කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සාල වනෝද්‍යානයේ බුදුන් වහන්සේ වෙසක්පුර පසොළොස්වක පොහෝ දිනක පිරිනිවන් පානා ලදී. බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළ පිරිනිවන්පෑම් 03කි. එනම් ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය යන්නයි.  


සම්මා සම්බුද්ධත්වයට පත්වුණ මොහො​තේ උන්වහන්සේ ක්ලේශ් පරිනිර්වාණය කරන ලදි. කුසිනාරා නුවරදි පිරිනිවීමේදී උන්වහන්සේ සම්බුදුකය ආදාහනයේදී ස්කන්ධ පරිනිර්වාණය සිදුවිය. ධාතු පරිනිර්වාණය අනාගතයේදී සිදුවීමට නියමිතය.  


ලොව්තුරා බුදුන්වහන්සේ පිරිනිවන් මංචක​යේදී බුදු නුවණින් දකිනුයේ අනාගතයේ පහළවන පුණ්‍යවන්ත පිරිස් සඳහා ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමටත්, සම්බුදු සසුන අවුරුදු 5000ක් පවතින බැවින් එහි ආලෝකය සඳහාත් ධාතූන් වහන්සේලා විසිරි පැවතිය යුතු බවයි. එබැවින් උන්වහන්සේගේ අධිෂ්ඨානය අනුව ධාතූන් වහන්සේලා විසිරිණි.  


ඒ අනුව ප්‍රධාන වශයෙන් අකුධාතු දෙනම, දළඳා හතරනම, ග්‍රීවා ධාතුව, ලලාට ධාතුන් වහන්සේ ප්‍රධාන ධාතූන් ලෙස විසිරිනි. අනෙක් ශරීර අස්ථි කොටස් අබ ඇට, කඩ සහල්, මුං පියලි පමණට විසිරිනි. ඒවා මහාධාතූන් රන්වන් පැහැ වන්නාහ. මධ්‍යම ධාතුන් මුතු පැහැ වන්නාහ. කුඩා ධාතූන් වහන්සේලා සමන් කැකුළු පැහැ වනු ඇත යන්නයි. මෙලෙස විසිරුණු ධාතූන් වහන්සේලා විවිධ ස්ථානයන්හි වැඩ සිටිති.  


බුදුන්වහන්සේගේ අබ ඇටයක් පමණ ධාතුන් වහන්සේ නමක් යම් තැනක වැඩ සිටීද එම ස්ථානයේ ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටිනවා හා සමානය. එයට යමක් පූජා කරයිද ජීවමාන බුදුන්වහන්සේට පිදුවා හා සමානය, එය සියැසින් දුටුවාද ජීවමාන බුදුන්වහන්සේ දුටුවා හා සමානය. මෙලෙසින් විග්‍රහ කරනුයේ මිහිඳු මහරහතන් වහන්සේය. එබැවින් අප ජීවමාන සංඥාවෙන් ධාතූත් වහන්සේලා පූජා කරයිද බුදුරජුන් රහතන් වහන්සෙලා වෙත ජීවමාන ලෙස කරන ලද පූජාවක් හා සමාන වනු ඇත.  


ශ්‍රී ලංකාද්වීපය ධාතු මන්දිරයක් වැනිය. විශාල වශයෙන් ධාතූන් වහන්සේලා වැඩ සිටිති. ධාතුන් වහන්සේලා වඩිනවාද නැද්ද යන ප්‍රශ්නයක් බොහෝ දෙනාට පවතී. සැබවින්ම එය තුළ ආශ්චර්යවත් කරුණු කිහිපයක්ම පවතී. ශාසන ඉතිහාසය ගවේෂණය කරනවිට පෙනී යන්නේ පැරණි සාහිත්‍ය ග්‍රන්ථයන්ට අනුව ධාතූන් වහන්සේලා ඍද්ධිමත්ව ස්ථානයකින් ස්ථානයකට වැඩිය බවක් නෙපෙනේ. රුවන්වැලි සෑයෙහි ගර්භ නිධානොත්සව, දළදා වහන්සේ වැඩම කිරීම, ග්‍රීවා ධාතූන් වැඩම කිරීම ආදී තවත් බොහෝ සිද්ධින් තුළ ධාතුන් ඍද්ධියෙන් වැඩම කළ බවක් ​​නොපෙනේ. මහරහතුන් වහන්සේලා සහ විවිධ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ධාතූන් වහන්සේලා වැඩම කළ බව පෙනේ.  


එය එසේ වුවද ධාතූන් වහන්සේලා වඩින්නේ නැත යන්න අපට තීරණය කළ නොහැක. යම් යම් සීලාදි ගුණධර්මයන්ගෙන් පොහොසත් ශීලවන්තයන් වෙත ඔවුන්ගේ අධිෂ්ඨාන මත ධාතූන් වහන්සේලා වැඩම කළ අවස්ථාද නැතුවා නොවේ. නමුත් මෙම සිද්ධින් පිටුපස මිනිසුන් මුළා කිරීම ඉතාමත් භයානකය. මක්නිසාදයත් ධාතූන් වහන්සේලා උක්ත සඳහන් කළ පරිදිම අප සලකනුයේ බුදුන් වහන්සේ හා රහතන් වහන්සේලා ලෙසිනි.   


එබැවින් මේවා වැනසීම යමෙක් උපක්‍රම කෙරෙත්ද හෙතෙම ආනන්තරිය කර්මයක් හා සමාන බරපතළ අකුශල කර්ම උපදී. මේ පිළිබඳව මනෝරථපූරණියේ 250 වන ගාථාවේ සඳහන්ය. එබැවින් යමෙක් ධාතූන් වහන්සේලා වෙත අගෞරව කරයිද හෙ​ෙතම හට දුගතියේ ඉපැදීමට පවා සිදුවූ පුවත් ප්‍රේත වස්තුවේ සඳහන්ය. මේවාට පහන් සිතින් ගෞරව කිරීම දිව්‍යාදි උසස් තලවල ඉපැදීමට ද කරුණු යෙදේ. ඒ බව විමාන වස්තුවේ සඳහන් වේ. එබැවින් හැකි හැම විටම ගෞරවයෙන් ධාතු පූජා කිරීම මැනවි.  


අද වනවිට ධාතූන් වහන්සේලා වඩම්මනවා කියා සමහරුන් විවිධ ව්‍යාජ ද්‍රව්‍යයන් ද බෙදා දෙනු ලබයි. තවත් භයානක අවස්ථාවක් වනුයේ ධාතූන් වහන්සේලා වැඩීම් වන ස්ථානයන් වෙත විවිධ අමනුෂ්‍යයන් විසින් විවිධ ඇටකැබලි කරඬුවල බහාලදි.  


පොල්තෙල් පහන්වල​ට, පැන් බඳුන්වලට, විවිධ පුද්ගලයන්ගේ අත්ලට, ධාතූන් වැඩූ සිද්ධීන් අපට හමුවේ. මේවා ප්‍රඥා සම්පත්ව තේරුම් ගත යුතුය. බුදු, පසේ බුදු, මහරහතුන් සසර බැමිවලින් නිවුණු උතුම් පුද්ගලයෝ වෙති. එවැන්නෝ හුදෙක් ආහාර, මල්, සුවඳ, පහන් වැනි ආමිෂ පූජාවන්වලට තැනින් තැනට වැඩම කරනවාද යන්න සිතිය යුත්තකි. තමන් ශීලාදි හා ප්‍රතිපත්ති පූර්වක සිටින පුද්ගලයකු වන්නෙහි නම් සැබැවින්ම දේවියන්ගේ ආධාරයෙන් ධාතුන් වහන්සේලා වැඩ කරනු දෙනු ඇත.  


එසේ නොමැති වුවහොත් විශ්වසනීය කළ මාර්ගයකින් හෝ ඔහුට ලැබිය හැකිය. පුරාවිද්‍යාත්මකව හෝ සඟ පරම්පරාවකින් හෝ කුල පරම්පරාවකින් රැකගෙන ආ ධාතූන් වහන්සේලා අපට විශ්වාසයෙන් පිළිගත හැකිය.  


රහත් ධාතූන් වහන්සේලාගේ හැඩතල හා වර්ණයන් පැහැදිලි ලෙස කිව නොහැක. තරමක් විශාල වන අතර විවිධ ස්වරූපයක් පවතී. මෙරට සීවලි රහතුන්ගේ සහ මිහිඳු රහතුන්ගේ ධාතූ වන්දනාවද අග්‍රශ්‍රාවක ධාතු වන්දනාවද අතීතයේ සිට දිව එන්නකි. එබැවින් යමෙක් ධාතූන් වහන්සේලා වඩම්මවා ගැනීම අරමුණු කරන්හිනෙද ඔහු මහා සමය, ධම්මචක්කපවත්තන ආදි සූත්‍ර සජ්ඣායනා කරමින් පිරිසිදු පිච්චමල් ආදිය පූජා කොට දෙවියන් වෙත එ් බැව් කීමෙන් කලක් යන විට ධාතූන් ලැබීමේ භාග්‍ය පූර්ව ජාතියේ පුණ්‍ය ශක්තියක් සමග මුසුව ලැබෙන්නට පුළුවනි.  


ශීලාදී ගුණධර්ම රැකීම ඉතා වටිනු ඇත. ධාතූන් වහන්සේලා වන්දනා කිරීමෙන් එම ස්ථානයන්ද පුද්ගලයන්ද දිනෙන් දින බබළන්නාවූ පුද්ගලයන් බවට පත්වේ. පිදිය යුත්තන් පිදීම මඟුල් කරුණක් වන්නේ එබැවිනි. ලොව සියළු පූජාවන්ට සුදුසු වූ එකම පුද්ගලයා බුදුන් වහන්​සේය. එබැවින් සියලු චෛත්‍යයන් වෙත ගෞරව කිරීම දෙලොව යහපත උදාවේ.

 

 

ආර්. රධික ජීවන්ත