ගීයක පදරුත

 

 

පලංචියේ ලී ඉරුවේ අපි එකට  

පලංචියේ ලී ඉරුවේ අපි එකට   
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට   
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට   
ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට   

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද   
කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්න ද   
පෙම් දම් නිසා මිතු දම් සිඳ දමන්න ද   
හොඳ හිත නුඹේ තරම් ලොවකින් ලබන්නද   

ෙදාඩමළු කතා නෑ අද වාඩිය සෙවනේ   
නිදි නැති රැය පුරා නුඹේ සුසුමයි ඇසුනේ   
හොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ   
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ   

 

ගායනය - සුනිල් එදිරිසිංහ/එඩ්වඩ් ජයකොඩි   
සංගීතය තනු නිර්මාණය - ආචාර්ය රෝහණ වීරසිංහ   
ගේයපද - වසන්ත කුමාර කොබවක  

1981 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යා උපාධිධාරියකු ලෙස පිට වූ තරුණයෙක් විද්‍යා ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර වන රක්ෂකවරයකු ලෙස සේවයට පැමිණ එම තනතුර දැරූ තම මිතුරු නිලධාරියා සමග ජීප් රථයෙන් උදේ පාන්දර පිටත් වෙන්නේ කැලෑ තුළට රිංගීමටය. රත්නපුරයේ සිට කිලෝ මීටර් 30ක් තරම් දුරින් පිහිටි බඹරබොටුව, නාහිටිය, වේවැල් කඳුර, දෙල්වල වළංකන්ද ආදි කැලෑ තුළට හිමිදිරියේම පින්න ඇඟේ වදිද්දී මේ දෙමිතුරන්ට ඉරුම්වාඩි හමුවෙයි. එක ඉරුම් වාඩියක පලංචියක් කුඩා වාඩියක්, කුඩා මුළුතැන්ගෙයක් ලී කඳන් නිමවා තිබුණි. 
  
සෑම වාඩියකම දෙදෙනෙකු වෙයි. ඔවුන්ට කියන්නේ ‘‘ඉරුම් කුට්ටම්’’ කියාය. ඉරුම් කුට්ටම බොහෝ විට තරුණයන් දෙදෙනෙකු (තනිකඩයන්) ගෙන් සමන්විතය. එසේ බඳවා ගත්තේ ඈත පළාත්වල සිට පැමිණෙන මෙම පිරිමි උදවිය පවුල් බර ඇතිව පැමිණියොත් ඔවුන්ගේ සිතිවිලි, රාජකාරියට වඩා තම නිවස වෙත යොමුවන බැවිනි. ඒ නිසා මෙම සගයන් දෙදෙනා උයා පිහා ගත්තේ එකටය. අහළ පහළ ඇති ගමේ හෝ කැලයට පහළින් ඇති නගරයට හෝ යන්නේ ජෝඩුවක් ලෙසය. සරොම් බැනියම් ආදිය මිලදී ගත්තේ එකම මෝස්තරයෙකි. බැරිවෙලාවත් උණක්, බඩේ අමාරුවක් සීතලක් හැදුණොත් රෝහලට හෝ ගමේ වෙද මහතා හමුවන්නට යන්නේ එක අයෙක් අනෙකා වත්තන් කර ගෙනය.   


සැබැවින්ම ඔවුන් කුට්ටමකි. ජෝඩුවකි. එකට සිතන, එකට ජීවත්වෙන නිවුන් සොහොයුරන් බඳුය. කැලෑ රාජකාරියට යන නිලධාරින් දෙදෙනාද ඒ වාගේමය. මේ දෙදෙනාටම පෙම්වතියෝ නැත. ගේ දොර බො​ෙහා් ඈතය. ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනා පමණි. ඔවුන් ද කුට්ටමකි. ජෝඩුවකි. මල් පැන් පොදක් රහ බැලුවෙත් එකටය.   


සම්මානනීය ගීත රචක වසන්ත කුමාර කොබවක මේ කෑලෑ නිලධාරින් දෙදෙනාගෙන් කෙනෙකි. ඔහු ලියූ ‘‘පළංචියේ ලී ඉරුවේ අපි එකට’’ ගීතයට වස්තු බීජය ලැබුණේ මේ පරිසරයෙනි. ඔහු මේ ගැන කියන්නේ මේ කතාවය.   


‘‘මේ ඒකාත්මික සගයන්ගේ රිද්මය එකක්. කියත ඉහළ පහළ යයි. උඩ සිටින සගයා නිවැරැදි ඉර දිගේ කියත යොමු කරනවා. පහළ සිටින්නා ලී කුඩු සැර විඳිමින් නැවත කියත පහළට ඇද ඉහළට යවයි. මේ රංගනය එකම තනුවකට එකට සිදුවෙන රැඟුමකි. රූස්ස කැලෑවේ අපි ඉන්නේ ඉහළය. වාඩිය මැද හරියෙ. ගම්මානය පහළින්ය. ඊළඟ දොළ පාර ළඟ වාඩියයි. පහළින් ඇති ගමේ ළඳුන් මේ දොළ මායිම දිගේ ඉහළට එන්නේ බොහෝ විට දර කැඩීමටයි. චීත්ත රෙද්ද හැට්ටය හෝ චීත්ත ගවුම් ඇඳ එන යුවතියෝ කැලෑවට අලුත් හැඩයක් වර්ණයක් ගෙන එයි. මේ පාළු වන වියනට ඒ දසුන අප්‍රමාණ විශ්මයකි. ඔවුන් මිහිබට සුර ළඳුන් වැනිය. මේ දර්ශනයෙන් මගේ සගයා මහින්දට ප්‍රශ්නයක් ඇති වෙයි. දිනක් මගේ සගයා හා මම ඉරුම් සගයන් හා මල් පැණි බොමින් කතාවට වැටුනා.   


‘‘ඈ මලයෝ උඹලා මේ තනි පංගලමේ ඉන්න කොට අර දර කඩන්න එන කෙල්ලෝ දැක්කම උන් ගැන හිතක් පහළ වෙන්නෙ නැද්ද බං. උඹලත් තනිව නෙ ඉන්නෙ. හරි උඹලා එක කෙල්ලකට වහ වැටුණොත්.’’   
‘‘එහෙම වුණොත් ඉතින් එකාට එකා හොරෙන් බහ දෙනවා. කෙල්ල කැමති එකාටනෙ. අනිකට වෙන්නේ මරාගෙන මැරෙන්න. නැත්නම් වහ කන්න’’   


‘‘ඉතින් මං එතකොට උඹලගේ ඔය ඉරුම් කුට්ටම් දීගෙත් ඉවරයි නෙ’’   


‘‘ඔව් සර්. එහෙම වෙච්ච ඒවා තියෙනවා. එකෙක් ඉරුම් පිහි පාර කාලා අබ්බගාතයෙක් වුණා. අනෙකා මාස ගණනකට හිරේ ගියා.   

 

 

මේ කතා අහගෙන හිටිය මගෙ මුවින් මේ පද වැල මිමිණුනා.   


‘‘එක වාඩියේ කල් ඇරියෙත් හිත හොඳට   
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට’’   


මමත්, මහින්දත් කැලයෙන් එළියට ඇවිත් ජීප් රථයෙන් නවාතැනට පැමිණියා. දෙන්නම නිහඬයි කතා නැහැ. රෑ ඉක්මනට නින්දට ගියා. හරි හමන් නින්දක් නැහැ වගේ.   


‘‘දොඩමළු කතා නැහැ අද වාඩියේ සෙවනේ   
නිදි නැති රැය පුරා නුඹේ සුසුමයි ඇසුනේ   


ටික කලකින් වන සංගණන ව්‍යාපෘතිය අවසන් වුණා. මා අතින් මේ ගීතය ලියවුණා. මම මේ ගීය ගායන ශිල්පී සුනිල් එදිරිසිංහට යොමු කළා. ඔහු මේ ගීතය රෝහණ අයියාට (ආචාර්ය රෝහණ වීරසිංහ) තනුව නිර්මාණය කරල සංගීතය නිමවන්න දුන්නා. මේ ගීතය පිරිමි යුගල ගායනයකට සුදුසු නේදැයි කීවේ රෝහණ අයියා ගීතයේ කවි ගායනා කොටස් හා වෙනත් රිද්ම කොටස ලෙස ගායනා කරන්නටත් සහාය ගායනයට ‘‘එඩ්වඩ් ජයෙකාඩි’ ව තෝරා ගන්නත් තීරණය කළේ රෝහණ අයියා. ඒ ඔහුගේ ඉන්ද්‍රජාලික තනු නිර්මාණ හැකියාව නිසාය. සුනිල් හා එඩ්වඩ් ගායනා ලෝකයේ ගමන් සගයෝ (ඉරුම් සගයෝ කැලයේ සගයෝ වගෙ) නිසා ගායනයේ දි ඒකාත්මික වෙන්නට හැකි වුණා. සමාන්තරව සුගම ගායන හැකියාව නිසා’’ වසන්ත තම ගීතයේ පදරුක පැහැදිලි කළේය.   


අද වෙන විට තෙත් කලාපීය කැලෑවල දැව හෙලීම් නතර වී ලී වලින් සිල්පර වෙනුවට සිමෙන්ති සිල්පර පැමිණීම නිසා ඉරුම් කුට්ටම් අතීතයට ගිහින් බවයි වසන්ත පවසන්නේ. දොළ පාරේ ඉහළට දර කඩන්නට එන ගෙදර ගැටිස්සින්ගේ දියණියෝ ගැමි ගෙදර වෙනස් කරලා බව ඔහු කියයි. මේ ගීතය ලිව්වේ. 1986 වසරේය. දැන් වසර 38 කට ඉහතය.   


මේ ගීත​ෙය් තනු නිර්මාණය කළ ආචාර්ය රෝහණ වීරසිංහයන් ප්‍රකාශ කළේ ගීතය නිර්මාණය කිරීමේ දී කවියක හැඩයකින් ලියූ මේ රචනාවට ජන ගී ආශ්‍රතව තනුවක් යෙදූ බවය. එහෙත් ආරම්භය ඒ ජන ගී ආකෘතියෙන් මිදී ස්වාධීන තනුවකින් හැඩ කළ බවයි.   

 

 

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර