වසර 200ක් ගෙවුණ ඌව වෙල්ලස්සේ කැරැල්ලේ ඉතිහාසයට දැන් නව ජීවයක් එක්ව තිබෙන බව ඒ අතීතය සොයා ඉරිදා ලංකාදීපය යන ක්ෂේත්‍ර චාරිකාවේදී අසන්නට දකින්නට ලැබිණ.


ඉංග්‍රීසි ආණ්ඩුව විසින් අපේ දේශප්‍රේමීන්, රාජ ද්‍රෝහීන් ලෙස නම් කළ ගැසට් පත්‍රය අවලංගු කර ඔවුන් දේශප්‍රේමීන් ලෙස නම් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කිරීමද මේ පිබිදීමට හේතුවක්ව ඇති බව බිබිල ප්‍රාදේශීය ලේකම් කේ. ප්‍රගීත් කුලතිලක මහතා අපට පැවසුවේ තම කාර්යාලයද ඌව වෙල්ලස්ස කැරැල්ල පිළිබඳව තොරතුරු ගවේෂණයක යෙදෙන බව සඳහන් කරමිනි.


විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු මෙන්ම පුරාවිද්‍යා බලධාරීන්ගේ උපදෙස් ද මේ සඳහා ලබාගන්නා බව කුලතිලක මහතා කීවේය.


මේ පිබිදීම පිළිබඳව කුලතිලක මහතා කී කතාව ඇත්තය. මොණරාගල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන රැසකදීම දක්නට ලැබුණේ තෙන්නකෝන් විමලානන්ද මහතාගේ “උඩරට මහ කැරැල්ල” නමැති ඉතිහාස පොත වන පොත් කරන විහාරාධිපති හිමිවරු ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලාය.


දේශාපලනඥයන්ද මේ ඉතිහාස පොතපත කියවීමට පටන්ගෙන ඇත්තේ  එය වත්මනේ  ප්‍රබල මාතෘකාවක් වී ඇති බැවිනි. ඉරිදා ලංකාදීපයේ අප යන විමර්ශන චාරිකාවද දැඩි පැසසුමට ලක්ව තිබෙන බව අපට හමුවූ බොහෝ දෙනෙක් පැවසූහ.


සුදුපාලකයන් එදවස ගම්බිම්, ජීවිත, වනසද්දී නිවෙස් දේපළ හැරදමා ඇඳිවත පිටින් පලාගිය ඇතැමුන් සුද්දන්ගෙන් බේරී දුර පළාත්වලට ගොස් නැවත ජීවිත ආරම්භ කර තිබේ .


එම පරම්පරාවල ඇත්තෝ ඉරිදා ලංකාදීපයේ අනාවරණයට ප්‍රතිචාර දක්වමින් දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් කැරැල්ලේ ජාතික විරුවනට ඔවුන්ගේ ඇති නෑ සබඳකම් කියාපාන්නේ ලොකු ගෞරවයකිනි.


රාජ ප්‍රතිරූපකයා ලෙස සුද්දන් හැඳින්වු විල්බාවේ මුදියන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායමක් සමග යැවූ හජ්ජි මුහන්දිරම් අල්ලා ඝාතනය කිරීමත් හජ්ජි මුහන්දිරම් බේරා ගැනීමට ගිය ඌවේ උප තානාපති විල්සන් මහතාට හීයකින් විද ඝාතනය කිරීමත් නිසා කුපිත වූ සුද්දෝ බිබිල ප්‍රදේශයේ ගම්බිම් වැනසීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුම පිළිබඳව රොබට් බ්‍රවුන්රිග් ආණඩුකාරවරයා විසින්ම සඳහන් කරන්නේ මෙසේය.


“වෙල්ලස්සේ හා බින්තැන්නේ දිසාවටද වලපනේ හා ඌවේ දිසාවටද තම පළාත් කරා යාමට අණ දුනිමි. ඔවුන්ට උපකාර වශයෙන් යුද භට පිරිස් යවන ලදහ.


19 වැනි රෙජිමේන්තුවේ ලෙෆ්ටිනන්ට් ටේලර්  හේවායින් 25 දෙනෙකු සහිතව 18 වැනි දින බින්තැන්න බලා ගියේය. 21 වැනි දින දෙවැනි ලංකා හමුදාවේ ලෙෆ්ටිනන්ට් ෆ්‍රේට්ස් එපමණ හමුදාවක් සහිතව ලෙෆ්ටිනන්ට් ටේලර් අනුගමනය කළේය. මවිසින් භූමි විස්තර පරීක්ෂණයක යොදවනු ලැබ මහනුවර නතරව සිටි මාගේ ආරක්ෂක නිලධාරී කපිතන් ෆ්‍රෙෂර් නිලධාරීන් දෙදෙනෙකු හා හේවායින් 64දෙනෙකු සමග 23 වැනි දින වෙල්ලස්ස බලා ගමන් කළේය.


වලපනේ දිසාව 19 වැනි දිනයේ උදයේද වෙල්ලස්සේ දිසාව එදින පස්වරුවේද, ඔවුන්ගේ දිසාවෙනි බලා ගියෝය. 


පළවැනි අධිකාරම තම මිනිසුන් සමග කැලඹිලි පවත්නා පෙදෙසට යාම පිණිස 23 වැනි දින සවස මහනුවරින් නික්මුණේය. 


මීට අමතරව 19 වැනි රෙජිමේන්තුවේ කපිතන් ජෝර්ජ් යටතේ භට පිරිසක් මඩකළපුවේ සිට වෙල්ලස්සේ සීමාවන් කරා එවන ලෙසට ආඥාවක් යවන ලදී.


25 වෙනි දින 19 වැනි රෙජිමේන්තුවේ මේජර් මැක්ඩොනල්ඞ් යුද සේනා දෙකක් සහිතව බදුල්ලේ සිට ගමන් කළේය. මෙයින් එකක් ඔහු යටතේද අනෙක 73 වැනි රෙජිමේන්තුවේ කපිතන් රිච් යටතේද වූහ. ඔව්හු වෙල්ලස්සේ ගෝනමුල්ල බලා මාර්ග දෙකකින් ගියාහු පසු දින එහි ළගාවූහ.


27 වැනි දින කපිතන් ෆ්‍රෙෂර් ඔවුනට එක්විය. ඔවුන් එහි පැමිණීමට පෙර දුනු හී ගත් වැදි පිරිසක් විසින් පහර දෙන ලද නමුත් ඔවුහු මහවනයට පලවා හරින ලදහ. මෙහිදී 73 වැනි රෙජිමේන්තුවේ එක් හේවායෙක් මරණයට පත්විය. මේජර් මැක්ඩොලන්ඞ් සහ හේවායෝ දෙදෙනෙක් සුළු තුවාලද උප ශල්‍ය වෛද්‍යවරයා තදබල තුවාලද ලැබූහ.


මෙය සිදුවූයේ කිවුලේ ගෙදරදීය. මෙහි මූලාදැනි තැන මරණ චෝදනාවකට මහනුවර සිරකරනු ලැබ සිටි නමුත් පැනගොස් කැරලි නායකයෙක් (කිවුලේගෙදර මොහොට්ටාල) විය. මේජර් මැක්ඩොනල්ඞ් ඔහුගේ ගෙය ගිනිබත් කළේය. මේජර් මැක්ඩොනල්ඞ්  වෙල්ලස්සේ ඌසන්වල  පිහිටි ගම්මාන රැසකින් වටවුණු විශාල මිටියාවතක 31 වැනි දින කඳවුරු ලාගත්තේය.


මෙහිදී 73 වැනි රෙජිමේන්තුවේ භට පිරිසක් සමග ලෙප්ටිනන් මැක්කෝර්නල් ද එක්විය .


ආණ්ඩුකාර බ්‍රවුන්රිග් ලන්ඩනයේ යටත් විදේශීය කාර්යාලයේ මහාමාන්‍ය බැතර්ස්ට් වංශාධිපතිවරයා වෙත යැවූ 1817 නොවැම්බර් 7 වැනි දිනැති වාර්තාවේ, ඔවුන් සිදුකළ විනාශය පිළිබඳව මෙසේද සඳහන් කර තිබුණි. 


“ඔවුන් දැන් සිටින්නේ  ඔහුගේ අනුගාමිකයන් විසින් අප මහ දෙවි රාජණන් වහන්සේ යැයි හඳුන්වනු ලබන රාජ ප්‍රතිරූපකයා පිළිගැනීමට තනන ලද විශාල මාලිගයට සැතපුම් දෙකක් හා විල්සන් මහතා මරණ ලද ස්ථානයට මදක් ඈතින් වූ කැලඹුණු පෙදෙස්වල හරි මධ්‍යයේය. 


මෙහිදී උලක ගසන ලද මිනිස් හිසක්ද ඒ අසල ගසක එල්ලෙමින් තිබුණු මළ සිරුරක්ද විය. 


හිස සහ සිරුර විල්සන් මහතාගේ තෝල්කයාගේ යැයි සලකනු ලැබේ. තමා රජ බව ප්‍රකාශ කොට හැම සුදු මිනිසෙකුම මරණ ලෙස තමා වැසියන්ට නියම කෙරෙන රාජ ප්‍රති රූපයකයාගේ මහජන ප්‍රකාශය ඇතුළත් පුස්කොළයක් සුදුරෙදි කැබැල්ලකින් දවටන ලදුව ගසක එල්ලා තිබුණේය.


තත්ත්වය අවදානම් බැවින් දරුණු බව පිළිබඳව නිදසුන් දැන් පෙන්විය යුතු යැයි මේජර් මැක්ඩොලන්ඞ් කල්පනා කළේය. එහෙයින් ගෙවල් සියල්ලම පුලුස්සා අළු කරන ලදී. ධාන්‍ය, ගව, මහීෂ ආදී දේපලළ පැහැරගෙන යන ලදී. නොඑසේනම් විනාශ කරන ලදී. මේ භයානක දර්ශනයෙන් කැරලිකරුවන්ගේ සිත් මහත් කැලඹිල්ලකට පත්වූ බව පෙනෙනේනට තිබිණි. 


ඔව්හු ඈත සිට ඝෝෂා කිරීම 
 කැරලිගැසීම නතර කොට තම සිත් තුළ මහත් ධෛර්යයක් උපදවා ගනිමින් මිටයාවතේ අද්දර සිටියහ. අප යුද හමුදාව ඔවුන් කරා පැමිණි වේගය හා නොපසුබට ධෛර්්‍යය නිසා ඔවුන් බියෙන් ඇලළී කුලප්පවූ බව පෙනුණි. ඔවුන්ගේ දේපලවලින් මදක්වත් අස්කරගෙන යාමට කාලයක් ඔවුන්ට නොලැබුණි . 


අපේ හමුදාව මැඩ පැවැත්වීම උගහට බව දුටු ඔව්හු බලාපොරොත්තු රහිත තත්ත්වයට වැටුනාහ. බොහෝ මුලෑදෑනිහුද, ඔවුන්ගේ අනුගාමිකයෝද සිය කැමැත්තෙන් මහ අදිකාරම් වෙත ආවාහු, ඔවුන්ට මහ අධිකාරම්ගේ ක්‍රියාශීලි බව හා උද්යෝගය සම්බන්ධයෙන් මේජර් මැක්ඩොලන්ඞ් විසින් බෙහෙවින්ම සතුටුවෙයි.  රාජ ප්‍රතිරූපකයාගේ රජ මාලිගය පුලුස්සන ලදී ..


මේ ආකාරයෙන් සුදු පාලකයන් විසින්ම සටහන් කළ වාර්තාව පිළිබදව ප්‍රාදේශීය ලේකම්තුමා සමග මෙනෙහි කරද්දී මේ බිහිසුණු විනාශයට කදිම සාක්කියක් තමන් සතු බව  ඔහු කීවේය. ඒ ගම්බිම් විනාශ කිරීමට යොදාගත් සුද්දන්ගේ කාලතුවක්කු තුනකි. ඒවා පෙන්වූ ප්‍රාදේශීය ලේකම්තුමා, 


“ඉන්න මම මේ ගැන හොදටම දන්න ග්‍රාම නිලධාරිවරයෙක් හඳුන්වලා දෙන්නම් එයා වසර ගණනාවක් මොණරාගල දිස්ත්‍රික්කයේ හොඳම ග්‍රාම නිලධාරිවරයෙක් විදියට තේරුණා”. යැයි පවසමින් මෙම ග්‍රාම නිලධාරිවරයා මා ඉදිරියට කැඳෙව්වේය.


