නන්දසිරි හාමුදුරුවෝ

රැකගත් රහසක් මුල් වරට ඉරිදා ලංකාදීපයට හෙළිකරයි

 

මෙතෙක් කිසිම ජනමාධ්‍යයකින් හෙළි නොකළ අප හිතවත් හල්පේ නන්දසිරි හිමියන් රහසක් සේ තබාගත් මේ කතාව. ප්‍රථම වරට ඉරිදා ලංකාදීපයට පැවසුවේ මගේ පෙරැත්ත කිරීම නිසාමය.  මා ඊට ඇලුම් කළේ ත්‍රාසය, භීතිය මෙන්ම ගුප්ත යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර වැනි ශාස්ත්‍රයන්හි ඇති විස්මිත බලය මේ කතාවේ අන්තර්ගතව ඇති නිසාමය. කුඹල්වෙල- හල්පේ නන්දසිරි හිමියන් පැවිදි වූයේ 1958 ජනවාරි 3 වනදාය. ඒ වයස අවුරුදු 9 දීය. 

 
ඉගෙනුම ලැබුවේ බලන්ගොඩ පිරිවෙණකය. පිරිවෙන් අධ්‍යාපනය ලබන අතරතුර‍ ජ්‍යෝතිෂ්‍යය පමණක් නොව යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර ගුරුකම් යනාදිය කෙරෙහි උන්වහන්සේගේ සිත ඇදී ගියේය.  කලක් ගාල්ලේද කලක් අම්පාරේ විහාරස්ථානවලද වැඩ වසමින් නන්දසිරි හිමියෝ මේ ගුප්ත ශාස්ත්‍රයන් පිළිබඳව ගවේෂණාත්මක අධ්‍යයනයක යෙදුණාහ.   


දඹදිව වන්දනාවේ ගිය අවස්ථාවක ඉන්දියාවේදී හඳුනාගන්නට ලැබුණු මලයාල ගුරුකම්වල ප්‍රවීණයන් මිතුරු කරගෙන මලයාල ගුරුහරුකම්ද අධ්‍යයනය කිරීමට උන්වහන්සේට අවස්ථාව උදාවිය.  නිශ්චිත ගුරුවරයෙකු නොමැතිවම පූජකයන්, පාරම්පරික කට්ටඬියන් හා ඒ පිළිබඳව අත්දැකීම් ඇති විවිධ තරාතිරමේ අය ඇසුරුකරමින් ටික කලෙකින්ම මේ ඥානය වර්ධනය කර ගැනීම සුවිශේෂී දෙයකි. 

 
නන්දසිරි හිමියෝ නිමිති බැලීම, බුලත් බැලීම, දේහ ලක්ෂණ බැලීම තුළින් රෝග ලක්ෂණ හඳුනා ගැනීමට දක්ෂයෙකු වූහ. ඒවා සඳහා ප්‍රතිකාර කරන්නේ යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර තෙල් බෙහෙත් මැතිරීම යනාදී ගුප්ත ශාස්ත්‍රයන් තුළිනි.   


ගුප්ත ශාස්ත්‍රයන් තුළින් සර්වාංග රෝගවලට සුවය ලබාදීම නිසා උන්වහන්සේ දන්නා කියන කාගෙත් ආකර්ෂණය දිනාගත්තේය.   


සැබෑ උරුමය පස්සර, වැල්ගොල්ල වුවත්, වැල්ගොල්ලේ හාමුදුරුවෝ යැයි උන්වහන්සේට ඇමතුවේ ඒ ප්‍රදේශයේ ජනයා පමණි.  ගාල්ලේ වැඩ වසන කාලයේ දකුණේ අය උන්වහන්සේ හඳුනාගෙන හිටියේ ගාල්ලේ හාමුදුරුවෝ යන නමිනි.  අම්පාරේ වැඩ වසන කාලයේ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව උන්වහන්සේ හඳුනාගෙන සිටියේ අම්පාරේ හාමුරුවන් නමිනි.   
පස්සර, බදුල්ල මාර්ගයේ පැල්ගහතැන්න 7 කනුවෙන් හැරී කි.මී.6ක් පමණ ගිය විට උන්වහන්සේගේ මූලස්ථානය වන වැල්ගොල්ල විහාරස්ථානයට ළඟාවිය හැක.  වරෙක අපේ හමුදාවන් හා කොටි ත්‍රස්තවාදීන් අතර සටන් විරාමයක් ක්‍රියාත්මක විය. මේ කාලයේ නන්දසිරි හිමියන් මුහුණ දුන් සිදුවීම් අසා සිටීමට පවා භීතිය, ත්‍රාසය උපදවන සිද්ධීන් රැසකි.   
සටන් විරාම කාලයේ දිනක උදෑසන වැල්ගොල්ලේ පන්සලට නන්නාඳුනන තිදෙනෙක් පැමිණියහ.  ඒ මොහොතේ නන්දසිරි හිමියෝ හීල් දානය වළඳමින් සිටියහ.  “ටිකක් ඉන්න කියන්න ” උන්වහන්සේ ඇබිත්තයා හරහා අමුත්තන්ට දැනුම් දුන්හ.   


දානය වළඳා ආවාසයේ සාලයට වැඩම කළ නන්දසිරි හිමියන්ට ආගන්තුකයන් තුන් දෙනෙකු දක්නට ලැබිණ. ඔවුන් තිදෙනාම තරුණයන්ය.   


සියලු‍ දෙනා හිමියන්ගේ දෙපා මුල වැඳ වැටුණහ.   


“මේ ළමයි උදේට කාලද ඉන්නේ ?” හාමුරුවෝ විමසූහ.  “ඔව් හාමුරුවනේ.” එක් තරුණයෙක් පිළිතුරු දුන්නේය.   


තමා යුද හමුදා සෙබළෙකු බව ඔහු පවසා සිටීමෙන් පසු “ඇයි ආව කාරණේ?” කියා හාමුදුරුවෝ විමසූහ.   


“හාමුදුරුවනේ අපේ ලෙඩෙක් ඉන්නවා. හාමුදුරුවෝ එක්කරගෙන යන්න ආවා” යැයි ඔවුහු පැවසූහ.   


නිමිති ශාස්ත්‍රය බැලූවිට මෙය බාධාවන් ඇති ගමනක් බව දැනගත් හාමුරුවෝ ඊට මුහුණදීම සඳහා ගම්මිරිස් ඇටයක් පමණක් සාක්කුවේ දමාගත්හ.  අාගන්තුකයන් පැමිණි මෝටර් රථයේ (කාර් එකේ) රියැදුරාට අමතරව තරුණයන් තිදෙනා සහ නන්දසිරි හිමියෝ ගමන් කළහ. උන්වහන්සේ ගමන් කළේ ඉදිරි අසුනේය. 

 
යුද හමුදා මුරකපොලු‍ කීපයකදී මෙන්ම එල්.ටී.ටී.ඊ. මුරකපොලු‍ කීහිපයකදී මෝටර් රථය නතර කළ නමුත් හාමුදුරුකෙනකු සිටි නිසා කිසිදු අවහිරයකින් තොරව ඉදිරියට යා හැකි විය. ඊට අමතරව කිසියම් දැනුම්වත් වීමක් දෙපාර්ශ්වයම අතර තිබුණේ දැයි යන සැකයද මතුවිය.   
පැය ගණනාවක් ගමන් කිරීමෙන් පසු ඔවුහු කැලෑ මාර්ගයක් ඔස්සේ කිසියම් ගොඩනැගිල්ලකට හාමුදුරුවන් කැටුව ගියහ. එය. එල්.ටී.ටී.ඊ. මධ්‍යස්ථානයකි. එහි ගිය නන්දසිරි හිමියන්ට දක්නට ලැබුණේ ඇඳක තබා ගැට ගසන ලද මැදිවියේ කාන්තාවකි. ඉන්පසු සිදුවූයේ කුමක්ද?  දැන් අපි නන්දසිරි හිමියන්ටම සවන් දෙමු.   


“මා එම ස්ථානයට ඇරලූ අය යන්න ගියා. ඇඳේ සිටි රෝගියා ළඟ තවත් තරුණයන් දෙදෙනෙක් හිටියා. එතකොට රාත්‍රී 10 පහුවෙලා තිබුණා.   


එක තරුණයෙක් ඇහුවා වැඩේ කීයටද ඉවර වෙන්නේ කියල. මං කිව්වා ඉවර වෙන්න වැඩේ පටන්ගන්න ඕනැනේ කියල. රාත්‍රී 11.20 ට පටන් ගන්නවා. අලුයම 1.30 ට අවසන් කරනවා කියල මම කිව්වා. එතකොට අර තරුණයා අහනව ඔයා විතරයිනේ තනියම ඇවිත් තියෙන්නෙ. ?  ඔයාට කරදරයක් වුණොත් මොකද කරන්නේ කියලත් ඇහුවා. 

 
මම කිව්වා ඔයාගේ අත ඉස්සර වෙන්න ඉස්සෙල්ලා මගේ කට ඉස්සර වුණොත් ඔයා වැටෙනවා මිසක් මං වැටෙන්නේ නැහැ කියල.   


පුළුවන්නම් මාව වට්ටලා පෙන්වන්න කියල එයා අභියෝගයක් කළා. මට සැක හිතුණා. මොකක් හරි නපුරු දෙයක් වෙන්න යනව කියල.   මලයාල ශාස්ත්‍රයේ තියෙනවා“ කාලං” පිඹිනව කියල දෙයක්.   


ඒ අනුව මම සාක්කුවේ දාගෙන හිටිය ගම්මිරිස් ඇටය කටේ දාල හපල මන්තරේ කියල පිම්බ ගමන් අර තරුණයා සිහිය නැතිව බිම වැටුණා. ඒ එක්කම තරබාරු අනෙක් තරුණයා ඉස්සරහට ඇවිත් කිව්වා එයා වැට්ටුවට මම වට්ටන්න බැහැ කියල. නේ කියල අභියෝගයක් කළා.   


එක්කෙනා වට්ටපු ගමන්ම නිසා ඒ වන විටත් මගේ කටේ ගමිමිරිස් උණුසුම තිබුණා.   ඒ උෂ්ණත්වයෙන්ම එයාටත් පිම්බා. එසැණින් එයත් ඇදගෙන වැටුණා.  එතකොට තවත් කීපදෙනෙක් ඇවිත් එක එක භාෂාවෙන් කෑගහන්න පටන් ගත්තා. ඔක්කොම හොඳටම බයවුණා.   


ආඩවනෙයි සාමී.... එන්න අප්පා.   


දෙමළ, සිංහල, ඉංග්‍රිසී හැම භා‍ෂාවෙන්ම කෑගසමින් වැටුණ දෙන්නා ට සිහිය දෙන්න කියල වැඳවැටුණා.  මම නියමිත කාලයෙන් තවත් මන්ත්‍රයකින් ඒ අයට නැවත සිහිය ලබාදීලා සුව කළා. මේ සිද්ධියෙන් පස්සේ ඒගොල්ල හොඳටම බය වුණා. 

 
මගේ ශාස්ත්‍රය ගැන විශ්වාසය තිබ්බා. මම ටික වේලාවකින් වැඩේ පටන් අරන් ප්‍රතිකාර කරන්න ගිය රෝගියට මතුරලා සුවපත් කළා. පසුවදා උදෑසන අරන් ගිය කාර් එකෙන්ම මාව පන්සලට ගෙනැත් ඇරලු‍වා. ඊට මාසයකට විතර පස්සේ දෙවැනි වතාවටත් මාව එක්කරගෙන යන්න ආවා.   


එතකොටම මං දන්නවා මේ ගොල්ල එල්.ටී.ටී.ඊ. කියල. නමුත් කවුරුහරි ලෙඩෙක් නේ කියල මට හිතුණා.   


ඒ ගොල්ල කිව්වේ අනුරාධපුරේට යන්නේ කියලා.   


මට ඒ අය බය නිසා, මට එදා කිසි බයක් ඇති වුණේ නැහැ.   
කොහොම නමුත් මං ගම්මිරිස් ඇටේ සාක්කුවට දාගත්තා. ඒ කාර් එකේ මම සිටියේ පස්සේ සීට් එකේ. දෙන්නෙක් මගේ දෙපැත්තෙන් වාඩිවෙලා හිටියා. ඉස්සරහ තවත් එක්කෙනෙක් සහ රියැදුරා සිටියා.   


අනුරාධපුරේ පහුවෙලා කි.මී. 10 ක් විතර ඉදිරියට යන බව මට තේරුණා.  මං ඇහුවා දැන් අනුරාධපුරේ පහුවුණා නේද කියල. අහනවත් එක්කම මගේ නහයට මොනවද ඇල්ලු‍වා. මට සිහිය නැතිවුණා. මේ විදියට ටික දුරක් ගියාට පස්සේ මට සිහිය එන බව දැනුණා. ඒ එක්කම කලින් විදියටම නහයට මොනවද ඇල්ලු‍වා ආයෙත් මට සිහිය නැතිවුණා.   
සිහිය එන විට මම හිටියේ ගොඩනැගිල්ලක් තුළ.   මට තේරුණා මේක එල්.ටී.ටී.ඊ. ලොක්කෙකුගේ තැනක් කියලා. මා වටේ 6 දෙනෙක් හිටියා. සියලු දෙනා වෙනදා වගේම සිවිල් ඇඳුමින් හිටියේ. මගෙන් ඇහුවා ඔයාට මොනවද ඕනැ කියල. මං කිව්වා මොකුත් එපා කියල.   
මට දැන් තරමක් බයක් හිතුණා. මොකද මේ පාර මගේ සිහිය නැති කළානේ. මං ඇහුවා මොකටද මං ගෙනාවේ කියල. ලෙඩෙක් බලන්න කියල කිව්වා. මං ඇහුවා ලෙඩෙක් බලන්න නම් ඇයි මෙහෙම සිහිය නැති කළේ කියල.   


අපි ඔයාට බයයි. ඔයා එක වතාවක් අපේ අය සිහි නැති කළානේ. ඒකයි මෙහෙම කළේ කියල කිව්වා. ඔයා අපට කදරයක් කරයි කියල සැක හිතුණා. ඒ නිසා එහෙම කළේ නැති නම් ඔයාට කරදරයක් කරන්න නෙවෙයි කියලත් කිව්වා.   


ඊට පස්සේ දැන් ඔයාගේ කටයුතු කරන්න කියල හිනා වුණා. මම මගේ ඉණ අතගාල බැලු‍වා ඉනේ බැඳගෙන හිටිය පටිය තිබුණා. පටියේ ගහගෙන හිටිය පර්ස් එකත් තිබුණා. නමුත් ඒකෙ තිබුණ රුපියල් දාහ විතරයි තිබුණේ.   


මං අරන් ගිය ගම්මිරිස් ඇටේ සහ අනෙක් දේවල් අරගෙන. ගම්මිරිස් තියා ලුනුමිරිස්වත් නැතිව මම තරමක පීඩනයට ලක්වුණා.  මට ඒගොල්ල කියන විදියට නැවතිලා කීපදෙනෙකුට ප්‍රතිකාර කරන්න සිද්ධ වුණා.  ප්‍රතිකාර කළ කීපදෙනාටත් තිබුණේ මානසික රෝග. ප්‍රතිකාර කරගෙන යද්දී මාත් එක්ක ඒඅය හුඟාත් යාළුවුණා.  මම හිතුවා හිමින් සැරේ මාරුවෙලා බේරිලා යන්න.   
මං කිව්වා ප්‍රතිකාර සඳහා බුලත් දෙහි යනාදිය මම ම ගන්න ඕනැ කියල පාරට බැස්සා. මගේ අතේ රුපියල් දාහක් තිබුණ නිසා මං හිතුවේ කොළඹ බස් එකකට නැගලා කොළඹට පැනගන්න.  ටික දුරක් ඇවිදගෙන එනකොට කාර් එකක් ඇවිත් මගේ පස්සෙන් නතර කළා. ඒක පදවපු තරුණයා බැහැල ඇවිත් මගෙන් ඇහුවා කොහේද යන්නේ කියල. මං කිව්වා කොළඹ යනවා කියල.   


මට ඔයාගෙන් යන්ත්‍රයක් දාගන්න ඕනැ. මං ඉන්න තැනට ඔයා එක්කරගෙන යන්නම්. කරදරයක් නැතිව ආපහු යවන්නම්. ඔයා අත සල්ලිත් නැහැනේ කිව්වම මම කිව්වා සල්ලි ඕනැ නැහැ මා ළඟ සල්ලි තියෙනවා මට යන්න දෙන්න කිව්වා. නැහැ නැහැ ඔයා මාත් එක්ක එන්න.   කාර් එකට නගින්න කිව්වාම මට කර කියා ගන්න දෙයක් නැතිවුණා.   
මම එයාගේ කාර් එකට නැග්ගා. මටත් ආරක්ෂාවක් කරගන්න ඕනෑ. අවශ්‍ය දේවල් ගන්න තියාගන්න කියල රුපියල් විසිපන්දහසක් (25000) මගේ අතට දුන්නා.  මම කිව්වා මා ළඟ රුපියල් දාහක් තියෙනවා. ඒක ඇති මට කොළඹ යන්න දෙන්න කියල. 

 
රුපියල් 25000 ගන්න කියල බලකරපු නිසා මම ඒ මුදල ගත්තා. මේක ඔයාට මදි කියල මම එක්කරගෙන වෙන කෙනෙක් ළඟට ගියා. එයාට කිව්වා මෙයාට රුපියල් ලක්ෂයක් දෙන්න කියල.   ඒ මනුෂ්‍යයා ඇහුවා දැන්ම දෙන්න ඕනැද හෙට දෙන්නද කියල.  නැහැ නැහැ දැන් දෙන්න කිව්වම එයා රුපියල් ලක්ෂයක් ගෙනැත් දුන්නා.   


මම ආයෙත් අර තරුණයත් එක්ක ගිහිල්ලා අවශ්‍ය සුරය සහ කළමනා අරගෙන ගිහින් ජීවං කරලා ඒ ආරක්ෂා සුරය හදල දුන්නා.  එයා බොහොම සතුටුවෙලා පසුදා එයාගේම කාර් එකෙන් කොළඹට ගෙනැත් බැස්සුවා. මට හිතුණා එයත් නායකයෙක් කියල.   
දෙවැනි වර අරන් ගිය වෙලාවේ  දින 8ක් විතර ඉන්න වුණා.  හත් අට දෙනෙකුට ප්‍රතිකාර කළා.  ඒ ඔක්කොටම තිබුණේ මානසික අාබාධ. යුද්ධයත් එක්කම ඉඳලා මනස විකෘති වෙලා. ආත්ම ආරක්ෂාව පිළිබඳ ඒ ගොල්ලන්ට සැකයකුත් තිබුණා.   


මම යන්ත්‍ර මන්ත්‍ර හා තන්ත්‍රවලින් ඒ මානසික රෝගීන් සුව කළා. මට හොඳට සැලකුවා. මගේ උදව්වට කීප දෙනෙක් යොදවා තිබුණා. හිස බාන්න සිවුරු සෝදලා දෙන්න ඒ අය කටයුතු කළා. විජය කුමාරතුංග මහත්තයා යාපනයට ගිය වීඩියෝ දර්ශන මේ කොටි මධ්‍යස්ථානයේදී මට පෙන්නුව.   


හොඳටම කෑම දුන්නත් ඒකට අපේ වගේ නිශ්චිත වෙලාවක් තිබුණේ නැහැ. හිතුණ හිතුණ වෙලාවට තමයි ඒ ගොල්ල කන වෙලාවට මට දානය ලැබුණේ. අර ගම්මිරිස් කාලං පිඹීම නිසා ම ඒගොල්ලන්ට මට බයක් වගේම ලොකු ගෞරවයක් තිබුණා“යි උන්වහන්සේ පැවසූහ.
මගෙන් ප්‍රශ්නයකි.   


‘‘අර මුලින්ම ප්‍රතිකාර කළ කාන්තාව ප්‍රභාකරන්ගේ කෙනෙක්ද ?’’ 


“ඔව් ළඟම කෙනෙක් කියල හිතාගන්නකෝ” කියමින් නන්දසිරි හිමියෝ සිනා සුණහ.   
“කොහොම නමුත් මේ සිද්ධියෙන් පස්සේ මේ කදරයෙන් බේරෙන්න මම ඇ​ෙමරිකාවට ගියා.   
ලාස්වේගාස් නෙමෙඩා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අලවල සුභූති හිමියෝ මේ සඳහා මට උපකාර කළා.   


ඇ​ෙමරිකාවේ ප්‍රධාන සංඝ නායක (ලොස් ඇන්ජලීස් ධර්ම විජය බෞද්ධ විහාරාධිපති) අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද හාමුදුරුවෝ විශාල සහ‍යෝගයක් දුන්නා. ඒ රටේ සිටියදීත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළා. තායි ජාතිකයෝ විශාල පිරිසකට ප්‍රතිකාර කළා. ඊට අමතරව විවිධ රටවල අය එහෙදි ප්‍රතිකාර ලබාගත්තා.  
මම කවදාවත් ගාස්තු අයකරල මේ වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒ අය බොහොම සතුටින් මට මුදල් පරිත්‍යාග කළා.   


මම ඇ​ෙමරිකාවට ගියේ මගේ පුපුල පන්සල ගෝල හාමුදුරුකෙනෙකුට බාර දීලා. එයා ඒ වෙනකොට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් නිසා මිතුරු හාමුදුරුනමකට පන්සල බාරදීල තිබුණා. මට දැනගන්න ලැබුණා ඒ කාලයේ විහාරස්ථානය විනාශමුඛයට යනව කියල.   
“පුපුල” කියන්නේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පාරම්පරික ගමක්. මම කවදත් මේ ගමට ආදරෙයි. ඒ නිසා මම ආයෙත් ලංකාවට ආවා. ඇවිත් විනාශමුඛයට වැටී තිබුණ “පුපුල ” විහාරස්ථානය යළි ගොඩනැගුවා. 

 
මේ වන විට ලක්ෂ 300 ක් විතර වියදමින් සංඝා වාසයක්, බුදුගෙය, ධාතු මන්දිරය, ධර්ම ශාලාව වගේම අසූමහා ශ්‍රාවක පිළිම නිර්මාණය කරවලා මෙම විහාරස්ථානයේ වැඩ වසමින් විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන ජනතාවගේ මානසික ගැටලු, අපල උපද්‍රව වලින් මුදවා ගන්න කටයුතු කරගෙන යනවා.   


මා කැටුව ගොස් එම සියලු සංවර්ධන කටයුතු පෙන්වීමටද උන්වහන්සේ කටයුතු කළහ.  එය නම් අදහාගත නොහැකි තරමේ සංවර්ධනයකි.   ඔබ වහන්සේ ආයෙත් ඇ​ෙමරිකාවට යනවාදැයි සමුගන්නා මොහොතේ විමසුවෙමි.  පිළිතුරක් නොදුන් උන්වහන්සේ මගේ පිටට තට්ටු කළේ ළෙන්ගතුකම සමඟ සිනාවක්ද එක් කරමිනි.   මම උන්වහන්සේගේ දෙපතුල අසළ නළලත තැබුවෙමි. 

 

සටහන හා ඡායාරූප   
බදුල්ලේ පාලිත ආරියවංශ