තවමත් ගල් යුගයේ වෙසෙන වනචාරී ගෝත්‍රිකයනට අවශ්‍ය මොළේ කල්පනාව නොව අතේ පයේ හයියයි. කොටින්ම කිව්වොත් හතුරෙකු සමග කරට කර සටන් කිරීමේ ජවයයි. මේ ජවය නොමැති නම් එය යම් තරුණයකුට විවාහයක් කර ගැනීමට නුසුදුසු කමක් ලෙස සැලකීම බොහෝ වනචාරී ගෝත්‍රිකයන්ගේ ගති ස්වභාවයයි. එනිසාම තරුණ වියට පැමිණි ගැටවරයන් ඔවුනගේ ප්‍රමුඛ පෙළේ සටන් ක්‍රීඩාව අඩුවක් නොමැතිවම පුරුදු විය යුතු වේ. 


ගැටවරයන් තමන් විවාහ වීමට සුදුසුකම් සැපිරූවුන් බව පෙන්වන්නේ ඔවුන්ගේ සුපුරුදු සාම්ප්‍රදායික ක්‍රීඩාවෙනි. 


එය වූ කලී යෂ්ටි ක්‍රීඩාවකි. ක්‍රීඩාවක් ලෙස හැඳින්වුවත් සැබැවින්ම එය ක්‍රීඩාවකට වඩා සටන් ක්‍රමයකි. එහෙත් මොවුන් එම සටන් ප්‍රදර්ශනය කරන්නේ ක්‍රීඩාවක් කරන ලෙසය.


මොවුන් තරුණ වියට පිවිසි පසුව යෂ්ටි ප්‍රදර්ශනයකට සහභාගී විය යුතු වේ. යම් දවසක සවස් භාගයක ගම්මානයේ මධ්‍යයේ පිහිටි හිස් බිම්කඩ මේ ප්‍රදර්ශනය වෙනුවෙන් වෙන් කෙරෙයි. එදිනට ගම්මානයේ බාල මහලු ගැහැනු පිරිමි සියලු දෙනා පිට්ටනිය වටා රැස් වී බලා සිටින්නේ තරුණයන්ගේ යෂ්ටි ක්‍රීඩාවේ සමත්කම දෙසය. 


නාහෙට නාහන තරුණයන් පිට්ටනියට එන්නේ තරමක යෂ්ටියක් ද සුරත දරාගෙනය. මේ සටනේ අනෙක් විශේෂත්වය වන්නේ ක්‍රීඩකයා නිරුවත්ව සිටීමය.


ක්‍රීඩකයන් දෙදෙනා ඊළඟට සටනට අවතීර්ණ වෙති. ප්‍රතිවාදියා එල්ලකරන යෂ්ටි ප්‍රහාරයෙන් බේරීමත්, ප්‍රතිවාදියාට ඉලක්කය බලා යෂ්ටි පහර එල්ල කිරීමත් ක්‍රීඩකයා කළ යුතු වේ. 


හැබැයි මෙය ලෙහෙසි පහසු සෙල්ලමක් නොවේ. නොඑසේ නම් සටනක් නොවේ. ඉලන්දාරීන් දෙන්නාටම ඇඟ පුරා ගුටි කන්නට සිදු වන නිසාය. ඇතැම්විට සටන කෙළවර වන්නේ එකෙකුගේ මරණයෙනි. නොඑසේ නම් මරණීය තුවාලවලිනි. 


කොයි හැටි වෙතත් සටන්කරුවන් දෙදෙනාටම අවසානයේ සිදු වන්නේ තෙල් බෙහෙත් ගා ගන්නටය. 


මේ අපූරු ගෝත්‍රය හැඳින්වෙන්නේ සුර්මා නමිනි. දකුණු සුඩානයත්, ඉතියෝපියාවේ කැලෑ බද ප්‍රදේශයත් මැද ඔමෝ ගංගා නිම්නයෙහි වාසය කරන සුර්මාවරුන්ගේ ඩොන්ගා නම් සැණකෙළියක් ද වේ. 


ඩොන්ගා සැණකෙළිය වූ කලී සුර්මා මිනිසුන්ගේ සමූහ යෂ්ටි හරඹයෙන් හැඩ වන්නකි. මේ හරඹයේදී පිරිමි කාණ්ඩ දෙකකට බෙදී සෙල්ලම් කරති. එක් කණ්ඩායමකට තිස් දෙනෙක් පමණ සහභාගී වෙති. 


දෙපසේ පිරිස දිගු යෂ්ටිවලින් සන්නද්ධ වී සටන් වදින්නේ, එය නරඹන ලොකු කුඩා ගැහැනුන්ට සතුට තිළිණ කරමිනි.


සුර්මා පිරිමි සහ ගැහැනු සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ නිරුවතිනි. එහෙත් ඔවුහුද විලාසිතාවලට ඇලුම් කරති. නිරුවත් ගෝත්‍රයක් විලාසිතා කරන්නේ කෙසේ දැයි දැන් ඔබ ප්‍රශ්න කරනු නියතය. 


ඔවුන් විලාසිතා කරන්නේ තම නිරුවත් සිරුරු විචිත්‍ර සිත්තම්වලින් සරසා ගනිමිනි. සුදු පාට මැටි විශේෂයකින් තම මුහුණ මෙන්ම සිරුරේ අනෙක් තැන් ද විවිධ මෝස්තරවලින් සරසා ගනිමිනි. 


ඔවුන් වැඩි හරියක් සිරුරු සරසා ගන්නේ උත්සව අවස්ථාවලදී ය. විශේෂයෙන් ඩොන්ගා සැණකෙළියේදීය. 


පිරිමි මෙන්ම ගැහැනු ද තම නිරුවත් සිරුරු වර්ණ ගන්වා ගනිති. පියයුරු මත මල් මෝස්තර ඇඳ ගැනීම සුර්මා යුවතියන් බහුලවම කරන විලාසිතාවකි. 


සුර්මා ගැහැනුන්ගේ තවත් අපූරු සම්ප්‍රදායක් තිබේ. එය නම් යටිතොල මත පලඳින තැටියකි. විශේෂයෙන් යුවතියක් වීමත් සමග යටි ඇන්දේ දත් දෙකක් ගලවා යටිතොල හිල් කර මේ කියන තැටිය පැලඳ ගනිති. 


ඔවුන් විශ්වාස කරන්නේ මේ තැටිය රූමත් බවේ සංකේතයක් ලෙසය. 


මේ තැටිය ලීවලින් මෙන්ම මැටිවලින් ද නිර්මාණය කෙරෙන අතර තැටියක විෂ්කම්භය සෙන්ටි මීටර් තිහක් හෝ ඊටත් වැඩි වන අවස්ථා ද තිබේ. 


ඔමෝ මිටියාවතට එන්නට කලින් සුර්මාවරුන්ගේ නිජබිම පිහිටියේ නයිටා කන්ද ආශ්‍රිතවය. එහෙත් මීට වසර දෙසියකට පමණ පෙරාතුව නයිටා කඳු නිම්නයේ යහතින් ජීවත් වූ මොවුනට තවත් වනචාරී ගෝත්‍රවලින් හිංසා පීඩා එල්ල විය. අමාරා, ගිම්රා සහ ටිට්රා වැනි මේ සතුරු ගෝත්‍ර සමග පළමුව සටන් වැදුණු සුර්මාවරු පසුව තීරණය කළේ වනයේ වෙනත් ඉසව්වකට පලා යා යුතු බවය. 


ඒ අනුව ඉතියෝපියාවේ දකුණු දෙසට ගිය මොවුහු ඔමෝ ගඟ නිම්නය තම වාසභවනය බවට පත් කර ගත්හ. 


එහෙත් එසේ වූ පමණින් අද සුර්මාවරුන් සාමයෙන් ජීවත් වෙන බව නොසිතිය යුතුය. 


දකුණු ඉතියෝපියාවේ ඔමෝ නිම්නයේ වාසය කරන්නේ සුර්මාවරු පමණක්ම නොවේ. තවත් ගෝත්‍ර දොළහක් පමණ ඔමෝ නිම්නයේ වෙසෙති. මේ නිසා සුර්මාවරුනට මේ සතුරු ගෝත්‍ර සමග සටන් කරන්නට සිදු විය. 


සුර්මා ගෝත්‍රිකයන් වූ කලී කෘෂිකාර්මික ජීවන රටාවක් අනුගමනය කරන ගෝත්‍රයකි. 


මේ නිසා ඔවුන් සතුව බොහෝ ගවයෝ සිටිති. දිගු අං සහිත සුදු පැහැති ගවයන් වන මොවුන් හදා වඩා ගැනීම සුර්මාවරුන්ට සතුටකි. සාමාන්‍යයෙන් එක් සුර්මා පිරිමියකු සතුව ගවයන් තිහක හතළිහක පමණ කණ්ඩායමක් සිටිති. කිරි සහ ලේ, සුර්මාවරු මේ ගවයන්ගෙන් බලාපොරොත්තු වන සම්පත්ය. 


එහෙත් ප්‍රශ්නය වන්නේ සතුරු ගෝත්‍රිකයන් පැමිණ, සුර්මාවරුනට පහර දී මේ ගවයන් පැහැර ගෙන යෑමය. 


එනිසා සතුරන්ට පහර දීමට, සතුරන් සමග සටන් කිරීමට සුර්මාවරුන්ට නිරතුරුවම සිදු වෙයි. 


සතුරු ගෝත්‍රිකයන් පැමිණි විට ඔවුන් සමග හරි හරියට සටන් වැදීමට සුර්මාවරු හට සිදු වෙයි. ඇත්ත වශයෙන්ම කියතොත් ඔවුන් තරුණ වියට පැමිණි බව පෙන්වන්නටත්, ඩොන්ගා නම් සැණකෙළියටත් යෂ්ටි සටන් කරන්නේ මේ සතුරන් සමග උරෙනුර ගැටී සටන් කරන්නට පුහුණු වීමක් වශයෙනි. 


සතුරු ගෝත්‍රයක සතුරෙක් මරන්නට ලැබුණහොත් එය සුර්මාවරුන් සලකන්නේ ජයග්‍රහණයක් හැටියටය. 


සුර්මාවරුන්ගේ දින චර්යාව ඒකාකාරීය. උදේ අවදි වූ සැණින් පැල්පතෙන් පිටත් වෙන සුර්මා පිරිමින්ගේ පළමු වැනි කටයුත්ත තම හරක් පට්ටියට ගොස් තමන් සතු ගවයන් සියලු දෙනා සිටින බව තහවුරු කර ගැනීමය. ඊළඟට දෙනුන් වෙත ගොස් උන්ගේ කිරි දොවන අතර ඔහු ආපසු පැල්පතට යන්නේ කිරි බෝතලයක් දෝතින් අරගෙනය. සුර්මා දරුවන්ගේ රසවත් ආහාරයක් බවට මේ කිරි පත්වෙයි. බඩ පිරෙන්නට කිරි බොන දරුවෝ ද ගැහැනු ද තම තමන්ගේ ගොවිපොළවල්වලට යති. ගෝවා, බෝංචි, දුම්කොළ, කෝපි ආදිය ඔවුන් කරන වගාවන්ය. 


එසේ වෙතත් වියළි කාලයේදී සුර්මාවරුන්ට තවත් සම්පතක් උරුම වේ. ඒ අන් කිසිවක් නොවේ. මී පැණිය. වියළි කාලයට සුර්මාවරුන් වන වදින්නේ මී මැස්සන්ගේ ගුමු ගුමුවක් ඇහෙන්නේ කොහෙන් දැයි විමසමිනි. ඔවුහු මී මැස්සන් පලවා හැර වද කඩා ගැනීමට රුසියන් වෙති.


සුර්මා පිරිමි ගැහැනු කොයි කවුරුත් සූරයෝය. ඔවුනට උදේ පටන් රාත්‍රිය වෙනතෙක් එක දිගටම වෙහෙස වී වැඩ කරන්නට පුළුවන. 


ලෝකය දවසින් දවස ඉදිරියට ගමන් කරයි. ඒ සමගම සුර්මාවරුන්ට ද තුවක්කු අත පත ගාන්නට හැකි වී තිබේ. එහෙත් තුවක්කුවක් හිමි කර ගන්නට නම් සෑහෙන මුදල් අවශ්‍යයි. අද සුර්මාවරු සල්ලි උපයනු පිණිස අලුත් අලුත් දේවල් ද කරති. එකක් රත්තරං එකතු කිරීමය. ගං ඉවුරුවල රත්තරං බහුලය. දණක් වතුරේ බහින සුර්මාවරු ගං ඉවුරුවල ඇති රත්තරං කැබලි එකතු කර ගනිති. 


කෙසේ හෝ තුවක්කුවක් අතට ගත් පසු සුර්මාවරුනට තවත් ආදායම් මාර්ග උපදී. ඒ දඩයමය. මහා වන මැද වෙසෙන සිංහයන් මරා උන්ගේ සම් ද ඇතුන් මරා උන්ගේ දළ ද ජිරාෆයන් මරා උන්ගේ සම් ද රැස් කර විකිණීමට ඔවුහු අද පුරුදු වී සිටිති. 


අද සුර්මාවරු බේබද්දන් බවට ද පත්ව සිටිති. කැලේ කොළේ තිබෙන පළතුරු ආදියෙන් පෙරා ගන්නා මත්වතුර පානය කර වෙරි මරගාතයේ හැසිරීම අද සුර්මා ගෝත්‍රයේ බහුල දසුනකි. වෙන එකක් තබා මොවුහු ළඟම නගරය වන කිබිස් හි පාරවල්වල ද බීමතින් හැසිරෙති. ඒ මදිවාට අතේ ගිනි අවියක් ද තිබේ. වෙරි මරගාතයෙන් කාට හෝ වෙඩිල්ලක් තැබුවොත් ? මේ තත්ත්වය අද බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. 


කෙසේ වෙතත් ඉතියෝපියානු රජය මගින් කිබිස් නගරයේ හමුදා මුරපොළක් පිහිටුවා ඇත්තේය. මේ නිසා මෙතෙක් පැවැති ගෝත්‍රික සටන් අද අවම වී ඇති අතර සුර්මාවරු බියෙන් තොරව නිදහස් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරති. 


ඒ සමගම තවත් පුංචි වෙනසක් ? මෙතෙක් කලක් සම්පූර්ණයෙන්ම නිරුවතින් සිටි සුර්මාවරු අද දකින්නට හැක්කේ අඩනිරුවතිනි. යටිකය විතරක් වැහෙන්නට පුංචි රෙදි කඩක් අඳින්නට තරම් අද සුර්මාවරු “ශිෂ්ටය.”


ශාන්ත කුමාර විතාන