කයිලාස කූඨය පුරාවෘත්ත හා අභිරහස් රැසක් සඟවාගත් ටිබෙටයේ පිහිටි කඳුවැටියකි. මීටර 6718ක් උසැති එම කඳුවැටිය නිර්වාණය වෙතට ගෙන යන පියගැටපෙළ ලෙස එම ප්‍රදේශයේ බෞද්ධයන්, හින්දූන් සහ පුරාණ ආගම් ඇදහූවෝ විශ්වාස කළහ. පුරාණයේ එම කඳුවැටිය ශුද්ධ වූ ස්ථානයක් සේ සැලකීමට ඔවුහු පුරුදුව සිටියහ. 
  
කයිලාස යන්නෙහි අරුත ‘පළිඟුව’ යන්නයි. එහි හැඩය ඊජිප්තුවේ පිරමීඩවලට සමානකමක් දක්වයි. එහි පැති හතර පිරමීඩවල මෙන් සමමිතික හැඩයක් ගනී. හිමෙන් වැසී ඇති එහි මුදුනත ඉතා ආකර්ෂණීයය. එම ස්ථානයට ළඟාවීම ඉතා අනතුරුදායක හෙයින් කඳු නගින්නන්ට තහනම් ප්‍රදේශයකි. අතීතයේ එය තරණය කළ කිසිවකු යළි පැමිණියේ නැත. ඉන්දු, බ්‍රහ්මපුත්‍ර, සට්ලෙජ් සහ කර්නාලි යන ගංගා සතර ඇරඹෙන්නේ කයිලාස කූඨයෙනි. කඳු පාමුල මනසරෝවර් විල (ලොව උසින්ම පිහිටා ඇති මිරිදිය විල ලෙස එය සැලකෙන අතර එහි හැඩය සූර්යයා මෙන් වෘත්තාකාරය.) හා ඊට මදක් පහළින් රක්හාස්ට් තාල් (උසින්ම පිහිටි කරදිය විල්වලින් එකක් සේ සැලකෙන අතර එය චන්ද්‍රවංකයක හැඩයෙන් යුතුය.) නොහොත් යක්ෂයාගේ විල නමින් විල් දෙකක්ද දැකිය හැකිය. ඒ අනුව එම විල් මගින් සූර්යයා සහ චන්ද්‍රයා මෙන්ම යහපත් හා අයහපත් ශක්තිය නිරූපණය කෙරේ. කයිලාස කූඨය සැබැවින්ම පිරමීඩයක්ද?   


මහාචාර්ය ඊ.ආර්. මුල්දෂේවා ඇතුළු රුසියානු විද්‍යාඥයන් කණ්ඩායමක් 1999 දී කයිලාස කූඨය මුදුනේ කරන ලද ගවේෂණයක් අනුව එය ඉතා ඈත අතීතයේ මිනිසා විසින් නිර්මාණය කරන ලද දැවැන්ත පිරමීඩයක් විය හැකි යැයි සඳහන් කර තිබේ. ඒ වටා තවත් කුඩා පිරමීඩ සහ විවිධ ස්මාරක 100ක් පමණ පවතින අතර ඒ ඇසුරින් ඔහු මෙම නිගමනයට එළැඹ තිබේ. මෙම පිරමීඩ උසින් මීටර 100 සිට මීටර 1800 අතර පරාසයක පවතී. මෙය ලෝක ව්‍යාප්ති පද්ධතියේ කේන්ද්‍රස්ථානය විය හැකි වන අතර අනෙකුත් ස්මාරක හෝ ස්ථාන අද්භූත සංසිද්ධීනට සම්බන්ධයක් ඇති බැව් පෙනී යයි. මෙය සත්‍යයක් නම් එවිට මානව ඉතිහාසය යළි ලියන්නට සිදුවනු ඇත. කයිලාස කූඨය මෙතෙක් හමු වී ඇති සියලුම පිරමීඩවලට වඩා විශාල වූවකි. මහාචාර්ය ඊ.ආර්. මුල්දෂේවා ඇතුළු රුසියානු විද්‍යාඥයන් කණ්ඩායම මෙය පිරමීඩ සංකීර්ණයක් ලෙසින් හඳුන්වා ඇති අතර ඔහු එය නම් කර ඇත්තේ ‘දෙවිවරුන්ගේ නගරය’ ලෙසිනි.   


එය ඉදිකරනු ලැබ ඇත්තේ සුපිරි බලශක්තිය (ව්‍යාවර්තන සංචලනය) පිළිබඳ නීති හා ගුරුත්වාකර්ණ ක්‍රියාවලිය පිළිබඳව මනාව හඳුනාගත් උසස් ශිෂ්ටාචාරයක ජීවත් වූ පිරිසක් විසින් බවට ඔහු අනුමාන කරයි. එසේ නොමැතිව මෙම පිරමීඩවල ඉදිකිරීම් සිදු කෙරුනු කාලවකවානුවේ මහා ගල්පර්වත එහා මෙහා රැගෙන යාම හෝ කඳු පන්ති කැඩපත් සේ මැදීම සිදු කළ නොහැකිය. කයිලාස කූඨයේ දකුණු මුහුණත දිස්වනුයේ දැවැන්ත ආසන දෙව්මැඳුරක් මෙනි. කඳුවැටියේ පැති අඩි සිය ගණනක් ලම්බකව පිහිටා ඇති අතර ස්ථරය තිරස් අතට විහිද තිබේ. ඒ අනුව එය රතු පැහැති විශාල පාෂාණ උපයෝගී කර ගනිමින් යෝධ දෑතකින් නිර්මාණය වූ වස්තුවක් යන හැඟීමක් ඇති කරවයි. (ජී.සී. රෝලිං ‘ද ග්‍රේට් ප්ලාටවු’ , 1905)   


කයිලාස කූඨය ආශ්‍රිත පිරමීඩ පිළිබඳ සංකල්පය අලුත් දෙයක් නොවේ. එවැන්නක් පුරාණ සංස්කෘත වීර කාව්‍යයක් වන රාමායණයේද සඳහන්ය. වේදයේ සඳහන් වෙන අයුරින් කයිලාස කූඨය විශ්ව අක්ෂය ලෙසද, ලෝකය දරා සිටින කුලුන ලෙසද, ලෝකයේ මධ්‍ය ලක්ෂය ලෙස, ලෝක වෘක්ෂය ලෙසද හඳුන්වා තිබේ. එය මෙරුව, සුමෙරු, සුෂුම්නා, හේමාද්‍රි, දේව පර්වත, ඥාන පර්වත, රාජතද්රි සහ රත්නසානු යන විවිධ නම්වලින් හඳුන්වනු ලබයි. මෙරු, ස්වස්තික කන්ද, අෂ්ටපාද කන්ද, කන්ග්‍රින්බෝග් කන්ද (චීන බසින්) යන නම්ද එයට ව්‍යවහාර වන අතර ඒ සියලු නාම ලොව ඇති ශුද්ධ වූ කඳුවැටිය වන කයිලාස කූඨය හැඳින්වීම සඳහා යොදා ගැනෙයි. ආගමික වශයෙන් හෝ පුරාණෝක්තින්හි දැක්වෙන අයුරින් ලෝකයේ මධ්‍ය ලක්ෂ්‍ය හෝ ස්වර්ගය හා නිරය සම්බන්ධ කෙරෙනුයේ කයිලාස කූඨයෙනි.   

 

 


හින්දු දහම අනුව ශිව දෙවිඳුන් වැඩ සිටිනුයේ කයිලාස කූඨ මුදුනේය. ඔහු එහි තම බිරිය වන පාර්වතිය සමඟ සදාතනික භාවනාවක නිරතව සිටී. හින්දු දේව කතා අනුව එහි දෙවියන්ට පමණක් වාසය කළ හැකි අතර සාමාන්‍ය මනුෂ්‍යකුට එහි ළඟා විය හැක්කේ මරණින් පසුය. ටිබෙට් බෞද්ධයන්ට අනුව කයිලාස කූඨය තාන්ත්‍රික භාවනායෝගී දෙවියකු වන ඩෙම්ඩොංගේ වාස භූමියයි. ජෛනයන්ට අනුව කයිලාස කූඨය ඔවුන්ගේ පළමු අනාගත වක්තෘවරයා බුද්ධත්වයට පත් වූ ස්ථානයයි. බුද්ධ කාලයට පෙර ටිබෙටයේ සිටි බොන් නමැති ආදිවාසී ආගමික කණ්ඩායම එය හඳුන්වා ඇත්තේ යුං ඩෲං ගුට්සෙග් නොහොත් ‘මහල් නවයකින් යුතු ස්වස්තිකය’ ලෙසිනි. කයිලාස කූඨයේ දක්ෂිණ මුහුණත ස්වස්තිකයක හැඩයෙන් යුතු වන හෙයින් ඔවුන් එලෙස හඳුන්වා තිබේ.   


කයිලාස කූඨයේ වැදගත්කම පිළිබඳ සිත්ගන්නාසුලු සඳහන ඇත්තේ ටිබෙට් බෞද්ධ පුරාවෘත්තයන්හිය. ඔවුන්ගේ ආගමික නායකයා වූ මිලාරේපා, බොන් ආගමික නායක නරෝ බොන් චුං හට අභියෝග කරන ලද්දේ මෙම කඳු මුදුනේදීය. එය ප්‍රචණ්ඩ, උත්තරමානසික පුද්ගලයන් දෙදෙනකු අතර පැවැති සටනක් විය. සටන අතරතුර දෙදෙනාම සමාන ශක්තියෙන් හා බලයකින් යුතු පුද්ගලයන් බැව් දෙදෙනාටම වැටහී ගියේය. එහිදී ඔවුන් තීරණය කළේ කයිලාස කූඨය මුදුනට දිව ගොස් ජයග්‍රාහකයා තෝරා ගැනීමය.   


එහිදී එක් අයෙක් ඉන්ද්‍රජාලික බෙරයක් උපයෝගී කර ගත් අතර ජය ගත් අනෙක් පුද්ගලයා සූර්ය කිරණ උපයෝගී කර ගත්තේය. මෙය අප ප්‍රබන්ධයක් ලෙස පිළිගත යුතුද? මෙම පුරාවෘත්ත චරිත අභ්‍යවකාශ යානා හෝ දුරකතන විකාශන ක්‍රියාවලියට සමාන තාක්ෂණයක් හෝ භාවිත කළාද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මොවුන් සත්‍ය වශයෙන්ම පුරාණයේ සිටි පිටසක්වළ ජීවින්ද? ආදිකල්පිත මානවයා මොවුන් හැඳින්වූයේ දෙවියන් ලෙසිනි. කෙසේ වුවද කයිලාස කූඨය මිනිසා විසින් ඉදිකරන ලද පිරමීඩයක්ය යන රුසියානු විද්‍යාඥයන්ගේ මතය චීන විද්‍යාඥයන් පිරිසක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.