ක්‍රියාදාම චාරිකා

 

මීටර් 550 ක් පමණ දුරක් කේබල් මගින් එන අයුරු

පිටවීමේ වේදිකාව ආසන්නයේ

කේබල් එකේ යමින්...

 

 

ඇල්ල යනු වර්තමානය වන විට ලංකාවේ ශිඝ්‍රයෙන් ජනප්‍රිය වූ දැවැන්ත සංචාරක ස්ථානයකි. දෙස් විදෙස් සංචාරකයින් බහුල ලෙස ඇල්ලට පැමිණෙන්නේ එහි තිබෙන අතිශය සුන්දර කාලගුණය හා පරිසරය නිසාවෙනි. නැරඹීමට සහ විඳීමට බොහෝ ප්‍රියකරන නිසාවෙනි. මීට වසර ගණනකට පෙර ඇල්ලේ සමස්ත සුන්දරත්වය නැරඹීමට පැමිණි අප මෙතරම් සංචාරකයින් ප්‍රමාණයක් නුදුටු නමුත් මේ වන විට ඇල්ල යනු අතිශය ජනාකීර්ණ ප්‍රදේශයක් වී ඇත.   


කෙසේ හෝ මෙවර ඉරිදා ලංකාදීප ‘ක්‍රියාදාම චාරිකා’ පිටුවට ලද ඇරයුමක් මත සුවිශේෂී අත්දැකීමක් විඳ ගැනීමට අපි සූදානම් වුණෙමු. එනම් දැනට ලංකාවේ පවතින දිගම කේබලයේ (Zip line) එල්ලී ගමන් කිරීමටයි. කේබල​ෙය් එල්ලී ගමන් කිරීම සිදු විය යුත්තේ ඉහළක සිට පහළටය. එසේම එලෙස යාම ජීවිතය පිළිබඳව විශාල වගකීමක් දැරීමකි.   
එම නිසාම අදාළ උපකරණ නියමිත ආරක්‍ෂිත තත්ත්ව යටතේ තිබිය යුතුය. පියාඹන රාවණා (Flying Ravana) යනු ​පෙබරවාරි පළමු වැනිදා පටන්ගත් ලංකාවේ ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වකි. ක්‍රියාදාම සංචාර හා අත්දැකීම් සොයා යන සොබාසිරි කණ්ඩායමට මෙම ඇරයුම ලැබුණේ අක්කර 98 හෝටල් (98 Acres Hotels) ආයතනය මගිනි. ඔවුන් විසින් නිර්මාණය කළ හා පවත්වාගෙන යනු ලබන මෙම සුන්දර අත්දැකීම විඳගැනීමට පාන්දරින්ම කොළඹින් පිටත් වූයේ උදේ 9 වන විට ඇල්ලේ සිටිය යුතු හෙයිනි.   


මෙම ස්ථානය පිහිටියේ ඇල්ලේ පුංචි සිරිපාදයට යන මාර්ගයේ පුංචි සිරිපාද කඳු ගමන ආරම්භ වන ස්ථානයේය. ඉතාමත් ආකර්ෂණීය සහ චාම් ලෙස පිහිටවූ කුඩා අට්ටාල සහ ප්‍රවේශ පත්‍ර කුටිය පරිසරයට ඔබින ලෙස තිබුණා. නෙදර්ලන්ත ජාතික මැට් (matts) මහතා විසින් අප පිළිගනු ලැබූ අතර මෙහි කළමනාකාර ලෙස ඔහු සේවය කරයි. තවද මෙහි සහය කළමනාකරු සහ ප්‍රධාන කේබල්කරු (Zip master) ලෙස කටයුතු කරන මිත්‍ර නදීප් දිලුම් සොයුරාද සිටි බැවින් අපි උදෑසන දහයේ ගමනට සූදානම් වීමට සැරසුණෙමු. අදාළ ගිවිසුම් පත්‍ර අත්සන් කළ පසු බර මැන අපට ආරක්‍ෂිත කබා (Harress) පලඳවා හිස්වැසුම (Helmet) ලබාදුණි. පසුව අපි ඊළඟ කණ්ඩායම පිටත්වන තුරු එහි රැඳී සිටියෙමු.   
ලංකාවේ ආයතන කිහිපයක් මෙවැනි කේබල් මත එල්ලී යාමේ ඉසව් සිදු කරන මුත් මෙය එතෙක් මෙතෙක් ලංකාවේ දිගම කේබලයේ ගමන විය. මෙහි සමස්ත දිග මීටර් 550කි. පොළොව මට්ටමේ සිට මීටර 80ක් පමණ ඉහළින් පිහිටා ඇති මෙහි යා හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 80ක් පමණ වේ. පුංචි සිරීපාද (Little Adams peak) කඳුවැටියේ බෑවුමේ පිහිටි පිවිසීමේ අට්ටාලය මගින් නිදහස් වන කෙනෙකු මීටර 550ක් දිග කේබලයේ එල්ලී විනාඩියකට ආසන්න කාලයක් මුළුල්ලේ අහසේ ඇදී යමින් පහළ පිහිටි පිටවීමේ අට්ටාලයට (Exit platform) ළඟා වේ.   


මෙවැනි බිහිසුණු හා ත්‍රාසජනක ක්‍රියාකාරකමක් එසේ මෙසේ සැලසුම් කළ නොහැක. එසේම මිනිස් ආරක්‍ෂාව උපරිම සුරක්ෂිතව තිබිය යුතුය. එම නිසාම අපි මැට් මහතා සමඟ මෙහි එම සියලු තත්ත්ව ගැන කතිකා කරන්නට වීමු.   


නෙදර්ලන්ත ජාතිකයෙකු වන මැට් මහතා වසර 12ක බංජි පැනුම් (Bunji Jumping) උපදේශකයෙකු ලෙස හා කේබල් තරණ උපදේශකයෙකු ලෙස ක්‍රියාකරන්නෙකි. හල්පේ තේ සමාගම පසුගිය වසරේ ​ෙනාවැම්බර් සිට මෙම කටයුත්ත සැලසුම් කළ අතර එය ගොඩනැගීම සහ මුළුමනින්ම නිර්මාණය කිරීමට ව්‍යාපෘතිය බාර දුන්නේ නෙදර්ලන්ත ජාතික සමාගමකටය. ගිවිසුම් ප්‍රකාරව එම සමාගම් නියෝජිතයින් පැමිණ සුදුසු ස්ථානය සහ භූමියේ පිහිටීම සහ සැලසුම් කිරීමේ ක්‍රමවේදය නිර්ණය කරගත් පසු හල්පේ සමාගම මෙම දැවැන්ත කටයුත්ත ආරම්භ කරන ලදී.   


මෙම අට්ටාල, කේබල් සහ සියලුම උපකරණ ගෙන්වනු ලැබුවේ නෙදර්ලන්තයෙනි. මීටර 550ක දිගැති කේබල් යුගලයක් මෙහි ඇති අතර ඒ සියල්ල නිර්මාණය කරනු ලැබුවේ අදාළ සමාගම මගිනි. කෙසේ හෝ ජනවාරිය වන විට සියලුම ස්ථාපන කටයුතු නිම කළ පසු මෙහි පරිපාලනය සඳහා මැට් මහතා යෙද වූයේ මනා පළපුරුදු කෙනෙකු අවශ්‍ය වූ හෙයිනි. මොහුගේ සහයට සිටින නදීෂ් දිලුම් මහතා යනු ඉන්දියාවේ නේරු විශ්වවිද්‍යාලයේ කඳු තරණ පාඨමාලා සිදුකර කඳු තරණයේ (Rock Climbing) යෙදෙන ශ්‍රී ලාංකිකයෙකි. එවරස්ට් මූලික කඳවුරු තරණය ඇතුළු හිමාලයේ කඳු කිහිපයක් තරණය කළ ඔහු ලංකාවේ මෙවැනි කටයුත්තකට සුදුසු පුද්ගලයා විය.   


ඇල්ල කපොල්ල අතරින් තේ වතුවලට උඩින් පියඹා යන මෙම අත්දැකීම මොහොතකට ඔබට කුරුල්ලෙකුගේ අත්දැකීම ලබා දේ. ඇල්ල කඳුවැටිය හා පුංචි සිරීපාද කඳුවැටිය හොඳින් පෙනෙන කපොල්ලේ පිහිටි නිසාවෙන් මෙහි සුන්දරත්වය ඉමහත් විය.   

 

ගොඩබිමේ වේදිකාව

සුරතලී ඇල්ල සහ හල්ඳුම්මුල්ල ඇල්ල

 


මෙවන් විස්තරයක් හා ආරක්ෂාවේ උපරිම සහතිකය යුරෝපීය කඹ පාඨමාලා සහතිකය (European Rope Course Association) පවා ලැබුණු හෙයින් ආරක්‍ෂාවේ ගැටලු අප සිත් තුළින් පහවුණි. කෙසේ හෝ පිවිසීමේ අට්ටාලය වෙත නැගුණු මමත් නිරෝෂ් සොයුරාත් පියාඹන්නට සූදානම් වූයෙමු. කේබලය මත ආරක්‍ෂිත කබාය සහ ආරක්‍ෂිත අතිරේක කේබලය සවිකල පසු පිළිපැදිය යුතු මූලික කරුණු අපට කියා දේ. ස්වයංක්‍රීය තිරිංග පද්ධතියක් ඇති හෙයින් පිටවීමේ ස්ථානයේ ආරක්ෂාව උපරිම විය. එසේ නම් දැන් අපට ඉතිරිව තිබුණේ පියෑඹීමටයි.   


සියලුම ආරක්‍ෂක තත්ත්ව පිරික්සූ පසු අට්ටාලයේ පිවිසුම් දොර විවර වුණි. සැණින් දෙපා ඉහළට එස වූ විගස අපි නිදහස් වුණෙමු. එය සැබැවින්ම විස්වාසජනක අත්දැකීමකි. අපි හිස් අවකාශය තුළ පියඹා යන්නෙමු. කඳුමිටියාවත් වටේම පිහිටා තිබුණි. රූස්ස ගස් කිහිපයකට ඉහළින් අපි ගමන් කරමින් වටේට කැරකෙමින් නැරඹුවෙමු. දෑත සහ දෙපා අතහැර නිදහස අත්වින්දේ ආරක්‍ෂිත කබාය කේබලයට හොඳින් සවි වී තිබූ හෙයිනි. තත්පර ගණන් ගෙවී ගිය අතර පිවිසුම් ස්ථානය ඉතා ඈතක දිස් වන ලදී.   


මෙම අත්දැකීම අතිශය සුන්දරය. තත්ත්පර 40ක පමණ කාලයක් ගත වන විට අප පිටවීමේ මංතීරුවට ළඟාවෙමින් තිබුණි. නිල් අහස යට තුරු වියනට උඩින් මොහොතකට විහඟුන් ලෙස පියඹා ගිය අප නැවතත් බිමට පාත්වන්නට විය.   


Flying Ravana ලෙස නම් කරන ලද මෙම කේබලයේ ගමන දෙස් විදෙස් ඕනෑම කෙනෙකුට විඳගත හැකිය. කෙසේ හෝ ගමන අවසන් කළ පසු අපි නැවතත් ප්‍රවේශ පත්‍ර කාර්යාලයට පැමිණ තව තවත් ඡායාරූප ගතිමු. මෙහි වයස අවුරුදු 6ක් පමණ වන විදේශීය ගැහැනු දරුවෙකු පවා ගමන් කරන ලදී. එසේම කිලෝ 130ක් පමණ බර විදේශිකයකුද ගමන් කරන ලදී. අතිශය සංචාරක ආකර්ෂණයක් තිබෙන පුංචි සිරීපාද ඉසව්වේ පිහිටි මෙය නිසැකවම විඳිය යුතු අත්දැකීමකි. පසුව අප පුංචි සිරීපාද කඳුමුදුනට ගමන් කරන ලදී. විනාඩි 15ක පමණ ගමනකින් පසු පුංචි සිරීපාද කඳුමුදුනට අපි ළඟා වූයෙමු. කඳු මුදුන පෙරට වඩා ජනාකීර්ණ වී හමාරය. නමුණුකුල, අලලකන්ද හා සුවිශේෂ කඳු රාශියක් දැකගත හැකිය. එම කන්ද සමනොළ කන්දේ මහගිරි දඹ අනුරුවක් වැනිය.   


පසුව අප නැවතත් කාර්යාලය අසලට පැමිණ ඔවුන්ට සමුදී පිටත් වූයේ බණ්ඩාරවෙල නගරය තුළ සැඟවී තිබෙන එකම දිය ඇල්ල සොයාගෙනය.   


බණ්ඩාරවෙල නගරය කිට්ටුවෙන් ඇල්ල තොට පාලම යට පිහිටා තිබුණි. මෙම සුන්දරිය සොයා අප ගමන් කළේ කුඩා අඩි පාරක් මැදිනි. මෙම දියඇල්ල ගැන දෙස් - විදෙස් සංචාරකයින් තවමත් දන්නේ නැත. බොහෝ ඇස් වලින් වහං වූ මෙම සුන්දරිය සැබවින්ම අලංකාරය. ඉතා පළලකින් යුත් මෙය විටෙක පුංචි බෝඹුරු ඇල්ලක් මෙනි. මීට මාස කිහිපයකට හෝ අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දැවැන්ත කුණු සහ අපද්‍රව්‍ය රාශියක් මේ අවට ගොඩ ගැසී තිබුණි. ජලය ගලාගෙන යන දිය දහරට මීටර් 2ක් පමණ ඉහළින් පිහිටි සපත්තු පාලම උඩින් පවා එම දියකඳ ගමන් කර ඇති බව අපට පෙනුණි.   

 

කේබල් වේදිකාවට යන මග

සහතික ලත් ආරක්ෂක උපකරණ

ඇල්ල කන්ද

වයස අවුරුදු හයක දැරියක් සූදානම් වෙමින්...

 


අැල්ලතොට දියඇල්ල නම් වූ එම සුන්දරිය නරඹා අප කොළඹ බලා එ්‍මට පිටත් වුණා. හපුතලේ සහ බෙලිහුල් ඔය අතරදී අප තරණය කළ සියලුම කඳු වැටි බොහෝමයක් දැක ගැනීමට හැකිවුණි. බෙරගල, පරවියන්ගල, හාවාගල, නැග්රැක්, ගොම්මෝලිය, බලතුඩුව, වංගෙඩිගල, උඩවේරිය, ඉදල්ගස්ගින්න, හක්ගල, පිදුරුතලාගල, තොටුපොළ, මහතුඩුගල ආදී කඳු රාශියක් අපට දැක ගැනීමට ලැබුණි.   


හපුතලේ පසුකර බෙරගල දක්වා දුර්ගය බැසීමේදී බෙරගල ඇල්ලත් වැල්ලවාය, ඇඹිලිපිටිය හරහා නිම්නයත් දැකගැනීමට ලැබුණි. තවද පසුගිය දිනවල සවස පැවති වර්ෂාව හේතුවෙන් පෝෂණය වූ සුරතලී ඇල්ල, බ්‍රැම්පිටව ඇල්ල සහ බෙරගල ඇල්ල අලංකාර වී තිබුණි. කෙසේ හෝ සවස්යාමය වන විට වර්ෂාවටද හසුවෙමින් අපි නැවතත් කොළඹ කරා පැමිණියෙමු.   


දකුණු ආසියාවේ දෙවන දිගම සහ ලංකාවේ දිගම කේබලයේ (Zip Line) යාමේ අත්දැකීම අතිශය සුන්දර විය. සොබාසිරි ක්‍රියදාම චාරිකා අප හට මෙවැනි අවස්ථාවක් ලැබීම සහ යහපත් කාලගුණයක් යටතේ උපරිම පරිසර සුන්දරත්වය දැක ගනිමින් යාමට හැකිවීමත් වාසනාවක් විය. නැවතත් ලබන සතියේ සිට ක්‍රියාදාම චාරිකා තුළින් හමුවෙමු.   


විශේෂ ස්තුතිය හල්පේ තේ සමාගමේ අලෙවිකරණ අධ්‍යක්‍ෂ එරන්ද අබේරත්න මහතාට සහ flying Ravana ව්‍යාපෘති කළමනාකාර මැට් මහතා සහ නදීෂ් දිලුම් මහතාට www.flyingravana.com) 

 

 


සංචාරක සටහන හා ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු