ගාල්ල ලන්දේසි රෙපරමාදු දේවස්ථානය

 

අද දින අපි ඔබ වෙත ගෙන එන්නේ ගාලු කොටුවේ ඇති තවත් විස්මය උපදවන ස්ථානයක් පිළිබඳවයි. ඒ වනාහි ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හෙවත් “කුරුස පල්ලියයි”.


ගාල්ල කොටුවේ නව දොරටුවෙන් ඇතුළු වූ පසු හමුවන හතරමං හන්දියෙන් වම්පසට වැටී ඇති මාර්ගයේ (පල්ලිය වීදිය) ඔස්සේ මීටර් 150ක් පමණ ගිය විට දකුණු පසින් මෙම ලන්දේසි රෙපරමුදු දේවස්ථානය දැකගත හැකි වේ. එහි ඉතිහාසය සොයායන විට පෙනීයන්නේ එයට වසර 267ක් තරම් වූ දීර්ඝ ඉතිහාසයක් පවතින බවයි. ලන්දේසි පාලන සමයේදී ගාල්ලේ කොමාන්දියුන්වරයා ලෙස කටයුතු කළ කැස්පාර් ඩී. යෝන්ග් මහතා විවාහ වුවද බොහෝ කලක් ගතවනතුරු දරු සුරතල් බැලීමට දෛවය විසින් ඔවුන්ට ඉඩලබාදී නොමැත. මෙයින් මහත් සිත්තැවුලට පත් ඔහුට බොහෝ කලකට පසු පියෙකුවීමේ වාසනාව උදාවිය. මෙයින් මහත් උද්දාමයට පත් ඔහු දෙවියන් වහන්සේට ස්තූති කරනු පිණිස තමන්ගේ වියදමින් මෙම රෙපරමාදු දේවස්ථානය කරවා ඇත.


1752දී ඉදිකරන ලද මෙම සුවිසල් දේවස්ථානයේ සැලසුම් ශිල්පියා වූයේ එවකට සිටි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ හා නැව් තනන්නන්ගේ පරීක්ෂකවරයා ලෙස කටයුතු කල ඒබ්‍රහම් අන්තෝනිස් මහතාය. මෙහි පාදම කුරුසයක හැඩයක් ගත් නිසා “කුරුස පල්ලිය” යන නාමයද එකල මේ සඳහා භාවිතවී තිබේ.


ලෝකයම විස්මයට පත්කරන්නාවූ ගාලු කොටුවේ විස්මය තවත් වැඩිකරන ස්ථානයක් ලෙස මෙම ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හැඳින්විය හැකිය. එසේ හැඳින්වීමට සුදුසු අපූර්වතම අංග රාශියක් මෙම දේවස්ථානයේ හා එය අයත් භූමියේ කැටිව පවතී. දැවැන්ත දැවමය දොරටුවෙන් දේවස්ථානයට පිවිසෙන ඔබ පය තබන්නේ ඉංග්‍රීසි අකුරු හා විවිධ රූප කොටා ඇති ගල්පුවරු ඇල්ලූ ගෙබිමකටය. එම අකුරු ඉංග්‍රීසි වුවද එම අකුරු එකට ගලපා එහි අන්තර්ගත විස්තර තේරුම් ගැනීමට උත්සහ කළද ඔබට එය නොහැකි වනු ඇත. එයට හේතුව ඒවා ලියා ඇත්තේ එකල ලන්දේසි භාෂාවෙන් වීමය.


දේවස්ථානයේ ගෙබිම පුරා අල්ලා ඇති විවධ ප්‍රමාණයන්ගෙන් යුත් මෙම ගල්පුවරු වනාහි එකල මියගිය ලන්දේසි හා බ්‍රිතාන්‍ය ජාතික ප්‍රභූන්ගේ සොහොන්වල ඵලකයන්ය. දේවස්ථානයේ ඇතුළත බිම අල්ලා ඇති ඇතැම් ඵලක යට සොහොන් පවා තිබූ බවට සාධක ලැබී තිබේ. එනම් දේවස්ථානය ඇතුළතද මිය ගිය ඇතැමුන්ගේ මෘත දේහ තැන්පත් කර තිබේ. මෙවන් සොහොන් පුවරු 50කට ආසන්න ප්‍රමාණයක් දේවස්ථානයේ ඇතුළත ගෙබිම සැරසීම සඳහා යොදාගෙන ඇත.


සෑම ඉරු දිනකම පවත්වන දේව මෙහෙයේදී කතෝලික බැතිමතුන් මෙම සොහොන් පුවරු මත සිටගෙන හෝ ඒ මත පනවා ඇති අසුන් මත හිඳගෙන දෙවියන් සිහිකරනු ලබයි. මෙහි අල්ලා තිබෙන පැරැණිම සොහොන් පුවරුව 1662 වර්ෂයට අයත්වන අතර එය දේවස්ථානය ඉදිවීමටත් පෙර මියගිය අයෙකුගේ සොහොන් පුවරුවකි. එය දේවස්ථානය ඉදිවීමෙන් පසු මෙහි තැන්පත් කරන්නට ඇත.

 

කළු මැදිරිය දැවයෙන් කරන ලද ධර්මාසනය

 

රහස් සොහොන් ගැබට පිවිසෙන දොරටු ද්විත්වය

 

 


දේවස්ථානයේ ඇතුළු වූ පසු ඉදිරියෙන් පෙනෙන බිත්තියේ දක්නට ලැබෙන්නේද කිරිගරුඬවලින් කරන ලද සොහොන් පුවරු රාශියකි. දේවස්ථානයේ ඇතුළත වම් පසින් විශේෂයෙන් සකස් කරන ලද පීඨිකාවක පැරැණි ඕගනයක් වේ. කොළඹ සිට මෙහි ගෙනවිත් ඇති එම ඕගනය මෙම දේවස්ථානයට ගෙනවිත් වසර 250කට ආසන්න බවට සාධක ඇත. දැනට එය අක්‍රීය තත්ත්වයෙන් පවතී. අතීතයේදී එය ප්‍රධාන දොරටුවට ඉහළින් වූ විශේෂ පීඨිකාවේ තබා වාදනය කරමින් ගීතිකා ගැයීම සිදුකර ඇත.
එම ඕගනය අසලම එයට දකුණු පසින් තවත් සුවිශේෂී නිර්මාණයක් වේ. ඒ වනාහි කළු මැදිරිය දැවයෙන් කරන ලද ෂඩස්‍රාකාර ධර්මාසන කුටියයි. එදා ප්‍රධාන දේව මෙහෙයන් පවත්වා ඇත්තේ මෙම ධර්මාසනයේ සිටය. මෙම දේවස්ථානයේදී පළමුවෙන්ම බවුතිස්ම කරන ලද තැනත්තා වන්නේ මෙය ගොඩනැගූ ඩී යෝන්ග් මහතාගේ දියණියයි.
එය 1755 අගෝස්තු මස 14වන දිනක සිදුකර ඇති අතර එම අවස්ථාව සිහිකරනු පිණිස විශේෂ පුවරුවක් වම් පස බිත්තියේ සවිකර තිබේ. එහි විශේෂත්වය වන්නේ බවුතිස්ම කරවූ දියණිය එම අවස්ථාවේ ඇඳ සිටි උඩුකය ඇඳුමද එම පුවරුවට ඇතුළත් කර තිබීමය.


දේවස්ථානයේ පිටත දකුණු පසින් පොළොව යට දොරගුළු දමන ලද දොරටු දෙකකින් සමන්විත රහස් කුටියක් වේ. මෙයද අතීතයේ මියගිය පුද්ගලයන්ගේ සොහොන් තැනීමට භාවිත කර ඇති බවට සාධක ලැබී තිබේ. දේවස්ථානය වටා වූ දේවස්ථානයට අයත් භූමියේ හාත්පස දක්නට ලැබෙන්නේ සොහොන් පුවරු සිය ගණනකි. ඒ අනුව පෙනීයන්නේ දේවස්ථානය වටාද, දේවස්ථානය ඇතුළත බිම මෙන්ම බිත්තිද වෙන් කර ඇත්තේ මළවුන් සිහිපත් කිරීමට බවය.


ගාල්ල කොටුවේ ලන්දේසි රෙපරමාදු දේවස්ථානයේ ඇති කුතුහලය දනවන, විස්මය දනවන අංග පිළිබඳව තවදුරටත් ලිවිය හැකිවුවද ඉඩ කඩ සීමා සහිත බැවින් මෙසේ අවසන් කිරීමට සිදුවේ. නමුත් මේ ලිපිය දැක ගාලු කොටුවට පැමිණෙන ඔබ කුමන ආගමකට අයත් වුවද මේ අපූර්වතම දේවස්ථානයට පැමිණිම අනිවාර්ය වනු ඇති බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත.

 

දේවස්ථානයේ ඇතුළත ගෙබිම සොහොන් පුවරු අල්ලා ඇති ආකාරය

 

දේවස්ථානයේ ඇතුළත ඉදිරිපස බිත්තියේ සොහොන් පුවරු අල්ලා ඇති ආකාරය

 

 

 


කේ. උදේනි අරුණසිරි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
රත්නපුර