසුකම් ලබා දී ඇත. එපමණක් නොව සීගිරිය අසළ කැලෑවක රූ ගත වූ දර්ශනයක් මේ සඳහා මේ කණ්ඩායමට කෘත්‍රීම ධාරානිපාත වර්ෂාවක් වැස්සවීමට අවශ්‍ය විය. ඒ සඳහා ලංකා ගිනි නිවන හමුදාවේ උපරිම සහාය ලැබී ඇත.   


මේ මහා ධාරාණිපාත වැස්ස රූප ගත කළේ සීගිරියේ. එතැනදී මේ වැස්ස කෘත්‍රීමව මැව්වේ ලංකාවේ ගිනි නිවන හමුදාව. ඒ මිනිස්සු හැබෑ දක්ෂ අය. අඩි 60 ක් උසට වතුර ඉසින පොම්පයක් ඔවුන් සතුව තිබුණා. ඒකට කියන්නේ ලන්ඩන් ලසල් කියලා. මගේ මිත්‍ර චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන් ‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ චිත්‍රපටය කරන්න ලංකාවට එන විට මම ඔහුට දුන්න උපදෙස නම් ඔබට ධාරානිපාත වැස්සක් අවශ්‍ය වුණොත් නොපමාව ලංකාවේ ගිනි නිවන හමුදාවේ සහාය ලබා ගන්න කියායි. අධ්‍යක්ෂ කැරෝල්රීඩ් වරක් පවසා තිබුණි.   


චිත්‍රපටයේ ලාංකීකයන් පෙනී සිටින දර්ශනයක් කොළඹ 14 ප්‍රින්ස් ඔෆ් වේල්ස් මාවතේ කොළඹ වරායේ කර්මාන්ත ශාලාවක තේ ෆැක්ටරියක් ලෙස සකස්කොට රූප ගතවී ඇත. එහි Billiards නාම පුවරුවක් සවි කොට තිබුණි. මේ දර්ශනයට අලි කිහිප දෙනෙකු යොදාගෙන තිබුණි. ලංකාවේ කැමරා ගත කළ දූපත්වල පැල්පත් දර්ශනවලදී ලංකාවේ ප්‍රකට ජන ගී හා සීපද යාන්තමට ඇසීමට සලසා තිබුණි. උත්සව අවස්ථාවල දී රංජනා තංගරාජා (1922-1984) ගේ නැටුම් ඇතුළත් කර තිබුණේ අපේ දක්ෂ නැටුම් ගුරුන්නාන්සේලා සමගය.   


චිත්‍රපටයේ නාමාවලි​ෙය් Dancing by T. Ranjana and K. Gurunanse (කිරිගණිත ගුරුන්නාසේ) නම් වල විශේෂ තැනක් දී තිබුණි. විදේශවල දී චිත්‍රපට නැරඹූ අය රංජනාගේ නැටුම්වලට විදේශිකයන් කොතරම් ආසක්ත වීද යත් Ranjana Ceylon කියා ලිපි ද එවීය. ඒවා තැපල්පතිතුමා විසින් ලංකාදීප කාර්තෘ ඩී.බී. ධනපාල මහතා වෙත යොමු කර ඇත. මේ ප්‍රශංසාත්මක ගුවන් ලිපි ලංකාදීප හා ඉරිදා ලංකාදීම පත්‍රවල පළවී තිබුණි.   
1951 දෙසැම්බර් 02 වෙනිදා ටයිම්ස් ආයතනයේ මෙහෙයවීමෙන් Outcast of the Islands චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් වැල්ලවත්තේ සැෆයර් නෘත්‍ය ශාලාවේ (සිනමා හලේ) ප්‍රථම වරට ප්‍රදර්ශනය කර ඇත. මේ දර්ශනයට අධ්‍යක්ෂ කැරොල් රීඩ් ද සහභාගී වී ඇත. ලංකාවේ නිපදවීමට උදව් කළ සියලු දෙනාම සඳහා කැරොල් රීඩ් හා සිලෝන් ටුවර්ස් අධිපති පී.ඒ. එදිරිවීර මහතා බොල්ගොඩ දූපතේ විනෝදාගාරයේ පැවැත් වූ ප්‍රියසම්භාෂණයට සහභාගී වූ ප්‍රධාන නළු ට්‍රෙවඩ් හවඩ් නයෙකු කරේ ඔතාගෙන නටන ඡායාරූපයක් 1951 ජනවාරි 17 වෙනිදා ලංකාදීප පුවත්ප​ෙත් මුල් පිටුවේ පළ වී තිබුණි.   


1951 ජනවාරි 22 වෙනිදා ලංකාදීප පත්‍ර​ෙය් අයෙමත් ලංකාවට එන්න කැමැතියි - කෙරීමා පුවතක් පළ කර තිබුණි. එය වාර්තා කොට තිබුණේ ලන්ඩන් නියෝජිත පුවත කියාය. එය මෙසේය.   


අවුට් කාස්ට් ඔෆ් ද අයිලන්ඩ් චිත්‍රපටයේ රඟ පෑ සිනමා තාරකාව කෙරිමා නළඟන සහ පිරිස දැන් ලන්ඩනයට පැමිණ තිබේ. ලංකාවේ මිනිස්සු හරිම ගුණයහපත්. ඔවුන් හා ගත කළ කාලය සුන්දරයි. සම්පූර්ණ වශයෙන් මිනිස්සු ආගන්තුක සත්කාරයට ළැදියි. මම කවදා හෝ ලංකාවට නැවත එනවා.   


ලංකාවේ නළුවන්ට ගජවාසි නමින් තවත් පුවතක් 1951 ජනවාරි 25 ලංකාදීප පත්‍රයේ මුල් පිටුවේ පළ වී තිබුණි. ඒ පුවත ද මෙසේය.   


අවුට් කාස්ට් ඔෆ් ද අයිලන්ඩ් චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් වී ඇත. මේ චිත්‍රපටයට ලංකාවේ විශාල පිරිසක් සහභාගී වූහ. ගංතෙර දර්ශනවලට, සමූහ දර්ශනවලට, කාර්මික අංශයට, රඟපෑමට ශිෂ්‍යයන් නළුවන් ද සහභාගී විය. ලැඩී රණසිංහ එක් නළුවෙකි. ලංකාවේ සහභාගී වූ සැමට දිනකට ගිනි 3 බැගින් ලැබී තිබේ.   


චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් රජයේ චිත්‍රපට අංශයේ සිනමා ශාලාවේ පැවැත්වීමෙන් පසු අධ්‍යක්ෂ කැරොල් රීඩ් සමග කළ විශේෂ සාකච්ඡාවක් එකල රජයේ චිත්‍රපට අංශය මගින් නිෂ්පාදිත ප්‍රවෘත්ති සංදර්ශනය (News Rell No 14) යටතේ ලංකාවේ සිනමා හල්වල තිරගත වී ඇත. හොඬවැල ඔසවා සිටින අලියකුගේ ලාංඡනයක් යටතේ Ceylon Information Department Film Unit තැනූ මේ වාර්තා චිත්‍රපටයේ කැරොල් රීඩ්ගේ විශේෂ සංවාදයකට තැනක් හිමිව තිබුණි. නිව්ස් රීලයේ මාතෘකාව වූයේ Carol Reeds Choice Ceylon එහිදී අධ්‍යක්ෂවරයා ලංකාවට ප්‍රශංසා පිට ප්‍රසංශා කරමින් ලංකාව තෝරා ගැනීමට ලැබීම වාසනාවක් කොට සළකන බව පවසා තිබුණි.   


​ෙම් චිත්‍රපටය 1952 මැයි 15 වෙනිදා ලෝකයේ රටවල් ගණනක ප්‍රදර්ශනය වී ඇත. ධාවන කාලය මිනිත්තු 102 කි.   

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර   
ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්