IMG-LOGO

2024 ජුලි මස 16 වන අඟහරුවාදා


ගාමිණීගේ අමුතු වැඩ

විජය කුමාරතුංග රසිකයන්ගේ සිහින කුමරා ලෙස කිරුළු පලඳද්දී සිනමාවේ සද‌ාතනික වීරයා වූයේ ගාමිණී ෆොන්සේකාය.   


ගාමිණී තිරයේදී අසාධාරණය වෙනුවෙන් සටන් කළේය. යුක්තියට එරෙහි වූ දුෂ්ටයා හා සටන් කොට පරාජය කළේය. එවිට එකල ප්‍රේක්ෂකයන්ගෙන් ආවේ විසිල් හඬයි. අත්පොළසන් හඬයි. 

 
ගාමිණී තිරය පමණක් නොව ඉන් පිටතදී ද ඒ ප්‍රතිරූපය ගොඩනැගෙන අයුරින් හැසිරුණේය. ඒ නිසාම ඔහු ප්‍රේක්ෂකයන් අතරට ආවේ ද ඉඳහිටය.   
ඇතැම් චිත්‍රපට දර්ශනයකදී හෝ වෙනත් අවස්ථාවකදී ගාමිණී එනතුරු ප්‍රේක්ෂකයන් බලා සිටිය ද ඔහු ආවේ නැත.   


ඔහු අධ්‍යක්ෂණය කළ සාගරයක් මැද, කොටි වලිගය වැනි බොහෝ ආන්දෝලනාත්මක චිත්‍රපට  දර්ශනවලදී ගාමිණී දැකගන්නට ලැබුණේ නැත.   


වරක් ඔහුගේ කොටි වලිගය තරංගනී සිනමාහලේ ප්‍රදර්ශනය කෙරිණ. එය නරඹා ඔහුට ටෙලිෆෝන් ඇමතුමක් දෙන මෙන් ඔහු මට මිතුරකු අත පණිවුඩයක් එවා තිබිණ. එය නැරැඹීමට ආවේ ඉතා සුළු පිරිසකි. එහෙත් ගාමිණී නොඑන බව කලින්ම ඉඟි කළේය. බොහෝ විටෙක ඔහුගේ චිත්‍රපට විවේචනය කරද්දී වාද කළ ද පසුව එය නිවැරැදි නම් ඔහු එය පිළිගත්තේය.   


 සාමාන්‍යයෙන් චිත්‍රපටයක් රූගත කිරීමට පෙර ගීත පටිගත කිරීම සිදුවෙයි. ඒ අනුව ගාමිණී අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කළ මයුරිගේ කතාව චිත්‍රපටයේ ගීත පටිගත කිරීම් යොද‌ාගෙන තිබුණේ සරසවි චිත්‍රාගාරයේ රාත්‍රී 10.00ටය. කාලය ගතහොත් අසූව දශකයේ මුල්ම හරියේය.   


එහි අමරදේව හා සුජාතා අත්තනායක ගයන ‘සුදෝ මම ආදරෙයි’ ගීතය ලියුවේ ගාමිණීමය. එය පටිගත කිරීමට නියමිතව තිබුණේ එදින රාත්‍රියේය. සංගීත අධ්‍යක්ෂ ලයනල් අල්ගමය. 


සාමාන්‍යයෙන් ගීත රචකයකු තමන්ගේ ගීතයක් පටිගත කිරීම දැකගන්නට මෙන්ම අසන්නට ද කැමැතිය. ගාමිණීට ද එම කැමැත්ත ඇතිව තිබෙන්නට ඇත.   
 අනෙක් කාරණාව එය ගාමිණීගේ අධ්‍යක්ෂණයක් වීමය. (මුලින්ම මයුරිගේ කතාව ගාමිණී නිෂ්පාදනය කළ ද පසුව එය වෙනත් නිෂ්පාදකයකුට පැවැරිණි.)  
ගාමිණී රාත්‍රී 9.00 වනවිට ද සරසවි චිත්‍රාගාරයට පැමිණ සිටියේය. මාත් කැමරා ශිල්පී තිලක් රත්නායකත් සරසවි චිත්‍රාගාරයට යන විට ගාමිණී තම රථයේ බොනට්ටුව මතට හේත්තු වී සිගරට්ටුවක් උරමින් බොහෝ සැහැල්ලුවෙන් සිටියේය.   

 


ඔහු ඇඳ සිටියේ කළු පැහැ ටී ෂර්ට් එකක් සහ කළු කලිසමක් බව මට තවමත් මතකය.   
මම ඔහු අසල නැවතුණෙමි. එවිට ඔහු සිටියේ ගීතයක් සිහින් හඬින් මුමුනමිණි.   
‘පිට දීප දේස ජයගත්තා ආදී සිංහලුන්’ ඔහු කීපවරක්ම ගැයුවේය. මම එය මඳ වේලාවක් අසා සිටියෙමි.   


ඔහු සමඟ තව මොන මොනවා හරි මා කතා කළා මතකය. එවිට වේලාව දහයට ළංවෙමින් තිබිණ. එවෙලේ තවත් පටිගත කිරීමක් ශබ්ද‌ාගාරයේ කෙරෙමින් පැවැතිණ. එම චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු ගාමිණී අසලට පැමිණ ‘තව පැය බාගයකින් ඉවරයි ගාමිණී මහත්තයා’ යයි කීවේය.   
ගාමිණී නිහඬව උන්නේය. තවත් විනාඩි හතළිස්පහක් පමණ යන විට යළි නිෂ්පාදක කළමනාකරු ගාමිණී ළඟට ආවේය.   
 ‘තව පැය කාලකින් ඔක්කොම ඉවරයි ගාමිණි මහත්තයා.’   


ගාමිණී ඊට ද කිසිවක් කීවේ නැත. ශබ්දාගාරයේ පටිගත වන්නේ ගාමිණී හොඳින් හඳුනන නිෂ්පාදකවරයකුගේ චිත්‍රපටයක පසුබිම් සංගීත කටයුතුය.   
 ගාමිණී එක්වරම මෝටර් රථයේ දොර හැරියේය. රිය පණ ගැන්විණි. ගාමිණී කිසිවකුට නොකියාම යන්න ගියේය. රාත්‍රී එකොළහමාරට පමණ මයුරිගේ කතාව ගී පටිගත කිරීම ආරම්භ විය. කීපදෙනකුම ගාමිණීගේ ගෙදරට කතා කළ ද ඇමතුම්වලට පිළිතුරු නොලැබිණ. ඇමැතුම් කීපයකට පසු ගෙදරින් කීවේ ගාමිණී නිදි බවය. එදින රාත්‍රියේ ‘සුදෝ මං ආදරෙයි’ ගීතය ගායනා කළේ පණ්ඩිත් අමරදේවයන් සහ සුජාතා අත්තනායකය. එහෙත් ගාමිණී ආවේ නැත. බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ පාන්දර හෝ ගීතය අසන්නට ගාමිණී ඒවි යයි කියාය. එහෙත් පසු කලෙක ගාමිණී ඔහු ලියූ ගීත අතරින් මේ ගීතයට වඩාත් ප්‍රිය කරන බව කීවේය.   
 ඔහුට වෙලාවට වැඩ ඕනෑය. සම්මුඛ සාකච්ඡාවකට වේලාව දුන්නොත් ඔහු ඒ වෙනුවෙන් සැදී පැහැදී බලා සිටියි. වෙලාවට නාවොත් ඔහු කෝපයට පත්වෙයි.   
එකල ගාමිණීගේ සම්මුඛ සාකච්ඡාවක් පුවත්පතකට වැදගත්ය. ඔහු කතා කරන්නේ බොහෝ නළු නිළියන් කතා නොකරන කාරණාය. ඒවා බොහෝ විටෙක ප්‍රහාරාත්මකය. ආන්දෝලනාත්මකය. පාඨකයන් ගාමිණීගේ සාකච්ඡා කියවන්නට කැමැති එහෙයිනි.   


ඔහු කාලයක් ගම්පොළ පැත්තේ තේ වත්තක බංගලාවක පදිංචිව සිටියේය.   
මම දුරකතන ඇමතුමකින් ගම්පොළ එන්නට වේලාවක් ඇසුවෙමි.   
“හෙට උදේ”   
‘හෙට උදේ නම් බැරි වෙයි. හැන්දෑ වෙයි එනකොට’   


“ඕනකමක් තියෙනව නම් පුළුවන්.” ගාමිණී කීවේය. මමත් කැමරා ශිල්පී ලෙස්ලි අමරසිංහත් අමරසිරි කලංසූරියගේ ගෙලිඔය නිවසට ගොස් නැවැතුනෙමු. ඒ පසුද‌ා උදෙන්ම ගාමිණීගේ ගම්පොළ බංගලාවට යෑමටය. උදේ කලංට කියා ඔහුගේ මෝටර් රථයෙන් මගට බස්සවා ගතිමි. ඉතිරි දුර ටැක්සියකට කතා කරගෙන ගියෙමු. එවිට ද එකොළහට කිට්ටුය. එකල ගාමිණීගේ කළමනාකරු ලෙස සේවය කළේ එල්රෝයි අල්මේද‌ාය.   
මගදී හමු වූ එල්රෝයි කීවේ ‘අන්න උඹලා එනවා කියලා බොස් උදේ ඉඳලා බලා ඉන්නවා’ කියාය.   
‘කොහොමද එල්රෝයි එන්නෙ, හරි දුරයිනෙ. මේ ටිකත් ආවේ අමාරුවෙන්.’   
බංගලාවට ගොඩවන විට ගාමිණී රුපියල් පනහේ සීයේ මුදල් නෝට්ටු වගයක් අත තබාගෙන ඒවා දෙමළ වතු කම්කරුවන්ට බෙද‌ා දෙමින් සිටියේය. අප ඉස්තෝප්පුවට ගොඩනැගුණ පසු ඔහු අප දෙස හැරී “දැන් කීය ද වෙලාව” කියා ඇසුවේය.   
මම සියල්ල පැවැසුවෙමි. ​ෙම​ෙතක් දුර ආවේ ටැක්සියක බව කීවෙමි.   
“මොකටද ටැක්සියක ආවෙ?”   


‘එහෙම නැත්නම් එන්න වෙන්නෙ තවත් පරක්කු වෙලා.’ ගාමිණීගේ අමනාපයක් නොපෙනිණි. ඔහු දිවා ආහාරය ද සූද‌ානම් කර තිබුණේය. ගාමිණී බත් මාළු සමග රතු ලූනු කන්නට කැමැතිය. කුඩා තසිමක සුද්ද කරන ලද රතු ලූනු තිබිණි.   
“මේවා හරි ගුණයි කන්න” ඔහු මගේත් ලෙස්ලිගේත් පිඟන්වලට රතු ලූනු බෙදමින් පැවැසීය.   
කෑමෙන් පසු සම්මුඛ සාකච්ඡාව කරමුයි කී ඔහු “ඉන්ටර්වීව් ඕනැ නැහැ” යි කීවේය.   
‘මෙච්චර දුර ඇවිල්ලා අපරාදෙනේ.’ මම කීවෙමි.   
 ඉන් පසු ඔහු කතා කරන්නට පටන් ගත්තේය.   
රේඛාව චිත්‍රපටයේ වැඩ කරද්දී නළු නිළියන්ට තේ ඇල්ලූ හැටි, බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටය ලංකාවේ කිතුල්ගලදී රූගත කරද්දී කැලණි ගඟේ බැස කොටන් ඇද්ද හැටි ආදිය ඔහු විස්තර කළේය.   
‘රන්මුතු දූව’ චිත්‍රපටයේ දිය යට සටනක් කැමරාගත කරද්දී ඔහුට පීනන්නට නොහැකි නිසා අනූනවයෙන් බේරුණු හැටි ඔහු කීවේය.   
“ඒ ටික කළේ කිරින්දේ. රොඩ්නි ජොන්කලස් එක්ක තමා මට රඟපාන්න තිබුණේ. මට පීනන්න බැරි වුණාට කොහොම හරි ඒක හරියට කළා. පස්සේ කාලෙ වෙනකොට මම පීනන්න ඉගෙන ගත්තා.” ඔහු කීවේය.   


 ඒ කතාව අතරතුර ඔහු කී තවත් කතාවක් මගේ සිත් ගත්තේය. ඒ නම් ගාමිණීගේ නියම ස්වරූපය කියාපාන්නකි.   
ඒ කාලයේ ජංගම දුරකතන නොවීය. හදිසියකට ඇමතුමක් ගන්නට අවශ්‍ය වුවහොත් ටෙලිෆෝනයක් ඇති ගෙදරකට හෝ තැපැල් කන්තෝරුවකට යා යුතුය.   
 දිනක් කීපදෙනෙකු ගාමිණී හමුවන්නට ගම්පොළ බංගලාව වෙත පැමිණ ඇත. කෙසේ හෝ ඔවුන් එන විදිහ ගාමිණීට ඇල්ලුවේ නැත.   
“මම කට්ටිය එනකොටම බිම තිබුණු කකුල් දෙක පුටුව උඩට ගත්තා. එතැන හිටපු එක්කෙනෙක් කතා කළේ ඉංග්‍රීසියෙන්.”   
‘මිස්ට ෆොන්සේකා මම තමයි නුවර ඉන්න ලීඩින්ම ලෝයර්. (ඔහු නම කියා හඳුන්වා දී ඇත.) මම මෙහෙට ආවෙ ඉඩම් බිස්නස් එකකට. මට ප්‍රයිවෙට් කෝල් එකක් ගන්න පුළුවන් ද?’   


එම නීතිඥයාගේ කතාබහ ගාමිණීට අල්ලන්නට නැතිව ඇත.   
“මෙතන ඉඳල ටික දුරක් ගියාම සබ්පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා. අන්න එතැනින් කෝල් එකක් ගන්න පුළුවන්. මගේ ටෙලිෆෝන් එකෙන් ප්‍රයිවෙට් කෝල්ස් දෙන්නේ නෑ.”  
එය ඇසූ නීතිඥයාට කුමක් සිතෙන්නට ඇද්ද?   
“එයා ලීඩින් ලෝයර් කියලා මට මොනවා කරන්න ද?” ගාමිණී එදින මගෙන් ඇසුවේය.   
දිනෙක සතිස්චන්ද්‍ර එදිරිසිංහ මට කීවේ අපූරු කතාවකි. ගාමිණී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු බව බොහෝ අය දන්නා කාරණයකි. ඔහු එම පක්ෂයෙන් ඡන්දය දිනා පාර්ලිමේන්තුවට ද පත්වූයේය. ඔහුගේ දේශපාලනය ගැන වෙනම කතා කළ යුතුය.   
මේ සිද්ධිය වූවේ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල සතිස්ගේ ‘රජගෙදර පරෙවියෝ’ රූගත කරන කාලයේදීය.   
‘රජගෙදර පරෙවියෝ’ ආරම්භ කළේ රත්නපුර සමන් දේවාලයේ ගාමිණීගේ දර්ශන කීපයක් රූගත කිරීමෙනි. ගාමිණී පැමිණෙනවාය කී විට ඒ කාලයේ ඔහු දැක ගන්නට ජනතාව පැමිණීම ද සාමාන්‍ය සිද්ධියකි.   
එකල රත්නපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවක් විය. එහි බලපරාක්‍රමය පැවැත්වූ දේශපාලකයාට ඔහුට ආධාරකරුවෝ බොහෝ වූහ.   
රූගත කිරීමේ සිද්ධිය ආධාරකරුවන්ට ගොස් තිබුණේ ගාමිණී රත්නපුරයට ඡන්දය ඉල්ලන්නට සූද‌ානම් වන බවත් ඒ සඳහා රත්නපුර සමන් දේවාලයට පැමිණ එම කටයුතු ආරම්භ කළ බවත්ය.   


එදින රූගත කිරීමේ කණ්ඩායමේ පිරිසට දිවා ආහාරය සූද‌ානම් කර තිබුණේ රත්නපුරේ සුප්‍රකට මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසේය.   
එහෙත් ගාමිණී එහි යන්නට කැමැති නොවීය. ඔහු දිවා ආහාර සඳහා රත්නපුර තානායම තෝරා ගෙන රියැදුරු සමග එහි ගියේය.   
ටික වේලාවක් යන විට එතැනට ලැබුණු ආරංචිය සුබ​ නොවීය.   
‘සර්... රෙස්ට් හවුස් එකේ කට්ටිය ගාමිණී මහත්තයව වටකරලයි ඉන්නේ. ගහන්නයි හදන්නේ. දහදෙනෙක් විතර ඉන්නවා.’ රියැදුරු කීවේ දුරකතන ඇමැතුමක් දෙමිනි. කුමක් කළ යුතු ද පොලිසියට දැනුම් දිය යුතු ද?   


තවත් මඳ වෙලාවක් ගියේය. රියැදුරුගෙන් තවත් ඇමතුමක් ලැබිණ.   
‘සර් ගාමිණී මහත්තයා නම් මාරයි දැන් කට්ටිය ගාමිණී මහත්තයාව වඩාගෙන යන සයිස් එකක් තියෙන්නෙ.’
කතාව මෙසේය.   


ආධාරකරුවන් ඔහු වට කළ විට ගාමිණී කියා ඇත්තේ එහි සිටි එක් අයකු පෙන්වා ඔහු සමඟ කතා කළ යුතු බවයි. ඔවුන් ඊට එකඟ වූ විට ඔහුට ඒ මොහොතේ හමුවීමට යා යුතු බව ද ගාමිණී පවසා ඇත. ගාමිණී කතා කර ඇත්තේ ඉංග්‍රීසියෙනි.   
ඒ අනුව පිරිස සමඟ ගාමිණී හමුවීමට ගියේය. “හලෝ කොහොමද ඉතින්? මතකද අපි ඒ කාලේ ඉස්කෝලෙ....” ආදී වශයෙන් ගාමිණීගේ මිත්‍රත්වය එහිදී මතක් කර ඇත. දෙදෙනාම අධ්‍යාපනය ලබා ඇත්තේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙනි.   


එම සිදුවීමෙන් පසුව ආධාරකරුවන් ගාමිණී වඩාගෙන යන තරමට පත්කර ගත් බව කියා ඇත්තේ ගාමිණී සමඟ ගිය රියැදුරුය.   
ගාමිණී කොතරම් උපායශීලි මිනිසකු දැයි මෙයින් අපට ඒත්තු ගැන්වෙයි.   
 මහින්ද රාජපක්ෂ ටෙලි ගම්මානය විවෘත කරන ද‌ා මා ගිය බස්රථයේ මගේ අසුනට යාබද අසුනේ සිටියේ සතිස්ය. අපට බොහෝ දේ කතා කරන්නට පැය ගණනාවක් තිබිණ. ඔහු එදින ගාමිණී ගැනත් තවත් බොහෝ සිදුවීම් ගැනත් කතා කළේය. ගාමිණීගේ මේ සිදුවීම මා සිත් ගත්තකි.   
ගාමිණීගේ වැඩ කොහොමත් අමුතුය. ඔහුගේ සුවිශේෂත්වය වන්නේ ද එයයි.

 

 

 රොඩ්නි විද‌ානපතිරණ  

 



අදහස් (0)

ගාමිණීගේ අමුතු වැඩ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 11176 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6297 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 6112 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5544 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3383 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1799 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 97 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 933 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1823 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site