තවලම් ගොනුන් ගේ පිහිට

දුම්කොළ තෝරන ලදුන්

රෝගීන් කදබැඳගෙන රෝහලට යද්දී

 

බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව ලෝකයේ සිදුවූ විමුක්ති අරගල අතර ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට අත්වන්නේ සුවිශේෂී ස්ථානයකි. 


රට සුද්දාගේ පාලනයෙන් මුදා ගැනීම සඳහා ඌව වෙල්ලස්සෙන් ආරම්භ වූ විමුක්ති සටන වෙනත් ප්‍රදේශවලටත් පැතිර ගියත් සුද්දා මහා විනාශයක් උදාකළේ ඌව වෙල්ලස්සටය. 
ලොකු කුඩා වෙනසක් නොමැතිව ඌව වෙල්ලස්ස වැසියන් දහස් ගණනක් අමානුෂික ලෙස ඝාතනය කළ බව සුදු පාලකයන්ගේ වාර්තාවලින්ම හෙළිකර තිබේ. 


මේ අරගලයට පණදුන් කීප දෙනෙක් පමණක් ජාතික විරුවන් ලෙස සලසා ගරු සරු දැක්වීමට අපේ ඇත්තෝ කටයුතු කළත් පිළිම නෙළා නැති ගරු බුහුමන් නොලබන නම පවා ඉතිහාස පොත පතෙහි සඳහන් නොවන මේ ස‍ටනේදී දිවිපිදූ අපේ ඇත්තෝ විසි දහසකට අධිකය. 


ඌව දනව්වේ වැසියන්ගේ ඉඩම් කොල්ලකා තේ වගාව ස්ථාපනය කළ සුද්දෝ මිනිස් ජීවිත දහස් ගණනින් විනාශ කළා පමණක් නොව අපේ ආගම හා සංස්කෘතිය ද විනාශ කළහ. තම හමුදාවන්ට අපේ විරුවන් මෙල්ල කළ නොහැකි වූ විට විදේශීය හමුදාවන් ද ආනයනය කර මේ කෲර මර්දනය සිදුකර තිබිණ. 


ඇතැම් අහිංසක ජනයා කඳු හෙල් පල්ලම් බැස සුද්දාගේ මර්දනය හමුවේ ඇඳිවත පමණක් ඇතිව ජීවිත බේරාගෙන පළාගියහ. 


ඔවුන් සැඟවුණ ස්ථාන පිහිටියේ ඌවේ කඳු මුදුන්වල හෝ අඩි දහස් ගණනක් ප්‍රපාතයේය. 


සුද්දා රට හැරගිය පසු දකුණේ සහ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ජනතාව පැමිණ ඌව වෙල්ලස්සේ පදිංචි වී විවිධ රැකියාවන් ආරම්භ කළහ. ඔවුන් දියුණු වුවද පල්ලම්බැස්ස ඌව දනව්වේ මිනිසුන් තවමත් ගත කරන්නේ දුක්බර දිවිපෙවෙත්ය. 


ස්ථිර රැකියාවක් නැතිව, පාරක් තොටක් නැතිව, කරන වගාවන්ට මිලක් නැතිව, කරන වගාව ද වනසතුන්ගෙන් බේරාගත නොහැකිව ළඟම පාසැලක් නොමැතිව ඔවුන්ගේ දරු පවුල් ජීවත් වීම සඳහා අද දිනයේ ද කරන්නේ නිහඬ අරගලයකි. 


එවන් මිනිසුන් සොයා ඉරිදා ලංකාදීපය ගිය ගමනක චාරිකා සටහනකි මේ. 


පස්සර කොහොනවල ගම හැඳින්වෙන්නේ හිරු නොපායන ගමක් ලෙසය. 


මඩොල්සිම කඳු පාමුල අඩි දහස් ගණනක් ප්‍රපාතයේ පිහිටි මේ ගම්මානය කඳු වළල්ලකින් වටවී තිබිම නිසා හිරු උදාව හෝ හිරු අවරට යාම කිසිදිනක දක්නට නොලැබේ. හිරු එළිය වැටෙන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශවලට හිරු එළිය පතතිවන වේලාවට වඩා පැය ගණනකට පසුවය. 


මේ ගම්මානයට යාම සඳහා ලොග්ගල් ඔයේ අතු ශාඛාවෙන් එගොඩවීමට තිබූ බාධකය නැති කරමින් මෑතකදී පාලමක් ඉදිකර ඇති නමුත් කහටරුප්ප සිට පිවිසෙන මාර්ගය තවමත් ඇත්තේ පාගමනින්වත් යා නොහැකි තරම් ශුෂ්ක ලෙසිනි. 


කොහානවල. ඌරුමීතැන්න, ගඩාදෙහිගොල්ල, කොළොංගස්පිටිය, වතුපිටිය, දඹකොටේ, හෙළයාය, පිටමාරුව, රෝබෙරි, කොකාගල එක ඉසව්වේම පිහිටි මෙවැනි ගම්මානයන්ය. ඌවපරණගම, වැලිමඩ, හපුතලේ, බිබිල, මොණරාගල, ලු‍නුගල, කන්දකැටිය, මීගහකිවුල, පස්සර, කැප්පිටිපොල යන ප්‍රදේශවල ද සුද්දා විනාශ කළ ගම් නියම්ගම් රාශියකි. 
විරු පරපුරෙන් ඉතිරිවූවන්ගෙන් පැවත එන පස්වන හෝ හයවන පරපුර අදටත් මෙම ගම්මානවල ජීවත් වෙති . 


එහෙත් ඌව වෙල්ලස්ස නිදහස් අරගලය පිළිබඳව කියන්නට ඔවුහු කිසිවක් නොදනිති. මුඛ පරම්පාරගතව හෝ මේ විරු කතා හෙළි නොවන්නේ ඒ අත්දැකීම් ලැබූවන් ඝාතනය වීම නිසාය. 

 

පාසලට යන දුෂ්කර ගමන

කටුඅල වැලක් සොයක කරුණාසුන්දර

 

 


අපේ ඒ ඉතිහාසය ලියා තබන ලද්දේ සුද්දා විසින්මය. ඒ නිසා ඉතිහාස ගත වී ඇති විනාශයට වඩා සත්‍යවශයෙන්ම සිදුවූ විනාශය අතිමහත්ය. 


ඒ ඉතිහාසය ගැන කතා කරමින් මහා සුද්දා රාජ ද්‍රෝහීන් ලෙස නම් කළ කීපදෙනෙක් ජාතික වීරයන් බවට නම් කර උත්තමාචාර පවත්වා ප්‍රසිද්ධියක් ගැනීමෙන් සෑහීමකට පත්වූ රට කරවන ඇත්තෝ මේ පරපුරේ සාධාරණයක් ඉටු කරන්නට කටයුතු නොකිරීම ජාතික අපරාධයකි. 


මේ ගම්මානවල මිනිසුන් කලකට පෙර උක් වගාකර උක් පැණි හා උක් හකුරු නිපදවා ආර්ථිකය සවිමත් කරගත් නමුත් කෘමි රෝගයක් ඇතිවී අද එම වගාව නැත්තට නැතිවී ගිය නමුත් කිසිම රජයක බලධාරීහු මේ ගැන සොයාබලා විසඳුම් ලබාදීමට පියවර නොගත්හ. 


උක් ගහෙන් වැටුණ ගම්වැසියෝ ඉන්පසු ගම්මිරිස් වගාව පටන් ගත්හ.එය ද හොඳ ආදායම් ලැබූ වගාවක් විය. 


එහෙත් අපේ රටේ දේශපාලනඥයන්ගේ ද සහායෙන් විදේශීය ගම්මිරිස් අඩු මිලට ආනයනය කර වෙනත් රටවලට අපනයනය කිරීමේ කූට ජාවාරම නිසා දේශීය ගම්මිරිස් මිල වැටී මෙම ගම්වැසියෝ යළිත් අසරණ වූහ. 


අද ඔවුන්ගෙන් බහුතරයක් දුම්කොළ වගාවට පෙළඹී සිටිති. එම වගාවේ ද අනාගතය අවිනිශ්චිතය. 


අසරණ ගම්වැසියන්ගේම හඬින් ඒ මැසිවිලි අහමු. 


කහටරුප්ප විද්‍යාලයේ ඉගෙනුම ලබන දිනුෂා සඳමාලි අපට හමුවුණේ කොහානවල - කහරුප්ප ශුෂ්ක මාර්ගයේදීය. මේ ඇය කී කතාවය. 


“අපි ඉන්නේ කොහානවල. ගමේ ඉස්කෝලේ යන්න කි.මී. 5ක් දුර පයින් ගිහින් කි.මී. 5ක් ආපහු එන්න ඕන. මේ විදියට හැමදාම යන එන විට ගෙදරට අාවට පස්සේ හරිම මහන්සියි. මහන්සි නිසා ඉස්කෝලෙදි පවරන ගෙදර වැඩ කරන්නත් බැහැ. පාඩම් කරන්නත් බැහැ. එහෙමම නිදා ගන්නවා. 


 ඉස්කෝලේ ගියාම අනෙක් ළමයි සුවඳයි. අපි දහඩිය ගඳයි. අපිට හරිම ලැජ්ජයි. මේ අමාරුකම් ගමන නිසා හුඟාක් ළමයි ඉස්කෝලෙ ගමන නතර කරනවා. 


ඉස්සර අපි සපත්තු ගලවාගෙන ලොග්ගල් ඔයට බැහැල තමයි එගොඩ වුණේ. ළඟදී එතැන පාලමක් හදල මහ ඇමතිතුමා ඇවිත් විවෘත කළා. ගමට විදුලියත් ලැබුණා. නමුත් පාර හරියට හදල නැහැ. අඹලන් නිසා ඒ පාරේ සමහර තැන්වලින් ත්‍රීවිලර් යන්නත් බැහැ. ලෙඩ්ඩු ඉස්පිරිතාලෙට ගෙනියන්නේ කද බැඳගෙන.”


කහටරුප්ප කිනිගම ගම්මානයට යනවිට දක්නට ලැබුණේ කැලෑ වැදී කටු අල හාරමින් සිටි දෙදෙනෙකි. 


ඩී.එම්. කරුණාසුන්දර තම මැසිවිලි පටන් ගත්තේය. 


“ඔව් මහත්තයෝ කටුඅල හාරන එක ලේසි දෙයක් නොවෙයි. අඩි 10 විතර හාරන කොට තමයි අල මතුවෙන්නේ. අපට ආදායමක් නැහැ. කන්න දෙයක් නැහැ. 
අපි ඉස්සර රජවරු වගේ හිටපු මිනිස්සු. මේ පැත්තේ උක් වගාව හොඳට තිබුණා. පිටමකුළුවා ඇවිත් වගාව විනාශ කළාට පස්සේ මිනිස්සු ගම්මිරිස් වගා කළා. ඒ දවස්වල හොඳ ආදායමක් තිබුණා. එ්ත් දැන් මිල වැටිලා. කඩන්න යන වියදමවත් හොයාගන්න බැහැ. අපි ගැන බලන්න කවුරුවත් නැහැ” යි කරුණාසුන්දර කීවේ කටුඅල හාරන ගමන්මය. 
මාර්ග සකස් නොකිරීම නිසා මේ ගම්මානවල මිනිස්සු වගා කරගත් දෙය පවා කහටරුප්ප පොළට ගෙනියන්නේ තවලම් ගොනුන් මතිනි. එවැනි තවලම් ගොනුන් මෙන්ම අස්වැන්න හිසේ හා කරේ තබාගෙන ගමන් කරන ගැමියෝ ද අපට මුණගැසුණාහ.

 
50 හැවිරිදි ඩිංගිරි මැණිකා හති හලමින් ශුෂ්ක පාරේ ඉහළට නැග්ගේ කහටරුප්ප රෝහලට යාම සඳහාය. 


“මහත්තයෝ මට සනීප නැහැ. ලේ පරීක්ෂා කරගන්න ඉස්පිරිතාලෙට යනවා. මම ඉන්නේ ඉලු‍ක්ගොල්ල ගමේ. උදේ පහේ ඉඳලා නැගිටලා හෙමින් හෙමින් යනවා. මොනවා කරන්නද?” ඇය ඇසුවාය. 


පාලාවත්ත බෝධිරාජාරාම විහාරස්ථානාධිපති ටිබෙට් ජාතික එස්. අමර ජෝති හිමියෝ ගම්වැසියන් වෙනුවෙන් කැපව කටයුතු කරති. උන්වහන්සේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ පරපුරට අයත් යතිවරයෙකි. උන්වහන්සේ මා සමග මේ ගමනට එක්වූයේ ලොකු හැඟීමකිනි. 


