ක්‍රියාදාම චාරිකා

කෙහෙල්පොත්දොරුවේගල කඳු වැටිය 

කඳු මුදුනට ළඟා වෙමින්

කඳු මුදුනට පෙනෙන යහන්ගල සහ වේයන්ගල පතන

 

 

ලංකාවේ සැඟ වී පවතින සේම බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට යා නොහැකි ගිරිදුර්ග, මරණ බිය අතර පවතින සොබාදම් නිර්මාණ සොයා ගවේෂණය කිරීම ‘සොබාසිරි’ නම් අප නඩයේ අරමුණයි.   


ළඟා විය නොහැකි දරුණු ඉසව්වල පවා දස වසරක් පුරාවට සංචාරය කරමින් ඒ සුන්දරත්වය හා අපේකම ඔබ වෙත ගෙන ඒම අපගේ පැතුම සේම සංචාරක දිවියේ අරමුණයි.   


එවරස්ට් නම් වූ ලෝකයේ උසම කන්දට තරමක් සමාන ලෙසින් පිහිටා ඇති සේම ලංකාවේ දිගම නම සහිත කන්ද වන කෙහෙල්පොත්රුදෝවේගල තරණය යනු නකල්ස් ක්‍රියාද‌ාම තෝතැන්නේ ප්‍රධාන ඉසව්වකි. උසින් මීටර් 1485 ක් පමණ වන මෙම කන්ද ලංකාවේ කඳු අතර උසින් 64 වන ස්ථානයේ පසුවෙයි. නකල්ස් දකුණු හා ගිනිකොන මායිම වන මෙම කන්ද තරණය සඳහා අපි උඩුදුම්බර බලා පිටත් වුණෙමු.   


කොළඹ සිට නුවර පාරේ ගොස් පසුව මහියංගණය පාරේ උඩදුම්බර නගරයට පැමිණියේ පාන්දර පහ පමණ වන විටය. ඒ වන විටත් පාළුවට ගිය නගරය සහ අහස් කුස සැරසී සිටියේ කළු වළාකුළින් පමණි. යන්තම් නැගෙනහිර අහස් මෝදුවන හිරුකිරණ නකල්ස් වනයේ තුරුපතර මත වැටෙන කණිසමේ අප උඩදුම්බර සිට කළුගල හරහා උඩ ඉලුමක ග්‍රාමසේවා වසමට ළඟා වූයේ පාන්දර හය වන විටය. 

 
කළුගල සහ තැලගුණේ වැනි සම්ප්‍රද‌ායික ගම් පියස් අතරින් වැටුණු පටු මාර්ගය එක් බසයක් පමණක් යාමට තරම් ප්‍රමාණවත් වුවද වංගු ගණනාවකින් සමන්විත වුණ ළා හිරු කිරණ මැද මීදුම් සළු අත හරින ගැරඬිගල කඳුවැටිය ඇයගේ ආභරණය අපට පෙන්වූයේ මීට පෙර අප එහි පැමිණි වග සිහිකරවමිනි. ලංකාවේ එකම ජල ප්‍රවාහයකින් දියඇලි වැඩිම ගණනක් (7ක්) එකම ස්ථානයකදී පහසුවෙන්ම දැකිය හැකි ගැරඬිගල ඇලිද‌ාමය ජනෙල් කවුලු අතරින් බලාගෙනම ඊට අසල්වැසි වන අද දවසේ ගමනාන්තය වන කෙහෙල්පොත්දෝරුවේගල කන්දට අපි සමීප වුණෙමු.   


 කෙහෙල්පොත්දෝරුවේගලට අසල්වැසි වන යහන්ගල යනු මීට පෙර අප පැමිණි ඉසව්වක් වන අතර එය පිහිටි වෙලන්ගොල්ල පතන ගිනිකොන කෙළවරේ සිට දකුණු කෙළවරට පැමිණ පසුව ඊටම යාවී කෙහෙල්පොත්දෝරුවේගල කඳුවැටිය ආරම්භ වෙයි. මෙය බැලූ බැල්මට තුන්හුලස් කන්දක් වන අතර තරණය කිරීම අපහුසු බවත් දැනෙන්නට වන්නේ උඩුදුම්බර පෙනෙන මෙහි උස නිසාවෙනි. නමුත් උඩ ඉලුක තෙක් පැමිණි පසු ඔබට සිතාගත නොහැකි පරිද්දෙන් කන්දේ වෙනස්ම මුහුණුවරක් දැකගත හැකි වනු ඇත.   


කෙසේ හෝ කළුගල පාරේ කෙළවරට වන්නට පිහිටි උඩ ඉලුක වෙත හැරෙන ස්ථානයේ යහන්ගල පිළිබඳ නාම පුවරුවක් මාර්ගයේ වම් පස දැකගත හැකි අතර එම මාර්ගය හරහා උඩඉලුක ග්‍රාමසේවා නිලධාරි කාර්යාලය අසලට පැමිණිය යුතුය.   


මෙම සාම්ප්‍රද‌ායික ගම් පියසේ වෙසෙන ගැමි ජනතාව බෙහෙවින් ප්‍රියමානාප විය. ඔවුන් පිටස්තර පුද්ගලයන්ට දැඩි ආගන්තුක සත්කාරයක් දක්වන අතර ගමනට අවශ්‍ය තොරතුරු සහ මඟ පෙන්වීමක් අවශ්‍ය නම් එය පවා නොපැකිළිව ලබා දේ. කල් තියාම මඟපෙන්වීමට පුද්ගලයෙකු අප සොයා ගත්තේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙනි. සියල්ලෝම උඩඉලුක වෙත පැමිණ වනගත වීමට ප්‍රථම ගමනට අවශ්‍ය තොරතුරු සහ ගමනේ ස්වභාවය පිළිබඳ පැහැදිලි කරන ලදී.   

 

දුෂ්කර ගමන

කන්ද මුදුනේ දැවැන්ත ගල් බිත්තය

අවසානයේ තරණය කළයුතු කොටස

 


උඩ ඉලුක සිට ගුරු පාරක් ඔස්සේ අප ඉදිරියටම ගමන් කළ අතර මාර්ගය දෙපස වනය බෙහෙවින් වියළි ස්වභාවයක් ඉසිලූ අතර වර්ෂාව බොහෝ කාලයකින් මෙහි නොපැමිණ වග මගපෙන්වන්නා අපට පවසන ලදී. කිලෝමීටරයකට ආසන්න දුරක් අප ගුරු පාර දිගේ කන්දේ වම් පස කෙළවරට වන්නට ගමන් කළ අතර ඉන්පසු අපි ගන වනාන්තරයට පිවිසීමට සූද‌ානම් වුණෙමු. පරිසරයේ වියළි ස්වභාවයත් ඊට අනුගත වූ ජෛව විවිධත්වයත් පිළිබඳව නැවතත් නඩය දැනුම්වත් කළේ මගක් නොමැති අඳුරු කැලයේ යන විට සියල්ලෝම ආසන්නයෙන් ගමන් කළ යුතු හෙයිනි. මන්ද වන පියස ඉතාමත් ගුප්ත නිහඬ බවක් ඉසිලු අතර තද හිරු රශ්මිය වැටුණ ද මහ රූස්ස තුරුවියන් අතරින් ඒ හිරු කිරණ දෙරණත සිප ගත්තේ අතරින් පතර පමණි. ඒ හැර සමස්ත වනයම මඳ අඳුරු ස්වභාවයක් සහ වියළි ස්වභාවයකින් යුක්ත විය.   


ක්‍රියාද‌ාම සංචාරකයින්ගේ සොඳුරු තෝතැන්නක් වන නකල්ස් වන පෙත යනු හෙක්ටයාර් විසිද‌ාහසකින් පමණ හෙබි සොබාදම් නිර්මාණ රාශියකින් යුත් ඉසව්වකි.   


 වන පියසට ඇතුළු වූ අපි ක්‍රමයෙන් ඉහළට නගින්නට වීමු. වියළි පරිසරය නිසාවෙන් බිම වැටී තිබූ කොළ මත අඩිය තබන විට නිකුත් වන ශබ්දය විනා වෙනත් කිසිදු ශබ්දයක් වනය තුළ නොතිබුණි. ගල් වැටි, ගල්කුට්ටි අතරින් යන විට තරමක වෙහෙසක් දැනුණු පසු අප විවේක ගැනීමට නැවතුණේ කදිම ස්ථානයකය. එය සිඳී ගිය දිහ දහරාවකි. දෙපසකින් පැමිණෙන ජල කඳ එකතු වන ස්ථානයේ ගල් කුට්ටි බොහෝමයක් පිහිටා තිබුණි. ඒ මත අසුන්ගත් සියල්ලෝ තම උදෑසන ආහාර ගැනීමට සූද‌ානම් වූයේ තවමත් වෙලාව උදෑසන 9 ට පමණ තිබියදීය.   


 වියළි කාලගුණය හේතුවෙන් මෙම වන පියස තුළ කිසිදු ජල මූලාශ්‍රයක් නොතිබුණු අතර තුරුවියන් බැඳ ගත් රූස්ස ගස් කුළු නිසාවෙන් ගතට වැඩි අපහසුවක් නොදැනුණි. කෙසේ නමුත් මද විවේකය අවසන් වූ පසු අප නැවතත් ගමන ඇරඹියේ කුඩා සමතලා බිමක මීටර තුන්හාරසියයක් ඇවිද යමිනි. පසුව අප නැවතත් තද නැග්මකට අවතිර්ණ වූ අතර ගල්කුට්ටි මතින් යුතු ගමන තරමක් දුෂ්කර වූයේ ගල් කැබැලි පයට ලිස්සා පහළ පැමිණෙන පිරිසගේ ඇඟට පතිත වීමේ අවද‌ානම නිසාවෙනි.   


හෝරාවකට අධික වනගත දුෂ්කර ගමනකින් පසු අප විශාල පර්වත බිත්තියක් අසලට පැමිණියෙමු. එහිදී එම පර්වතය වම් පසින් ගල්වැටිය දිගේ ඉහළට නැගීමට සිදුවිය. ගස්වැල්වල ආධාරයෙන් ගල දිගේ මීටර දහයක් පමණ අපි ඉහළට නැගගෙන පසුව කටු පඳුරු යායක් මැදින් ගොස් විවෘත අවකාශයක පිහිටි ගල් තලාවකට අවතීර්ණ වුණෙමු.   


මෙම ගල්තලාවට ඉහළින් පිහිටියේ කෙහෙල්පොත්දෝරුවේගල කඳු මුදුණය. මෙතැන සිට ඊට ඇති උස මීටර 50 ක් පමණ වූ අතර මෙම ස්ථානයට යහන්ගල, වෙලන්ගොල්ල පතන සිට මහියංගණය මහවැලි ගඟ දක්වා පුළුල් පරිසරයක් දැකගත හැකි අතර තවත් පසෙකින් මැද මහනුවර, හුන්නස්ගිරිය සහ ඩීන්ස්ටන්, දෝකළුගල දක්වා පරිසරය ද දැකගත හැක.   

 

කඳු මුදුනට පෙනෙන ලකේගල

 


කෙහෙල්පොත්දෝරුවේගල සිට යහන්ගල හරහා වෙලන්ගොල්ල පතන ඉතාමත් පැහැදිලිව හා සුන්දරව මෙම ස්ථානයට දැකගත හැකි අතර එහිදී මෙම සියලුම කඳු එකිනෙක යාවී ඇති බව පහසුවෙන් දැකගත හැක. තවද පසෙකින් ගැරඬිගල සහ දුම්බානාගල දක්නට ලැබුණි.   


 මෙතැන සිට අපට යාමට තිබුණේ තරමක අන්තරාද‌ායක ගමනකි. අප මීටර 20 ක් 30 ක් පමණ අනෙක් පස හෙළට බැස යාබද පටු නිම්නයට නැග ගත්තේ කටු සහිත වැල් රාශියක් පිරි ඉසව්වකිනි. මන්නා පහරින් කටුවැල් කැපුන ද සමහරක් කටුවැල් බෑග්වල සහ ඇඳුම් වල පැටලුණි. පටු නිම්නයට පැමිණි පසු ඉන් වක්‍රාකාරව ගොස් අනෙක් ප්‍රදේශය​ට යා යුතුව තිබුණි. නමුත් යන්තමින් අඩියක් තබා යාමට ප්‍රමාණවත් ඉඩක් පමණක් එහි තිබුණි. කෙසේ හෝ එකා පිටුපස එකා යමින් ආරක්ෂාකාරි ලෙස අපි ඉන් එහා පැත්තට ගියෙමු.   


 පසුව ගල් කුට්ටි අල්ලා ගෙන ඒ දිගේ කන්දේ වම් කෙළවරේ පිහිටි ගැට්ට අසලට අපි පැමිණියෙමු. මේ වන විට අපි කෙහෙල්පොත්දෝරුවේ කන්දේ වම් කෙළවරට පැමිණ සිටියෙමු. එනම් එහි එක් කඳු තීරුවකටය. මෙතන සිට අපට මාන පඳුරු යායක් මැදින් ගමන් කිරීමට සිදුවිය. මාන පඳුරු දුඹුරු පැහැ ගැන් වී තිබිණ. කිසිදු වැහි වළාවක් නොවුයෙන් චණ්ඩ හිරුරැස් වලින් සමස්ත කඳු වැටියම වෙළාගෙන තිබුණි. ඊට නොදෙවෙනි ලෙස ප්‍රබල සුළං ප්‍රවාහයක් මෙම කොටසේ දක්නට ලැබුණි.   


නකල්ස් වනපෙතේ බොහෝ ස්ථානවල අපට අධික සුළං ප්‍රවාහයකට මුහුණ දීමට සිදුවිණ. කිරිගල්පොත්ත, සුදුගල, නකල්ස්, අලුගල්කන්ද, ලකේගල, යහන්ගල, දුම්බානගල ආදී කඳු මුදුන්වල දැඩි සුළං ප්‍රවාහයක් පැවතුනේ රිවස්ටන් සුළං කපොල්ලට නොදෙවෙනි ලෙසය. මෙහිදී අප කන්ද නගින ඉසව්වට දෙපසින් දැවැන්ත හෙල් 2 ක් තිබූ හෙයින් වඩාත් මධ්‍යයට වන්නට අපි ගමන් කළෙමු.   


 තවත් අඩහෝරාවක් ගතවන තැන අප කුඩා ගල් ගුහාවක් වැනි ආවරණයක් සහිත ස්ථානයට පැමිණියෙමු. ඒ අසලට එ්මට අපට අඩි තබන්නට වූයේ මීටර 200 කට වැඩි හෙලක ගැට්ට මතින්ය. පසුව ඇලමාන පඳුරු එක අතට අල්ලා ගෙන ඊට බර දී ගල් කුට්ටි අතරින් නගිමින් ඉහළ ගල් තලාවට පැමිණියෙමු. දුර සිට පෙනුණු කඳු මුදුන එය දැයි සිතුවත් එය නොවන බව පසක් වූයේ ඊට මදක් පිටුපසින් පිහිටි අංශක 90 ක දැවැන්ත ගලක් තරණය කළ යුතුව තිබුණු නිසාවෙනි.   


වක්‍රාකාරව තිබූ ගල දිගේ මීටර 10 ක පමණ ඉහළක් අපට අනිවාර්​යෙන්ම නැගීමට තිබුණේ අංශක 90 ක ආනතියක් ඔස්සේය. එම ස්ථානය කිසි ලෙසකත් අපට මගහැරීමට නොතිබුණේ කන්ද මුදුනට යාමට එම ගල එකම බාධාව වූ නිසාවෙන් සහ ඒ දෙපස දැවැන්ත හෙල පිහිටි නිසාවෙනි. කෙසේ හෝ එම ගලේ ගැටි වලට අඩි තබමින් කඳු තරණයේ මූලික සිද්ධාන්ත මත පදනම්ව අප එකා බැගින් ආරක්ෂාකාරීව කන්ද මුදුනට ගිය අතර අතරමග ගලේ ගැටිත්තක් අල්ලාගෙන සගයෙකු සිටිමින් පහළ සිට නගින පිරිසට යම් අත්වැලක් සපයන ලදී.   


කෙසේ හෝ අන්තරායකර ගමනකින් පසු නකල්ස් වනපෙතේ සැඟව තිබූ පුංචි එවරස්ට් කන්ද වන් කෙහෙල්පොත්දෝරුවේගල මුදුනට සියල්ලෝම පැමිණි පසු එහි වූ මාන යාය මත වැතිර විවේකයක් ගන්නා ලදී. සියල්ලේම විවේක ගන්නා අතරතුර අපි කඳු මුදුනතේ තවත් පැතිවලට ඇවිද්දෙමු. එහිදී අපට අලුගල්කන්ද, නකල්ස් කඳුවැටිය, ගොම්බානිය. තුන්හිස්ගල, වමාරපුගල, ලකේගල කඳු ත්‍රිත්වය, උහුනුගල, තෙළඹුගල යනාදිය දැක ගැනීමට හැකි වූ අතර මහියංගණය ආශ්‍රිත සොරබොර වැව, දම්බරාව වැව, දුම්බර වැව සහ තවත් අවශේෂ වැව් ද පීත්ත පටියක් ලෙස ගලාගෙන යන මහවැලි නදිය කිලෝමීටර ගණනක් දුරටත් තවත් පසෙකින් හෙට්ටිපොළින් එහි දෙහිඅත්තකණ්ඩිය හරහා මොරගහකන්ද දක්වාත් දැවැන්ත වපසරියක් අපට මෙහිදී දැක ගැනීමට ලැබුණි.

 

   

ද්‍ැවැන්ත ගල් පර්වතය

කඳු මුදුනට ළඟා වූ අපි

කඳු මුදුනට ළඟා වූ අපි

 


 සීතල හිම කැට උඩ ගමනාන්තය සනිටුහන් කරන ලෝකයේ දුෂ්කරම සහ ප්‍රබලම කඳු තරණය වන එවරස්ට් කන්ද උඩට කොපමණ වපසරියක් පෙනේ ද එය මෙම කන්ද මෙන් සය ගුණයකට වඩා විශාල හෙයින් ඒ මත සිටීම සහ එය තරණය කිරීම කෙතරම් නම් ආශ්චර්යක් ද යන්න මෙහිදී අපට සිතුණි. මීදුම් සේල අද දවසේ සොයා ගැනීමට නොහැකි වූයේ චණ්ඩ හිරු රැස් වැහි දිය බොහෝ කාලයකින් නොලද දුම්බර වනපෙතට බොහෝ සෙයින් දැනෙන හෙයිනි. අංශක 360 ක පුළුල් වපසරියක් දැකබලා ගත හැකි කෙහෙල්පොත්දෝරුවේගල යනු මධ්‍යම පළාත නැගෙනහිරින් වෙන් කරන සීමාවේ පිහිටි උසම කඳුවැටිය වේ. අලියා කොටගල, කොස්ගොල්ල, හැටකටුවේගල වැනි රන්දෙනිගල රක්ෂිතයේ පිහිටි කඳු ද වික්ටෝරියා ජලාශය ද ඊටත් එහායින් මීදුම වෙලා ගත් නුවරඑළිය දක්වා පරිසරය විය. තද අව්ව මාන පදුරු මත වැටුණ ද ඊට ඔච්චම් කරමින් එහෙ මෙහෙ පැද්දෙන්නට ඒවාට හැකි වූයේ ප්‍රබල සුළං ප්‍රවාහයක් මෙම මුදුනතේ තිබුණු නිසාවෙනි.   


කෙසේ හෝ මෙම ස්ථානයේ එක් බෑවුමක විශාල කළුගල් බිත්ති පිහිටා තිබුණේ දුටුවන් සිත සලිත කරන්නාක් මෙනි. එම හෙල් අංශක 90 ක් පමණ වූ අතර මෙම ස්ථානයට සමස්ත බලන්ගොල්ල පතනම සහ යහනක් බඳු යහන්ගල පර්වතයත් හරි අපූරුවට දැකගත හැකිය. මීළඟට අප සූද‌ානම් වූයේ දිගු විවේකයෙන් පසු නැවත කන්ද බැසීමයි. එහිදී අප කන්දේ අනෙක් පසින් යහන්ගල හා කෙහෙල්පොත් අතර මැද පිහිටි ඕඩයක් දිගේ බැසීමට තීරණය කළේ එමගින් ඉක්මනින් ගම්මානයට ළඟා විය හැකි නිසාවෙනි.   


මාන කැලය අතරින් පල්ලම් බැසගත් අප වන පියසට අවතීර්ණ වූයේ මඟපෙන්වන්නා කියූ සිඳීගිය දිය දහරාව හෙවත් ඕඩය වෙතය. ඕඩය දිගේම අපට පහළට බැසිය හැකි නමුත් එහි දැඩි අවදානමක් තිබුණි. එනම් පිටුපසින් පැමිණෙන්නාට වැරදීමකින් හෝ ගල් කැබැලි ලිස්සුණහොත් ඒවා ඉදිරියෙන් යන පිරිසට වැදෙන බැවිනි. එවැනි අනතුරු 2 ක් සිදුවීමට ඉඩ නොදී නූලෙන් බේරුණු අතර දෙහෝරාවකින් පමණ අපට ඕඩය නිමා වන ඉසව්වට පැමිණීමට හැකි වුණි. ගම්මානයට ජලය ගෙන යන බටය හමුවූ අතර පිපාසයෙන් සිටි සියල්ලෝ ඉන් ජලය පානය කළේ මඟපෙන්වන්නාගේ උදව්වෙනි.   


 පසුව අපි පුරන්ව ගිය කුඹුරකට අවතීර්ණ වී තරමක විවේකයක් ගතිමු. සවස් යාමය ළංව තිබුණු හෙයින් අසල නිවසක වූ ටැංකියකින් යන්තමින් මුහුණ කට දොවා ගත්තේ ජලය අරපරිස්සමෙන් ඔවුන් ද පාවිච්චි කරන නිසාවෙනි. ලංකාවේ පුංචි එවරස්ට් කන්ද වන කෙහෙල්පොත්දෝරුවේගල සාර්ථක ලෙස දැඩි දුෂ්කරතා සහ අවදානම් තත්ත්ව මධ්‍යයේ තරණය කළ අපි සවස හය වන විට අප පැමිණි බස්රථය කරා පියමැන්නෙමු.   
 පුරා සිව් වසරකට අධික කාලයක් මුළුල්ලේ ඉරිද‌ා ලංකාදීප හි පළ වූ ක්‍රියාදාම චාරිකා පාදක කොටගනිමින් 2016 වසරේ අප විසින් ‘ක්‍රියාදාම චාරිකා’ ප්‍රථම ග්‍රන්ථය එළිදැක්වූ අතර එහි දෙවන කොටස මෙම මස කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී ඔබට ලබාගත හැකිය. ලංකාවේ ඔබ නුදුටු ​අතිශය දුෂ්කර ස්ථානවල පවතින කඳු, දියඇලි, ගුහා, පතන හා විශේෂ ස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් ලිපි 50 ක් ඝන ඔප කඩද‌ාසියේ මුද්‍රිතව වර්ණ සංයෝජනයෙන් යුක්ත වේ.   


 ගූගල් සිතියම් සහ ගූගල් පිහිටීමේ දත්ත සේම ගමන් මාර්ග ද මඟපෙන්වන්නන්ගේ විස්තර ද ඇතුළත් මෙම පොත පොත් ප්‍රදර්ශන කාල සීමාව තුළ සම්මන්ත්‍රණ ශාලාවේ ගේට්ටුව ඉදිරිපිට පිහිටි සුදර්ශී ශාලාවේ පිහිටි සොබාසිරි කුටියෙන් හා Travel in Sri Lanka - Sobasiri මුහුණු පොත පිටුව සමග එක්ව ලබාගත හැකිය. වැඩි විස්තර සඳහා 0771-496971 ඇමතිය හැක.   


ලංකාවේ දුෂ්කර චාරිකා ගවේෂණය කරමින් ඔබ වෙත නිරන්තරයෙන් රටේ සැඟව පවතින සුන්දරත්වය ගෙන ඒමට අප කටයුතු කරන අතර ක්‍රියාදාම චාරිකා හා සම්බන්ධ වී ඔබටද මෙම සුන්දරත්වය නැරඹීමට අත්පොත් තැබීමට හැකි වනු ඇත.   

 


සංචාරක සටහන සහ ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු