ජාතික බුද්ධි අංශයක් නැත. ජනාධිපති ආරක්ෂක ඒකකයක් ද නැත. විශේෂ කාර්යය බළකා කියා පොලිස් ඒකකයක් ද නැත. මේ 1982 වර්ෂයයි.   


සන්නද්ධ කල්ලි කිහිපයකි. විවිධ නම් වලින් ඒවා පෙනී සිටී. ප්ලොට්, එල්ටීටීඊ හා ටෙලෝ ඉන් ප්‍රධානය. තම විරුද්ධ මත දරන දේශපාලකයින් ඝාතනය කිරීම හා එම ඝාතනයන් පිළිබඳව විමර්ශන කටයුතු වල යෙදෙන පොලිස් සාමාජිකයින් හා පොලිසියට තොරතුරු සපයන්නන් ඝාතනය කිරිම මෙම කල්ලි වල එක් අරමුණකි. ටෙලෝ මෙම කල්ලි අතුරින් පොලිස​් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කළ පළමු කල්ලියයි. ඒ අතරතුර බැංකු කොල්ලකෑම් ද විටින් විට සිදු වේ. එපමණක් නොව, හමුදා සාමාජිකයින් ඉලක්ක කොට ගත් ප්‍රහාර තුනක් ද මේ දක්වා සිදුව ඇත. ඉන් පළමු වැන්න එල්ටීටීඊය විසින් ද දෙවැනි හා තුන්වැනි ප්‍රහාරයන් ප්ලොට් කල්ලිය විසින් ද සිදු කර ඇත. ඒ සමග එක් කල්ලියක් පළමු වරට බිම් බෝම්බ භාවිතයට ගනිමින් හමුදා රථ පෙළකට ප්‍රහාරයක් එල්ල කිරීමට ද උත්සාහයක් දැරීය. නාවුක හමුදා ජල බවුසර ඇතුළත් ආරක්ෂක රථ පෙළක් එහි දී ඉලක්ක ගත වු අතර එල්ටීටීඊය ඊට මුල් විය. මේ සියලු සිදුවීම් මධ්‍යයේ ඉන්දියාව සමග හොර බඩු ජාවාරම ද රහසිගතව සිදු වේ. යාපනයේ ඇතැම් ප්‍රධාන ව්‍යාපාරිකයින්​ෙග් අනු දැනුම මත සිදු වන එම ජාවාරම හා සන්නදධ කල්ලි අතර කිසිදු සම්බන්ධතාවක් නොමැත. 1972 වර්ෂයේ සිට 1982 දක්වා දශකයක කාලයක් තුළ මෙලෙස සිදුවීම් වාර්තා වන්නේ අන් කිසිදු ප්‍රදේශයකින් නොව යාපනය අර්ධද්වීපයෙනි.  
 
එ්, 1982 වර්ෂයේ සැප්තැම්බර් මස අවසාන සතියයි. ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 20 වැනි දින පැවැත්වීම සඳහා සියල්ල සූදානම් වෙමින් පවතී. ජනාධිපති අපේක්ෂකයන් වු එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙක්ටර් ​ෙකාබ්බෑකඩුව, ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර, සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයේ කුමාර් පොන්නම්බලම්, සම සමාජ පක්ෂයේ කොල්වින් ආර්. ද සිල්වා, නව සම සමාජ පක්ෂයේ වාසු දේව නානායක්කාර, ජනාධිපතිවරණයට තරග වදිති. ඔවුන්ගේ දේශපාලන රැලි දිවයින පුරා පැවැත්වේ. මේ අතර යුද හමුදා මූලස්ථානයෙන් අතිරහස්‍ය ලිපියක් ගුරු නගර්හි යාපනය ආරක්ෂක මූලස්ථානයට හා උතුරු ආඥා ප්‍රදේශ මූලස්ථානයට ලැබේ. ජනාධිපති අපේක්ෂකයින් වන හෙක්ටර් කොබ්බෑකඩුව හා රෝහණ විජේවීර තම දේශපාලන රැලි ඇමතීම සඳහා යාපනය ප්‍රදේශයේ සංචාරය කරන බව හා ඊට අවැසි ආරක්ෂාව ලබා දෙන ලෙස යනුවෙන් අදාළ ලිපියේ සඳහන් වේ. ලිපිය ඇමුණුම හි ඔවුන් ඇමතීමට නියමිත රෑලි පැවැත්වෙන ස්ථානයන් සඳහන් වැඩ සටහන් විස්තරය දක්වා ඇත.   


හමුදා සම්ප්‍රදායට හා හමුදා චර්යා නියෝග වලට අනුව “රහස්‍ය” හා “අතිරහස්‍ය” ලිපි හා සංඥා පණිවිඩ නිකුත් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර අදාළ ලිපි කියවා බැලීම සඳහා කාර්යාල ප්‍රධාන බලලත් නිලධාරී විසින් අදාළ මාණ්ඩලික නිලධාරියා ඉදිරිපිට දී එම ලිපි විවෘත කෙරේ. එවකට යුද හමුදාව භාවිතයේ අද මෙන් ෆැක්ස්, සයිෆර්, ඊමේල් වැනි නව තාක්ෂණික පණිවුඩ හුවමාරු ක්‍රම නොතිබිණි. එහෙයින් සියලු වර්ගයේ පණිවුඩ හා ලියකියවිලි හුවමාරු වුයේ යුද හමුදාවේ සංඥා බළකාය සංඥා පද්ධතිය හා ලිපි හුවමාරු සේවය (ඩිස්පැච් සර්විස්) හරහාය. උතුරේ පිහිටි කඳවුරු හා කොළඹ යුද හමුදා මූලස්ථානය අතර ලිපි හුවමාරුව සඳහා සංඥා බළකාය විසින් ආර්ම් මේල් සර්විස් හමුදා ලිපි හුවමාරු සේවාවක් යාල්දේවි දුම්රිය භාවිතයෙන් පවත්වාගෙන ගියේය. එහිදී සංඥා බළකායේ ඩිස්පැච් රයිඩර් හෙවත් ලිපි රැගෙන යන යතුරුපැදිකරුවෙක් යුද හමුදා මූලස්ථානයේ සිට කොටුව දුම්රියපොළ වෙත අදාළ ලිපි රැගෙන ගොස් යාල්දේවි දුම්රියේ නියාමකයින්ට බාර දීම සිදු විය. දුම්රිය, අලිමංකඩ වෙත පැමිණි පසු නියාමකයින් විසින් එම ලිපි අලිමංකඩ කඳවුරේ ස්ථාන ගතව සිටි සංඥා බළකායේ නියෝජිතයන්ට භාර දෙන ලදී. ඒ 9 මාර්ගය හා යාල් දේවි දුම්රිය මාර්ගය අලිමංකඩ කඳවුර ඉදිරියෙන් දිවෙන බැවින් යාල් දේවි දුම්රිය හා ඒ 9 මාර්ගයේ දිවෙන සියලු හමුදා රථ, කඳවුර ඉදිරියේ නැවැත්වීම එදා සිරිත විය. එහිදී හමුදා ලිපි භාර දීම හා භාර ගැනීම සිදු විය. එය සම්බන්ධීකරණය කිරීම එවකට මාණ්ඩලික නිලධාරියෙක් ලෙස අලිමංකඩ කඳවුරට අනුයුක්තව සිටි පළමු වැනි සංඥා බළකායේ මේජර් ෆරැන්ක් සිල්වා විසින් සිදු කරන ලදී.   

 

 

ස්ථානය, ගුරු නගර් හි පිහිටි යාපනය ආරක්ෂක සේවා මූලස්ථානයයි. මාණ්ඩලික නිලධාරි මේජර් සාලිය කුලතුංග තම කාර්යාල මැදිරියට වි​ෙශ්ෂ ක්‍රියාන්විත භට පිරිස් ඛණ්ඩය භාර නිලධාරි ලුතිනන් එස්.එස්. කැඳවා සුස්, අයි තින්ක් බෙටර් හෑව් දෙයාර් කැම්පේන් අයිට්නරරි මාක්ඩ් ඔන් අ සෙපරේට් ඔප්ස් මැප් (මම හිතන්නේ වෙනම ක්‍රියාන්විත සිතියමක. ඡන්ද ව්‍යාපාරයේ රැලි පවත්වන ස්ථාන වේලාවල් සමග ලකුණු කිරීම වඩා හොඳයි කියලා. එතකොට අපිට මේ ඇමුණුම නැවත නැවත බලන්න ඕනැ වෙන්නේ නැහැ.) යනුවෙන් උපදෙස් දේ. ඇමුණුමට අනුව එකී අපේක්ෂකයින් දෙදෙනාගේ ඡන්ද රැලි වඩමාරච්චි හා තෙන්නමරච්චි කලාප වල තෝරාගත් ස්ථාන කිහිපයක පැවැත්වීමට නියමිතය. මේ අතර සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ ජනාධිපති අපේක්ෂකයා වන කුමාර් පෙන්නම්බලම් සහභාගී වීමට නියමිත ප්‍රධාන රැලි පිළිබඳව ද විස්තර ඔහුගේ කාර්යාල වෙතින් බුද්ධි අංශයට ලැබේ. ලද තොරතුරු වලට අනුව ජනාධිපතිවරණ ඡන්ද ක්‍රියාන්විත සිතියමක්. (ප්‍රසිඩෙන්ෂල් ඉලෙක්ෂන් ඔපරේෂන් මැප්) ක්‍රියාන්විත මැදිරියේ සකස් වේ.   


​ෙම් අතර ආරක්ෂක සේනා ආඥාපති බ්‍රිගේඩියර් සිරිල් රණතුංගගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අපේක්ෂකයින් සහභාගී වන මහජන රැලි සඳහා දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් රැස්වීමක් පැවැත්වේ. ඊට මූලස්ථානයේ පරිපාලන කටයුතු හා බුද්ධි තොරතුරු කටයුතු භාර ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ලුතිනන් කර්නල් දයා විජේසේකර, මාණ්ඩලික නිලධාරී මේජර් සාලිය කුලතුංග බුද්ධි මාණ්ඩලික නිලධාරීන් වු මේජර් සරත් මුණසිංහ, මේජර් ලයනල් බලගල්ල, මේජර් චූලා සෙනෙවිරත්න, සහකාර පොලිස් අධිකාරි ස(z)ර්නි විජේසුරිය හා සහකාර පොලිස් අධිකාරි පුණ්‍යා ද සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වෙති. මෙහිදී මේජර් සරත් මුණසිංහ “සන්නද්ධ කල්ලි වලින් මේ කියන අපේක්ෂකයින් හට තර්ජනයක් එල්ල විය හැකිය යන්න සනාථ වන තරමට බුද්ධි චිත්‍රයක්” (ඉන්ටෙලිජන්ස් පික්චර්) නම් නැහැ. නමුත් එය ආණ්ඩු පක්ෂයේ රැලියක් නම් අනිවාර්යයෙන්ම ඔවුන් කුමන හෝ යම් තර්ජනයක් ඇති කිරීමට උත්සාහ කරන්න පුළුවන්” යනුවෙන් ආරම්භයේදී ප්‍රකාශ කළේය.   


සැබැවින්ම එය නිවැරදි බුද්ධි තොරතුරු ඇගයුමකි. 1975 වර්ෂයේදී ඝාතනයට ලක් කරනු ලැබු ශ්‍රීලනිපයේ යාපනය නගරාධිපති වු ​ෙදාරේ අප්පා ඇතුළු උතුරේ විසු සම සමාජ පක්ෂයේ හා ශ්‍රීලනිපයේ දමිළ දේශපාලකයින් හා ඡන්ද අපේක්ෂකයින් සන්නද්ධ කල්ලි විසින් ඝාතනය කරනු ලැබුවේ ඔවුන් එවකට බලයේ සිටි ආණ්ඩුවේ කොටස්කාරයින් වු හෙයිනි. 1977 න් පසු රාජ්‍ය බලය එජාපයට මාරු වු අතර එතැන් සිට 1982 වර්ෂ​ෙය් ජනධිපතිවරණය දක්වා ඝාතනයට ලක් වුයේ එම පක්ෂයේ අයයි. එජාපයේ පොතුවිල් පාර්ලිමේන්තු මංත්‍රී කනගරත්නම් ඔහුගේ කොළඹ 03 හි පිහිටි නිවසේදී වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමත් සමග එය ආරම්භ විය. ඒ 1978 වර්ෂයේ ජනවාරි 27 වැනිදාය. නිෂ්චිත ලෙස සනාථ නොවුවද එම ඝාතනය සිදු කිරීම සඳහා උමා මහේෂ්වරන් හා ප්‍රභාකරන් යන දෙදෙනාම කොළඹට පැමිණ ඇති බව පසුව ඇතැම් තොරතුරු මගින් හෙළි විය.   


බුද්ධි තොරතුරු පිළිබඳව තවදුරටත් විශ්ලේෂණය කරමින් මෙහිදී මේජර් බලගල්ල මෙසේ ප්‍රකාශ කළේය. විශේෂයෙන් පවතින එජාප රජය සමග බහුතරයක් දමිළ ප්‍රජාව සිටින්නේ නොසතුටින්. ඔවුන් විශ්වාස කරනවා හැත්තෑ හතේ අගෝස්තු වල දමිළ ප්‍රජාවට එරෙහිව පැතිරුණ ප්‍රචණ්ඩත්වය යාපනය පුස්තකාලයට ගිනි තැබීම යන සිද්ධීන් පිටුපස එජාප ආණ්ඩුව සිටින බව. සන්නද්ධ කල්ලි එම තත්ත්වය ඔවුන්ගේ වාසියට හරවා ගන්න ආණ්ඩුව විසින් පවත්වන රැලි වලට පහර දීලා ඒවා කඩාකල්පල් කරන්න පුළුවන්. අනිත් අතට ශ්‍රීලනිප ජවිපෙ ඇතුළු අනිත් පක්ෂ වලට එවැනි තර්ජනයක් නැහැ. මොකද බහුතරයක් ප්‍රජාව ඒ පක්ෂ වලට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා මෙය තමයි අද උතුරේ තියෙන තත්ත්වය.   


කෙසේ වුවද ආරක්ෂක රැස්වීමේදී අපේක්ෂකයන් ගමන් ගැනීමට නියමිත මාර්ගය රැලි පවත්වන ස්ථාන, හා ඔවුන් නවාතැන් ගනු ලබන ස්ථානය වන යාපනයේ සුබාෂ් / අශෝක් හෝටලය යනාදිය ආවරණය වන පරිදි භට පිරිස් සිවිල් හා නිල ඇඳුමෙන් යුතුව ආරක්ෂාව ලබා දිය යුතු බවට තීරණය විය. උතුරු ආඥා ප්‍රදේශ මූලස්ථානය අණ දීම යටතේ ස්ථාන ගත කර ඇති භට පිරිස් ද මේ සඳහා යොදා ගන්නා ලෙස හා ඔවුන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාන්විත උපදෙස් සකස් කිරීමට පෙර අදාළ මාර්ග හා රැලි පවත්වනු ලබන ස්ථානයන් විමර්ශනය (රෙකී) කිරීම සිදු කළ යුතු බවද ආඥාපති නියම කළේය.   


වේලාව (උදෑසන) 0600 පැයට පමණ ඇත. ස්ථානය වව්නියාවේ ඉරට්ටපෙරියකුලම් කඳවුරයි. නව ඒකකයක් වන විජයබාහු පාබල බළ ඇණියේ මූලස්ථානය මෙහි පිහිටා ඇත. අදාළ ඒකකයේ භට පිරිස් රැගත් ජීප් රථ දෙකකින් යුත් වාහන මුරයක් මාන්කුලම් දක්වා ගමන් ගනී. ඒ 9 මාර්ගය ආරක්ෂා කිරීම ඔවුන්ගේ කාර්යයයි. ශ්‍රීලනිප ජනපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව ඇතුළු පිරිස ගමන්ගන්නා රථපෙළ මෙම මාර්ගයේ යාපනය දක්වා යාමට නියමිතව තිබීම ඊට හේතුවයි. ලබාදී ඇති උපදෙස් වලට අනුව මාන්කුලම් සිට අලිමංකඩ දක්වා අදාළ මාර්ගය ආරක්ෂා කිරීම මාන්කුලම් කඳවුරේ ස්ථානගතව සිටින පළමුවැනි සන්නාහ සන්නද්ධ බළකායේ ඇල්ෆා බළඝනයට පැවරී ඇත. ​ෙෆරට් මාස් 1 හා 2 වර්ගයේ සන්නද්ධ විමර්ශන රථ දෙකකින් හා සැලඩින් වර්ගයේ යුද රථයකින් ද සැරයන් වර්ගයේ භට පිරිස් රැගෙන යන සන්නද්ධ රථයකින් ද සමන්විත රැලි (ට්‍රරූප්) දෙකක් ඒ අනුව ඒ 9 මාර්ගයේ අලිමංකඩ හා මාන්කුලම් අතර එකිනෙකට විරුද්ධ හා ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ගමන් ගනිමින් මුර සංචාරයේ යෙදේ. අලිමංකඩ කඳවුරේ ස්ථාන ගත වී ඇත්තේ පළමු වැනි ගැමුණු හේවා බළ ඇණියේ බ්‍රාවෝ කණ්ඩායමයි. තම කඳවුරු ස්ථානයේ සිට චාවකච්චේරි දක්වා මාර්ගය ආරක්ෂා කිරීම ඔවුන්ගේ කාර්යයි. ඒ සඳහා ජීප් රථ දෙකකින් යුත් ආරක්ෂක මුරයක් විසින් අදාළ කාර්යය ඉටු කරනු ලබයි. එතැන් සිට යාපනය නගරය දක්වා හා සෙසු මාර්ග ආරක්ෂා කිරීම පැවරී ඇත්තේ පලාලි, මාදගල් තොන්ඩමනාරු වෙල්​ෙවටිතුරය යන කඳවුරු වල ස්ථාන ගතව සිටිනා පළමු වැනි ගැමුණු හේවා බළ ඇණියටය.   


වේලාව 1000 පැයට පමණ ඇත. ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව යාපනය නගරයට පැමිණේ. ඔහු සමග විශේෂ පුද්ගලයෙකු පැමිණ ඇත. ඒ මහජන පක්ෂයේ නායක සිනමා නළු විජය කුමාරණතුංගයි. පසුව ඔවුන් තම සංවිධායකයින් පෙරටු කොට ගත් රථ පෙළකින් මහජන රැලි ඇමතීම සඳහා පිටත් වේ. ඔවුන්ගේ රථ පෙළට මීටර් සියයක් පමණ පසුපසින් ගමන් ගන්නා සිවිල් ජීප් රථ දෙකකි. ඒ සිවිල් ඇඳුමින් සැරසුණු විශේෂ ක්‍රියාන්විත හා කමාන්ඩෝ භට පිරිස්ය. ගුරු නගර් මූලස්ථානයේ භාෂා පරිවර්තකයෙක් වන රහුමතුල්ලා හා රැලියේදී ප්‍රකාශ වන බුද්ධිමය වටිනාමක් ඇති තොරතුරු සටහන් කර ගැනීම සඳහා බුද්ධි අංශයේ කෝප්‍රල්වරයෙකු ද ඔවුන් සමග ඇත. අපි තව ටිකක් ඈත් වෙලා යමු පිරිස භාරව යන 2/ ලුතිනන් එස්එස් කීය.   


වේලාව 1020 පැයට පමණ ඇත. පිරිස පළමු රැලිය පවත්වන ස්ථානයට පැමිණේ. අති විශාල ජනකායක් ජනපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව ඇතුළු පිරිස මහත් හරසරින් වඩමාරච්චියේ දමිළ ප්‍රජාව විසින් පිළිගනු ලබයි. පිළිගැනී​ෙම් කතාව සිදු කිරීමෙන් අනතුරුව විජය කුමාරතුංග හා ජනපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව රැලිය ඇමතීය. මෙලෙස එක් රැලියක් සඳහා විනාඩි 30 ක පමණ කාලයක් ගත විණි. ඒ අනුව වඩමාරච්චි කලාපයේ මහජන රැලි ඇමතීම අවසන් විය. පැවැත්වු රැලි වලදී සංවිධායකයින් විසින් හමුදාවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය දමිළ ප්‍රජාවට හිරහැර ගෙන දෙන බව පැවසීය. යාපනය පුස්තකාලයට ගිනි තැබී​ෙම් සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා එය නැවත ගොඩ නඟන ලෙසද ඉල්ලා සිටි​ෙය්ය. වර්තමාන ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති මගින් අල මිරිස් ලූනු ගොවියාට පහර වැදුණ බව කියැවිණි. එසේම හෙක්ටර් කොබ්බෑකඩුව හා විජය කුමාරණතුංග හට යාපනයට ඒමට හමුදාවේ හා පොලිසියේ ආරක්ෂාව අවශ්‍ය නොමැති බවද එය යාපනයේ ප්‍රජාව විසින්ම ලබා දෙන බැව් ද ඇතැම් කතාවන්හි දී ප්‍රකාශ විණි.   


උතුරේ ජනයාහට හමුදාවෙන් ඇතැම් අවස්ථා වලදී හරිහැර සිදු වන බව එවකට තිබු චෝදනාවකි. මුර සංචාරයන්, මාර්ග පරීක්ෂණ ස්ථානයන් නිවාස සෝදිසි කිරීම් වැනි කාර්යයන්හිදි මහජනයාට හිරිහැර සිදු වනවා මෙන්ම ඔවුන් සතු ඇතැම් දෑ හට අලාභ හානි වීම් හා ඒවා නැතිවීම් සිදු වන බව ද උසස් මූලස්ථානයන් හට දැනුම් දීම එවකට විටින් විට සිදු විය. විශේෂයෙන් මාදගල්, තොන්ඩමනාරු, වැල්වෙට්ටිතුරය යන කඳවුරු වලට එරෙහිව පැමිණිලි පලාලි මූලස්ථානයට විටින් විට ලැබිණි. එවැනි එක් පැමිණිල්ලක් වුයේ අදාළ කඳවුරු පිටත් කර යවන බෝට්ටු මුර සංචාරකයන් විසින් ධීවරයන්ගෙන් බලහත්කාරයෙන් මාළු ලබා ගන්නා බවය. එවකට තිබු කඳවුරු වල උදෑසන ආහාරය සඳහා මුදල් ගෙවීම සිදු විය. එය සී.අයි.එල්.ආර්. හෙවත් කෑෂ් ඉන් ලියු ඔෆ්‍ රැෂන් ක්‍රමය ලෙස හැඳින්විය. ඒ සඳහා බාහිරෙන් ද්‍රව්‍ය මිලදී ගත හැක. එසේ ලබා දෙන මුදලින් අනිවාර්යයෙන් ධීවර බෝට්ටු වලින් ලබා ගන්නා මාළු සඳහා අදාළ මුදල ගෙවිය යුතු බවට උපදෙස් විටින්විට දෙනු ලැබිණි. එසේම නිවාස සෝදිසි කිරීමෙන් පසුව එල්ල විය හැකි ​චෝදනා වැළැක්වීම පිණිස ගෙහිමියන් විසින් සහතික කළ යුතු ක්ලියරන්ස් නෝට් හෙවත් නිෂ්කාශන ෆොර්මයක් එවකට පලාලි මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරිව සිටි මේජර් අශෝක ජයවර්ධන විසින් කඳවුරු වලට නිකුත් කරන ලදී. මේ සියල්ලටම වඩා බරපතළ චෝදනාවක් එවකට ආණ්ඩුවට එල්ල වී තිබිණි. එය 1979 වර්ෂයේදී ජනාධිපති ජයවර්ධන විසින් යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි වු බ්‍රිගේඩියර් තිස්ස වීරතුංග උතුරේ නිසි බලධරයා (කම්පිටන්ට් ඔතොරිටි) ලෙස පත් කරනු ලැබීමෙන් පසුව එම වසරේ ජුලි 20 වැනි දින සම්මත කර ගනු ලැබු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද උපයෝගී කර ගනිමින් සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම් හා එම වකවානුව තුළ රජය ක්‍රියාකර තිබු ආකාරය පිළිබඳවය. උතුරේ ජ්‍රජාව විසින් එජාපය හා ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීමටත් ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව පිළිගැනීමටත් හේතු වු ප්‍රධාන සාධකය එය විය.   
වේලාව 1400 පැයට පමණ ඇත. ජනපති අපේක්ෂකයා ඇතුළු පිරිස දිවා ආහාරය සඳහා යාපනයේ අශෝක් හෝටලය වෙත පැමිණේ. 2/ලුතිනන් එස්එස්. ඇතුළු භට පිරිස් පැමිණි ජීප් රථ හෝටලය අසල පසෙකින් ගාල් කෙරේ. ජීප් රථයෙන් බසින 2/ලුතිනන් එස්එස් දෙසට විජය කුමාරණතුංග පැමිණේ. මල්ලී, බොස් කැමති නැහැ ආමි එකෙන් එනවට ඔහු එසේ කියා හෝටලය තුළට ගියේය. මොකක්ද සර් එයා කිව්වේ. පිරිසේ සිටි කමාන්ඩෝ සැරයන්වරයා ඇසීය. එයාලා කැමති නැහැ. හමුදාව එනවට. කමක් නැහැ අපි ගුරු නගර් යමු ලන්ච් එක අරගෙන ලැහැස්ති වෙලා ඉන්න. මම මේජර් මුණසිංහට මේ ගැන කියන්නම් යනුවෙන් 2/ ලුතිනන් එස්එස් පවසා තම භට පිරිස සමග ගුරු නගර් මූලස්ථානය බලා පිටත් වේ.   


ජනපති අපේකෂක හෙක්ටර් කොබ්බෑකඩුව විජය කුමාරණතුංග සමග උතුරට පැමිණිම ඉතා වාසිදායි විය. ඔහු සිනමා නළුවෙක් ලෙස ජනප්‍රිය වී සිටීම පමණක් නොව ඔහුගේ ප්‍රිය මනාප හා ප්‍රසන්න බවට උතුරේ බොහෝ ජනයා ආකර්ෂණය විය. ලද තොරතුරු වලට අනුව ඇතැම් සන්නද්ධ කල්ලි සාමාජිකයින් පවා ඔහු දැක බලා ගැනීම සඳහා පැමිණ සිට ඇත. උතුරේ එදා ඔහු ලත් මෙම පිළිගැනීම නිසා 1986 වර්ෂයේදී විජය කුමාරණතුංග ඇතුළු පිරිසට යාපනයට පැමිණ එල්ටීටීඊ හමු වීමෙන් පසුව ඔහුව දැක ගැනීමට පැමිණ සිටි යාපනයේ තරුණ ප්‍රජාව ඇමතීමට අවස්ථාවක් ද උදා විය. මන්නාරම අඩම්පන්හිදී ඇති වු සටනකදී හමුදාවේ කිහිප දෙනෙකු එල්ටීටීඊයට හසු වීමෙන් පසු ඔවුන්ව නිදහස් කර ගැනීමේ අරමුණින් යුතුව ඔහු මෙසේ උතුරට පැමිණියේය.   


වේලාව 1430 පැයට පමණ ඇත. පස්වරුවේ පැවැත්වීමට නියමිත මහජන රැලි ආසන්නයේ රැඳී නොසිට තම කාර්යය ඉටු කරන ලෙස මේජර් මුණසිංහ උපදෙස් දේ. ඒ අනුව 2/ලුතිනන් එස්එස්. ඇතුළු භට පිරිස වලිකාමම් කලාපයේ චුන්නාකම් මල්ලාකම් තෙලිප්පලේ යන ස්ථානයන්හි පවත්වනු ලබන මහජන රැලි ජංගම මුරයක ස්වභාවයෙන් ආවරණය කරයි. වේලාව 1730 පැයයි. ජනපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව ඇතුළු පිරිස තම රැස්වීම් අවසන් කොට කොළඹ බලා යාමට පිටත් වේ. ඉතිහාසයට අනුව නිදහසින් පසු යාපනය වෙත පැමිණ ඇත්තේ සිංහල රාජ්‍ය නායකයන් අතළොස්සකි.   


එනම් 1951 වර්ෂයේදී අගමැති ඞී.එස්. සේනානායක 1974 වර්ෂයේදී අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යාපනයේ නගරාධිපතිව සිටි ඇල්ප්‍රඩ් දොරේඅප්පාගේ ආරාධනය පරිදි ඔහු විසින් සංවිධානය කළ විශාල ජනරැලියක් ඇමතීම සඳහා පැමිණ ඇත. ඒ හා සමාන ජන රැලි කිහිපයක් ජනාධිපති ආපේක්‍ෂක හෙක්ටර් කොබ්බෑකඩුව තම යාපනය සංචාරයේදී ඇමතීය.   


ශ්‍රීලනිප ජනපති අපේක්‍ෂක හෙක්ටර් කොබ්බෑකඩුව ඇතුළු පිරිසගේ යාපනය සංචාරයෙන් පසුව ජවිපෙ ජනපති අපේක්‍ෂක රෝහණ විජේවීර ඇතුළු පිරිසක් පැමිණේ. ඔහු සහභාගි වූ රැලි වලිකාමම් කලාපයේ චුන්නාකම්, මල්ල​ාකම් තෙලිප්පලිලේ යන ස්ථානයන්ට පමණක් සීමා වුණි. රැලිවලට සහභාගි වූවන් ගෙන් බහුතරය විශ්වවිද්‍යාල සිසුහු වූහ. ඒ අතරම සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසයේ ජනපති අපේක්‍ෂක කුමාර් පොන්නම්බලම් ගේ මහජන රැලිිද පැවැත්විණි. ඔහුගේ රැලිවලට සහභාගි වූ බහුතරය මැදිවියේ හා මහලු අයවලුන් විය. හමුදාව ආරක්‍ෂාව දෙන මුවාවෙන් දේශපාලන පක්‍ෂවල තොරතුරු රැස්කරන බවට ඔහුගේ රැලිවලදී ප‍්‍රකාශ විණි.   


කෙසේ හෝ මෙලෙස පක්‍ෂ විසින් පැවත්වන ලද මහජන රැලිවලින් රැස්කරගත් වැදගත් බුද්ධි තොරතුරු අැතුළත් තක්සේරු වාර්තාවක් මූලස්ථානයට ලබා දේ. ඉන් දැනුවත් වූ ආඥාපති බි‍්‍රගේඩියර් රණතුංග යුද හමුදාපති මේජර් ජෙනරාල් තිස්ස වීරතුංග හා ආරක්‍ෂක ලේකම් කර්නල් සී.ඒ. ධර්මපාල හට දැනුම් දීමෙන් අනතුරුව ජනාධිපති ජයවර්ධන දැනුවත් කරයි. උතුරට ඔහුගේ පැමිණීම අත්‍යවශ්‍ය බවත් එසේ නොවුවහොත් උතුරින් කිසිදු ඡන්දයක් අපේක්‍ෂා කළ නොහැකි බවත් ඔවුන්ගේ අවවාදය වූවා විය හැක.   


ඒ ඔක්තෝම්බර් මස මුල් සතියේ දිනයකි. කොළඹ යුද හමුදා මූලස්ථානය විසින්, ගුප්ත සංඥා අක්‍ෂර භාවිතයෙන් එවන ලද අතිරහස්‍ය සංඥා (ස්ලයිඩෙක්ස් පණිවිඩයක්) ගුරුනගර් හි ‘යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයට හා පලාලි හි උතුරු ආඥා ප‍්‍රදේශ මූලස්ථානයට ලැබේ. ගුරුනගර් මූලස්ථානයේ දෙවැනි මාණ්ඩලික නිලධාරී මේජර් සාලිය කුලතුංග එය ලුතිනන් එස්.එස්. වෙත ‘ඩිකෝඩ්’ කිරීම වීකේත කිරීම සඳහා ගුප්ත සංඥා අක්‍ෂර කාඩ්පත ‘ස්ලයිඩෙක්ස්’ කාඩ්පත සමගින් භාර දේ. විකේත කිරීමෙන් අනතුරුව අදාළ ‘ස්ලයිඩෙක්ස්’ පණිවිඩය මෙසේ කියැවිණි. ‘එච්.ඊ. ද ප‍්‍රසිඩන්ට් විල් විසිටි ජැෆ්නා ටූ ඇඩ්රස් අ පොලිටිකල් රැලි ඇට් දොරේඅප්පා ස්ටේඩියම් ‘‘ජනාධිපතිවරයා දොරේ අප්පා ක‍්‍රීඩාංගණයේදී දේශපාලන රැලියක් ඇමතීම සඳහා යාපනයට පැමිණෙන බව හා ඒ සඳහා අවැසි ආරක්‍ෂක කටයුතු සංවිධානය කරන ලෙස එහි සඳහන් වී තිබුණි.   


ජනාධිපතිගේ යාපනය සංචාරය සඳහා ආරක්‍ෂාව සැපයීම සම්බන්ධයෙන් කටයුතු කිරීම පළමුවැනි ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරී වූ ලූතිනන් කර්නල් පී. පක්‍ෂවීර වෙත පැවැරුනි. අණදෙන නිලධාරී ඒ සඳහා තම බළඇණියේ ‘ආරක්‍ෂක නිෂ්කාශනය’ (සිකියුරිටි ක්ලියරන්ස්) ලත් හාරසියයක පමණ ‘භට මට්ටමකින්’ (ට්රුප් ලෙවල්) යුත් තෝරාගත්’ නිලධාරීන් හා භට පිරිසක් තම විධායක අධිකාරි ධුරය හෙබවූ කපිතන් ශ්‍රීමාල් මෙන්ඩිස්ගේ අණදීම යටතේ යෙදෙවිය. ඊට මාන්කුලම් කඳවුරේ සිට පැමිණි සන්නාහ සන්නද්ධ බළකායේ රැලි දෙකකින් යුත් සන්නද්ධ රථ ද ගුරුනගර් කඳවුරේ සිිටි කමාන්ඩෝ භට පිරිස් ද යොදා ගැනිණි.   


ජනාධිපති පැමිණීමට පෙර දින දොරේඅප්පා ක‍්‍රීඩාංගණය පරීක්‍ෂාවට ලක් කෙරිණි. ඊට බෝම්බ නිෂ්ක‍්‍රීය අංශයේ සහාය ද යොදා ගැනිණි. භට පිරිස් ස්ථානගතවීම ඉන් අනතුරුව සිදුවිණි. පසුදින ජනාධිපතිවරයා එනතෙක් ඔවුනට එසේ රැඳී සිටිය යුතු ය. ‘වී විල් එස්ටැබිලිෂ් ත‍්‍රී කෝඩින්ස් අවුයර් ඉනර් ක්ලෝස් ප්‍රොටෙක්ෂන්’’ අපි ආරක්‍ෂක වළලූ තුනක් ස්ථානගත කරනවා. ‘පිටත ඇතුළත හා ළඟ ආරක්‍ෂාව... කපිතාන් මෙන්ඩිස් තම පෙරකථනයේදී කීය. යාපනයේ වෙසෙන තෝරාගත් දමිළ ව්‍යාපාරික ප‍්‍රජාවේ පාක්‍ෂිකයින් හා රජයේ සේවකයින් පිරිසක් රැලියට සහභාගී වන බවද ඔවුන් සියල්ල දැඩි පරීක්‍ෂාවකට ලක් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.   


ලද පණිවිඩයකට අනුව 2 ලුතිනන් එස්.එස්. අණදෙන නිලධාරී හා කපිතාන් මෙන්ඩිස් හමුවේ ‘‘ප‍්‍රසිඩන්ට් ඊස් ගොයින්ටු ස්ටේ ඉන් ජැෆ්නා රැලියෙන් පස්සේ ජනාධිපති රාත‍්‍රීයේ නතර වෙනවා. යාපනය කොටුවේ ලන්දේසි නිල නිවාසයේ මෙය රහසක් ඔහුට ලබා දෙන උපක‍්‍රමික ආරක්‍ෂක මුරයේ අණදෙන්නා ඔබයි. ජනාධිපති මෙවර නුවරඑළියට ආ අවස්ථාවේ දී ඔබ තමයි ඒ මුරයටත් අණ දුන්නේ යන ලෙසින් අණදෙන නිලධාරී කීය.   


එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සෑම වසරකම අප්‍රේල් මස නුවරඑළියේ තම නිල නිවසේ දින 8 x 10 ක කාලයක් ගත කිරීමට පුරුදුව සිටියේය. 1982 වර්ෂයේ දී 2/ ලුතිනන් එස්.එස්.ගේ අණදීම යටතේ පළමුවන ගැමුණු හේවා බළඇණියේ පනස් දෙනෙකුගෙන් යුත් ජනාධිපති උපක‍්‍රමික මුරයක්’ (ප‍්‍රසිඩන්ට්ස් ටැක්ට්කල් ගාඩ්) යෙදවිණි. මහනුවර පිහිටි මධ්‍යම ආඥා ප‍්‍රදේශ මූලස්ථානයේ ආඥාපති වූ ලූතිනන් කර්නල් ආරියප්පෙරුම හා නුවරඑළියේ පිහිටි තුන්වැනි සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී වූ ලූතිනන් කර්නල් රංජන් සිල්වා ගේ අධීක්‍ෂණය පරිදි මුරයේ කටයුතු සිදුවිණි. ජනාධිපති නිල නිවස පරිශ‍්‍රයේ දොරටු අසල සම්මාන මුරය යුද හමුදා පොලිසියේ ලූතිනන් කාලිංග ගුණරත්න ගේ අණදීම යටතේ දස දෙනෙකුගෙන් යුත් භට පිරිසකින් ඉටුවිණි. ආධාර භට පිරිසක් ලෙස 2/ ලුතිනන් ලෙනාඩ් මාර්ක් ගේ අණදීම යටතේ තිස්දෙනෙකුගෙන් යුත් ගැමුණු ඛණ්ඩයක් තුන්වැනි සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ ස්ථාන ගතකර තිබිණි.මහනුවර නුවරඑළිය වැනි සාමකාමී ප‍්‍රදේශයන්හි පිහිටි ජනාධිපති නිල නිවාසයන් සඳහා එදා ආරක්‍ෂාව සැපයුවේ ඒ අයුරිනි.   


වේලාව පසු දින 1500 පැයයි. ජනාධිපති ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් යාපනයට පැමිණේ .100 කට ආසන්න පිරිසකගෙන් යුත් රැලියක් ජනාධිපති අමතයි. යාපනය කොටුව තුළ පිහිටි නිල නිවසේ රාත‍්‍රීය ගතකර පසු දින ඔහු නැවත කොළඹ බලා ගමන් කරයි. රැලියේ සාමාන්‍ය සිවිල් ජනයාට වඩා වැඩි හමුදා පිරිසක් ජනාධිපතිගේ කථාවට සවන්දීමට පැමිණ සිටි බවට පසුව කටකථාවක් පැතිරේ. දිනය ඔක්තෝබර් මස 20 දාය. ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල නිකුත් වේ. ශ්‍රීලනිපයේ ජනපති අපේක්‍ෂක හෙක්ටර් කොබ්බෑකඩුව ජනපති තරගයෙන් පරාජය වේ. එහෙත් ඔහු නොසිතුවිරු ලෙස ප‍්‍රභාකරන්ගේ හා එල්ටීටීඊයේ නිජභූමිය වූ ‘වඩමාරච්චි කලාපය’ ද ඇතුළු තවත් ආසන කිහිපයක් ජයගනිමින් ‘යාපනය දිස්ත‍්‍රික්කයේ’ සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසයේ නායක කුමාර් පොන්නම්බලම් හා කරට කර මෙන් සිටි යමෙකුගේ ජාතිය හා ආගමට වඩා ඔහුගේ ‘ප‍්‍රතිපත්තිගරුක වීම’ වඩා වැදගත් බව තේරුම් කරගැනීමට එය කදිම නිදසුනක් විය.