ගමක නම
  හැදුණු හැටි

 

එදා මෙදා තුර ක්‍රමයෙන් අංගසම්පූර්ණ ග්‍රාමයක් වශයෙන් සංවර්ධනය වෙමින් පවතින ‘‘කනෝටුව’’ ගම් පියස, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ මැතිවරණ කොට්ඨාසයට අයත්ව, කුරුණෑගල පුත්තලම් මාර්ගයේ පැල්ලැන්දෙණිය මං සන්ධියේ සිට කි.මී. 08ක් පමණ දුරින් පිහිටා ඇත.  
අතීතයේ දී දිවුල්ගස්පිටිය නම් වූ ග්‍රාම නිලධාරී වසමට අයත්ව තිබූ ‘‘ක​නෝටුව’’ පසුව අංක 1205 යටතේ වෙනම ග්‍රාම නිලධාරී වසමක් ලෙසින් වෙන් කෙරිණ.  
මෙහි පිහිටීම ඉතා සිත් ගන්නා සුළු වන අතර කෙනෙකුට දැකගත හැකි වනුයේ හරිත වර්ණයෙන් යුතු වූ සරු සාර භූමි පෙදෙසිකි.  
සාම්ප්‍රදායික ගම සංකේතවත් කරමින් ‘‘වැවයි, දාගැබයි, කෙතයි’’ මෙහි ඉතාමත් සිත් ගන්නා සුළු අයුරින් පිහිටා තිබීම. සුවිශේෂයකි.  
‘‘ගම’’ ඉහත්තාවේ ‘‘වැව’’ පිහිටා ඇති අතර, ඊටත් ඉහළ කොටසේ ‘‘කැලෑව’’ පිහිටා තිබේ.  


ඉදා නිවාස අවශ්‍යතාවකට හෝ සීසෑමේ කටයුතු සඳහා අවැසි වූ ලී කෝටු, දැව ආදිය කපාගනු ලැබුයේ මෙම කැලෑ පෙදෙසිනි.  
වැවට පහළින් දර්ශනීය වෙල්යායත් ඒ මැදින් කුරුණෑගල නගරය වෙත දිවෙන මහ මාවතත් දිස් වනුයේ ඉතාමත් රමණීය ආකාරයෙනි. මෙහි සිට 12 කි.මී. පමණ ගිය විට කුරුණෑගල ප්‍රධාන නගරය වෙත ළඟාවිය හැකිය.  
‘‘කෙත්යායේ’’ අවසන් කෙළවරෙහි පූජනීයත්වයෙන් යුතු විහාර දාගැබ සහිත පන්සල පිහිටා ඇති අතර, ‘‘කනෝටුව ශ්‍රී බෝධිරුක්ඛාරාමය’’ යනුවෙන් විහාරස්ථානයේ නාමය සලකුණු කොට තිබේ.  
මෙහි සංඝ පීතෘවරයාණන් වූ අපවත් වී වදාළ කනෝටුවේ ධම්මින්ද නායක මාහිමියන් කනෝටුව ගම නඟා සිටුවීම සඳහා එදා මෙදා තුර කළ මෙහෙවර මුඛ පරම්පරාගත ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වන්නකි.  
දැනට කාපට් අතුරා තනා ඇති ප්‍රධාන මාර්ගයට මීට අඩසිය මසකට පමණ පෙර හැඳින්වූයේ ‘‘කරත්ත’’ පාර යනුවෙනි. ඊට හේතු වූයේ එදා සිල්ලර වෙළෙඳාම සඳහා බඩු භාණ්ඩ ප්‍රවාහනය කළේ ද, ගමේ පොල්මුර වලින් එක්රැස් කරගන්නා ලද පොල් වෙළෙඳාම සඳහා ප්‍රධාන වෙළෙඳ පොළවල් වෙත ගෙන ගියේ ද ගොනා බැඳි බර බාගෙනි. ඒ නිසාම එදා එම මාවතට ‘‘කරත්ත පාර’’ යන නම භාවිත විණි. කරත්ත ගමනා ගමනය නිසාම මහ පාර මැද්ද ඉස්සී දෙපැත්ත වල ගැසී පාරේ පයින් ගමන් කරන්නෙකුට ගමන ඉතා දුෂ්කර එකක් වූයේ පාර වළ සහිත අක්‍රමවත් එකක් වූ බැවිනි.  


ගමේ පන්සලේ නායක හාමුදුරුවන් මෙම පාර වත්මන් තත්ත්වයට පත්කර ගැනීමේ ක්‍රියාවලියේ දී මහත් වූ කැපවීමෙන් ගමේ ප්‍රගතිශීලි කොටස් සමඟ එකතු වී විඳි ගැහැට අද පවා කෙනෙකු සිහිපත් කරනුයේ ඉතාමත් කෘතගුණ පූර්වකවය.  
ගමේ ‘‘වැව’’ අද මුළු ගමටත්, ආශ්‍රිත ප්‍රදේශවලටත් බත සපයන්නා වූ වස්තු සම්පතක් ලෙසින් ඇගයෙන්නකි.  
එදා මෙහි ජලය බෙදා හැරීමේ විධිමත් ක්‍රමවේදයක් නොති බූ අතර අද එය ගමේ ගොවි සංවිධාන ගතව ඉතා ක්‍රමවත් අයුරින් සිදු කෙරෙන බව කිව යුතුය.  
ප්‍රදේශ​යේ ගොවි ජනතාව යලමහ කන්න දෙකෙහිම සරු සාර අස්වනු ලබාගනුයේ මේ නිසාවෙනි.  
අතීතයේ දී පවුල් තුන හතරකින් ආරම්භ වූ ‘‘කනෝටුව ගම’’ ජන සංඛ්‍යා ව්‍යාප්තිය අද වන විට වඩාත් ඉහළ අගයක් පෙන්නුම් කෙරෙන්නකි.  
පවුල් සංඛ්‍යාව තුන්සිය පනහ ඉක්මවන අතර ගමේ ජනගහණය එක්දහස් දෙසීයක් පමණ දක්වා ද ඉහළ අගයක් පෙන්නුම් කරන බවකි.  
අතීතයේ දී ‘‘කනෝටුව’’ පහසුකම් නොමැති ආර්ථික, සාමාජික හා සංස්කෘතික වශයෙන්ද ඉතා දුෂ්කර වූ තත්ත්වයක පැවති ඇති අතර අද එය විශාල වෙනසකට පරිවර්තනය වෙමින් ඇත.  


අධ්‍යාපනික, රැකී රක්‍ෂා, වෙනත් ජීවන වෘත්තීන්, ගමනා ගමන පහසුකම් හා සංස්කෘතිකමය ආදි වශයෙන් ඉතා ඉහළ ප්‍රවර්ධනයක් දක්නා ලැබෙන්නකි.  
පවුල් කුටුම්භයන් සඳහා එදා ‘‘පැල පිළ’’ තනාගත් අතර අද කනෝටුව ප්‍රදේශයේ උඩුමහල් සහිත පෞද්ගලික හා රජයේ ගොඩනැගිලි ආදිය ද දක්නට ලැබෙන්නකි.  
අතීතයේ අප පැරැන්නන් ඉතා දුෂ්කර වූ පටු මාවත් දිගේ අකුරු උගෙනීම සඳහා ප්‍රදේශයේ වෙනත් පාසල් කරා ගිය බව අසා ඇත.   
මේ අතර ඊට විසඳුම් සොයා පසු කලෙක ගමේ කිහිපදෙනෙකු එක් රැස් වී සාකච්ඡා කොට ‘‘සමාගම් පාසලක්’’ ලෙස ලී කනු සිටුවා තනන ලද තාවකාලික නවාතැනෙක අද ‘‘කනෝටුව විද්‍යාලය’’ නමින් අධ්‍යාපනික ප්‍රගතියේ මං සලකුණු කරන්නා වූ විධිමත් පාසල පිහිටුවා ගත් බව ඉතිහාසගත තොරතුරක් වශයෙන් විද්‍යාමාන වන්නකි.  
එදා මෙන් නොව අධ්‍යාපනික සංවර්ධනය අතින්ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ගමන් කරන්නා වූ සිසු ගහණයක් අද දක්නා ලැබෙන්නකි. එමෙන්ම විවිධ විෂය හැකියා මතින් සමස්ත ලංකා හා ජාතික මට්ටමේ ජයග්‍රහණ අත්පත් කරගන්නා වූ සිසු දරු දැරියන් ද නොයෙක් විට දකිමු.  


මේ අනුව කනෝටුව විද්‍යාලය වත්මනෙහි ශාස්ත්‍රීය අධ්‍යාපනයේ ඉහළ මංපෙත්තරණය කරන්නා වූ ප්‍රදේශයේ ජනාදරයට පත්ව ඇති විදුහලක් වශයෙන් සඳහන් කළ යුතුය.  
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජීවන මංපෙත් සකසා ගෙන ඇති පිරිස් බොහොමයක් ගම තුළ ප්‍රශස්ත අයුරින් පවතිනු දකිමු.  
වෛද්‍ය, ඉංජිනේරු, ගුරු වෘත්තිය රජයේ හෙද හෙදි, ග්‍රාම නිලධාරී, ලිපිකරු, කාර්මික ආදී විවිධ ක්ෂේත්‍රයන්හි පෞද්ගලික හා රජයේ රැකියාවල නියුතු බොහෝ පිරිසක් අද උසස් ජීවන තත්ත්වයක පවතිනු පෙනෙන්නකි.  
ගමේ ප්‍රජාවගේ ආගමික හා සංස්කෘතික හැසිරීම් රටා ද එදා මෙන් නොව අද ඉතා අවබෝධයෙන් යුතුව සිදුවන්නකි.  
ගම තුළ සිදුවන සියලු සාමූහික කටයුතුවල දී එකා මෙන් සිය සහයෝගය ලබා දෙනුයේ කිසිදු ලාභාපේක්‍ෂාවකින් තොරවය.  
‘‘කනෝටුව’’ තරුණ කැළ අතීතයට සාපේක්‍ෂව අද ද ගම තුළ සිදුවන සියලු කාර්යයන්හි දී පෙර ගමන් කරුවන් වී සිටිති. මෙය අද බොහෝ දෙනා විසින් අගය කරනු ලබන්නේ වෙයි.  


‘‘කනෝටුව’’ සිට කුරුණෑගල නගරයට හා වාරිය​පොළට ළඟාවීමේ මග පහසුකම් බොහෝ කොට ඇති අතර, නාරම්මල, කුලියාපිටිය වැනි නගර වෙත ද ළඟාවීමේ හැකියාව ඇති බව අවධාරණය කළ හැකිය. අද ගමේ සෑම නිවසකම පාහේ ගමනා ගමනය සඳහා කිසියම් වාහන පහසුකමක් ද උදාකරගෙන ඇති බව ඉතා ප්‍රකටය.  
අතීතයේ දී කනෝටුව බො​හෝ ප්‍රදේශවාසීන්ගේ අනාදරයට පත් ගමක් වශයෙන් පැවති නමුදු අද ඊට හාත්පසින්ම වෙනස් වූ සුන්දර වූ ගමක් වශයෙන් හා ස්වයංපෝෂිත ගමක් වශයෙන් පැසසුමට ලක්ව ඇත. අතීතයේ දී මෙන් නොව අද ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නායකයන්, සමෘද්ධි නිලධාරීන්, කෘෂි ව්‍යාප්ති නිලධාරීන් යන විවිධ ක්ෂේත්‍රයන්හි නියුතු නිල තනතුරු හොබවන්නන් මෙන්ම ශ්‍රී ලංකා පොලිස් සේවයේ හා ත්‍රිවිධ හමුදාවේ උසස් නිල තනතුරු දරන්නන් ද බොහෝ කොට ඇති බව අවධාරණය කරමු.  


එමෙන්ම කනෝටුව ගම තුළ අද මහජන පුස්තකාලයක්, ග්‍රාම නිලධාරි කාර්යාලයක්, ග්‍රාමීය බැංකුවක්, සමෘද්ධි නිලධාරි කාර්යාලයක්, ගොවිජන සංවිධාන කාර්යාලයක්, ළදරු පාසලක් ආදී විවිධ වූ පොදු ආයතන රාශියක් ද දක්නා ලැබෙන්නකි.  


‘‘කනෝටුව’’ ගමෙහි පිහිටීම ස්වභාවික සෞන්දර්යය, සශ්‍රීකත්වය, විවිධ සම්පතින් ගහණව පැවතීම යන කරුණු සියල්ල සංක්‍ෂිප්ත වශයෙන් ගෙනදෝ ඓතිහාසික තොරතුරු මූලාශයක් ලෙසින් මුඛ පරම්පරාගතව පැනෙන්නා වූ කනෝටුව ග්‍රාම නාමයේ ප්‍රභවය පිළිබඳව සොයා බැලීමේ දී (එතරම් ප්‍රකට නොවූව ද) එක්තරා මතයක් ප්‍රකාශිතව ඇත.  
එනම්, ‘‘කනක අටුව’’- කනෝටුව නම් වූ බවකි. (මෙහි කනක යනු රත්රන් යන අදහසයි) රත්රන් ගබඩා කළ අටුවක් හෙවත් බිස්සක් වශයෙන් වටිනාකම් තහවුරු කළ උදානයකි. ‘‘කනක අටුව’’ සුඛෝච්චාරණයේදී පසු කලෙක ‘‘කනෝටුව’’ යැයි සඳහනින් යුතුව ජනවහරට එක් වූ බවකි.  


කනෝටුවේ විජේරත්න ඉහළගම (විශ්‍රාමික ඇඳුරු)  
දෙමටළුව- කුරුණෑගල.