විල්ලෝරන් මුදියන්සේ ජීවත් වූ හල්ඔලුව, උඩගම ප්‍රදේශය.

විල්ලෝරන් මුදියන්සේ ජීවත් වූ උඩගම ගමගෙදර පිහිටි ස්ථානය,   

 

විල්ලෝරන් මුදියන්සේ උඩගම සිට මහනුවරට ගමන් කළ අඩි පාර (කළු ගලේ කොටා ඇති)   

 

 

 

“මල්ලව පොර” යනු රජ දවසේ සිට පැවත එන ජනප්‍රිය ක්‍රීඩාවකි. එදවස “මල්ලව යුද්ධ” යන නමින් ද එය හැඳින්විණි. රජවරුන්, ඇමතියන් සහ වෙනත් ප්‍රභූන් පිනවීම සඳහා මෙම ක්‍රීඩාව පැවැත්වුණු බව ද සඳහන් වේ. මෙය අතින් පහර දෙන, කාය ශක්තියෙන් පිරිපුන් පුරුෂයන් විසින් ඉදිරිපත් කරන ලද ක්‍රීඩාවකි.   


කීර්ති ශ්‍රී රාජසිංහ රජ (ක්‍රි.ව. 1747-1782) සමයේ ද, ඒ ආකාරයේ මල්ලව පොරයට දක්ෂ පරපුරක් සිටි බව සඳහන් වේ. ඔවුන්ගෙන් පැවත ගෙන එන පවුලක් ගොහාගොඩ, හල්ඔලුව, උඩගම ජීවත් වේ. එහි ආරම්භකයා වූ ගමගෙදර රාළ (පසුව විල්ලෝරන් මුදියන්සේ) මහවැලි ගඟෙන් එතෙර වී කිතුල් ගසක් සහ පොල් ගසක් මුල් සමග ගළවා අත් දෙකට ගෙන අඩි පාරක් දිගේ සැතපුම් දෙකක පමණ දුරක් ගොස් මහනුවර මහ මලුවට පැමිණ තිබේ. පසුව ඉන්දියාවෙන් පැමිණි මල්ලවපොර ශූරයා හා සටන් කර, ඔහු මරා දැම්මේය. එයින් ප්‍රීතියට පත් රජතුමා ගොහාගොඩ, හල්ඔලුව, පල්ලෙමුල්ලේ ප්‍රදේශයෙන් හැට පස් අමුණක්, කඩුවක්, රන් විල්ලුවක් (බාහුවේ පළඳින වළල්ලක්) ඇතුඵ ත්‍යාග බෝග රැසක් ලබා දී තිබේ. ඔහු භාවිතා කළ පිඟාන, උදලු තල දෙකක්, ඇතුඵ තවත් භාණ්ඩ කිහිපයක් ම, වත්මන් පරපුරේ සාමාජිකයන් සතුව පවතී. ඔහු ගමන් කළ මාවත අද මහනුවර නගරයේ ඇති පැරණිතම අඩි පාර ලෙස ද සඳහන් වේ.   


ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේ දී ද, ඒ ආකාරයේ මල්ලවපොර සටනක් විල්ලෝරන් මුදියන්සේගේ පරපුරේ සාමාජිකයෙකු සමග පැවතී ඇත. ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂක පී.ඊ.පී. දැරණියගල මහතා විසින් රචිත ''Some Sinhala Combative Field and Aquatic Sport and Games'' යන කෘතියේ මෙම සටන්කරුවන් දෙදෙනා ගැනම සඳහන් කර තිබේ.   


විල්ලෝරන් මුදියන්සේගේ පරපුරේ 8 වෙනි පරම්පරාව නියෝජනය කරන අබේරත්න බණ්ඩා (60) සොයා ගැනීමට මට හැකියාව ලැබුණි. දැනට ජීවතුන් අතර සිටින එම පවුලේ වැඩිමල් ම පුද්ගලයා ද ඔහුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිකරු සේවයේ රැකියාවක නිරත වීමෙන් අනතුරුව, විශ්‍රාම ලබා, මේ වනවිට පිළිමතලාව, ගඩලාදෙණිය ග්‍රාමයේ ජීවත් වේ.   

 

කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස විල්ලෝරන් මුදියන්සේ වැඩකරමින් සිටිය හෙරලිඅඹේ කුඹුරු යායේ දර්ශනයක්. (චිත්‍රය මහනුවර ජේ.බී හේරත්)   

 

 


‘‘මාගේ අප්පච්චිගේ නම විල්ලෝරන් මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා. මව බිසෝමැණිකේ දිසානායක. ඔහුගේ පවුලේ සහෝදරයෝ අට දෙනෙක් සිටියා. ඉන් තෙවෙනියා මාගේ පියායි. ඔවුන් කිසිවෙක් දැනට ජීවතුන් අතර නැහැ. මව පමණක් ජීවත්ව සිටිනවා. පියා ජීවත්ව සිටි කාලයේ අපේ පරපුර ගැන හැමෝටම කියා දෙනවා. මගේ අප්පච්චිගේ පියා මුදියන්සේ, ඔහුගේ පියා සියාතු, එතැනින් එහාට කිරිකිත්තා දක්වා විස්තරයක් සොයා ගැනීමට හැකියාවක් නැහැ. එහෙත් මුඛ පරම්පරාවෙන් රැගෙන ආ විස්තරයක් අප සතුව තියෙනවා’’ යැයි අබේරත්න මහතා පැවසීය.   


ඔහු තව දුරටත් මෙසේද කීය... ‘‘කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ බුරුම දේශයෙන් මල්ලවපොර ශූරයෙක් රජ වාසලට පැමිණ... ‘මා බුරුමදේශයේ සිට පැමිණි මල්ලවපොර ශූරයෙක්. මා හා සටන් කිරීමට ඔබ රටේ දක්ෂයෙකු සිටී නම් ඉදිරිපත් කරන්න’ යැයි රජතුමාට අභියෝග කර සිටිනවා.   


මෙම අභියෝගය භාර ගත් රජතුමා අණබෙරකරුවෙකු කැඳවා එය ගම් නියම්ගම්වලට ගොස් ප්‍රසිද්ධ කරන ලෙස අණ කළේය.   
‘අසව්, අසව්, අසව් අපේ රටට මල්ලවපොර ශූරයෙකු පැමිණ සිටිනවා. ඔහු හා සටන් කර ජයග්‍රහණය කරන කෙනෙකුට වටිනා තෑගි බෝග ලබා දෙනවා ඇති.’   
කිරිකිත්තා හෙවත් ‘ගමගෙදර රාළ’ ඔහුගේ හෙරළි අඹේ කුඹුරේ තවත් ගැමියන් කිහිප දෙනෙකු සමග වැඩ කරමින් සිටියා. ඒ හරහා ද අණබෙරකරු ගමන් කර තියෙනවා. එවකට තරුණ වයසේ පසු වූ ඔහු ගැටවරයෙක්.   


අණ බෙරකරුට කතා කළ කිරිකිත්තා... ‘මම ඉදිරිපත් වෙනවා’ යැයි පවසා තිබෙනවා.. එහි වැඩ කරමින් සිටි ගැමියන් පුදුමයෙන් වගේ බලා ගෙන සිටියාලු.   
‘හොඳයි එහෙනම් වහාම රජවාසලට පැමිණෙන්න.. මම රජතුමාට දන්වා සිටින්නම්’ යැයි.. අණ බෙරකරු පවසා තිබේ.   
වහාම නිවසට පැමිණි කිරිකිත්තා මව්පියන්ට මේ බව පවසනවා. මව්පියන්ටත් මෙය අදහා ගන්න බැහැ.   

 

 


කිරිකිත්තා ජීවත් වූ, අපේ මුල් ගෙදර හල්ඔලුව උඩගම පිහිටා තිබෙනවා. දැන් එහි ජීවත් වෙන්නේ මගේ සහෝදරයා. එදා එය හැඳින් වූයේ ‘ගම ගෙදර’ යන නමින්. හතර පැත්තෙන් වට කර සාදා තිබූ නිවසේ පිදුරු සෙවිලි කර තිබූ බවත්, එහි මැද මිදුලක් පවා තිබෙන්නට ඇති බවත්, පියා පවසා තියෙනවා මෑත කාලයේ එහි තිබූ නිවෙසට වසර 200ක පමණ පැරණි තත්ත්වයක් පෙනෙන්නට තිබුණා. මේ ළඟදී එය කඩා වැටුණා. එහෙත් එම ස්ථානයේ ඊට පෙර තවත් නිවෙසක් එහි තිබූ බවට ඔප්පුවල සඳහන් වෙනවා.   
නැවතත්... අබේරත්න තම පරපුරේ ඉතිහාසයට අප කැඳවා ගෙන ගියේය. කිරිකිත්තා නිවෙසට පැමිණෙන විට අමු පල්ලහක් (ධාන්‍ය බුසල් භාගයක ප්‍රමාණයක්) තම්බා පැදුරක දමා මිදුලේ වේලෙන්නට දමා තිබුණා. “අමු” යනු වී වර්ගයක්. අමු සහ කිරි මුට්ටි 14ක් ආහාරයට ගැනීමෙන් පසු රජ වාසලට පිටත්ව ගොස් තිබෙනවා. ගම ගෙදරට සැතපුමක් පමණ පහළින් ගඟ පිහිටා තිබෙන අතර, ඉන් එගොඩ වී අනිවත්ත ගල්කන්දෙන් කිතුල් ආරන් (පීදී නැති පැළ) දෙකක් ද ගළවා අත් දෙකට ගෙන, කන්දෙන් බැස අස්ගිරිය හරහා මහ වාසලට ගොස් තිබෙනවා.   


අද මහවැලි ගඟේ ජලය පිරී යන්නේ පොල්ගොල්ලේ වේල්ල නිසාය. එහෙත් එදා, ගඟ පළල්ව පිහිටා තිබුණි. එහි මැදට වෙන්නට වැල්ල ද, දෙපැත්තෙන් කුඩා ඇළක් ආකාරයෙන් ජලය ගලා ගියේය. මට මතකයි මීට වසර 40කට පමණ පෙර, ගඟ මැද මහා වැල්ලේ අපි ක්‍රිකට් සෙල්ලම් කළා. ඒ ආකාරයෙන් පිහිටා තිබූ ගඟෙන් එගොඩ වීම, අද මෙන් විශාල ප්‍රශ්නයක් නොවේ.   


තවත් කරුණක් මෙහි සඳහන් කළ යුතුව තිබෙනවා. එනම්, රජ දවස කිතුල්, පුවක් වැනි පැළ ගැළවීමේ තරග පැවතුණා. ඒ තම ශක්තිය උරගා බැලීම සඳහායි. මට මතකයි අපි කුඩා කාලයේදීත් එවැනි තරග තිබුණා. කිරිකිත්තා ඒ ආකාරයෙන් කිතුල් පැළ දෙකක් ගළවා ගෙන ගොස් තිබුණේ බලා සිටින ජනතාවට තමා ශක්තිවන්තයෙක් බව ඔප්පු කිරීම සඳහායි. කිතුල් පැළ දෙක මහ මලුවේ දමා රජවාසලට ගොස්, තමා මල්ලව පොර තරගය සඳහා පැමිණි බව රජතුමාට දැනුම් දී තිබෙනවා.   


සටන් කිරීමට පෙර දෙදෙනාටම ආහාර වශයෙන් කිරිබත් සහ පොල් ගෙඩි දෙකක් ලබා දී තිබෙනවා. කිරිකිත්තා පොල්ගෙඩි දෙක කට්ට පිටින්ම තනි අතින් මිරිකා, බුරුම මල්ලවපොර ශූරයාගේ කිරිබත්වලටත්, ඔහු ගේ කිරිබත්වලට දමා ආහාරට ගත්තා. මේ ආකාරයෙන් පොල්ගෙඩිය බිඳින්නේ නැතිව කට්ට පිටින්ම මිරිකන ආකාරය පුදුමයෙන් බලා සිටි මල්ලව පොර ශූරයා තරගයට ඉදිරිපත් නොවී සිටීමට උත්සාහ කර තිබෙනවා. එහෙත් ඒ වන විට තරගයට සියල්ල සූදානම්. රජතුමා පත්තිරිප්පුවේ සිට බලා සිටිනවා. පළා යාමට අවස්ථාවක් නැහැ.   


ඒ වන විට පත්තිරිප්පුව ඉදිරිපිට මහ මලුවේ සුදු පැහැති රවුමක් නැතිනම් වළල්ලක් ඇඳ තිබුණා. ඒ තුළට පිවිසෙන තරගකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් රවුමෙන් පිටතට ඇද දැමිය යුතුයි. ඉන් පිටතට ගිය කෙනා පරදිනවා. එක වරම ඉදිරියට පැන්න කිරිකිත්තා යෝධයෙක් වගේ සිටි බුරුම සටන්කරුවා උස්සා වළල්ලෙන් එළියට විසි කළා. රජතුමා පමණක් නොවේ, බලා සිටි අයටත් එය ආශ්චර්යයක්. ඒ සමගම ඔහු බිම ඇද වැටී මිය යනවා.   


රජතුමා කිරිකිත්තා ගැන පැහැදුනා. ගඟෙන් එගොඩ වූ ස්ථානය “රාළා තොට” අදටත් එම ප්‍රදේශය හඳුන්වනවා. කින්දරම් මුහුද නමින් කටුගස්තොට පැත්තට වෙන්න තවත් ස්ථානයක් තිබෙනවා. එම ප්‍රදේශ දෙක අතර කොටස කිරිතිත්තාට පරිහරණය කිරීමට ගම්වරයක් වශයෙන් වෙන්කර, හැටපස් අමුණක ඉඩමක් ද, අතට දමන්න “රන් විල්ලුව” නමින් වළල්ලක් ද කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලබා දී තිබෙනවා. එදවස එය තනි රත්‍රන්වලින් සාද‌ා තිබෙන්නට ඇති. රන් විල්ලුව නිසා, “විල්ලෝරන් මුදියන්සේ”යන වාසගම ලැබුණා.   
එම “විල්ලුව නැතිනම් රන් වළල්ල” ගැන ද යමක් සඳහන් කළ යුතුයි. එය කිරිකිත්තාගේ බාහුවේ පැළඳීම සඳහා ලබා දුන්නක්. එහි ප්‍රමාණය ගැන සඳහන් කිරීමේදී කුඩා ළමයෙකුට ඒ තුළින් ගමන් කිරීමට හැකියාව පැවතුන බව සඳහන් වෙනවා. අප්පච්චි, අපට පවසා ඇති ආකාරයට, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අපේ නිවෙසට පැමිණ, නිරීක්ෂණය කිරීමෙන් පසු ඔවුන්ට නිවෙස භාර දෙන මෙන් ඉල්ලා තිබෙනවා. අත්තා එයට කැමති වෙලා නැහැ. ඊට පසු තඹ සන්නස සහ එම රන් වළල්ල ඔවුන් රැගෙන ගොස් තිබෙනවා. ඊට අමතරව මිට කැටයම් කළ කඩුවක් තිබුණා. එහෙත් දැන් එය අස්ථානගත වෙලා තියෙනවා. ඒ වගේ පැරණි භාණ්ඩ කිහිපයක් ම අප නිවසේ තිබෙනවා.   
කිරිකිත්තාට අයිති හැටපස් අමුණේ ඉඩම්වලින් නිතොල්ගහ මුදුන ඉඩම මෘත දේහ භූමදානය සඳහා පරිත්‍යාග කළා. එම ඉඩම්වලින් අප්පච්චිට ලැබුණේ අටෙන් එක කොටසයි. එයට හේතු වූයේ දෙවෙනි ලෝක යුද්ධයට සහභාගි වීම සඳහා ඔහු ඊජිප්තුවට ගොස් ඇති අතර, යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසුව ලංකාවට පැමිණෙන විට, ඉඩම්වලින් බොහෝ ප්‍රමාණයක් වෙනත් අය හිමි කර ගෙන. නිවෙස තිබූ ඉඩම පමණක් අපට හිමි වුණා යැයි අබේරත්න මහතා අවසන් වශයෙන් පැවසුවේය.   
පාතදුම්බර ගොහාගොඩ පදිංචි ගොහාගොඩ විල්ලෝරම් මුදියන්සේ (70) ලබා දුන් විස්තරයක් ඉහත සඳහන් කෘතියේ මෙසේ සටහන් කර තිබේ.   
ඉන්දියාවේ මල්ලව රටේ, මල්ලවපොර ශූරයෙක් මෙරටට පැමිණ, කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747- 1782) රජු හමු වී, මා හා සටන් කිරීමට හැකි ජගතෙක් සිටී නම් ඉදිරිපත් වන ලෙස අභියෝග කර ඇත. ඒ අනුව පළමුව අණ බෙර කරුවෙකු ද, පසුව හොරණෑකරුවෙක් ද යවා ඇති අතර, හොරණෑකරුවාගෙන් කුඹුරේ වැඩ කරමින් සිටි තරුණ ගොවියෙක් ඒ ගැන විමසා තිබේ. (එදවස අණබෙරකරුවා අදාළ සිද්ධිය දැනුම් දෙන අතර, හොරණෑකරුවෙකු යැවීමෙන් අදහස් කරන්නේ කැඳවීමකි) පසුව මෙම තරුණ ගොවියා මඩ සෝදා ගෙන කිතුල් සහ පොල් ගස් දෙකක් උදුරා අත් දෙකට ගෙන කළු ගලේ කෙටු අඩිපාර දිගේ අස්ගිරිය මැද පන්සල පසුකර ආරාධනා මලුව හරහා මහ මලුවට ගොස් රජතුමා බැහැ දැක තිබේ.   


