ලෝකයේ අබිරහස්

 

 

මුහුදු පත්ලේ සැඟවුණු අබිරහස් සොයන පර්​ෙ‌ය්ෂකයන් වන ආචාර්ය ග්‍රෙග් ලිට්ල් සහ ඔහුගේ බිරිය ලෝරා ලිට්ල් දසවසරකට ආසන්න කාලයක් පුරා බහමාස් රාජ්‍යය ආසන්නයේ මුහුදු පත්ලේ විවිධ ගවේෂණ සිදු කළහ. බහමාස් රාජ්‍යයට කිලෝමීටර 50ක් පමණ දකුණු දෙසින් පිහිටි බිමිණි දූපත අසල මුහුදේ කිලෝමීටර 6ක් පමණ ගැඹුරේ තිබී පුරාවිද්‍යාත්මක නව අඩවියක් සොයාගැනීමට 2012දී ඔවුහු සමත් වූහ. ඔවුහු එම අඩවිය තමන් සමඟ බිමිණි දූපත අසල සාගරයේ ගවේෂණයේ නිරත වූ එස්ලි සහ ක්‍රිස්ටා බ්‍රවුන්ගේ නමින් ‘බ්‍රවුන්ගේ නටබුන්’ ලෙස නම් කළහ. 

 
මෙම පුරාවිද්‍යාත්මක අඩවිය මීටර 160ක් දිගින් හා මීටර 40ක් පළල ප්‍රදේශයක් පුරා පැතිර තිබේ. එම නටබුන් අඩි 8ක් දිග අඩි 3ක් පළල හා අඩි 2ක් උසැති ටොන් හතරක් පමණ බරැති සෘජුකෝණාශ්‍රාකාර පාෂාණ කුට්ටි දහස් ගණනකින් සමන්විතය. සමචතුරශ්‍රාකාර හා ත්‍රිකෝණාකාර ගල් කුට්ටි සහ ගල් කණුද ඒ අතර වේ. මෙම පාෂාණවල සංයුතිය අනුව ඒවා පරිණාමයට ලක් වූ නිල් පතුරු ගල් වර්ගයකින් නිර්මාණය වී තිබේ. ඒවායේ තිරිවාන හා උපල මැණික් කොටස්ද අන්තර්ගතය. නිල් හා දම් පැහැයෙන් යුතු මෙවැනි පාෂාණ නිර්මාණය වනුයේ පෘථිවියේ කිලෝමීටර 35ක් පමණ ගැඹුරේ දැඩි පීඩනයක් හා අවම උෂ්ණත්වයක් පවතින ස්ථානවලය. 
බහමාස් ප්‍රදේශයේ නිල් පැහැති පාෂාණ දැකිය නොහැකි වන අතර ඒවා ඇත්තේ කැරිබියානු කලාපයේ ජැමෙයිකානු නිල් කඳුවැටියේ හා මධ්‍යම හා නැගෙනහිර කියුබාවේය. මෙම පාෂාණ කුට්ටි නිල් කඳුවැටියෙන් සපයා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ. 


පාෂාණ සම්බන්ධයෙන් පර්‌යේෂණයක් සිදු කළ කොලරාඩෝ විශ්විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමට ඒවා එකම හැඩයකට සකස් කිරීම සඳහා විවිධ මෙවලම් භාවිත කර ඇති බවට වන සලකුණු හමු විය. එය මෙම පාෂාණ ස්වාභාවිකව නිර්මාණය වූ ඒවා නොවන බවට වන වැදගත් සාක්ෂියකි. අතීතයේ ලොව බොහෝ ප්‍රදේශවල ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා නිල් පතුරුගල් යොදා ගත් බවට මතයක් පවතී. ක්‍රි.පූ. 1500දී පමණ ග්‍රීක ක්‍රීට් දිවයිනේ ප්‍රාකාර සහ ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා මෙම පාෂාණ භාවිත කර තිබේ. ඒ අනුව මෙම පාෂාණය ග්‍රීසියෙන් හෝ තුර්කියෙන් ප්‍රචලිත වන්නට ඇතැයි අනුමාන කෙරේ. 


‘බ්‍රවුන්ගේ නටබුන්‘ ලෙස නම් කර ඇති මෙම ගොඩනැඟිලි කවුරුන් විසින් කෙදිනක නිර්මාණය කරන ලද්දක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත. බහමාස් දිවයිනේ මිනිස් වාසයක් ඇති වූයේ ක්‍රි.ව. 500ත් 700ත් අතර කාලයේ බවට වාර්තා වේ. මුහුදු පත්ලෙන් සොයා ගැනුණු පුරාවිද්‍යාත්මක අඩවිය වසර 6000කට පමණ ඉහත ජල මට්ටම ඉහළ යෑම මත මුහුදුබත් වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව මෙම ගොඩනැඟිලි තවත් වසර දහස් ගණනක් පැරණි විය හැකිය. එසමයේ මෙම ප්‍රදේශයේ සමුද්‍රාශ්‍රිත සංස්කෘතියක් පැවැති බවට සාක්ෂි නොමැත. එහෙයින් මෙම ගොඩනැඟිලි ප්ලේටෝගේ පුරාණෝක්තියේ එන ක්‍රි.පූ 9500 දී පමණ විනාශ වූ බවට සැලකෙන ඇට්ලන්ටිස් නගරයේ නටබුන් විය හැකි යැයි පුරා විද්‍යාඥයෝ අනුමාන කරති. 


බහ්මන් භූ ස්කන්ධයේ පිහිටි ගොඩබිම් භූ කම්පා හා ජලගැල්මෙන් එක් රැයෙකින් මුහුදුබත් වූ අතර වර්තමානයේ ඉතිරිව ඇත්තේ දූපත් 1000ක් පමණ බවත් ප්ලේටෝගේ ඇට්ලන්ටිස් යනු කියුබාව ලෙසත් ක්‍රි.ව. 2000දී ප්‍රකාශයට පත් වූ ඇන්ඩෲ කොලින්ස්ගේ ‘ගේට්වේ ටු ඇට්ලන්ටිස්’ නමැති කෘතියේ සඳහන් කර තිබේ. 

 

මුහුද යට ගල් පඩි

 


ඇට්ලන්ටිස් යනු පුරාණ ග්‍රීක පුරාණෝක්තියකි. එය ඇට්ලස්ගේ රාජ්‍යයයි. මේ යුතෝපියානු රාජ්‍යය බොහෝ ඈත අතීතයේ සාගරයේ ගිලී ගිය බවට මතයක් පවතී. ඇට්ලන්ටිස් යන්න ප්‍රථමයෙන්ම හඳුන්වා දෙන ලද්දේ දාර්ශනිකයකු වූ ප්ලේටෝ විසිනි. ඇට්ලන්ටිස්වරුන් සතුව ඉතා සුපිරි තාක්ෂණයක් පැවැති අතර ඔවුන් කාලගුණය, ගිනිකඳු ආදිය පවා පාලනය කළ බැව් පැවසේ. ඇට්ලන්ටිස් නගරය ලෙසට පිළිගත හැකි භූමි ප්‍රදේශයක් මින් වසර කිහිපයකට ඉහත ද සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. 


2012 වසරේ බහමාස් ආසන්නයේ පිහිටි බිමිණි වෙරළාසන්න නගරය ආසන්නයේ සමුද්‍ර පත්ලෙන් සොයා ගැනුණු ඊජිප්තු මහා පිරමීඩය මෙන් තුන් ගුණයක් පමණ විශාල පළිඟු වැනි පිරමීඩාකාර වස්තුවද ඇට්ලන්ටිස් නගරයේ කොටසක් විය හැකියැයි සාගර පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති. මෙම පිරමීඩයට අමතරව සාගර පත්ලෙන් හමු වූ බිමිණි මාර්ගය ලෙසින් හැඳින්වෙන පාෂාණමය මාර්ගයද සුවිශේෂී වන්නකි. බහමාස්හි බිමිණි දූපතේ උතුරු දිග මුහුදේ මීටර 800ක් පමණ ගැඹුරේ තිබී සොයාගන්නා ලද මෙම මාර්ගයද සෘජුකෝණාශ්‍රකාර පාෂාණ කුට්ටිවලින් නිර්මාණය වූවකි. 


