ක්‍රි.ව. 1914-1918 දක්වා ක්‍රියාත්මක වූ පළමු ලෝක යුද්ධය අවසන් වී මෙම වසරට අවුරුදු සියයක් සපිරේ. එම කුරිරු යුද්ධයෙන් කම්පනයට පත්ව එම්.එන්. වෙඩර්බන්ඩ් නම් ආර්යාව ලෝකයට සාමය ප්‍රාර්ථනා කරමින් නුවරඑළියේ සිටවනු ලැබූ සාමයේ ගසට අවුරුදු 99ක් වේ. ඒ ක්‍රි.ව. 1918.07.19 දිනටය. අවුරුදු අනූනවයක් වූ මෙම යෝධ සයිප්‍රස් ගස ලෝකයට සාමය අපේක්ෂාවෙන් අහස උසට විහිදී අද ද අප හමුවේ දිස්වේ. 

  
ලෝක සාමය වෙනුවෙන් මිහිපිට සිටවූ මෙම සාම ගස අපට බොහෝ පණිවුඩ ගෙනදෙන්නේය.   


අවුරුදු 30ක කාලයක් මෙරට පැවති කුරිරු යුද්ධය පැහැදිලි කරගත නොහැකි තරමට අපේ ජන සමාජය උඩියටිකුරු කළේය. ඒ අමිහිරි යුගයක් අපි සැවොම අකැමැත්තෙන් වුවද විඳගත්තෙමු. එහි ප්‍රතිවිපාක අප නෙතට කඳුළින් ගෙනදීමට සමත්විණ.   


එවන් පසුබිමක වසර සියයකට පෙරදී මුළු ලෝකයම වෙළාගෙන සිව් වසරක් පුරා පැවති පළමු ලෝක යුද්ධය අවසන් වී වසරකට පසු එම යුද්ධයෙන් පීඩා විඳි කාන්තාවක් ලෝකයට සාමය ප්‍රාර්ථනා කරමින් ගසක් රෝපණය කළාය. ඒ ක්‍රි.ව. 1915-1919 කාලය තුළ නුවරඑළිය සහකාර ආණ්ඩුවේ ඒජන්තවරයා ලෙස කටයුතු කළ එම්.එම්. වෙඩර්බන්ඩ් මහතාගේ බිරිද වූ එම්.එම් වෙඩර්බන්ඩ් ආර්යාවයි. 1919 ජූලි 19 දින නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයට එක් වී උදාරතර ප්‍රාර්ථනාවකින් යුතුව ඇය කුඩා සයිප්‍රස් පැළයක් එහි රෝපණය කළාය. අද එය අඩි 100ක් පමණ උසට විහිදී ගිය යෝධ සයිප්‍රස් ගසකි.   


යුද්ධයක් හමුවේ දැඩි ලෙස පීඩා විඳින්නෝ කාන්තාවෝමය. එය මැනවින් විඳගත් එම්.එම්. වෙඩර්බන්ඩ් ආර්යාව තම හදවතේ උපන් සාමයේ බලවත් අරුත අදද ලෝකය හමුවේ ජීවමාන සාක්ෂියක් වැනිය.   

 

 

සිව් වසරක් පුරා යුරෝපය, ආසියාව හා අප්‍රිකාව ඇතුළු මුළු ලෝකයම වෙළාගත් යුද්ධය ජාතිවාදයේ තරගය ධනපති ආර්ථික ක්‍රමයේ වැඩීයාම යුද්ධයට හේතු වූ කරුණු කාරණා බව පොතපත අපට කරුණු කියා දේ. එම යුද්ධයට එක්වූ පාර්ශ්වකරුවන් කඳවුරු දෙකක බෙදී ඇත. මිත්‍ර පාක්ෂිකයින් වෙනුවෙන් රටවල් බොහොමයක් එක් වී ඇත. ඒ බ්‍රිතාන්‍ය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය, ප්‍රංශය, රුසියාව, ඉතාලිය, ඇමරිකාව, එක්සත් ජනපදය, බෙල්ජියම, සයිබීරියාව, ජපානය, චීනය, රුමේනියාව, ග්‍රීසිය හා පෘතුගාලය ඇතුලු තවත් රාජ්‍යයන්ද රැසකි.   


යුද්ධයට අනුගත වූ අනෙක් පාර්ශ්වකරුවන් වී ඇත්තේ ජර්මනිය ප්‍රධාන ඕස්ට්‍රේලියාව තුර්කිය හා බල්ගේරියාවයි. යුද්ධයට කඳවුරු බැඳගත් රටවල ඒ ඒ පුරවැසියන්ගේ සංස්කෘතික පවුරු පදනම් සුනුවිසුනු කරමින් ඒ වෙනුවට වෛරය, ද්වේශය, ක්‍රෝධය උරුම කර දීමට යුද්ධය බලවත් වී ඇත.   


කෙසේ වුවත් යුද්ධයට එක්වූවෝ යුද්ධයේ අනිසි ඵලවිපාක 1917 වසරේ කාටත් අවබෝධ වී තිබුණද එහි මැනවින් විඳගත් රටවල සාමාන්‍ය ජනතාව සාමයේ අවශ්‍යතාවය ප්‍රාර්ථනාව වී ඇත. එය යථාර්ථයක් කරගත් එවක ඇමරිකානු ජනපති වුඩ්රෝ විල්සන් මහතා විසින් කරුණු 14 ඇතුළත් යෝජනාවලියක් මත කැඳවූ සාම සාකච්ඡාවක ප්‍රතිඵලයක් මත 1918 නොවැම්බර් 11දා පළමු ලෝක යුද්ධය තාවකාලිකව නතර වී ඇත. එයට යුද්ධ අවසන් වීමට හේතු කාරණා වූ බව සඳහන් වේ.   


අවුරුදු 4ක පළමු ලෝක යුද්ධය නිසා ඇති වූ කම්පනය ලෝකයට කෙසේ දැනුනාද? එසේ නම් අවුරුදු 30 අප රට වෙළාගත් කුරිරු යුද්ධය අපට කළ බලපෑම් මෙපමණ යැයි කිව නොහැක. එය අමතක කරන මෙරට මිනිසුන්ට මෙම ගසක කතාවද වැදගත් වන්නේ දැයි සිතේ.   


වසර අනූනවයකට පෙර එම්.එම්. වෙඩර්බන්ඩ් ආර්යාව ලෝකය සාමය පතා සිට වූ ගස තව කාලයක් සාමයේ පණිවුඩය නව ලොවට කියන්න නුවරඑළියේ වැජඹෙනු ඇතැයි අපේක්ෂා කරමු.   

 

 

 

 

 

 

 

 


නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි