IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ග්‍රහ ලොව මව් සඳු ඔබටත් ළෙන්ගතුද ?

ග්‍රහ මණ්ඩලයේ මව් සඳුය. මේ සඳුගේ ළෙන්ගතුකම ගැන කතා කිරීමට ප්‍රථම අපි දැන් සඳුගේ ස්වභාවය ගැන මදක් කරුණු විමසා බලමු. චන්ද්‍ර දිව්‍ය රාජයා ලෙස භාවිත කරන නමුත් ග්‍රහ ලෝකයේ මාතාව නැතහොත් අම්මා ලෙස සලකනු ලබන ස්ත්‍රී වර්ගයක් ග්‍රහයෙකු ලෙස සඳු හඳුන්වාදිය හැකිය. විශේෂයෙන් චන්ද්‍රයාගේ චපල ගතිය නිසා එසේ ගණන් ගැනීම යුක්ති සහගතය. මෙතරම් වෙනස් වන ග්‍රහයෙක් නොමැත. දිනපතා සඳුගේ ශරීරය වෙනස්වන බව අපි කවුරුත් දන්නා කරුණකි. නමුත් මේ අයුරින් සිතිවිලි ගතිගුණ ක්‍රියාවලිය වෙනස්වන බව දන්නේ ජ්‍යොතිර්වේදීන් පමණි.   


මා මේ ලිපියෙන් පෙන්වාදීමට අදහස් කරන්නේ ඔබගේ කේන්ද්‍රයේ ඒ රාශිවලදී සඳු සිටීම අනුව ඔබට ලැබෙන ගුණඅගුණ පිළිබඳ සරල විග්‍රහයකි.   


මේ සඳු නැතහොත් චන්ද්‍රයා අව පක්ෂයේදී පාප ග්‍රහයෙකු ලෙසත් පුර පක්ෂයේදී සුබ ග්‍රහයෙකු ලෙසත් සැලකේ. අපි සඳුගේ පුර පක්ෂය හා අව පක්ෂය තේරුම් ගනිමු. පසළොස්වක පෝය දෙපස දින 05 බැගින් දෙපැත්තට පුර පක්ෂයට අයත්වේ. ඉතිරි දින 10 මධ්‍යම ලෙසත් මාස පෝය දිනයේ සිට දින 05 බැගින් දෙවැන්නට අව චන්ද්‍රයා ලෙසත් හැඳින්වේ. උ.ව. පසළොස්වක පො​්ය 20 නම් පුර පක්ෂය 15 - 25 අතර දින අයත් වේ. සෙත්කවි ආදිය කියවීම මේ කාලය තුළ සිදුකළ යුතුයි.   


දහවල් කාලයේ උපදින අයට සඳුගෙන් ලැබෙන ළෙන්ගතුකම නැතහොත් බලය අඩුයි. රාත්‍රී කාලයේ උපන් අයට සඳුගෙන් ලැබෙන බලය වැඩියි. චන්ද්‍රයා බලවත්වන්නේ කටක හා වෘෂභ රාශිවලය. නීච වන්නේ වෘශ්චික රාශියේදීය.   


කිසියම් කේන්ද්‍රයක සඳු උච්ච හා ස්වක්ෂේත්‍ර වූ විට සුබ ඵල ලැබෙන්නයි. බොහෝදෙනා සිතුවත් එය වැරදි වන අවස්ථා ඇත. මේ අයුරින් සඳු බලවත් කේන්ද්‍රවල සඳු මහා දශා අතුරු දශාවල කාලවලදී තමාට හිතවත් ඥාතිවරියකගේ මවගේ සහෝදරියගේ, නැන්දා, කුඩම්මා ආදීන්ගේ මරණ මේ කාලවලදී සිදුවීමට ඉඩ තිබෙන බැවිනි. මේ අනුව සඳු උච්ච වීම (බලවත් වීම) ලෞකික වශයෙන් අශුභ ඵල දෙන පිහිටීමකි. නමුත් මේ පිහිටීම ලෝකෝත්තර දියුණුවට නම් ඉතාම හොඳයි. මේ අනුව සඳු බලවත් වන අයගේ තණ්හාව ක්‍රෝධය මානය ඊර්ෂ්‍යාව උඩඟුකම ආදී අකුසල ධර්මතා දක්නට නොමැත. සඳු උච්චව සිටින අයට මේ කාලවලදී නව යාන වාහන ඉඩකඩම් තනතුරු පවා අහිමිවීමට යෑමට හේතු වේ.   


මෙලොව වශයෙන් සඳු නීච වීම (සඳු නීච වන්නේ වෘශ්චික රාශියේය) ඉතාම හොඳ පිහිටීමකි. මෙවන් අය මෙලොව වශයෙන් උසස් දියුණුව ලබන අය වේ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ සඳු නීචයි.   


අපි දැන් රාශි චක්‍රයේ ඒ ඒ රාශිවල භාවවල සඳු සිටීමෙන් කේන්ද්‍ර හිමියාට හොඳ නරක නැතහොත් ළෙන්ගතුකම ලැබීම නොලැබීම ගැන කරුණු සොයා බලමු.   


ලග්නයේ සඳු   


කිසියම් කේන්ද්‍රයක ලග්නයේ නැතහොත් 1 සඳු සිටීම යහපත් නොවන බව සඳහන් කිරීමට පිළිවෙන. විශේෂයෙන් ලග්නයේ හැර සෙසු රාශිවල සඳු සිටීම සුබ බව සඳහන් කරුණු කැමැත්තෙමි.   


සඳු ලග්නයේ සිටින අයගේ ලෞකික දියුණුව අඩුයි. කිසියම් දෙයක් ගැන ඕනෑවට වඩා සිතයි. දුර දැක්ම වැඩියි. සිතින් මවාගෙන ප්‍රවේශමෙන් ජීවත්වීමට උත්සාහ ගනී. චංචල ගතියද වැඩියි. එය ලෞකික දියුණුවට බාධාවකි. නමුත් සඳු ශනි සංයෝග වී සිටියොත් මේ ස්වභාවය තරමක් වෙනස්වීමට ඉඩ තිබේ.   


දෙවැන්නේ සඳු සිටීම   


දෙවැන්නේදී චන්ද්‍රයාගේ ගුණ අගුණ දෙකම දක්නට ලැබේ. නමුත් ගුණ නැතහොත් සුබ ඵල වැඩියි. සඳු දෙවැන්නේ සිටින අයගේ විවාහ ජීවිතය සාර්ථකයි. පවුලේ සැමට බොහෝ හොඳ ඇල්මක් තිබේ. අඹුදරු ආදීන්ට ප්‍රියයි. තමාට අන් අයද එසේමයි. මව්ටද ඉතාම හිතවත්ය. හිතවත්කම් දක්වන අයද වැඩිය. ධනය අතින් විශාල ධන යෝගයක් නැතත් මුදල්වලින් අගහිඟකම් නොමැත. ඕනෑකමට කොහෙන් හෝ මුදල් ලැබේ. දුටුවන් ප්‍රිය කරන සෞම්‍ය මුහුණක් ඔවුන්ට තිබේ. බොරු වාචාල කතාවලට නොයයි. කේන්ද්‍රයේ 2 වැන්නේ සඳු සිටින අයට සඳු මහා දශාව අතුරු දශාව විවාහය සඳහා ඉතාම සුබ කාලය වේ.   


තුන්වැන්නේ සඳු සිටීම   


කේන්ද්‍රයේ 3 වැන්නේ සඳු ඉතාම සුබ ඵල ගෙන දේ. මෙය ඉතා හොඳ ඥාන යෝගයක්ද වේ. ශරීරය ලස්සන වේ. මෙවැනි අයගේ කාමාශාව අධික වන අතර හිසේ රෝග සෙම් රෝග ආදිය හට ගැනීමට හේතුවේ. පවුලේ සහෝදර සහෝදරියන් සමග ඉතා හොඳ සමීප සම්බන්ධතා පවත්වන අතර අන් අයගේ සම්බන්ධතාද තමාට නිතැතින්ම ලැබේ.   


හතර වැන්නේ සඳු සිටීම 

 
සඳු 4 වැන්නට ඉතාම සුබයි. සිතේ තදකමක් නොමැත.   


සමහරු මේ අයට චපලයෝ යැයි කියයි. ජීවිතයේ අග කොටසේදී සුවිසල් මන්දිරයක ජීවත් වීමට භාග්‍යය ලැබේ. (හොඳ නිවසක් ලැබේ) විශේෂයෙන් සඳු නීචව 4 වැන්නේ සිටි විට ලෞකික දියුණුවට හේතු වේ. ඉඩකඩම් යානවාහන මිලදී ගෙන තම ඥාති වර්ගයා සමග සුහදව ජීවත්වීමට මේ අයට භාග්‍ය ලැබේ. තම මවට වැඩි ඇල්මක් දක්වන අතර තමාටද තම මවගෙන් විශේෂ ළෙන්ගතුකමක් ලැබේ.   


පස්වැන්නේ සඳු සිටීම   


5 වැන්නට සඳු ඉතාම හොඳයි. සඳුට පමණක් නොව ත්‍රිකෝණ ස්ථාන මොන ග්‍රහයාට වුවත් 5 වැන්න සුබයි. 5 වැන්නේ සඳු සිටීම ඥානයෝගයකි. බුද්ධිමත් වේ. විශේෂයෙන් කේතු සමග සඳු සිටියොත් වඩාත් සුබඵල ගෙන දේ. 5 වැන්නේ මූලික අවධානය ගැන කියවෙන නිසා ඉතාම හොඳයි.

   
හයවැන්නේ සඳු සිටීම   


සඳු 6 වැන්නට එතරම් සුබදායී කියා නොමැත. නමුත් හයට සඳු හැමවිටම නරකයි කියා සිතා නොගත යුතුයි. ලොකු නරකක් නොමැත. උදරය ආශ්‍රිත රෝගවලට හේතු වේ. සොරුන්ගෙන් අනපේක්ෂිත කරදර ඇති වේ. මේ සියල්ල සිදුවන්නේ සඳු මහා දශා අතුරු දශාවලදී බව සිහි තබා ගත යුතුයි.   


හත් වැන්නේ සඳු සිටීම   


7 සඳු සිටින විට විවාහය ඉක්මන් කරන යෝගය මෙන්ම ප්‍රමාද කරන යෝගද ඇති වේ. විශේෂයෙන් 7 සඳු සිටින කාන්තාවන්ට, පුරුෂයින් ඉබේම වාගේ ලැබේ. විවාහය ඉක්මන් වේ. රූපශ්‍රීය හා නිරෝගීකමද ලැබේ.   


අට වැන්නේ සඳු සිටීම   


8 වැන්නේ සඳු සිටීම එතරම් සුබ නොවේ. විශේෂයෙන් ධනු ලග්න හිමියන්ට සඳු 8 ට නරකයි. ඒරාෂ්ටක දෙකක් එකවිට යෙදේ. අෂ්ටම ඒරාෂ්ටක හා ජන්ම චන්ද්‍ර ඒරාෂ්ටකය එම දෙකයි. මේ අයට අකල් මරණ පහසුවෙන් සාදයි. විවිධ රෝගවලටද ගොදුරු වේ. ජීවිතයේ ප්‍රීතියෙන් ගත කිරීමට ඉඩ ලැබෙන්නේ අන් ග්‍රහයන් බලවත් වුවහොත් පමණි. සඳු 8 වැන්නේ සිටින විට සඳු මහා දශාව වෙනස්වීම මාරක අපල ගෙන දේ. 2 වැන්නේ හා 4 වැන්නේ පාපයින් සිටිද්දී සඳු 8 වේ නම් විවිධ උපද්‍රව්‍ය ගෙන දේ.   


නව වැන්නේ සඳු සිටීම   


කේන්ද්‍රයක 9 වැන්නේ සඳුට ඉතාම හොඳ ස්ථානය වේ. මෙලොව දියුණුවට මෙය ඉතාම හොඳ පිහිටීමකි. ආගමික කටයුතුවලට සම්බන්ධ වන දේවලට වැඩි ඇල්මක් දක්වයි. හොඳින් ජීවත් වේ. වැඩි ග්‍රහ බලයක් සහිත සඳු සිටියහොත් මෙලොව පරලොව දෙකටම මෙම පිහිටීම ඉතා යෝග්‍ය වේ. අාධ්‍යාත්මික පැත්තට වැඩි නැඹුරුවක් පෙන්නුම් කෙරේ. අන්‍යයන්ට හොඳින් සලකයි. ඒ නිසාම අන් අයගේ සැලකිල්ලට තමාද පාත්‍ර වේ. තම මෑණියන්ට ඉතාම සුබ පිහිටීමකි.   


10 වැන්නේ සඳු පිහිටීම   


10 වැන්නට සඳු සුබඵල ගෙනදෙන බව කියා තිබේ. මෙවන් අය කාර්යශූරයි. ඕනෑම දෙයකට ධෛර්යය සම්පන්නයි. එවකට ගියොත් කොහොම හරි ඉන් ණය අත්පත් කරගනී. නිකන් නොසිට හොඳ හොඳ කටයුතුවල යෙදීමට ආශා කරයි. මෙය වෙළෙඳ ව්‍යාපාරවලට ඉතාම හොඳ පිහිටීමකි. පියාට වඩා මවට වැඩි පක්ෂ පාතීත්වයක් දක්වයි.   


11 වැන්නේ සඳු සිටීම   


සඳු එකළොස්වැන්නට ඉතාම හොඳ තැනකි. චන්ද්‍රයාට පමණක් නොව 11 වැන්න කොයි ග්‍රහයාටත් ඉතාම සුබයි. එකළොස්වැන්න ධනය උපයන තැනයි. හිතේ උසස් කමක් තබාගෙන ධනය රැස් කළ නොහැකිය. මේ නිසා 11 වැන්නේ සඳු උච්ච වූ විට ධනයෙන් පිරිහුණ අය වෙති. සඳු ස්වක්ෂේත්‍ර වූ විට බොහෝ විට ධනය නැති කරයි. මේවා සාමාන්‍යයෙන් සිදුවන්නේ සඳු මහා දශා කාලවලදීය.   


12 වැන්නේ සඳු සිටීම


12 වැන්න සඳුට සුබ පිහිටීමක් නොවේ. සඳු 12 වැන්නේ සිටින්නේ පිනට දහමට ළැදියි. දන්දීමට කැමතියි. අසරණයින් රෝගීන්ට අනාථයින්ට අසරණ අයට දුබලයින්ට ඇප උපස්ථාන කිරීමට මහත් රූපස්කන්ධයක් දක්වයි. එවැනි ස්ථානවල රැකියාව කිරීමටද කැමතියි. ඇස් ආශ්‍රිත රෝගවලටද ගොදුරු වීමේ ඉඩකඩක් තිබේ. මා මෙතෙක් විස්තර කරන ලද කරුණු අන් ග්‍රහයින්ගේ බල දුබලතා හා විවිධ යෝග නිසා යම් තරමක වෙනස්කමක් විය හැකිය. නමුත් බොහෝ විට සඳුගේ මේ පිහිටීම කලින් කේන්ද්‍ර හිමියාට ඒ ආකාරයෙන්ම බලපාන විට සඳහන් කරනු කැමැත්තෙමි.   

 

 

 


ප්‍රවීන ජ්‍යොතිර්වේදී   
විශ්‍රාමලත් විදුහල්පති   
කේ.ඩී.ආර්.පී. රාජකරුණා   
ගුරුසෙවන ජ්‍යොතිෂ්‍ය කාර්යාලය   
වතුරවෙල - කොස්ගොඩ  

 
 



අදහස් (0)

ග්‍රහ ලොව මව් සඳු ඔබටත් ළෙන්ගතුද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1530 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site