“මහත්තයා අපි යමු ගඩාදෙහිගොල්ලට.”  


උන්වහන්සේ තවත් මෙවැනිම ගම්මානයකට අප කැටුව ගියහ. 


මේ ප්‍රදේශය පුරා දක්නට ලැබුණේ දුම්කොළ වගාවකි. දුම්කොළ ෆාම් ද විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යයි. 


“ඇයි හාමුදුරුවනේ මේ මිනිස්සු දුම්කොළ වගාවට යොමු වුණේ?” 


“මොනව කරන්නද මහත්තයෝ රට කරවන කවුරුවත් මේ මිනිස්සු ගැන බැලු‍වේ නැහැ. අන්තිමට කරන්න දෙයක් නැතිකමට මේ වගාව පටන් ගත්තා.” 


ඩී.එම්. සෙනෙවිරත්න ඒ කතාව අනුමත කරමින් තවත් විස්තර පැවසීය. 

 

 

උක් අඹරුම් යන්ත්‍ර වල්වදිමින්

ගම්මාන පිහිටි යේ මෙම ජායාරූපයෙන් පෙනෙන මඩොල්සිම කන්දපාමුලය

අසරණ ගැමියන් පිරිසක්

 

 


“මේ පැත්තේම ගම්මානවල උක් වගාව හොඳටම තිබුණා. මමත් අක්කර 10ක උක් වැව්වා. ඒ දවස්වල මිනිස්සු අත හොඳට සල්ලි ගැවසුනා. 


පිටිමකුණා වහල වගාව විනාශ වුණා. හැම නිලධාරියාටම කිව්වා. ආණ්ඩුවලට කිව්වා. කවුරුවත් අපි ගැන බැලු‍වේ නැහැ. මමත් උක්මෝලක් කරගෙන ගියා බැංකු ණය අරන්. ඒවාට යට කළ සල්ලි ටිකත් වතුරේ ගියා. ඊට පස්සේ ගම්මිරිස් වගාව පටන් ගත්තා. ඒක හොඳ ආදායම් ලැබුණ වගාවක්. රුපියල් 1800ට තිබූ ගම්මිරිස් මිල පහත වැටිලා ගම්මිරිස් කිලෝව අද රුපියල් 600ටවත් විකුණා ගන්න බැහැ. බඩඉරිඟු වගාකළා. ඒවා සේනා දළඹුවා ඇවිත් විනාශ කළා. මේ ප්‍රශ්න නිසා මිනිස්සු දුම්කොළ වගාව පූර්ණකාලීනව කරගෙන යනවා” යි ඔහු සඳහන් කළේය. 


කොළොංගස්පිටිය මාර්ගයේ කොටසක් කොන්ක්‍රීට් මාර්ගයක් ලෙස අපූරුවට සංවර්ධනය කර තිබිණ. 


ඌව ප්‍රධාන අමාත්‍යවරයා විසින් එම කටයුතු ඉටුකර දුන් බවත් ප්‍රදේශයේ තවත් මාර්ග කීපයක් එතුමාගේ උපදෙස් මත සංවර්ධනය කරන බවත් ටිබෙට් හිමියෝ පැවසූහ. 
එහෙත් කොළොංගස්පිටිය මාර්ගයේ සංවර්ධනය කළ කොටසින් එහාට ගම්මාන කීපයකට පිවිසෙන මාර්ගය මෙතෙක් සංවර්ධනය වී නැති බව දැකගන්නට ලැබිණ. එම මාර්ගයෙන් පාසැල් ගොස් එමින් සිටි සිසුන් පිරිසක් අපට මුණ ගැසිණ. 


ඔවුහු කි.මී. 3ක් දුර පාගමින් ඉලු‍පතුතැන්න විදුහලට යන සිසුහුය. 


මාර්ගයේ ඉතිරි කොටසත් සංවර්ධනය කර පාසැල් යාම සඳහා පොදු ප්‍රවාහනය සේවයක් ලබාදෙන්නැයි එම දරුවෝ ඉල්ලා සිටියහ. 


ආර්ථික අහේනිය මෙන්ම පොදු පහසුකම් නොමැතිවීම සුද්දාගෙන් බැටකෑ හැම ගම්මානයකටම අද පවතින තත්ත්වයයි. 


අපි මේ පිළිබඳව ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතාගෙන් විමසුවෙමු. මේ මහ ඇමැතිවරයාගේ අදහසය. 


“ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට වසර 200 සම්පූර්ණ වුණත් ඌව පළාතේ මිනිසුන් තවමත් දුක්ඛිත ජීවිත ගතකරනවා. රට වෙනුවෙන් දිවි කැපකළ දහස් ගණනක් වූ මිනිසුන්ගේ පරපුරෙන් පැවැත එන මේ මිනිස්සුන්ට විශේෂ අවධානය යොමුකර මේ පළාත දියුණු කරන්න විශේෂ සංවර්ධන වැඩසටහන් දියත් කිරීම යුතුකම වුණත් කිසිම රජයක් මේ දක්වා එම කටයුත්ත සිදුකළේ නැහැ. 


උතුරු නැගෙනහිර තිස් අවුරුදු යුද්ධයෙන් මැරුණ පිරිසට වඩා අපේ රට සුද්දාගේ ආධිපත්‍යයෙන් බේරාගැනීම සඳහා සටන් වැදුණ අපේ මිනිස්සු මැරිල තියෙනවා. මේ මිනිසුන්ගේ ජීවිත නංවාලීම සඳහා අනෙක් පළාත්වලට වඩා වැඩි අවධානයක් ඌවට යොමුකිරීම යුතුකමක්. 


පළාත් සභාවක් හැටියට අපිට වෙන්වන ප්‍රතිපාදන අනුව මේ අගාදයෙන් ජනතාව මුදාගන්න අමාරුයි. ඒත් අපි පුළුවන් සෑම විදියකටම මේ ගම්මාන දියුණු කරමින් ජනතාව නගාසිටුවන්න උත්සාහ කරනවා.


අඩි දහස් ගණනක් ප්‍රපාතයේ පිහිටි කොහානවලට විදුලිය ලබාදීම සිහිනයක්ව තිබුණත් පළාත් සභාවක් හැටියට අපි එ් සිහිනය සැබෑ කරමින් විදුලිය ලබාදුන්නා.

කොළොංගස්පිටිය මාර්ග සංවර්ධනයට දැනටමත් ‍රුපියල් කෝටි 2ක මුදලක් වැයකර තිබෙනවා. ගඩාදෙහිගොල්ල මාර්ගය හදන්න රුපියල් ලක්ෂ 81ක් වැය කළා. තවත් ගම්මාන රැසක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. පොදුවේ සුද්දාගෙන් බැටකෑ ඌවේ ගම්මාන හා ජන ජීවිතය නගා සිටුවන්න තවත් අති විශාල මුදලක් වැය කළ යුතු වෙනවා. ඒවගේම ආර්ථිකය සවිමත් කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ සඳහා මධ්‍යම රජය අනිවාර්යෙන්ම විශේෂ වැඩපිළිවෙළක් යටතේ දායක විය යුතුයි. උතුරු - නැගෙනහිර මානව හිමිකම් කඩ වූ බව කියන්න සමහරු ජිනීවා යනවා.  එහෙත් අපි ගැන කතාකරන්න කවුරුවත් නැහැ. සුද්දාගෙන් අපට වූ විනාශය පෙන්වා දී මහා බ්‍රිතාන්‍යයෙන් වන්දි ඉල්ලා සිටින්න රජය ඉදිරිපත් විය යුතුයි. 


ඊට අදාළ යෝජනාවන් ඌව පළාත් සභාව විසින් ඒකඡන්දයෙන් සම්මත කර තිබෙනවා. එය කාලීන අවශ්‍යතාවයක්” යැයි ද ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළේය. 


රට ජාතිය වෙනුවෙන් පණනල පිදූ ඌව වෙල්ලස්සේ දේශප්‍රේමීන් වෙනුවෙන් ඔවුන්ගේ පරම්පරාවලින් පැවත එන අසරණ ජනයාට සාධාරණයක් ඉටුකරන්නේ කව්ද? කවදාද? 

 

 


චාරිකා සටහන හා ඡායාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