IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බුධ සංයෝගවල හොඳ නරක

බුධ සංයෝගවල හොඳ නරක පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට ප්‍රථම බුධ ග්‍රහයා ගැන කරුණු ටිකක් විමසා බලමු.  


ග්‍රහදේව පවුලේ හුරතලා බුධය. අම්මාටත්, තාත්තාටත් දෙපැත්තේ ආසන දෙකක් මොහුට තිබේ. මව්පිය දෙදෙනාට සඳු හිරු දෙදෙනාගේ ආසන වූ කටක, සිංහ දෙපැත්තේ පිහිටි මිථුන, කන්‍යා රාශි දෙක බුධට අයත් බව සඳහන් කරනු කැමැත්තෙමි. දේව ලෝකයේ බුධ පිළිගනු ලබන්නේ බුද්ධිමත් ඉගෙනීමට ආශාව ඇති ගණිත මිනිතාදියෙහි හා කියවීමේ ලිවීමේ ආදියෙහි දක්ෂ කතාවට හොඳ පිරිසිදු ළමයෙකු ලෙසය. ඔහුට වඩාත් කවුරුත් ප්‍රිය කරන්නේ ආශ්‍රයට හොඳ බැවිනි. බුධ ආශ්‍රය කරන්නාගේ ගතිගුණ ගෙන ඒ පැත්තට හැරී නැමී ක්‍රියා කරන බැවිනි.  


මෙසේ ශුභ ගතිගුණ ඇති බුධ ග්‍රහයා අනෙකුත් ග්‍රහයින් සමග සංයෝග වූ විට ඇතිවන හොඳ නරක ගති ලක්ෂණ විමසා බලමු.  

 

බුධ - රවි යෝගය  


මේ දෙදෙනා නිතරම වාගේ සංයෝග වේ. රවි බුධ යහපත් තැනක සිටීමෙන් ඥානවන්ත, ගණිතයේ, විද්‍යාවේ දක්ෂ ජ්‍යොතිෂ ශාස්ත්‍රය වැටහෙන්නාවූ කෙනෙකු වේ. යහපත් ස්ථානයක යන්නෙන් අදහස් කරන්නේ දෙදෙනා බලවත්ව එනම් මේෂ සිංහ ධනු වෘශ්චික රාශිවල රවි සිටීමත් බුධ මිතුන කන්‍යා රාශිවල සිටීමත්ය. මේ දෙදෙනා ධනු ලග්නකාරකයින්ට යෝගව සිටීම බලවත් වටිනා පිහිටීමකි. ධනු ලග්නකාරකයින්ගේ 8 වැන්නේ මේ යෝගය පිහිටීම වටිනා ධන යෝගයක් ද වේ. මේ යෝගය ලග්නයේ පිහිටියේ නම් උසස් දූ පුතුන් ලැබෙන දීර්ඝායුෂ ලැබෙන යෝගයක් වේ. ධනු ලග්න කාරකයින්ට මේ යෝගය ධර්ම කර්මාධිපති යෝගය වේ.  


බුධ - චන්ද්‍ර යෝගය  


බුධ/චන්ද්‍ර සංයෝගය කේන්ද්‍රයේ යහපත් තැනක සිටියේ නම් චතුර කථිකත්වයක් ඇති උසස් සිහිබුද්ධියෙන් යුත් කෙනෙක් වේ. නමුත් සිත එක අරමුණක තබා ගැනීම අපහසුයි. කේන්ද්‍රයේ මේ දෙදෙනා දුර්වලව සිටීනම් ඉතාම නරක ප්‍රතිඵල ගෙන දේ. බුධ මීන රාශියෙත් සඳු වෘශ්චික රාශියේත් ස්ථානගත වීම නරක පිහිටීමකි. එසේ වූ විට මේ යෝගයේ ශුභ ඵල බාල කෙරේ. එසේ විට අසාධාරණ ලෙස මුදල් ඉපයීමට පෙළඹේ. අනාචාරශීලී ලෙස හැසිරෙන කෙනෙක් මෙන්ම මත්පැන්වලට යොමු වේ. ජීවිතය අවුල් වේ. මේ දෙදෙනාට අශුභ දෘෂ්ටි වැටේ නම් අශුභ ඵල තවත් වැඩි වේ. අශුභයි.  


බුධ කුජ යෝගය  


බුධ කුජ එකට සිටියදී උපන් තැනැත්තා ඉතාම උද්යෝගිමත් කෙනෙක් වේ. ශල්‍ය වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ගණිත විශාරදයින් තාරක විද්‍යාඥයින් මේ යෝගයෙන් ඉපදුණු අය වෙති. යහපත් තැනක බලවත්ව සිටීම යන්නෙන් අදහස් කරන්නේ මේ දෙදෙනා බලවත් රාශිවල එනම් මිතුන කන්‍යා මේෂ වෘශ්චික මකර යන රාශිවල ස්ථානගත වී සිටීමයි. මේ දෙදෙනාටම ශුභ දෘෂ්ටි වැටේනම් ඉහත සඳහන් කරන ලද කාරණා තවත් විශිෂ්ට වේ. ඇතැම් විට නරකට සිටියොත් ඉතාම නරක පිහිටීමකි. බොරුවෙන්, වංචාවෙන් ජීවත්වන්නෝ වෙති. කේන්ද්‍රයේ අනෙකුත් ග්‍රහයින්ද දුර්වල නම් ඒ කාරණා එසේමය.  


බුධ ගුරු යෝගය​   


මෙය ඉතාම ශුභ සංයෝගයකි. මේ යෝගයෙන් උපන්න තැනැත්තා ලෝකයේ ඇතිතාක් ඉගෙනීමට ආශා කරයි. සාධාරණ තීන්දු ගන්නා වූ සියුම් ඥානවන්තයෝ මේ යෝගයෙන් උපන් අය වේ. අපක්ෂපාතී බව, ඉවසීම වැනි ගුණාංග නිසා මේ යෝගයෙන් උපන් අය සමාජය පිළිගත් අය ලෙස කැපී පෙනේ. දීර්ඝ ගමන් බිමන් යෑමටද හොඳ පිහිටීමකි. ආගමික භක්තිය ඉතාම ඉහළින් තිබේ. විනිශ්චයකාරවරුන් පිහිටිය යුතු හොඳම යෝගයකි. මේ යෝගයේ අශුභ නොහොත් නරකක් නොමැත.  


බුධ ශුක්‍ර යෝගය  


මේ ශුභ යෝගයෙන් උපන් තැනැත්තා සියුම් දේට ප්‍රිය කරන්නා වූ තීක්ෂණ කල්පනාවක් ඇති කාටත් ගැළපෙන ගුණයෙන් යුතු පිරිසිදු ගති ඇති ප්‍රියවචන කතා කරන අයෙක් වේ. උගත් මිතුරෝ ඇසුරු කරයි. එනිසාම තමාටද දියුණුව පෑදේ. නීති විශාරදයින් දක්ෂ කථිකයින් මෙන්ම දක්ෂ වෛද්‍යවරුන් බිහි කරන යෝගයක් වේ. විශේෂයෙන් 10 වැන්නේ මේ යෝගය දක්ෂ වෛද්‍යවරුන් බිහි කරන පිහිටීමකි. කන්‍යා ලග්න හිමියන්ට මෙය වටිනා රාජ යෝගයකි. කෙසේ හෝ ශුභ මාර්ගවලින් දියුණු වේ.  


බුධ ශනි යෝගය  


බුධගේ වෙනස්වන සුළු ගතියත් ශනිගේ ස්ථිරකමත් සමග මිශ්‍ර වූ කල යහපත් සංයෝගයක් වේ. ගණිතයට ඉතාම දක්ෂයින් මේ යෝගයෙන් බිහි වේ. ඉවසීමෙන් සිහි බුද්ධියෙන් කටයුතු කරන්නෝ යුක්ති සහගතව කතා කරන්නෝ මේ යෝගයෙන් උපන් අය වේ. මේ යෝගයෙන් උපන් අය ස්ථිර ප්‍රතිපත්තිගරුක අයයි. මේ නිසා ඕනෑම උසස් තනතුරකට සුදුසුයි. බොහෝ උසස් තනතුරු උසුලන පරිපාලන නිලධාරීන් මේ යෝගයෙන් උපන් අයයි. දක්ෂ ඉංජිනේරුවන් මේ යෝගයෙන් උපත ලද අය වේ.   


නමුත් මේ දෙදෙනා නරකට සිටියොත් ඉතාම නරක ගති ලක්ෂණ පෙන්නුම් කරයි. නරකට සිටීම යන්නෙන් අදහස් කරන්නේ ශනි මේෂ කටක වෘශ්චික යන රාශිවල සිටීනම් බුධ මීන කටක යන රාශිවල අශුභ දෘෂ්ටි ඇතුව සිටීමයි. රාශි 12 එනම්, මේෂ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන වේ. කේන්ද්‍රයේ ලග්නයේ සිට පිළිවෙළින් වමට ගණනය කිරීමෙන් ඔබට මෙය තේරුම් ගැනීමට හැකි වේ.  


ඉහත සඳහන් සංයෝගවල හොඳ නරක තීරණය වීමේදී කේන්ද්‍රයේ අනෙකුත් ග්‍රහයින්ගේ බලාත්මකභාවය කෙරෙහිද සැලකිලිමත් විය යුතුයි. නමුත් මේ කියන ලද කාරණාවල එතරම් වෙනස්වීමක් නොවන බවද සිතාගත යුතුය.  

 

 


ප්‍රවීණ ජ්‍යොතීර්වේදී විශ්‍රාමලත් විදුහල්පති  
කේ.ඩී.ආර්.පී. රාජකරුණා  
ගරු සෙවණ ජ්‍යෝතිෂ කාර්යාලය  
වතුරවෙල කොස්ගොඩ



අදහස් (0)

බුධ සංයෝගවල හොඳ නරක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site