‘සමුදුරු සුවිසැරිය’  ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි

 

 

ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. මේ වනවිට 91 හැවිරිදි වියෙහි පසුවන ඔහු, ස්වභාවවේදියෙකි. කෘතහස්ත රූපවාහිනී නිවේදකයකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ඔහු අපට කියාදෙන දේවල් බොහොමය. බ්‍රිතාන්‍ය වැසියන් ඩේවිඩ් ඇටන්බරෝ සලකන්නේ ඔවුන්ට සිටින සම්පතක් ලෙසිනි. ගරු නම්බුනාම ගැන තැකීමක් නැති, නිහතමානී චරිතයක් ලෙස ප‍්‍රකට ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් පෙළට පාදක වන්නේ සාගරයයි. 

‘බ්ලූ ප්ලැනට්’ කතාමාලාවේ දෙවැනි වැඩසටහන් පෙළ මේ වනවිට නරඹන්නන් විස්මයටත් අමන්දානන්දයටත් පත් කරමින් විකාශය වෙයි. ඒ, බී.බී.සී. නාළිකාවෙනි. කලින් නිර්මාණය වුණු වාර්තා වැඩසටහන් මෙන් නොව, ‘බ්ලූ ප්ලැනට් 2’ නිර්මාණයේදී අති නවීන තාක්ෂණය යොදා ගෙන ඇත. විවිධාකාරයේ කැමරා උපකරණ, ඩ්‍රෝන යානා සහ සබ්මැරීන ආදිය බී.බී.සී කණ්ඩායම භාවිතයට ගෙන තිබේ. ‘බ්ලූ ප්ලැනට් 2’ නිර්මාණය සඳහා බී.බී.සී. නිර්මාණකරුවන්ට වසර හතරකට වඩා වැඩි කාලයක් ගත වුණු අතර, සියලු දසුන් ‘එච්.ඩී’ තාක්ෂණයෙන් පටිගත කර ඇත. ඒ අනුව, අති සුපැහැදිලි දසුනින් පිරි ‘බ්ලූ ප්ලැනට් 2’ කතාමාලාව සැබැවින්ම විස්මිතය. 


සාගරය දකිද්දී, අපට ස්වභාවයෙන්ම හැඟන්නේ බිය මුසුවුණු ගරු ගාම්භීරබවකි. පරක්තෙරක් නොමැති මහා සාගරය විස්මයජනකය. අප ජීවත්වන මේ ලෝකය, එසේත් නැතිනම් පෘථිවිය සියයට 70 ක් පිරී ඇත්තේ සාගරවලිනි. මිනිසා අභ්‍යවකාශය ජයගෙන සඳට පය තැබුවත්, මහ සාගරය තවමත් මුළුමනින් ගවේෂණය කර නැත. අධික පීඩනය හේතුවෙන් මිනිස් අපට සාගරයේ අඳුරු මෙන්ම ගැඹුරු පතුළට යෑම අසීරුය. 
සාගරයේ, රළවලට යටින් සැඟවුණු දේ බොහොමය. අපට සිතාගත නොහැකි විදියේ හරි අපූරු ජීවීහු සාගරයේ වාසය කරති. අතීතයේ මෙන් නොව, අද වනවිට තාක්ෂණයේ දියුණුවත් සමඟ, සාගර ජීව විද්‍යාඥයන්ට මෙම අපූරු ජීවීන්ගේ වගතුග අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. 

 

 


රළ පදින ඩොල්ෆින් 


සාගර ජීවීන් සාගරය මතුපිටට දකින්න ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එසේ කලාතුරකින් දකින්න ලැබෙන සාගර ජීවියකු ලෙස ඉතාමත් බුද්ධිමත් ‘බොට්ල්නෝස් ඩොල්ෆින්’ හැඳින්විය හැකිය. ඩොල්ෆින් මසුන් යැයි අප හැඳින්නුවත්, ඩොල්ෆින් මත්ස්‍ය පවුලේ සාමාජිකයකු නොවෙයි. ඩොල්ෆින් ඥාතියෙකි. එනම්, කිරි බී වැඩෙන ක්ෂීරපායී සත්වයෙකි. සිංහල ශබ්ද නාම ශබ්දකෝෂයට අනුව ඩොල්ෆින් හඳුන්වන්නේ ‘මුල්ලා’ ලෙසිනි. ‘බොට්ල්නෝස් ඩොල්ෆින්’ යනු බෝතලයක් මෙන් නාසයක් ඇති ඩොල්ෆින්ය. 


ඉතාමත් බුද්ධිමත් සත්වයකු නිසාම, ඩොල්ෆින් හරිම ක්‍රියාශීලීයි. විනෝදයට බරයි. සෙල්ලමට ප‍්‍රිය කරයි. අපි මෙන්ම බොට්ල්නොස් ඩොල්ෆින් ද රළ පදින්න ප්‍රිය කරයි. ඩොල්ෆින්ලා එසේ කරන්නේ ඇයිදැයි ඇසුවොත්, ඔවුන් එසේ කරන්නේ හුදෙක් විනෝදය සඳහාම පමණි. මේ ඩොල්ෆින්ලා හොඳින් හඳුනා ගන්න නම්, ඔවුන් සමඟ ඔවුන්ගේ ලෝකයට යන්න සිදුවෙයි. 


රතු මුහුදේ කොරල්පරයක් (ගල්මල්) අසල මුහුදේ රළ පදින ඩොල්ෆින් රංචුවකි. මේ රංචුවේ සිටින තරුණ ඩොල්ෆින් පැටවුන්ට ඉගෙන ගත යුතු බොහෝ දේ ඇත. වැඩිහිටි ඩොල්ෆින් මසුන්, කොරල් පරයේ ඇති පඳුරක් වැනි සුවිශේෂී ගල්මලක් අසලට තරුණ පැටවුන් රැගෙන යෑම සිදු කරයි. පඳුරක් වැනි මේ කොරල් ජීවියා හැඳින්වෙන්නේ ‘ගොගෝනියාවා’ යනුවෙනි. ‘ගොගෝනියාවා’ ගෝගොනාසෙයා නමැති ගෝත‍්‍රයට අයත් ගණාවාසී කොරල් ජීවියෙකි. 


මේ ගල්මල එසේත් නැතිනම් කොරල් ජීවියා අසලට ගිය පසු, වැඩිහිටි ඩොල්ෆින් මසුන්ගේ හැසිරීම අස්වාභාවික ස්වරූපයක් ගනී. ඔවුන් හිතාමතා ඒ ගල්මල් වෙත ගොස් සිරුරු ගල්මලේ ස්පර්ශකර ගැනීම සිදු කරයි. පිහිනා යද්දී එහෙට මෙහෙට හැරෙමින්, ‘ගොගෝනියාවා’ ගල්මලේ පත‍්‍ර සිරුරේ ගෑවෙන්න ඉඩ හරී. එය හරියට කුප්පමේනියා පැළෑටියක් සමඟ පූසකු සෙල්ලම් කරනවා වැනිය. 


තරුණ පැටවු වැඩිහිටියන් කරන්නේ කුමක්දැයි හොඳින් බලා සිටිති. තමා ද එය කළ යුතු දෙයක් බව ඔවුන්ට වැටහෙයි. ඒ අනුව, වැඩිහිටියන් අනුකරණය කරමින් ඔවුහු ද ගල්මල සිරුරුවල ස්පර්ශ කර ගැනීම සිදු කරති. ඩොල්ෆින් වැඩිහිටියෝ, ඔවුන්ගේ පැටවුන්ට සාගරයේ ජීවිතය ගැන මෙසේ පාඩම් උගන්වති. 


‘ගොගෝනියාවා’ කොරල් ජීවියාගේ පිහාටු ආකාරයට සැකැසී ඇති පත‍්‍ර වැනි දේවල් එක්තරා සුවිශේෂී ශ්ලේෂ්මලයකින් වැසී පවතී. සිරුර සිසිල් කරන්න, ලෙඩ රෝග සුව කරන ප‍්‍රතිජීවකයක් ලෙස එය ක්‍රියා කරයි. එසේනම්, ඩොල්ෆින්ලා මේ කොරල් ජීවියාගේ පත‍්‍ර උන්ගේ සිරුරේ ස්පර්ශ කර ගන්නේ එය ඔවුන්ට ඔසුවක් බැවිනි. රෝගවලින් බේරීමටය. සාගරයේ ජීවිතය ගැනත්, සාගරයේ වෙසෙන ජීවීන් ගැනත් කොරල් ජීවීන් ගැනත් ඩොල්ෆින්ලා සතු දැනුම පැහැදිලිව පෙන්නුම් කරන ඉතා හොඳ උදාහරණයක් ලෙස මෙය සැලකිය හැකිය. 

 


මොළේ ඇති මාළුවා බෙලිකටුව කඩා මස් අනුභව කරන හැටි 


මහා බාධක පරය ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප‍්‍රාන්තයට ඔබ්බෙන් මුහුදේ කිලෝ මීටර් 2,300 ක පමණ ප‍්‍රදේශයක් පුරාගත් කොරල්පරවලින් පිහිටි සාගර කලාපයකි. කොරල් යනු ජීවියෙකි. එහෙයින්, කුඩා කොරල් (ගල්මල්) වලින් පිරුණු මෙම කලාපය ලොව විශාලතම ජීවියා ලෙසින් ද සැලකෙයි. එපමණක්, මෙම මහා බාධක පරය අභ්‍යවකාශයට ද පැහැදිලිව දකින්න ලැබෙයි. ඝන මෙන්ම මෘදු කොරල්වලින් සෑදුණු කුඩා දූපත් දහස් ගණනක් මෙම බාධක පරයට අයත් වෙයි. 


ඉතා සුන්දර, දැකුම්කලු, අමුතු අපූරු විදියේ ජීවීන් රැසකට මෙම කොරල් පරය නිවහනකි. වර්ණවත් මත්ස්‍ය විශේෂ පමණක් නොව, මොලූස්කාවන්, ස්ටාර්ෆිෂ් හෙවත් පසැඟිල්ලන්, කැස්බෑවන්, ඩොල්ෆින් මසුන් පමණක් නොව මෝරුන් ද මහා බාධක පරය ආශ්‍රිතව ජීවත් වන බව සාගර ජීව විද්‍යාඥයෝ කියති. 


මහා බාධක පරය නිවහන කොටගත් එක් මාළුවෙක්, අප මාළුවන්ගේ බුද්ධි මට්ටම ගැන දන්නා කරුණු කාරණා අභියෝගයට ලක් කරයි. මේ සුවිශේෂී මාළුවා, අපට මාළුන්ගේ බුද්ධිය ගැන කියා පෑමට සමත් වී සිටී. ඉංග්‍රීසි බසින් මාළුවා හැඳින්වෙන්නේ ‘ටස්ක් ෆිෂ්’ (දළ ඇති මාළුවා) වන නමිනි. දළ ඇති මාළුවා ලෙසින් මේ මාළුවා හැඳින්වෙන්නේ, උගේ මුඛයේ ඇති දත් කිහිපයක් (හතරක් පහක්) දළ මෙන් පිටතට නෙරා ඇවිත් පිහිටා තිබීම නිසයි. සත්ව විද්‍යාත්මකව මේ මාළුවා හැඳින්වෙන්නේ ‘චොඑරොඩොන් වෙනුස්ටස්’ යන නමිනි. 


‘ටස්ක් ෆිෂ්’ මාළුවා හරි අපූරු දෙයක් කරයි. මාළුවකුට එවැනි දෙයක් කරන්න පුළුවන්දැයි යන්න පවා කිසිවකු විශ්වාස කරන්නේ නැත. හැමදාම උදේ මේ මාළුවා කොරල් පරය අද්දරට පිහිනයි. මාළුවා කෑමට සොයන්නේ විශේෂ දෙයකි. කොරල් සුන්බුන් සහ වැලි අතරේ මාළුවා ඌට ඕනෑ දේ සොයයි. ශක්තිමත් දත් උපයෝගී කර ගනිමින්, සුන්බුන් පෙරළමින්, එහාට මෙහොට කරවින් මාළුවා සොයන්නේ කුඩා ප‍්‍රමාණයේ බෙල්ලන්ය. ඒත් මාළුවකු බෙලි කටුව කඩා බෙල්ලාගේ මස් අනුභව කරන්නේ කොහොමදැයි යන්න ගැටලුවකි. 


කුඩා බෙල්ලා සොයාගෙන දත්වලින් හොඳින් අල්ලා ගෙන, මාළුවා ආපසු යයි. ඌ කෙළින්ම යන්නේ සුවිශේෂී තැනකටය. මේ තැන උගේ මුළුතැන්ගෙයයි. මාළුවාගේ මුළුතැන්ගෙය ලෙස සැලකෙන්නේ, සෙසු කොරල් එසේත් නැතිනම් ගල්මල්වලින් ඈත් වී හුදෙකලාව පිහිටා ඇති සුවිශේෂී ආකාරයේ ගල්මලකි. මේ ගල්මල රවුම් ස්වභාවයක් ගනී. පෙනුම හරියට වටකුරු ක්‍රීඩාංගනයක් වැනිය. 


ගල් මල අැතුළේ එක් කෙළවරක පිටතට එන ආකාරයට පිහිටා ඇති එක් සුවිශේෂී නෙරුමක් මේ මාළුවා හඳුනාගෙන ඇත. සැම විටම මාළුවා මේ ‘තැන’ උගේ වැඩේට යොදා ගනී. මේ නෙරුම ගල්මලේ සෙසු තැන්වලට වඩා ශක්තියෙන් වැඩිය. අත් නැතිව මාළුවකු බෙලි කටුව කඩා මස් අනුභව කරන්නේ කොහොමදැයි ප‍්‍රශ්නයට දැන් පිළිතුරු ලැබේ. දත්වලින් අල්ලාගෙන ආ බෙල්ලා ගල්මලේ ඇති ශක්තිමත් ස්ථානයට දමා ගැසීම සිදුකරයි. මාළුවාට ඉතා නිවැරදි ඉලක්කයට එය කළ හැකිය. මාළුවකු මේ ආකාරයට නිවැරදි ඉලක්කයට ප‍්‍රහාරයක් එල්ල කිරීම විස්මිතය. කිහිප වතාවක් බෙල්ලා ගල්මලේ ගැටෙද්දී, බෙලි කටුව සෙමින් සෙමින් කැඩී යයි. උත්සාහවන්ත, ධෛර්යමත් දළ මාළුවා උගේ පි‍්‍රයතම ආහාරය වන බෙල්ලා රස බලයි. එය සැබැවින්ම විශ්මයජනකය. මෙවලම් භාවිත කරන ලොව එකම මාළුවා මේ දළ මාළුවා විය හැකියි. 

 

 

 

කුරුල්ලන් අල්ලන්නා 


නිවර්තන කලාපීය මුහුදේ කොරල්පර තම නිවහන කරගත් බොහෝ දෙනෙක් වෙති. කොරල්පර අතර පමණක් නොව, කොරල්පරවලට ඔබ්බෙන් කුඩා දූපත්වල ද ජීවය පවතී. ඉන්දීය සාගර කලාපයේ වාසය කරන මුහුදු ලිහිණියෝ, වියළි කාලයේදී කුඩා දූපත්වලට මිලියන ගණනින් එක්රොක් වෙති. ඒ, බිත්තර දමා පැටවුන් ලොකු මහත් කිරීම සඳහාය. ලිහිණියන් නවාතැන් ගන්නේ මෙම කුඩා දූපත්වලය. බිත්තරවලින් එළියට එන ලිහිණි පැටවුන්ගේ පෙර පාසල වෙන්නේ මේ දූපත්ය. ලිහිණි පැටවුන් අම්මා තාත්තා මෙන් නොව, පිහාටුවල පැහැය තද කළු සහ දුඹුරුය. 


දිනෙන් දින ලොකු වෙද්දී, පැටවු පියෑඹීමට වෙර දරති. පියාඹන්න පුළුවන් උන් සෙමින් තටු ගසමින් අහසට නගින්න තැත් කරති. පැටවුන් පියඹා යෑම පුරුදු පුහුණු වන්නේ නොගැඹුරු කලපුවකට ඉහළිනි. ඒ, ඇඟ කිළිපොළා යන විදියේ බිහිසුණු අත්දැකීම් සමඟය. එය ජීවිතයත් මරණයත් අතර සටනකි. 


පළමුවරට ගුවන්ගත වන බොහොමයක් ලිහිණි පැටවුන්ට එය විඩාබර ක්‍රියාවකි. කුඩා පියාපත් රිදෙන්න ගනී. මහන්සියක් දැනෙයි. ලිහිණි පැටවුන් විඩාව නිවා ගැනීමට කලපුවේ නොගැඹුරු මුහුදට පතිත වෙති. උන් වතුරේ පාවෙමින් සිටිති. ලිහිණි පැටවුන් මුහුදට පතිතවන තුරු බොහොම ඉවසිල්ලෙන් සිටින විලෝපිකයන් රංචුවක් කලපුවට පැමිණ ඇත. ලිහිණි පැටවුන් පියාඹන්න පුහුණු වන කාලය මේ විලෝපිකයෝ හොඳින් දනිති. උන් නියමිත වේලාවට කලපුවට පැමිණ බලා සිටින්නේ එහෙයිනි. 


එක් විඩාබර ලිහිණි පැටවෙක් සාගරය මතුපිටට ගොඩබායි. යළි ගුවනට නැගීම, ලිහිණි පැටවාට වෙහෙසකරය. සිදුවුණේ කුමක්දැයි දැනගන්නත් කලින් ලිහිණි පැටවා නිමේෂයකින් අතුරුදන් වෙයි. ඉතිරි වන්නේ උගේ තද දුඹුරු පැහැති පිහාටු කීපයක් පමණි. සිදුවුණේ කුමක්ද? ලිහිණි පැටවා ගොදුරක් බවට පත් වී අවසන්ය. ලිහිණි පැටවා ගොදුරු කර ගත් දඩයක්කාරයා යෝධ ට්‍රිවලි මත්ස්‍යයෙකි. විලෝපිකයකු වන ට්‍රිවලි පරා මාළුවෙකි. කැරැගිඩායි කුලයට අයත් ඉන්දු ශාන්තිකර සාගරයේ වෙසෙන මත්ස්‍යයෙකි. 


යෝධ ට්‍රිවලි මසුන් සාමාන්‍යයෙන් හුදෙකලා දඩයක්කරුවකු ලෙස සැලකෙයි. කෙසේ නමුත් සෑම වසරකම ලිහිණි පැටවුන් අල්ලා ගැනීමට පනහකට අධික ට්‍රිවලි මත්ස්‍යයෝ රංචුවක් මුහුදේ කොරල්පර අතරේ සිට කලපුවට පැමිණ සීරුවෙන් සිටිති. ඒ, ලිහිණි දඩයමටය. අප්‍රිකාවේ සිංහයන් කුළුහරකුන් දඩයම්කරනවා සේ, ට්‍රිවලි ලිහිණියන් අල්ලති. මරුවා සිටින්නේ මුහුදේය. මුහුදට වැටුණොත් හෝ කිට්ටු වුණොත් ලිහිණි පැටවු ට්‍රිවලි මසුන්ගේ ගොදුරු බවට පත්වෙති. මුහුදට අඩි කිහිපයක් උසින්, පියඹා යන ලිහිණියන් පවා ඒ හා සමාන වේගයකින් හඹා ගොස් වතුරෙන් ඉහළට පැන අල්ලා ගන්න ට්‍රිවලි හපනෙකි. සැබැවින්ම ට්‍රිවලි අප මවිත කරවන විදියේ ශූර දඩයක්කාරයෙකි. 

 

 

 

 


ලූසිත ජයමාන්න 
බ්ලූ ප්ලැනට් ඇසුරිනි