අපි දෙදෙනාටම සිනා පහල විය. හේතුවනම් කලකට පෙර ඔහුගේ මංගල උත්සවය රූගත කළ වීඩියෝ ශිල්පියා මා වීමය. එම මතකයද සිහිපත් කරමින් හේමන්ත බණ්ඩාර වික්‍රමසිංහ නම්වූ ඔහු මේ කාලතුවක්කු ගැන විස්තර කීවේය.


“මේ එක කාලතුවක්කුවක් හම්බවුණේ බිබිලේ හෑපොල පාලම ළඟ වත්තක තිබිල. ඒ  දවස්වල මෙම ස්ථානයේ ඉංග්‍රීසි හමුදාවේ මුරපොළක් තිබුණාලු. අනෙක් කාලතුවක්කු බට දෙක තිබුණේ ඊතනවත්ත දේවාලයට කිට්ටු උණගොල්ල හෙල්වල පිහිටි  බිබිල ප්‍රාදේශීය ලේකම් නිල නිවාසය අසල ලඳු කෑලැවක තිබිලා.


අප දැන් සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම ස්ථානයට ගෙන එන ලද්දේ ඊට පෙර සුදු පාලකයන් හැදූ ගොඩනැගිල්ලක තිබූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 1989 භීෂණ සමයේ  සියලු ලිපි ලේඛන හා දේපල සමග ගිනි තබා විනාශ කිරීමෙන් පසු බවත් දැනගන්නට ලැබුණි.


එහෙත් තවමත් ප්‍රාදේශීය ලේකම් නිල නිවස වන්නේ ඉංග්‍රීසීන් විසින් හැදූ නිල නිවාසයම බවද දැනගන්නට ලැබුණි. “මමත් කලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකියාව කරල තියෙනවා. ඒ නිසා ඉතිහාසයට හරිම ආදරෙයි.


ඉරිදා ලංකාදීපය ගෙන එන මේ ලිපිපෙළ හරිම වැදගත් යැයි පැවසූ ප්‍රදේශීය ලේකම්තුමා, සියලු සහයෝගය මේ සඳහා ලබාදෙන ලෙසට ග්‍රාම නිලධාරී හේමන්ත මහතාට උපදෙස් දුන්නේය. 


අපි මහ පාර බැස මීටර් 500ක් පමණ නගරය දෙසට යද්දී නෙත ගැටුණේ වටරවුමේ තේජමානව ඉදිකළ  බූටාවේ රටේ රාළ වීරයාගේ පිළිරුවයි.


“රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ සුරතින් 2016-02-16 වැනි දින මෙම ප්‍රතිමාව විවෘත කර ඇති බවත් ඒ සඳහා ඌව වෙල්ලස්සේ උදාරතර මිනිසුන්ගේ සහයෝගය ලැබුණ බවත් සඳහන් වේ.


“මේ ප්‍රතිමාව නිර්මාණය කරද්දී ලොකුම ගැටලුව වුණේ  බූටාවේ රටේ රාලගේ  හැඩරුව සොයා
ගැනීමයි. අපි හොයාගෙන යද්දී ඒ පරම්පරාවේ ගෙදරක තිබිල චිත්‍රයක් මට ලැබුණා. ඒ අනුව තමයි මේ මූර්තිය නිර්මාණය කෙරෙව්වේ.


යැයි ග්‍රාම නිලධාරී හේමන්ත කීවේය.


කාල තුවක්කුවක් හම්බ වුණ ස්ථානයේ සුද්දාගේ මුරපොළ තිබූ තැන දැකීමට සිත්වූයෙන් අපි දෙදෙනා බිබිල-මහියංගනය පාරේ සැතපුම් 6ක් ගමන් කර හෑපොල පාලම ළඟට පැමිණියෙමු. එහි මුරපොළ ගොඩනැගිල්ලක් අදද පවතී. එය පසුකලෙක ඉදිකළ පොලිස් මුරපොළ ගොඩනැගිල්ලක් බව දැනගන්නට ලැබුණි.


ඊට ඉදිරියෙන් හෑපොළ ඔය ඉවුරේ ගඟ “ගඟ  අද්දර නිවහන නම් වූ දැකුම්කලු නිවාඩු නිකේතනයකි. එහි හිමිකරුවා ගුණපාල අත්තනායක නම් වන මාධ්‍යවේදියා බව දැනගත් නිසා වඩාත් සතුටු වුණෙමි.


ගුණපාල මහතා කළ සංග්‍රහයකින් පසු එම නිවාඩු නිකේතනයේදී මුණ ගැසුන බිබිල කලාපයේ සහකාර අධ්‍යක්ෂ -පැතුම් ජයසුන්දර මහතා, 


වෙල්ලස්සේ ඉතිහාසය පිළිබඳව දැඩි සේ උනන්දුවක් දක්වමින් ගවේෂණාත්මකව  තොරතුරු එක් රැස් කරන කෙනෙකි. 
අපි ඔහුටද සවන් දුනිමු.


ඇත්තෙන්ම බූටාවේ රටේ රාල තමයි අපි නම් දකින්නේ වෙල්ලස්ස කැරැල්ලේ පුරෝගාමියා විදියට.


මොකද කැරැල්ල පටන්ගත්තේ හජ්ජි මුහන්දිරම් බූටාවේ රටේ රාල විසින් අල්ලා ගැනීමත් එක්කයි. බූටාව තමයි ඌව වෙල්ලස්ස කැරැල්ලේ ඉදිරියෙන්ම සිටි නායකයා.


මේ බලන්න සිංහලේ ජාතික සටන් කියන පොතේ 153 පිටුව (එහි මෙසේ සඳහන් වෙනවා) “බූටාවේ රටේ රාලට විරුද්ධව නඩු විභාගය 25 වනදා ආරම්භ විය. වෙල්ලස්සේ ඉංග්‍රීසි විරෝධී සටන් මුළු වගකීම දැරිය යුත්තේ බූටාවේ රටේ රාල බව යුද්ධාධිකරණය තීරණය කළේය. ඔහුව එල්ලා මරා දැමීමට තිරණය කළේය)


විල්සන් මහත්තය එක්ක එයා මරන්න කලින් වෙචිච පලහිලව්වලටත් බූටාවේ විරුවා  ඉඳල තියෙනවා. සුද්දන්ගේ ලේඛනවල රටේ රාල කියල හැඳින්වෙන්නේ එයා වෙන්නත් පුළුවන්.


මේ බලන්න තෙන්නකෝන් විමලානන්ද මහත්තයාගේ “උඩරට මහ කැරැල්ල” පොතේ ආණ්ඩුකාර බ්‍රවුන්රිගේ ලේඛනය.  


“මේ පළාත් දෙකෙන් අල්ලාගත් අය අතුරින් අවසන් වරට අත්අඩංගුවට ගත්තවුන්ගෙන් කෙනෙකු වූ බූටාවේ රටේ රාල බි්‍රතාන්‍ය ආණ්ඩුවේ නිලධාරින්ට විරුද්ධතාව දැක්වූ ප්‍රධානියා වශයෙන් 1817 නොවැම්බර් මස 7 වැනි දින මා එවූ අංක 248 දරන සන්දේශයේ සඳහන් කර ඇත” යනුවෙන් වන සටහන.


කවුද? මේ බූටාවේ රටේ රාල 
ඔහු කන්ද උඩරටින් පැමිණ වෙල්ලස්සේදී කැරුල්ලට නයකත්වය දුන් නායකයෙකි.


බිබිල-කොටගම, කොටේරවෙල, බදුලුගම්මන ආශ්‍රිත බූටාව නම් ගමක ජීවත්වු කෙනෙක් බව සඳහන් වන නමුදු බූටාව නමැති ගමක් අද නොමැති බව ග්‍රාම නිලධාරි හේමන්ත කීවේය.


ඒ ගම්මාන ඉංග්‍රීසි හමුදාව විසින් විනාශ කරලා.


ලොකුම පළිගැනීම දියත් වුණේ බූටාවේ රටේ රාල වෙනුවෙන් ඒ නිසා ඔහුගේ පවුල්වල අයත් අය මෙම ප්‍රහාරවලදී මරණයට පත්වෙලා තියෙනවා.


මේ තත්ත්වය මත බූටාවේ රටේ රාලගේ තොරතුරු රුස්කිරීම ඉතා අසීරුවි ඇතැයිද  හේමන්ත පැවසීය.


1819 මැයි පළවැනිදා යුද්ධාධිකරණයේදී මේජර් මැක්ඩොලන්ඞ් හා ඌව වෙල්ලස්ස බින්තැන්න පළාත් භාර බලයලත් ඒජන්ත හෙන්රි රයිට් මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කතරගම හිටපු මහ බෙත්මේ පවසා ඇත්තේ මඩිහේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හැටියට හජ්ජි මුහන්දිරම් පත්කිරීම ගැන ලොකු විරෝධයක් තිබූ බවය.


“මීට කලින් එම පදවිය දැරුවේ බූටාවේ පවුල්වලට අයත් කොහුකුඹුර නන්නපුරාවේ රටේ රාල, මගේ ලොකු අත්තාවූ අලවුමුල්ලේ රාල බකිනිගහවෙල මුදියන්සේ හා නක්කල මුදියන්සේ යන අයයි.


තමන්ට අයිතිව තිබූ පදවියක් අත්පත් කර ගත්ත හජ්ජිගේ උද්ධච්චකම නිසාත්, හජ්ජි මුස්ලිම් මිනිසුන්ගේ කීම පිට කටයුතු කිරීම නිසාත් හජ්ජිට අවනත නොවන්නට හිතාගෙන කොටබෝවටත් බිකිනිගහවෙලටත් අතරමගදී බූටාවේ ඔහු අල්ලා ගත්තා.”


එහෙත් කැරැල්ල ඇතිවුණේ හජ්ජි ගැන විරුද්ධවාදීකම් නිසා නොවේ යැයිද  මහබෙත්මේ සඳහන් කර තිබේ. ඇත්තටම සිදුව ඇත්තේ උඩරට ගිවිසුම කඩකරමින් සුදුපාලකයන් ගෙනගිය මර්දනකාරී වැඩ පිළිවෙළට බව කියති.


සිංහල බෞද්ධයන්ට උරුමව තිබූ නිලතල හජ්ජි වැනි අය පත්කිරීම ඉන් එකක් පමණක් බව විද්වත්හු පෙන්වාදෙති. 


  ඌව කැරුල්ල සමයේ ඉංග්‍රීසීන්ට තිබූ ලොකුම හිසරදය වූයේ විල්සන් මහතා මැරූ තැනැත්තා සොයා ගැනීමය. මේ මිනීමැරුම සිදුකළේ බූටාවේ  රටේ රාලද, කොහුකුඹුරේ රටේ රාළද නැතිනම් මීගහපිටියේ කෙනෙකු දැයි සිතූ ඉංග්‍රීසි හමුදාව ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා නිතර සෝදිසියට ලක්කර තිබේ .


තම පණ පවා නොතකා එම විරුවන් ආරක්ෂා කළ දේශප්‍රේමින් එදා සිටි බවද අපූරු ජනප්‍රවාදයක් පවතී. මේ සෝදිසි කිරිම්වලට බියේ සිය ගම්බිම් අත්හැර බොහෝ ජනයා කඳු ප්‍රදේශවල පදිංචියට ගොස් ඇත.  ආඳාඋල්පත හන්දියෙන් හැරී බිබිල දෙසට ගමන් කරද්දී හෑපොලටත් ආඳාඋල්පතටත් අතර කන්දේ ගම එබඳු රක්ෂිත ගමකි. 


ඉංග්‍රීසි හමුදාව දිනක් කැරලිකරුවන් සොයා අඹගොල්ලේ ගම්මානය වැටලූහ. විල්සන් මහතා ඝාතනය වූ ඉසව්වේ පිහිටි කොටසක පියංගලු විහාරයට සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි අඹගොල්ල ගම්මානයට හිටි අඩියේ ඉංග්‍රීසි හමුදාව කඩාවැදීම නිසා අඹගොල්ලේ රාල නම් වූ ගැමියාට පැනගත නොහැකිවිය. ඔහු වහා දිවගොස් වී අටුවක සැඟවුණේය. සුද්දෝ අටුවට ගිනි තැබූහ.

ගින්නෙන් දැවි දැවී අඹගොල්ලේ රාළ එළියට පැන්නේය.

 

ඔහු අල්ලාගත්හ. කැරළිකරුවන් කොහේදැයි විමසූවිට ඔහුගෙන් ලැබුණේ අපූරු පිළිතුරකි.


“ඒ අය ඉන්න තැනත් ගිය තැනත් මම දන්නවා. ඒත් මගෙන් ඒක දැනගන්න වෙන්නේ නැහැ. මගේ නෑයන් පාවාදීලා නිවට ද්‍රෝහියෙක් වෙන්න මට බැහැ”


කෝපයට පත් ඉංග්‍රීසිහු ඔහුට තැලූහ. එහෙත් පිළිතුරක් නොවූයෙන් අසල තිබු බුලු ගහේ කඹයක් එල්ලා තොණ්ඩුව අඔගොල්ලේ රාලගේ ගෙලට දමා හිරකොට ඔහු එල්ල මරා දැමීය. 


(ඌව වංශ කථාව නමැති ග්‍රන්ථයේද මෙම සිදුවීම එසේ සටහන් කර තිබේ).


කතරගම මහබෙත්මේ කරන ලද ප්‍රකාශයට අනුව විල්සන් මහතාගේ ඝාතනයට බූටාවේ රටේරාලද හවුල්වී තිබේ. ඉංග්‍රීසීන්ගේ දැඩි ප්‍රහාර හා  උඩරැටියන්ගේ බෙදීම හා පාවාදීම් හමුවේ කැරැල්ල අඩපණ වෙද්දී බූටාවේ වැදි රට මාරගල ගල්ගුහාවක සැඟවී ඇත.


කොහොකුඹුරේ රටේ රාල මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් බූටාවේ ගැන තොරතුරක් ලබාගැනීමට නොහැකි වූ බැවින් කොහොකුඹුරේගේ පුතාද අත්අඩංගුවට ගෙන ඇත.

බූටාවේ රටේරාල විවාහව සිටියේ කොහුකුඹුරේ රටේ රාළගේ නැගණියන් සමගය.


මේ ඥාති සබඳතාව අනුව කොහුකූඹුරගේ පුතා රවටා වැඩි ඔත්තුවක් ලබාගත හැකි යැයි විශ්වාස කළ ඉංග්‍රීසීහු පුතා අමතා බූටාවේ ඉන්නා තැන පිළිබදව නිවැරැදි ඔත්තුවක් දුන්නහොත් පිය පුතු දෙදෙනාම නිදහස් කරන බවට පොරොන්දුවී ඇත.


ඒ අනුව බූටාවේ මාමාගේ නිවසට ගිය කොහුකුඹුරේ රටේ රාලගේ පුතා  මෙගොඩපත්තුවේ බැද්දේ විදානේ නැන්දාට චාටුබස් දොඩා බූටාවේ සිටින තැන දැනගෙන තිබේ. ඔහු දුන් ඔත්තුව මත මාරගලට ගිය අළුපොත කඳවුරේ අණදෙන නිලධාරියා වූ මේජර් කොක්සන් මහතා ප්‍රමුඛ සේනාංකයක් විසින් මේ ජාතික වීරයා අත්අඩංගුවට ගත් බව සඳහන්වෙයි. 


ඉන්පසු එවකට ඉංග්‍රීසි යුද කඳවුරක් වූ කොටබෝවට ගෙන ගොස් නඩු විභාගයක් පැවැත්වීය. මෙහිදී බූටාවේ කිසිවෙක් පාවා නොදී එඩිතරව සිටි බව කියති. කෙසේ නමුත් හජ්ජි අල්ලා ඝාතනය කිරීමේ චෝදනාවට බූටාවේ රටේ රාල වැරදිකරු බව තීරණය කෙරිණි. ඊට අමතරව වෙල්ලස්සේ ඉංග්‍රීසි විරෝධී සටන්වලට වගකීම දැරිය යුත්තේ බූටාවේ රටේ රාල බවට යුද්ධාධිකරණය තීරණය කළේය. මේ ජාතික වීරයා එල්ලා මරා දමන ලද්දේ ඉන් අනතුරුවය.


මේ ඉතිහාසය මෙනෙහි කරමින් ග්‍රාම නිලධාරී හේමන්තත් මමත් සුද්දා විසින්  භිෂණයට පත් කළ  ඉසව්වේ තවත් තොරතුරු සොයමින් ඉදිරියට ගියෙමු. 


දැන් අපේ අරමුණ කොහුකුඹුරේ රටේ රාළගේ වගතුග සොයා යාමය. 


සටහන හා ඡායාරූප 
බදුල්ලේ පාලිත ආරියවංශ