IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


බලවන්තයා වෙන්න බ්‍රහ්ම, විෂ්ණු සටනක

භාරත  දේව සභාව

 

 

බ්‍රහ්ම ලෝකයේ මැවුම්කරුය. ඒ ලෝකය මැනවින් පවත්වා ගෙන යන්නේ විෂ්ණුය. මේ නිසා බ්‍රහ්මත් විෂ්ණුත් මේ ලෝකයෙහි සිටින ප්‍රබලම දෙදෙනාය.


එහෙත් දිනෙක විෂ්ණුට සිතුණේ, ලෝකයෙහි සිටින ප්‍රබලම දෙවියා තමන් බවය.

 

මේ ලෝකෙ ඉන්න ප්‍රබලම දෙවියා මම.... මමයි මේ​ ලෝකය හරි විදිහට පවත්වා ගෙන යන්නෙ....


බ්‍රහ්ම වෙත ගිය විෂ්ණු කීවේය.... 


බ්‍රහ්ම නැඟුවේ සරදම් සිනාවකි.... 


මම ලෝකය නිර්මාණය කළේ නැත්නම් ඔබ කොහොමද විෂ්ණු, මේ ලෝකය පවත්වා ගෙන යන්නේ.


බ්‍රහ්මගේ ප්‍රකාශය විෂ්ණුගේ කෝපය අවුලවන්නට සමත් විය.


එහෙම නම් ඔබටත් මට තරම්ම වන්දනාමාන ලැබෙන්න එපායැ...


විෂ්ණු කේන්තියෙන් කීවේය.


මෙතෙක් වේලා සන්සුන්ව සිටි බ්‍රහ්මද කෝපයට පත්විය. වඩාත් බලවත් තමන් බව බ්‍රහ්මගේ කල්පනාව විය. ඔහුද තමන්ගේ පැත්තට තර්ක කළේය.


වාග් සංග්‍රාමයක් වූ සටන ක්‍රමයෙන් අතින් පයින් කෙරෙන ද්වන්ද සටනක් බවට පත්වන්නට විය. දේව සභාවේ දෙවිවරු කලබල වූහ. දෙව්ලොව බලවතුන් දෙදෙනා සටනකට අවතීර්ණ වූ විට මේ ලෝකයේ පැවැත්ම අවිනිශ්චිත විය හැකි නිසාය. ඔවුහු වහාම ශිව සොයාගෙන ගියහ.


“බ්‍රහ්ම සහ විෂ්ණු වඩාත් බලවත් කව්ද කියලා තෝරාගන්න බැරුව ගහගන්නයි යන්නෙ. කරුණාකරල ඔබ ගිහින් ඔවුන් සමගි කරවන්න..”


ශිව වහා එතැනට ගියේය. එහෙත් ඔහු එහි ගියේ, බ්‍රහ්ම සහ විෂ්ණු අතර මැදට පතිත වූ දිග කොට්ටයක් ලෙසිනි. 


බ්‍රහ්ම පුදුමයෙන් බැලුවේය. 


මේ අරුම පුදුම කොට්ටය නිර්මාණය කළේ ඔහු නොවේ. එසේ නම් මෙය කුමක්ද?


බ්‍රහ්ම මහත් වුවමනාවෙන් කොට්ටය දෙස බැලුවේය. එහෙත් එහි නිමාවක් නම් බ්‍රහ්මට නොපෙනිණි. 


කොටින්ම ඔහුට සටන අමතක විණි. මේ මොකක්ද විෂ්ණු? බ්‍රහ්ම ඇසුවේය.


කෙළවරක් නොපෙනෙන දිගම දිග කොට්ටය දෙස බලා විෂ්ණු හිස සෙලෙව්වේය. ඒ ඔහුටද එය ප්‍රහේලිකාවක් වූ බැවිනි.


මේක දිග කොච්චරක්ද කියලා හොයලා බලන්න අපිට සිද්ධවෙනවා. විෂ්ණු


බ්‍රහ්ම කීවේය.


විෂ්ණු එකඟතාවය පළකළේය. අපි​ මේ​ෙක කෙළවරවල් හොයාගනිමු. මම ඉහළට යන්නම්.. ඔබ පහළට යන්න.


ඒ යෝජනාවට එකඟ වූ විෂ්ණු කොට්ටයට ඇතුළුව පහළ කෙළවරට යන්නට පටන් ගත්තේය. බ්‍රහ්ම ගියේ ඉහළටය.


පළමුව සෙමින් ඇවිද ගිය ඔහු ඊළඟට දිගු අඩි තැබුවේය. එහෙත් කෙළවරක් හමුනොවිණි.. කෙසේ හෝ ඉක්මණින් කොට්ටයේ ඉහළ කෙළවර සොයාගත යුතු බැවින් බ්‍රහ්ම දුවන්නට පටන් ගත්තේය.


“කෝ මේක කෙළවරක් නැද්ද?” බ්‍රහ්ම තමන්ගෙන්ම අසාගත්තේ නොඉවසිල්ලෙනි.


මොහොතකට පෙර සිදුවූ සටන බ්‍රහ්මට සිහිපත් විය. මම ඉක්මණට කෙළවරට ගියේ නැත්නම් විෂ්ණු ඉස්සර වෙන්න පුළුවන් එහෙම වුණාත් එයා කියයි එයයි ඉස්සෙල්ලාම කොට්ටයේ කෙළවරට ගියේ ඒ නිසා එයයි බලවත් කියලා.


බ්‍රහ්ම තවත් වේගයෙන් කොට්ටයේ කෙළවර සොයා යන්නට විය. 


අලංකාර කේතකී පුෂ්පය ඔහුට ඇහැ ගැටුණේ ඒ මොහොතේදීය. වහා එය සුරතට ගත් බ්‍රහ්ම, කට පුරා සිනාසුණේය.


කේතකී, ඔබ.... ඔබ කුමක්ද මෙහි කරන්නෙ?


බ්‍රහ්ම සුහද සරින් ඇසුවේය.


මමත් මේ කොට්ටයෙන් එළියට යන්නයි දගලන්නෙ. ඒත් මේ කොට්ටය හුඟාක් දිග නිසා තවම මට එළියට යන්නට බැරිවුණා.


ඇයි ඉතින් ඔබ මේක ඇතුළට ආවේ.


“මං කැමැත්තෙන් ආපු ගමනක් නෙමෙයි. තදට හුළං හමපු දවසක ඒ හුළඟට අහුවෙලයි මම මේකට වැටුණෙ. දැන් අවුරුදු ගාණක් තිස්සේ මම එළියට යන්න විදිහක් හොයනවා..”


කේතකී මල කීවාය.  


කේතකී දෙස බලාසිටි බ්‍රහ්මට අපූරු අදහසක් ඇතිවිය. දෙතොල සිනාවකින් සරසා ගත් බ්‍රහ්ම.


“ඔයා දන්නවද? මමයි විෂ්ණුයි ඔට්ටුවක් අල්ලලා ඉන්නෙ. අපි දෙනගෙන් වඩා බලවත් කව්ද කියන එක හොයාගන්න... දැන් මායි විෂ්ණුයි දෙන්නම ඉන්නෙ මේ කොට්ටෙ ඇතුළෙ. මම උඩට ආවා.. විෂ්ණු කොට්ටෙ පතුල හොයන්න ගියා.. මම දැන් ආපහු ගිහින් විෂ්ණුට කියනවා මම මුදුන හොයාගත්තා කියලා... ඔබට කියන්න පුළුවන්ද, ඔබ හිටියෙ කොට්ටයෙ ඉහළ කෙළවරෙන් එළියෙ කියලා..”


කේතකී මල මොහොතක් කල්පනා කළේය. මේ උදාවී ඇත්තේ තමන්ටත් එළියට යන්නට අවස්ථාවකි. ඒ වෙනුවෙන් පුංචි බොරුවක් කීම වැරැද්දක් නොවේ.


“මම කියන්නම්”


කේතකී මල කීවාය. 


සතුටට පත් බ්‍රහ්ම කේතකී මල අතින් ගෙන ආපසු දුවන්නට පටන් ගත්තේය. ආපස්සට ආපස්සට දිව ගිය බ්‍රහ්මට අවසානයේදී විෂ්ණු මුණ ගැහිණි. බොහෝ දුරක් ඇවිදීමෙන් සහ දිවීමෙන් වෙහෙසට පත් විෂ්ණු සිටියේ හති දමමිනි.


“ඔබ මුදුන හොයාගත්තද බ්‍රහ්ම”


විෂ්ණු පුදුමයෙන් ඇසුවේය.


බ්‍රහ්ම ආඩම්බරයෙන් හිස සැලුවේය. ඔව්.. මම කොට්ටයෙ ආරම්භය සොයාගත්තා.. මේ මල පිපිලා තිබුණ කොට්ටය ආරම්භ වෙන තැන තිබුණු පඳුරක. මම සාක්ෂියක් විදිහට මේ මලත් අරගෙන ආවා ඔබට පෙන්වන්න.
බ්‍රහ්ම කීවේ කේතකී මල විෂ්ණුට දෙමිනි. 


“ඇත්තද කේතකී මේ කතාව?”


විෂ්ණු විමසුවේය.


“ඔව්, උතුමාණනි... බ්‍රහ්ම උතුමාණන් කියන්නේ සත්‍යයක්. මම පිපිලා හිටියෙ කොට්ටයේ ආරම්භයේ.


“එසේද ! එසේනම් බ්‍රහ්ම ඔබ සැබෑ දක්‍ෂයෙක්. මට තාමත් කොට්ටයේ පතුල හොයාගන්න බැරිවුණා.


බ්‍රහ්ම නැවත වතාවක් ආඩම්බර ලීලාවක් පෑවේය. “ඒ, කතාවෙ තේරුම ඔබට වඩා මම බලවත් බව..”


විෂ්ණු මුව විවර කරගත්තේ සටනින් පරාද වූ බැවිනි.


එවිටම ඔවුන් දෙදෙනා මැද පාදූර්භූත වූයේ ඇස් තුනක් සහිත ලස්සන දෙවියා වන ශිවය.


බ්‍රහ්ම මෙන්ම විෂ්ණුද පුදුමයට පත් වූයේ ශිව ඔවුන් අතරට පිවිසීම පිළිබඳවය.


“ඔබ කොට්ටයේ කෙළවර දුටුවාද බ්‍රහ්ම?”


ශිව ප්‍රශ්න කළේය.


බ්‍රහ්ම කිසිත් නොකියා බිම බලාගත්තේය.


විෂ්ණු ශිව දෙසත් බ්‍රහ්ම දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. මේ කිසිවක් ගැන විෂ්ණුට කිසිවක් සිතාගත නොහැකි විය.


“ඔබ බොරු කියන්නෙ බ්‍රහ්ම. මේ කොට්ටය මමයි නිර්මාණය කළේ. මෙය කොට්ටයක් නෙවෙයි ලිංගයක්. මේ ලිංගයට කෙළවරක් නෑ. ​කොයි තරම් දුර ගියත් තව තවත් දික්වෙනවා විතරයි. 


බ්‍රහ්ම සහ විෂ්ණු ශිව දෙස බැලුවේ විමතියෙනි.


“බ්‍රහ්ම ඔබත් මමත් විෂ්ණුත් ලෝකය පවත්වා ගෙන යන අය. ඔබ ලෝකය නිර්මාණය කරනවා. විෂ්ණු පවත්වා ගෙනයනවා. මම විනාශ කරනවා. ඒ නිසා අපි තුන් දෙනාම එක සේ බලවත් එක්කෙනෙකුට වඩා අනෙක් කෙනෙක් බලවත් නැහැ.”


ශිව කීවේ කෝපයෙනි.. “ඒනිසා අපි තුන් දෙනා එකට එකතුව වැඩකටයුතු කරනවා මිස එකිනෙකා සමඟ සටන් කළ යුතු නැහැ.”


තමන් කළේ වරදක් බව බ්‍රහ්ම මෙන්ම විෂ්ණුද තේරුම් ගත්හ. ඔවුහු ඒ මොහොතෙහිම ශිවගෙන් සමාව යැද්දහ.


එහෙත් එය පහසුවෙන් සමාව දිය හැකි තරම් වරදක් නොවේ. ​ලොවක් පාලනය කරන දෙවිවරු දෙදෙනෙක් ඒසා බොළඳ ලෙස හැසිරිය යුතු නැත. යළිත් මෙවැනි වරදක් නොකරන්නට නම් ඔවුන්ට මතක සිටින දඬුවමක් දිය යුතු වේ.


බ්‍රහ්ම ඔබ බොරු කිව්වා. ඒ නිසා මම ඔබට ශාප කරනව ඔබට, අපට වගේ වන්දනාමාන නොලැබේවා කියලා. ඒ වගේම කේතකී... උඹ.


ශිව රෞද්‍ර ලෙස කේතකී දෙස බැලුවේය. “උඹට කිසි දවසක පුදසුනකට යන්න බෑ.”


බ්‍රහ්ම සහ කේතකී කිසිවක්ම කියන්නට ගියේ නැත. කී බොරුව වෙනුවෙනි. ශිව පැනවූ ඒ දඬුවම බාර ගත්තේය.


බ්‍රහ්ම වෙනුවෙන් තැනූ දේවාල අතළොස්සකට වඩා භාරතය තුළ නැත්තේ මෙන්න මේ ශාපය නිසාය. එ​ෙස්ම කේතකී මල වන්දනා මාන කිරීම සඳහා යොදා නොගන්නේය. මේ ශිවගේ ශාපයේ ප්‍රතිඵලයයි.


එසේම ශිව ලිංග වන්දනාව භාරතය තුළ අතිශය ප්‍රචලිතය. එයට හේතුව බ්‍රහ්ම සහ විෂ්ණු අතර හටගන්නට ගිය පළමු සංග්‍රාමය සමථයකට පත් කරන්නට ශිව ලිංගය සමත්වීම නිසාය.

 

 

 

 

ශාන්ත කුමාර විතාන



අදහස් (0)

බලවන්තයා වෙන්න බ්‍රහ්ම, විෂ්ණු සටනක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site