IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පිදුරුතලාගල කුලුණට ගහපු ඊරෝස් කල්ලිය ඇල්ලූ හැටි...

 

මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රටේ උසම කන්දවන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත.


මීටර් 2,524 (අඩි 8281) උසකින් යුත් පිදුරුතලාගල කන්දේ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය පිහිටා ඇති අතර එම සම්ප්‍රේෂණාගාරය පුපුරුවා හැරීමට එවකට රටේ ක්‍රියාත්මක වෙමින් තිබූ ඊලාම් විප්ලවකාරී ශිෂ්‍ය සංවිධානය (ඊරෝස්) නමැති ත්‍රස්තවාදී සංවිධානය ගත් උත්සාහයක් නූලෙන් වැළකී ගියේ සම්ප්‍රේෂණ කුළුණු වලට සවිකර තිබූ බෝම්බ පුපුරා ​ෙනායාමේ හේතුවෙනි.  


එහෙත් ඊරෝස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් සම්ප්‍රේෂණ කුළුණේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා අනුකණ්ඩයේ ලාන්ස් කෝප්‍රල්වරයෙක් දිවි පිදූ අතර හමුදාවේ පිරිසක් තුවාල ලබා ඇත. 


මේ සිද්ධිය වෙච්ච දවසේම හරියටම ඒ වෙලාවටම නුවරඑළියේ පිහිටි ජනාධිපති මන්දිරය ආසන්නයේම බෝම්බයක් ඊරෝස් සංවිධානය පුපුරුවා හැරියත් එයත් ජනාධිපති මන්දිරයට හෝ පුද්ගල හානියක් සිදුවූයේද නැත.  


ඊරෝස් සංවිධානයේ මේ සිද්ධීන් දෙකම සිදුකළේ 1984 වසරේ නොවැම්බර් මාසයේ 10 වැනිදාය.  
එනම් මෙයට වසර 33කට පමණ කාලයකට ඉහතදීය.  


මේ සම්බන්ධව මුල සිටම පරීක්ෂණ පවත්වා සීතල වතුකරය පමණක් නොව රටම ගිනියම් කළ මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ ඊරෝස් ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් හා ඔවුන්ට අයත් අවි ආයුධ තොගයක් සොයා ගත්තේද බෝවල මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.  


ඒ කාලයේ බෝවල මහතා සිටියේ පොලිස් සැරයන් නිලයේය.  


එදා වතුකරය කැළඹූ ඊරෝස් කල්ලිය ත්‍රස්තවාදීන් අල්ලාගෙන ඔවුන්ට අයත් අවි ආයුද බෝම්බ සොයා ගැනීමට බෝවල මහතා සමඟ ගිය එවකට පොලිස් කොස්තාපල් නිලයේ සිට පසුව පොලිස් පරීක්ෂක නිලයට උසස්වීම් ලබා විශ්‍රාම ගිය වයි.එච්.අයි. වීරසිංහ මහතාට එක් ත්‍රස්තවාදියකු එල්ල කළ මාරාන්තික උදළු ප්‍රහාරයකින් බේරී ඇත්තේ අනූනවයෙනි.  


කේ.එච්.එම්. බෝවල මහතාගේ වසර 38ක පොලිස් රාජකාරී ජීවිතය තුළ වැඩි කාලයක් ගතකර ඇත්තේ ත්‍රස්තවාදී කල්ලිවලට සම්බන්ධ විමර්ශන කටයුතු වලය.  


ඒ නිසාම බෝවල මහතා ඒ හා සම්බන්ධව හසල දැනුමක් ඇති නිලධාරියෙක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රසිද්ධියට පත්ව සිටියේය.  


එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙරට ක්‍රියාත්මකව පැවති වකවානුවේ මධ්‍යම පළාතේ වරින්වර බස්රථවල බෝම්බ පිපිරවීම, ට්‍රාන්ස්ෆෝමර් පිපිරවීම හා දේශපාලනඥයින් ඝාතනය කිරීමට ආ මරාගෙන මැරෙන කොටි ත්‍රස්තයින් රැසක්ම අත්අඩංගුවට ගැනීමට සිදුවී ඇත්තේ බෝවල මහතාගේ මූලිකත්වයෙනි.  


වතුකරය කැළඹීමට ආ කොටි ත්‍රස්තයින් රැසක් ඊට කළින් අත්අඩංගුවට ගෙන ඔවුන් විසින් සිදුකිරීමට සැලසුම්කර තිබූ මහා විනාශයන් රැසක්ම වළක්වා ගෙන බෝම්බ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ තොග සොයාගනු ලැබුවේද බෝවල මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු පරීක්ෂණ වල ප්‍රතිඵලයක් වශයෙනි.  


බෝවල මහතා සමඟ වතුකරයේ කොටි ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමට ගිය පොලිස් නිලධාරීන් අතරේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.බී. දිසානායක, පොලිස් පරීක්ෂක වයි.එච්.පී. වීරසිංහ, පොලිස් පරීක්ෂක සුනිල් යටවල, පොලිස් පරීක්ෂක සුදත් ​ෙෆාන්සේකා සහ පොලිස් පරීක්ෂක කරුණාසේන ලියැදිපිට යන මහත්වරුන් වෙති.  


පොලිස් පරීක්ෂක සුදත් ෆොන්සේකා සහ පොලිස් පරීක්ෂක කරුණාසේන යන මහත්වරුන් හැරෙන්නට ඉහත නම් සඳහන් කළ පොලිස් නිලධාරීන් මේ වන විට විශ්‍රාම ගොස් ඇත.  

 


පිදුරුතලාගල කඳු මුදුනේ සවිකර ඇති ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය පුපුරුවා හැරීමට තැත් කිරීම එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීමට හා නුවරඑළිය ජනාධිපති මන්දිරය ඉදිරිපිට බෝම්බයක් පුපුරුවා හැරීම මෙන්ම එයට සම්බන්ධවූ ත්‍රස්තවාදීන් අල්ලා ගැනීමේ කතාව මෙතැන් සිට දිග හැරෙන්නේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි කේ.එම්.එච්. බෝවල මහතාගේ මතකය ඇසුරිණි.  


අපි මේ සිද්ධියට පසුබිම් වූ කරුණු කාරණා වලින්ම කතාබහ ආරම්භ කරමු යැයි යෝජනා කරමින්ම බෝවල මහතා යෝජනා කළේය.  
“මම මස්කෙළිය පොලිසියේ ඒ කාලයේ රාජකාරී කළේ පොලිස් සැරයන්වරයෙක් විදිහට. එතකොට මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති තනතුර දැරුවේ පොලිස් පරීක්ෂක රවි චන්ද්‍රසිංහ මහතාය. ඔය කාලයේ මස්කෙළිය නගරයේ විතරක් නොවේ ඒ අවට ප්‍රදේශ කිහිපයක පෝස්ටර් එකක් ගහලා තිබුණා දීපවාලී උත්සවය කිට්ටු වෙන්න සතියකට දෙකකට විතර කලින් තමා ඔය පෝස්ටරය ගහලා තිබුණේ. දෙමළ භාෂාවෙන් මේ පෝස්ටර් හැම තැනකම වාගේ අලවා තිබුණේ.   


“අ​ෙප් ජනතාව ලොකු අසාධාරණයකට ලක්වෙලා ඉන්නේ. කාලයක ඉඳලා පීඩාවට ගොදුරු වෙලා. ඒ නිසා අපි මේ පාර දීපවාලී උත්සවය ශෝක දිනයක් බවට පත්කර ගනිමු” කියා තමා දෙමළ භාෂාවෙන් ලියා තිබූ ඒ පෝස්ටර් වල සඳහන්ව තිබූ වැකිවල සිංහල අර්ථය. මේක එච්චර හොඳ පෝස්ටරයක් නොවන බව මට හැඟී ගියා. අනාගතයේ වෙන්න යන භයානක ක්‍රියාවලියක පෙර නිමිත්තක් බව මට එක්වරම හැඟී ගියා. මම මේ පෝස්ටරය ඕ.අයි.සී, මහත්තයාට පෙන්නුවා. ඕ.අයි.සී. රවි චන්ද්‍රසිංහ මහතාගේ උපදෙස් ලබාගෙන පොලිස් කොස්තාපල් නජුබ්දීන් (3660) හා මම එකතුවෙලා මේ පෝස්ටරය ගහන අය අල්ලාගෙන තොරතුරු හොයන්න පටන් ගත්තා.  
පෝස්ටරය ගහන අය ගැන තොරතුරු සොයා බලා ඒ අය අල්ලා ගන්න හොයමින් ඉන්න අතරවාරයේ මට මගේ ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබුණා වැලිමඩ ටවුන් එකේ මැද වීදියේ ගෙදරක සැකකටයුතු කට්ටියක් රෑට රෑට ගැවසෙනවා කියා. මේ ඔත්තුව ලැබුණු දවසේ රෑ මමත් නජුබ්දීන් එක්ක ඒ ගෙදර අසල තිබූ පුංචි මඩුවකට වෙලා සෙවිල්ලෙන් සිටියා. තරුණ දෙමළ ළමයි කට්ටියක් නිතර එහාට මෙහාට යනවා අපි දැක්කා. අපි දෙන්නා රෑ 11.00ට විතර එක පාරටම ගෙට කඩාවැදිලා තුන් දෙනෙක්ව අල්ලා ගත්තා. අපි දෙන්නා ගෙට ඇතුල් වෙනකොටත් ඒ ළමයි තුන් දෙනා මෙවර දීපවාලී උත්සවයට ශෝක දිනයක් කරමු කියා පෝස්ටර් අඳිමින් හිටියේ. ඇඳලා ඉවර වෙච්ච පෝස්ටර් තොගයක්ද ගෙදර තිබී අපි හොයාගත්තා.  


බෝවල සහ නජුබ්දීන් කියන පොලිස් නිලධාරීන් දෙදෙනා අත් අඩංගුවටගත් තිදෙනාගෙන් එක් අයෙක් රමේෂ් කියන උඩුදුම්බර සරසවියේ සිසුවෙක්. තවත් අයෙක් ලිංගම් කියා සිල්ලර කඩයක සේවකයෙක් වන අතර අනෙකා මුත්තු කියන රෙදි සාප්පුවක සේවය කරන අයෙකි.  


“සර් අපිට මේ විදිහට පෝස්ටර් ඇඳලා ගහන්න කියා කිව්වේ උඩුදුම්බර සරසවියේ ඉගෙන ගන්නා ළමයෙක්. එයා ඕල්ට්ඩු ගමේ මේ වෙනකොට ඉන්නේ.” කියා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත.   


පොලිසිය ඒ අනුව ඕලුමඩු ප්‍රදේශය වෙත ගොස් එම සරසවි සිසුවාද අත්අඩංගුවට ගෙන මස්කෙළිය පොලිසිය වෙත ගෙනවිත් ඇත්තේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහාය.  


මතු සම්බන්ධයි...

 

සටහන   ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  
ඡායාරූප  පේරාදෙණියේ සෙනරත් බණ්ඩාර



අදහස් (0)

පිදුරුතලාගල කුලුණට ගහපු ඊරෝස් කල්ලිය ඇල්ලූ හැටි...

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13265 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site