එහිදී මා කැඳවූයේ ඇයි දැයි, ඔහු රජතුමා ගෙන් විමසා තිබෙන්නේ ගස් දෙක ද බිම නොදමාය.   


ඉන්දියාවේ සිට මල්ලව පොර ශූරයෙක් පැමිණ අභියෝග කළ නිසා, ඔහු හා සටන් කිරීමට කැඳ වූ බව රජතුමා ප්‍රකාශ කර තිබෙනවා.


ඉන්පසු අත්දෙකේ තිබූ ගස් දෙක බිමට දැමූ තරුණ ගොවියා ඉන්දියානු මල්ලව පොර ශූරයා සමග සටනට පිවිසියා. ඔහු ශූරයාව එක මොහොතකින් දෙපළු කළේය. රජතුමා එසේ සිදු නොකරන ලෙසට කෑ ගසා අණකළ ද, ඔහුට එය ඇසුණේ නැත. ශූරයාගේ මළ සිරුරේ කොටස් මහ වාසල දෙපස එල්ලීය.   


ඔහු ගේ දක්ෂතාවය ගැන පැහැදී, පුද්ගලික තොරතුරු විමසීමේ දී අවිවාහකයෙකු බව දැන ගත් රජතුමා සුන්දර තරුණියන් කිහිප දෙනෙක් කැඳවා පේලියට සිටුවා කැමති කෙනෙක් තෝරා ගන්නා ලෙස අණ කළේය. පසුව තෝරාගත් තරුණිය විවාහ කරදී තෑගි බෝග, ඉඩම් සමග “විල්ලෝරන් මුදියන්සේ” යන නම ලබා දී ඇත. මෙම විල්ලෝරන් මුදියන්සේ රජවාසලට ගස් ඇදගෙන ගිය මාර්ගය “පල්ලේදෙණිය වීදිය” ලෙස අදට ද ව්‍යාවහාර කෙරේ.   


රජතුමා ඔහුට තෑගි දුන් කුඹුරක විශාල ප්‍රමාණයේ පාෂාණ (ගල්) තුනක් තිබී ඇත. එතැන පිහිටි විශාලතම ගල මිටියකින් කඩා දැම්මේය. ඊට පසුව පිහිටි ගල් දෙකෙන් එකකට දකුණු කකුලෙන් ගසා අඩි 16ක් ඈතට විසිකර තිබේ. අනෙක් ගල වම් කකුලෙන් ගසා අඩි 12ක් ඈතට විසි කළේය. පල්ලෙමුල්ල, හෙරලියද්ද කුඹුරේ මෙම ගල් දෙක අදට ද දකින්නට පුඵවන. ඔහුගෙන් පැවත එන පරම්පරාවේ සාමාජිකයෝ අදටත් ජීවත් වේ. මෙම කතාව පිළිබඳ කවි නිර්මාණය වී ඇති අතර, ඉන් කවි දෙකක් පහත දැක්වේ.   


මල්ලව දේසෙන් ආ පොර බලයෙන්   
මහමලුවේ කැරකී සෙල්ලම් පොර බදමින්   
මල්ලව රට සිට ආ සමතා තැරි ගහ ඉරු දෙක දෑතට ගනිමින්   
මහ මලුවේ දෙකොනේ තැරි දෙක මහ රජ හට පෙනෙන්ට එල්ලා බඳිමින්   
මහරජ පත්තිරිප්පුවේ වැඩසිට සෙල්ලම් බලමින්   
 රුවන් විසින් මග කැරකී ඇවිදින්   

මල්ලව පොර බදිමින් ඉරු දෙක දෑතට දෙර ගහ ගනිමින්   


ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ (ක්‍රි.ව. 1798-1815 ) කාලයේ ද, මෙම පරපුරට අයත් මල්ලව පොර ශූරයෙකු ජීවත්ව සිට ඇත. ඔහුගෙන් පැවත ගෙන එන, ඩිංගිරි බණ්ඩා ඉහත කෘතියට තොරතුරු ලබා දී ඇත. මෙම ලිපියට එය ද ඇතුළත් කළෙමි. පහත සඳහන් වන්නේ ඒ පිළිබඳවය.   


“එදවස පල්ලෙමුල්ලේ ග්‍රාමයේ ශක්තිමත් ජව සම්පන්න පුද්ගලයෙක් විල්ලෝරන් මුදියන්සේ නමින් ජීවත් වී ඇත. එමෙන්ම රජතුමා යටතේ ද, රජ මාලිගාවේ ප්‍රසිද්ධ මල්ලව පොර ශූරයෙක් වාසය කළේය. එක දවසක් රජතුමා තමාගේ මල්ලවපොර ශූරයා සමග සටන් කිරීමට ඉදිරිපත් වන ලෙස, රටවැසියන් ගෙන් ඉල්ලා, අණ බෙරකරුවෙක් යැවීය. මේ බව ඇසූ පල්ලේමුල්ලේ වාසය කළ විල්ලෝරන් මුදියන්සේ අභියෝගය භාර ගත්තේය. එහෙත් ඔහු වෘත්තීය මල්ලව පොර ශූරයෙක් නොවේ.   


පසුව තම නිවෙස ඉදිරිපිට වේලීම සඳහා අතුරා තිබූ, අමු සහල් ලාස් 5ක්, පොල් කිරි කල 10ක් සමග මිශ්‍ර කර ආහාරයට ගෙන, මහවැලි ගඟ තරණය කර රජ වාසලට ගොස් තිබේ. එහිදී රජතුමා තම මල්ලව පොර ශූරයාට සහ විල්ලෝරන් මුදියන්සේට බත්, ව්‍යාංජනයක් සහ පොල් ගෙඩි එක බැගින් ලබා දී ඇත. රජතුමාගේ මල්ලවපොර ශූරයා පොල් ගෙඩියේ ලෙල්ල ගැලවීම සඳහා ආයුධයක් ඉල්ලූහ. එවිට විල්ලෝරන් මුදියන්සේ මල්ලවපොර ශූරයාගේ පොල් ගෙඩිය අත් දෙකෙන් ගෙන මිරිකා ඇත. එවිට ඉන් වෑහෙන කිරි ශූරයාගේ පිඟානට වැටීමට සලස් වන ලදී. ඊට පසු ඔහු ද, තම පොල්ගෙඩිය මිරිකා තම පිඟානට කිරි දමා ගත්තේය.   


ආහාරය ලබා ගැනීමෙන් පසු දෙදෙනාම මහ මලුවට පැමිණ තිබේ. පත්තිරිප්පුවේ සිට රජතුමා සටන නරඹා ඇත. සටන අවසන් වූයේ විල්ලෝරන් මුදියන්සේ, රජතුමාගේ මල්ලවපොර ශූරයාව උස්සා පොලොවේ ගසා, එක පාදයක් පාගා චුරු කර, අනෙක් පාදය ඇද ඉරා දමා ඇත. ඒ සමග ම රජතුමා එසේ සිදු නොකරන ලෙසට කෑ ගසා තිබේ. ඒ වන විටත් ශූරයා මිය ගොසිනි.   


පසුව රජතුමා ඔහුගෙන් කැමති දෙයක් ඉල්ලන ලෙස අණ කළේය.   


කිසි දෙයකින් මට අඩුවක් නොමැති නිසා, කිසිවක් අවශ්‍ය නැති බව ඔහු පවසා ඇත. එම නිසා රජතුමා ඔහුට සක් වළල්ලක් තෑගි වශයෙන් ලබා දී තිබෙන බව ද එම කෘතියේ සඳහන් කර තිබේ.   


ස්තුතිය - ගඩලාදෙණියේ ඩබ්ලිව්. එම් අබේරත්න බණ්ඩා මහතාට සහ එම මහත්මියට, ගොහාගොඩ, පල්ලේමුල්ලේ ගමගෙදර පදිංචි බිසෝමැණිකේ දිසානායක, ඩබ්ලිව්.එම් විජේරත්න, ඒකනායක, ටී.එම්. විජේතුංග, ඩඩ්ලි තෙන්නකෝන්, නිශ්ශංක තෙන්නකෝන්, මහනුවර හිටපු ක්‍රීඩා උපදේශක ජේ.බී. හේරත්, දළදා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ සහකාර පුස්තකාලයාධිපති අජන්ත කුමාර සමරකෝන් යන මහත්වරුන්ට.   

 


සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර