IMG-LOGO

කුවේණිය මිය ගියේ සඳලංකාවේද ?

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් පිළිබඳ තොරතුරු, පුවත්, ජනශ්‍රැති සහ ජනප්‍රවාද රසවත් කතා ලෙස උගත් නූගත් පිරිස් අතර එකසේ ජනප්‍රියය. සාමාන්‍ය පොදු පාඨකයා ද ඒවාට පෙම් බඳියි. වෙසෙසින් පාසල් දරුවන් අයාගත් මුවින් ද යොමාගත් නෙතින් ද යුතුව ඒවා සාවධාන වන අයුරු අප විස්මයටපත් කරවනසුලුය. විජයාවතරණ කතාව සමඟ තදනන්තරව බැඳුණු ආදීවාසීන්ගේ සම්භවය පිළිබඳ කතා ප්‍රවෘත්ති දරුවන්ට අපූර්ව කතා රසයක් ලබා දෙනවා මතු නොව, තම ඉතිහාසය ගවේෂණය කිරීමෙහිලා පෙළඹවීමක් ඇති කරන බව ද බොරු නොවේ.  

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් යනු වැදි ජනයාය. ඔවුහු අතීතයේ සිට අප රටේ විසූහ. වැදි ජනයාගේ සම්භවය පිළිබඳව විවිධ කතා පුවත් අසන්නට ලැබේ. විජයාවතරණය හා මේ එක් පුවතක් සම්බන්ධ ය. ඉන්දියාවේ සිට පැමිණි විජය කුමරු සහ ඒ අවධියේ ලංකාවේ විසූ කුවේණි නැමැති යක්ෂ ගෝත්‍රික කුමාරියගේ දරුවන් වූ ජීවහත්ථ හා දිසාලා යන දෙදෙනාගෙන් වැදි ජනයා පැවැත එන බව බොහෝ දෙනාගේ අදහස වෙයි.   


වැදි ජනයා පිළිබඳව ඩී.ජී. සෙලිග්මාන් හා බ්රෙන්ඩා සෙලිග්මාන් යන විදේශීය විද්වතුන් මෙන්ම නන්දදේව විජේසේකර, පී.බී. මීගස්කුඹුර, දයානන්ද සෝමසුන්දර යන දේශීය විද්වතුන් ද පර් යේෂණාත්මක ග්‍රන්ථ සම්පාදනය කර ඇත. ආර්.එල්. ස්පිට්ල් වෛද්‍යවරයා වැදි ජනයා සමඟ වෙසෙමින් තමා ලද අත්දැකීම් රසවත් නිර්මාණාත්මක ප්‍රබන්ධ ස්වරූපයෙන් ලියා තැබීය.  


ආර්.එල්. ස්පිට්ල් ලියූ Vanished Trails කෘතියේ සිංහල පරිවර්තනය වන ‘මැකීගිය දඩමං’ රසවත් කෘතියේ පර්ච්ඡේදයක් ‘චී චෙං චූලගෙං යමු කිරි නෑනෝ’ නමින් 6 වන ශ්‍රේණිය සිසුන්ගේ සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොතට පාඩමක් ලෙස ඇතුළත් කර තිබේ.  


එහෙයින් පාසල් ප්‍රජාව ද ආදිවාසීන් පිළිබඳ අතිරේක අපූර්ව අතීත තොරතුරු කියවීමෙහි යම් සූදානමකින් පසුවනු ඇත.  


ඉදින් ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ සම්භවයට සඳලංකාවේ දායකත්වය විමසා බැලෙන මෙම ලිපියට සඳලංකාව අයත් වන ‘වයඹ පළාත’ හෙවත් ‘සත්කෝරළය’ සම්බන්ධ තොරතුරු සමුදායක් ඇතුළත් වී ඇත. අපි වයඹින් පටන් ගනිමු. ‘සබර’ යනු වැද්දා හඳුන්වන නමකැ’යි කියැවෙන බැවින් අපි ජීවහත්ථ හා දිසාලා නතර වූ සබරගමුවේ නිරත වී සිටිමින් මේ පුරාවෘත්තය සලකා බලමු.  


වයඹ දිසාව කෝරළ හතකට බෙදා ඇත. ඒ නිසා හත්කෝරළය නම් වේ. සත්කෝරළය යනු ද ඊටම ව්‍යාවහාර කෙරෙයි. සත් කෝරළය නමින් වනුයේ වෑ උඩවිල්ලි, දේව මැදි, හිරියාල, කටුගම්පොළ, දඹදෙණි, වන්නි, දෙමළ යන කෝරළ හතෙන් සෑදුණු භූමි භාගයයි.  


සත්කෝරළයට බත්කෝරළය යනුවෙන් විරුද නමක් ද වෙයි. කුරුණෑගල - පුත්තලම දෙදිසාවේ කුඹුරු අක්කර දහස් ගණනක් මගින් ජාතියට බත සැපයීම එයට හේතුවයි. වත්මනෙහි වයඹ පළාත යනුවෙන් හැඳින්වෙන බිම් ප්‍රදේශය එදා සත්කෝරළය නමින් හඳුන්වනු ලැබිණි. පැරණි මායා රට හෙවත් දක්ෂිණ දේශයෙහි උතුරු කොටස වූ සත්කෝරළය (වයඹ පළාත) ‘තම්බපණ්ණිදීප’ යනුවෙන් ද ප්‍රකටව පැවැතුණේය. තම්බපණ්ණිදීපය ජනපද කීපයකට බෙදී පැවතුණි.  


පණ්ඩිත පරාක්‍රමබාහු, වෑත්තෑවේ හිමි ආදී සාහිත්‍යධරයන්ටත්, වාරියපොළ හිමි වැනි ජාතිමාමක වීරයන්ටත් නිජභූමිය වූයේ සත්කෝරළයයි.  


සිරිලක් කඩඉම් පොත්වල සඳහන් අන්දමට සහ ජනප්‍රවාදවලට ද අනුව රාවණගේ රාජධානිය ද මෙහි පිහිටියේය. සත්කෝරළයේ උපනගර පිළිබඳව සඳහන් දඹදෙණි අස්න හා යාපහු විස්තරය යන කෘති සඳහන් කරන අයුරු දඬුබා (නිකවැරටිය) කටුගම්පල, මුණ්ඩ කොණ්ඩපළ, මාදම්පේ මා - කඳවුර (මාකඳුර) ආදී උපනගර රැසක් සත්කෝරළයට අයත් විය.  


ඓහිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව මෙම තොරතුරු තවමත් සනාථ කළ නොහැකි දුෂ්කර කාර්යයක් වී තිබෙන්නේ ඒ සඳහා විධිමත් ස්ථිර කැනීම් මගින් පරීක්ෂණ අාරම්භ කර නොතිබෙන නිසා යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘතික අධ්‍යයනාංශ ප්‍රධානියාව කටයුතු කළ අභාවප්‍රාප්ත මහාචාර්ය මහානාම කරුණාරත්න මහතා 1984 වර්ෂයේදී ‘රිවිරැස’ පත්‍රයට සඳලංකාව ගැන කරුණු සපයමින් මා සමඟ පැවැසීය.


සත්කෝරළයට අයත්වන කෝරළ හත (07) ට අයත් ගම්බිම්, මායිම් පැරැණි කඩඉම් පොත්වල සඳහන් වෙයි. එහි දඹදෙණි හත්පත්තුව හඳුන්වා ඇත්තේ මෙසේය.  


“හත් පත්තුව තුළ දඹදෙණි පුර පවර  
තිබූ පත්තුව දඹදෙණි යැයි විට පතර  
එහි තිත්තුව දෙවි පතිරජ ඈ පවර  
මැති යුක්තව කෙළෙ රජ ඔබ ඇසුරු කර”  


දඹදෙණි හත්පත්තුවේ පාලනය ගෙන ගිය දේව පතිරාජයන් පිළිබඳ දෙන තොරතුරු ඓතිහාසික වශයෙන් වැදගත්ය.  


රාජකීයන්ට ඔත්තු සැපයීම නිසා සතුටට පත් රජු තෑගි කළ පෙදෙස වෑ උඩවිල්ලි හත්පත්තුව විය. එය පැරණි කඩඉම්වල මෙසේ දක්වයි.   


“සිත් ගත්තුව පෙර සිට රජතුමෙන් කලී  
දුන් ඔත්තුව ඇත්තොට රිදී පිදු ලොලී  
ගොස් දුන්නුව දෙදෙසෙන් වෑ උඩ විල්ලී  
හත්පත්තුව ගිනිකොළ ඇත දකින කලී  
පෙර කාලේ තිබූ සිරි දෙවියා ගලට  
තම ලෝලෝ සිරිමත් අය ආලෙ කොට  
එම කාලේ සිට පැවතෙන නමක් සෙට  
හිරියාලේ හත්පත්තුව දනු සොඳට”
පැරණි කඩඉම් පොත්වල දේව මැදි හත්පත්තුව,  
“විපුල ලෙසින් ජල ගලනා දෙඔය රැඳී  
ලකල කිඹුලාවානාය හක්වටුවා මැදි  
සකල පෙදෙස පැරකුම්පුර මැදසෙ සැදී  
පතල විය හත්පත්තුවෙ දේව මැදි” යනුවෙන් හඳුන්වයි.  


අලි කොටි වගවලසුන්ගෙන් ගහන, ඒ නිසාම එදා අපමණ පීඩාවට පත් ජනකායක් විසූ වන්ති හත්පත්තුව කඩඉමේ සඳහන් වන්නේ මෙලෙසිනි. 

 
 “කිසිදු වන්නිවරු නාමේ නෙක ලෙසිනි  
මෙහිදු පසු නොබැස වනගත වැවී මෙනි   
ගිජිදු සමඟ නෙක කොටි දන විසීමෙනි  
පසිදු විය හත්පත්තුව ඉන් වන්නි”  


දකුණු ඉන්දීය බට කණ්ඩායම් මිත්‍ර ලීලාවෙන් හෙළ රජ දරුවන්ට රැකවරණය දෙමින් සහාය වූ අවස්ථා ඉතිහාසයේ දී හමුවෙයි. එවන් කණ්ඩායම් ගම්බද ‘කතුන්’ හා ආවාහ වීමෙන් ඇති වූ ජනාවාසය දෙමළ හත්පත්තුව නමින් කඩඉම් පොත්වල හඳුන්වා තිබේ. ඒ මෙ​ෙස්ය.  


“එතෙර සිටන් සපැමිණි දෙමළුන් එකල  
නතර වෙවී සිට ගම්බපද ගත්තු කල  
විතර සෙනග දෙමළුන් යයි කිව සිහල  
පතර විය හත්පත්තුව ඉන් දෙමළ”  


විජයාවතරණය තෙක් දිවයන ඉතිහාසයක් ඇති සඳලංකාව ද අයත් වන කටුගම්පළ හත්පත්තුවේ බලකොටුවක් පැවැති බව පෙනී යයි. කඩඉම්වල කටුගම්පළ හත්පත්තුව ගැන මෙසේ සඳහන් වෙයි.  


“රැක්මක් නිසා කඩු ගනිමින් නෙක ලෙසිනි  
වික්මැති විජය සමඟින් සපැමිණි යෙහෙනි  
සිත්ගත් ඇමැති සහ පිරිවර විසු සොඳිනි  
හත්පත්තුව තිබෙයි කටුගම්පළ නමිනි”  


සත්කෝරළය නමින් හැඳින්වෙන සුපතළ බිම්කඩ මහනුවර සමය වනවිට පළමුවන අදිකාරම් යටතේ පාලනය වූ බව ඉතිහාසයෙන් කියැවෙයි. කෝට්ටේ රාජධානි සමයේ ශ්‍රී ලංකාවේ උතුරු දිග තැනිතලාවට අයත් මුළු මහත් ප්‍රදේශයම හඳුන්වනු ලැබුවේ සත්කෝරළය නමිනි.  


ඉපැරණි සත්කෝරළයේ උතුරු මැද සීමාව වන්නි ප්‍රදේශය විය. එදා ‘වන්නිය’ වූයේ වත්මත් වවුනියා පළාතයි. වත්මන් සත්කෝරළයේ උතුරු දිග සීමාව කලා ඔයයි. දකුණු දිග සීමාව වූයේ එදා මෙන්ම අදත් නොවෙනස්ව ගලා බස්නා මා ඔය (මහ ඔය) යි. “පරපා කන්ද” සතර කෝරළයෙන් සත්කෝරළය වෙන් කර තබයි.  


සත්කෝරළයට අයත් හත්පත්තු අතරින් කටුගම්පළ හත්පත්තුවට අයත් උතුරු පිටිගල් කෝරළය තුළ පිහිටි රමණීය භූමි භාගයක් ‘සඳලංකාව’ නමින් ප්‍රසිද්ධියට පත් වී ඇත. සිරිලක් කඩඉම් පොත්වල ‘පිටිගල් රට’ විස්තර කිරීමේදී ‘සෙන්දිය’ නම් රුවන් ආකාරයක් තිබූ බව සඳහන් කරයි. පිටිගල් රටේ මායිම් ලෙස මා ඔය අද්දර ගොන් කුර කෙටූ ගලක් ද එයට අඩ ගව්වක් පමණ දුරින් වෑ කන්දක් ද වූ බව සඳහන් කරයි. මෙහි සඳහන් කරන ‘සෙන්දිය’ නම් රුවන් ආකාරය දැනට ‘තඹකන්ද’ නමින් හඳුන්වන ප්‍රදේශය හා ආශ්‍රිතව පැවතුණා විය හැකි යැයි මහාචාර්ය මහානාම කරුණාරත්නයෝ 1984 දී ‘රිවිරැස’ ට පැවැසූහ.  


‘තඹකන්ද’ යනු උස් කන්දක් සහිතව පිහිටි සඳලංකාවට යාබද ගමකි. තඹකන්ද ප්‍රදේශයේ පසෙහි අදත් යබොර බහුලව දැකිය හැකිය. එමෙන්ම දැනට ශත වර්ෂ බාගයකට පමණ පෙර කරන ලද කැනීම්වලදී තඹකන්ද ප්‍රදේශයෙන් දියරන් මතු වූ බව ද වාර්තා වෙයි. ‘සෙන්දරි ගිරි’ හෙවත් සෙන්දියගල ඇසුරු කළ ගම පසුව ‘හෙණ්ඩියගල’ යනුවෙන් ව්‍යවහාරයට පැමිණියේ යැයි මහාචාර්ය මහානාම කරුණාරත්න මහතා පවසයි.  


‘සඳලංකාව’ට නම සෑදුණු අන්දම පිළිබඳව ජනප්‍රවාදයක් එදා මහාචාර්ය මහානාම කරුණාරත්න මහතා ‘රිවිරැස’ පත්‍රයට මා සමඟ කී​ෙව්ය. මේ ඒ රසවත් කතාවයි. (මෙය විජයාවතරණය හා සම්බන්ධ ජනප්‍රවාදයකි.)  


තම්මැන්නාවට ගොඩබසින විජය කුමාරයාට කුවේණිය මුණ ගැසෙයි. කුවේණි ලංකාපුර රාජධානියේ අගරජුගේ සුරූපී දියණියයි. දුටු සැණින් විජය කුවේණියට පෙම් බඳියි. කුවේණියත් විජයත් පෙම්වතුන්ව සිටින බව දැන ගන්නා ලංකාපුර රජු ශෝකයට ද දෙවනුව කෝපයට ද පත්වෙයි. විජයගේ ප්‍රේමය සතුරු ආක්‍රමණිකයකුගේ කූට දේශපාලන උපක්‍රමයක් යැයි සලකන රජු විජය අල්ලා ගැනීමට පිරිසක් යවයි.  


මෙය දැන ගන්නා කුවේණිය සිය සැළමුතු පෙම සිහි නගාගෙන සිය රජුට එරෙහිව තමනට හිතවත් පිරිසක් රැස්කරවා විජයට භාර දෙන්නීය. ඔවුහු විජයට ආරක්ෂාව හා රැකවරණය සලසති.  


මෙම පුවත දැනගන්නා ලංකාපුර අගරජු අධික ලෙස කෝපයට පත්වී විජයට විරුද්ධව යුද ප්‍රකාශ කරයි. දෙපිරිස අතර දරුණු යුද්ධයක් ඇති වෙයි. කුවේණිය එහිදී විජයට උදව් කරයි. යුද පිටියේදී විජයගේ කඩු පහරකින් ඇද වැටෙන ලංකාපුර රජු ‘හන්ද ලංකා’ (‘අනේ මගේ ලංකාපුර විනාශයි’) යනුවෙන් විලාප නගයි. (හන්ද යනු ‘අනේ’, ‘අහෝ’, ‘අදෝ’ යන අරුත ඇති ප්‍රකෘත පදයක් බවත්, මෙය පාලි හා සංස්කෘත රූප සමඟ තත්සමව යෙදෙන බවත් මහාචාර්ය මහානාම කරුණාරත්න ශූරීහු පවසති.) ‘හන්ද ලංකා’ ‘හඳ ලංකා’ වී විකල්ප රූපයකින් ‘සඳලංකා’ වූ බවත් පැවැසෙයි.  


කුවේණියව විජය පන්නා දමා අසරණ කළ අවස්ථාවේදී සිය ඥාතියකුගේ ගල් පහරකින් ඇය අැද වැටී මියගියේ ‘හන්ද ලංකා’ (‘අනේ ම​ෙග් ලංකාව’) යන විලාපයත් සමඟ බැවින් ‘හඳලංකාව’ වී පසුව ‘සඳලංකාව’ යන නම ව්‍යවහාර වූ බවත්, එහිදී කුවේණිය මියගියේ වත්මන් සඳලංකාව ප්‍රදේශයේ බවත්, තවත් ජනප්‍රවාදයකට අනුව කියැවේ. ජීවහත්ථ හා දිසාලා සබරගමුවට පැන ගොස් දිවි ගලවාගෙන තිබේ.  


කෙසේ වුව ද රාවණාගේ පටන් පැවැත ආ ලංකාපුර රාජධානිය වර්තමාන සඳලංකාව ආශ්‍රිත ප්‍රදේශය බව එම ජනප්‍රවාදවලට අනුව ද සැලකිය හැකිය.  


‘කුවේණිය මියගියේ සඳලංකා​ෙව්දී ද’ මැයෙන් (මහාචාර්ය මහානාම කරුණාරත්න මහතා ‘රිවිරැස’ට පැවැසූ ශාස්ත්‍රී කරුණු ද ඇතුළත් කර) මා ලියූ ලිපිය 1986 අගොස්තු 31 වැනිදා ඉරිදා ‘රිවිරැස’ පත්‍රයේ පළ විය. සත්කෝරළයේ ජනප්‍රවාද රසවත් ය. ‘යකාබැඳි ඇල්ල’ එහි ප්‍රධාන ජනප්‍රවාදය තරම්ම කුවේණිය ගැන කියැවෙන ජනප්‍රවාද රසවත් ය. එසේම ඒ බො​ෙහා්මයක් සංවේග ජනකය.  

 

 

 

 

 

 

 

 

 


තුසිත් සාරග චන්ද්‍රසිංහ   
නියෝජ්‍ය විදුහල්පති  
ර/ හුණුවල ධර්මරාජ මහා විද්‍යාලය,  ඕපනායක.  



අදහස් (0)

කුවේණිය මිය ගියේ සඳලංකාවේද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 36 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site