බිමිණි මාර්ගයේ ඇති සුවිශේෂී ලක්ෂණ කිහිපයක් පිළිබඳව සාගර පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබේ. සෘජුකෝණාශ්‍රාකාර පාෂාණයන්ගෙන් නිමැවුණු මෙම මාර්ගය ස්වභාවිකව නිර්මාණය වූවක්ද? නැතිනම් මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක්ද? යන්න පිළිබඳව තවමත් පැහැදිලි නිගමනයකට එළැඹී නොමැත. එහෙත් එය ටෙසෙල්ලාකෘත නොහොත් එකම රටාවකින් නිර්මාණය වූ පාෂාණවලින් සමන්විත පදික වේදිකාවක් විය හැකියැයිද, ස්වාභාවිකව නිර්මාණය වූවක් නොව මිනිසුන් විසින් තනන ලද්දක් විය හැකි යැයිද බොහෝ පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ. 


බිමිණි මාර්ගයේ සැතපුම් බාගයක පමණ දුරක දී එය අංකුශයක් සේ නැමුණු හැඩයක් ගනී. ඉහළ සිට බලන කල මාර්ගය දිස්වනුයේ ඉංග්‍රීසී ජේ (J) අක්ෂරයේ හැඩයෙනි. ඒ අනුව මෙය මිනිසා විසින් තනන ලද්දක්ය යන්න වැඩි දුරටත් තහවුරු වෙයි. මාර්ගයේ කෙළවර අංකුශයක් සේ නැමී ඇත්තේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශනය කෙරෙමින් පවතී. 


බහමාස් ආසන්නයේ පිහිටි බිමිණි දිවයිනට දකුණු දෙසට වන්නට සාගර පත්ලෙන් ඇට්ලන්ටිස් දෙවොලේ නෂ්ටාවශේෂ හමුවන බවට ඇමෙරිකානු අනාවැකිකරුවකු වූ එඩ්ගා කේසි සඳහන් කර තිබිණි. ‘බ්‍රවුන්ගේ නටබුන්’ ලෙසින් නම් කර ඇති පුරාවිද්‍යාත්මක අඩවිය හා බිමිණි මාර්ගය අනාවරණ කරගෙන ඇත්තේ කේසි නම් කළ ප්‍රදේශයෙනි. ඒ අනුව මෙම නටබුන් ඇට්ලන්ටිස් නගරය විය හැකි ද? කේසි සඳහන් කර ඇති ආගමික සිද්ධස්ථාන ඇට්ලන්ටිස් නගරයේ තිබූ සිද්ධස්ථාන විය හැකි බවත්, බිමිණි මාර්ගය එම නගරයට පිවිසුම් මාර්ගය විය හැකි බවටත් මතයක් පවතී. 


කේසි මෙම අනාවැකිය ප්‍රකාශ කළේ 1938 වසරේය. ඔහුගේ අනාවැකිය අනුව මෙම සිද්ධස්ථාන 1968 හෝ 69 කාලයේ සොයා ගැනෙන බැව් සඳහන් විය. 1968දී සාගර පුරාවිද්‍යාඥයකු වූ ජෝසෆ් මේසන් හා ඔහුගේ කණ්ඩායම මුහුදු පත්ලේ ඇති බිමිණි මාර්ගය සොයා ගැනීමට සමත් වූහ. තමා පෙරභවයේදී ඇට්ලන්ටිස් වැසියකු හා කතාබහ කර ඇතැයි එඩ්ගා කේසි පවසා ඇත. එය බිමිණි දුපත ආසන්නයේ පිහිටා තිබූ බවට ඔහු තමාට පැවසූයේ යැයි කේසි සඳහන් කර තිබේ. බිමිණි මාර්ගය මාර්ගය චන්ද්‍රිකා ඡායාරූප මගින් හඳුනාගත හැකිය. 


මෙම නව අඩවිය පිළිබඳ ගවේෂණ කටයුතු තවමත් සිදුවෙමින් පවතී. මෙම පාෂාණවලට සමාන පාෂාණ සහිත පුරාවිද්‍යාත්මක අඩවියක් 2001 දී බිමිණි දිවයිනේ බටහිර කොටසින්ද කැනේඩියානු සමාගමක් මගින් සොයාගනු ලැබිණි. අඩි 800ක් පමණ ගැඹුරේ තිබී විශාල පාෂාණ කුට්ටි රැසක් සොයා ගැනීමට ඔවුහු සමත් වූහ. 

 

මුහුද යට ඉදිකිරීම්

 

 


අන්තර්ජාලය ඇසුරිනි. 
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා